ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට (අයි.පී.එල්.) ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් අතරින් මෙවර දොරටු විවර වූයේ ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරාට පමණි. ඔවුන්ගෙන් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට මිලදී ගත් මැතිව්ස් එම කණ්ඩායම වෙනුවෙන් සැලකිය හැකි දක්ෂතාවක් දැක්වූවත්, කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමට මිලදීගත් තිසර පෙරේරා ක්රීඩාකරනවාට වඩා වැඩි හරියක් සිටියේ බංකුවේය.
මැතිව්ස් හා තිසර නියෝජනය කළ මෙම කණ්ඩායම් දෙකට මෙවර සාර්ථකවීමට නොහැකිවූ අතර, ඔවුන්ට මූලික වටයෙන් පසු තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. එම කණ්ඩායම් දෙකට මූලික වටයේ තරග 14 බැගින් හිමිවිය. එහි දිල්ලි වෙනුවෙන් තරග 11කට ක්‍රීඩාකළ මැතිව්ස් පන්දුවට පහරදීමෙන් ලකුණු 144 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 28 ඒ අතර ඔහුගේ ඉහළම ඉනිම විය. ඊට අමතර පන්දු යැවීමෙන් ඔහු කඩුලු 07 ක් බිඳහෙළූ අතර, 2/15 ලෙස දවාළීම හොඳම පන්දු යැවීම විය. එහෙත් පංජාබ් වෙනුවෙන් තිසරට ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවූයේ තරග 02 ක් පමණි. එම තරග දෙකේ එතරම් දක්ෂතා (දිල්ලි - 3, 0/22, කොල්කටා - 9, 1/33) ඔහුගෙන් ඉස්මතු නොවීය.
කෙසේ නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හැමදාමත් සාර්ථක වන ලසිත් මාලිංග මෙවරද සිය සුපුරුදු දක්ෂතා දැක්වීමට සමත්විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ඔහු තරගාවලිය නිමා වනවිට වැඩිම කඩුලු දවාළූ පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකා විස්සයි20 නායක මාලිංග තරග 15කදී කඩුලු 24 ක් බිඳහෙළීමට සමත්වූ අතර, ලකුණු 23කට කඩුලු 04 ක් බිඳහෙළීම ඒ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම විය.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ඩ්වේන් බ්රාවෝ මෙවර තරගවාරයේ (2015) වැඩිම කඩුලු බිඳහෙළූ පන්දු යවන්නා වූ අතර, ඔහු තරග 17කදී කඩුලු 26 ක් බිඳහෙළීමට සමත්විය. ඒ හේතුවෙන් ඔහුට 'දම් හිස්වැස්ම' හිමිවිය.
ශ්‍රී ලංකාව හා තමිල්නාඩුව අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් මාලිංගට චෙන්නාහි පැවැති තරගයක් හා තවත් එක් තරගයක් ක්‍රීඩාකිරීමට නොහැකිවිය. එම තරග දෙක අහිමි නොවන්නට ඔහු බිඳහෙළන කඩුලු සංඛ්‍යාව මීට වඩා වැඩි වන්නට තිබුණි.
කෙසේ නමුත් 2009 වර්ෂයේ සිට අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කරන මාලිංග මේ දක්වා අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු බිඳහෙළා ඇති පන්දු යවන්නා වේ. මුම්බායි ඉන්දියන් කණ්ඩායමට පමණක් ක්‍රීඩාකර ඇති ඔහු මේ දක්වා (2009 - 2015) එම කණ්ඩායම වෙනුවෙන් තරග 98කට සහභාගී වී කඩුලු 143 ක් බිඳහෙළා ඇත.