ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකාවෙන් බිහිවූ වේග පන්දුවට නව අරුතක් එක් කළ පන්දු යවන්නෙකි. ඔහුගේ ආවේණික වූ පන්දු යැවීමේ ඉරියව්ව එකල සිට අද දක්වාම ඔහුටම සුවිශේෂී වූ පන්දු යැවීමේ රටාවක් වූ අතර, එය අනුකරණය කළ ක්‍රීඩකයන් කිසිවෙකුත් මේ දක්වාම ක්‍රිකට් පිටියට බිහි නොවුණි.
කෙසේ වෙතත් එම සම්ප්රදාය බිඳිමින් ලසිත් මාලිංගගේ ක්‍රීඩා රටාව 'කොපි කළ' අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු හෙවත් 'ඩුප්ලිකේට්' මාලිංග කෙනෙකු ක්‍රීඩා ලෝලීන්ට හඳුනා ගැනීමට ලැබිණි. ඒ පෙරේදා (10) පැවැති ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙසින් අයර්ලන්තය හා ඕමානය අතර පැවැති තරගයේදීය.
අන්තර්ජාතික ක්‍රිකට් පිටියට නවකයන් වූ ඕමානයෙන් බිහිවූ මෙම ක්‍රීඩකයා නමින් මුනිස් අන්සාරි නම් වන අතර, දකුණතින් මඳ වේග පන්දු යවන ඔහුගේ ඉරියව්ව දුටු පමණින්ම ක්‍රිකට් ලෝලියෙකුට ලසිත් මාලිංග මතකයට නැගීම අරුමයක් නොවේ.
2013 වර්ෂයේදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිස ඇති මුනිස් 26 හැවිරිදි වියේ පසුවන අතර, පෙරේදා (09දා) පැවැති තරගයේදී ඔහු දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 03ක් දවාළීමට සමත් විය. ඒ හේතුවෙන්ම ප්‍රබල අයර්ලන්තය පරදා තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ඕමානයට හැකිවිය.
මේ අතර මෙම තරගයට පෙර ලසිත් මාලිංග හා මුනිස් අතර හමුවක් බංගලාදේශයේදී පැවති ආසියානු කුසලාන තරගාවලියේදී සිදු වී ඇති අතර, එහිදී ලසිත්ගෙන් මුනිස්ට පන්දු යැවීම වැඩිදියුණු කිරීම සඳහා උපදෙස්ද ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.