සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 64ක ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 -0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.
ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පසුගිය ඊයේ (05දා) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49කදී කඩුලු 07ක් දැවී ලකුණු 309ක් රැස්කිරීමට සමත්විය. ඔස්ට්‍රේලියානු ඉනිම ඔසවා තැබූ ස්ටීවන් ස්මිත් (70), මිචෙල් මාෂ් (64) හා ජෝර්ජ් බේලි (54) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් (3/60) හා ස්ටීවන් ෆින් (2/55) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ. මෙම තරගය ආරම්භයේදී වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එක් පන්දුවාරයක් අඩුකිරීමට තරග තීරකවරයා කටයුතු කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 42.3 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 245 ක් පමණි. නායක ඔයින් මෝගන් රැස්කළ ලකුණු 85 හැරෙන්න කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යා හැකි ඉනිමක් ක්‍රීඩාකිරීමට කිසිදු එංගලන්ත පිතිකරුවෙකුට නොහැකි විය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් ලකුණු 56කට කඩුලු 04ක් දවාළීය. තරගයේ වීරයා ලෙස තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ මිචෙල් මාෂ් සම්මාන දිනාගත්තේය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට හෙට (08දා) මැන්චෙස්ටර්හිදී පැවැත්වේ.
ඔස්ට්‍රේලියාව 309/7 (පන්දුවාර 49)
ස්ටීවන් ස්මිත් 70 (87), මිචෙල් මාෂ් 64 (31), ජෝර්ජ් බේලි 54 (72), ග්ලෙන් මැක්ස්වෙල් 49 (38), ශේන් වොට්සන් 39 (38), ජෝ බර්න්ස් 22 (26), බෙන් ස්ටෝක්ස් 3/60 (9), ස්ටීවන් ෆින් 2/55 (9), අදිල් රශිඩ් 1/44 (7), මොයින් අලි 1/68 (8)
එංගලන්තය 245/10 (පන්දුවාර 42.3)
ඔයින් මෝගන් 85 (87), ජේම්ස් ටේලර් 43 (57), ජේසන් රෝයි 31 (32), ලියාම් ප්ලන්කෙට් 24 (12), පැට් කමින්ස් 4/56 (8.3), ග්ලෙන් මැක්ස්වෙල් 2/44 (10), මිචෙල් ස්ටාර්ක් 1/35 (7), කොල්ටර්-නයිල් 1/50 (8), මිචෙල් මාෂ් 1/51 (9)