මිනිසුන්ගේ ජීවිතයෙහි නැග්ම හා බැස්ම විවිධ කාලයන්හි දැකිය හැකිය. කලකට රජවරුන් ලෙස හැසිරෙන මිනිසුන්ම කලකදී සිය ජීවිතයන්හි ආගාධයන් සනිටුහන් කරගන්නේ ලෝක ධර්මතාව මනාව පිළිබිඹු කරමිනි.
ලොව ජනප්‍රියම පාපන්දු ලීගය, නැතහොත් ලොව වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන තරගාවලිය ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙණ එංගලන්ත ප්‍රිමියර් ලීගයේ මහා පෙරළියක් කිරීමේ නියමුවා වූ හෙතෙම මීට වසරකට පෙරදී ලෙස්ටර් සිටි කණ්ඩායම විසින් දේවත්වයෙන් පිදීමට තරම් ඉහළ මට්ටමේ සිටි අයෙකු ලෙස පැවසුවහොත් නිවැරදිය.
ප්‍රිමියර් ලීග් පෙනෙණ තෙක් මානයකවත් නොසිටි කණ්ඩායමක් වූ ලෙස්ටර් සිටි, පසුගිය වර්ෂයේදී තරගාවලියේ ශූරතාව වෙත රැගෙන ගිය ඔහුගේ සාර්ථකත්වය දෙස්විදෙස් මාධ්‍යයන්හි ඇස් ඇරවන්නක් විය. මේ අප ප්‍රස්තුතයක් ගත්තේ එංගලන්ත ප්‍රිමියර් ලීගයේ පසුගියවර ශූරයන් වූ ලෙස්ටර් සිටි කණ්ඩායමේ පුහුණුකරු වූ ක්ලෝඩියෝ රෙනේරි සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් ඔහුගේ සියලුම සාර්ථකත්වයන් මේ වනවිට අතීත කතා බවට පත්ව අවසානය. සාර්ථකත්වය නැමැති මහා කන්දෙන් එක්වරම ප්‍රපාතයට පෙරලුණු ලෙස්ටර් සිටි කණ්ඩායමට මේ වසරේ ඉතිරිවී ඇත්තේ තරගාවලියට එළඹෙන වර්ෂයේදීත් ක්‍රීඩා කිරීම සඳහා සිය ස්ථානය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් වැදීම පමණි.
තත්ත්වය මෙසේ පවතිද්දී පාලනාධිකාරිය විසින් ක්ලෝඩියෝ රෙනේරි ඉවත් කිරීමට පසුගියදා (23දා) පියවර ගත්තේ මෙම තත්ත්වය සමනයට එක් පියවරක් ලෙසිනි. ලෙස්ටර් ඉතිහාසයේ අද්විතීය සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමේ නියමුවා වූ රෙනේරිගේ ඉවත් කිරීම බොහෝ දෙනෙකු විමතියට පත්කළ කාරණයක් වුවද කණ්ඩායමේ පාලනාධිකාරිය සිය තීරණය වෙනස් කිරීමට සමත්වූයේ නැත. කණ්ඩායමේ දුර්වල දක්ෂතා හේතුවෙන් බොහෝ ප්‍රිමියර් ලීග් කණ්ඩායම්වලදී මෙන්ම වන්දි ගෙවීමට සිදුවූයේ රෙනේරිටය.
2015 වර්ෂයේ ජූලි මාසයේදී කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් වැඩ භාරගන්නා රෙනේරිට භාර වන පළමුවැනි අභියෝගය වන්නේ එම වර්ෂයේ ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ 14 වැනි ස්ථානයෙන් තරගය නිමා කරන ලෙස්ටර් කණ්ඩායම එළඹෙන වර්ෂය වෙනුවෙන් හැඩගැස්වීමය.
නමුත් එම අභියෝගයට සාර්ථකව මුහුණදුන් රෙනේරි ඊට පසු වර්ෂයේදී තරගාවලියේ ශූරතාව කර ලෙස්ටර් රැගෙන යන්නේ පැවැති තරග 38න් 23ක ජයග්‍රහණ ලෙස්ටර් වෙත ලබාදෙමිනි. එය තරගාවලි ඉතිහාසයේ තරගාවලි ජය ලෙස්ටර් වෙත හිමිවූ පළමු අවස්ථාව විය. ඒ අනුව මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලියටද සුදුසුකම් හිමිකර ගන්නා ඔවුහු එහි පළමු වටයේ 'ජී' කාණ්ඩයේ පෙරමුණ ගෙන අවසන් 16 දෙනාගේ වටයට සුදුසකම් ලබාගැනීමට සමත්වූහ.
කෙසේ වෙතත් මෙවර ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දැඩි අර්බුදයකට මුහුණදුන් ලෙස්ටර් කණ්ඩායම තරග 25කට සහභාගි වී ඇති අතර, ඉන් තරග 14ක් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ 17 වැනි ස්ථානය දක්වා පහත බැසීමට සිදුව තිබේ. ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකි වී ඇත්තේ තරග 05ක් පමණි. තවත් තරග 06ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. කෙසේ නමුත් තරගාවලියේ අවසන් ස්ථානයේ පසුවන කණ්ඩායම් 03 ලීග් 03ට එළඹෙන වර්ෂයේදී තරගාවලියේ දෙවැනි පෙළ කණ්ඩායම් අතර ක්‍රීඩා කිරීමට සිදුවන බැවින් සිය ගෞරවය බේරාගැනීම උදෙසා ලෙස්ටර් කණ්ඩායමට ඉතිරිවී ඇත්තේ තවත් තරග 13ක ප්‍රමාණයක් පමණි.
කෙසේ වෙතත් ලෙස්ටර් කණ්ඩායමේ මෙම 'හිසරදයට කොට්ටය මාරු කිරීමේ' ප්‍රතිපත්තියට මේ වනවිටත් ඇතැම් ක්‍රීඩකයන්ගේ දැඩි අප්‍රසාදය හිමිවී ඇති අතර රෙනේරි ද පවසන්නේ තමන්ගේ මෙම ඉවත් කිරීම නිසා දැඩි කනගාටුවට පත්වන බවයි.
ඒ අනුව මේ වනවිට ලෙස්ටර් කණ්ඩායමේ පුහුණුකාරීත්වය කණ්ඩායමේ අතිරේක පුහුණුකරු වූ ක්‍රේග් ෂේක්ස්පියර්ට හිමිව තිබේ.