සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කොටස යටතේ කොලඹ ඉසිපතන විදුහල හා ගල්කිස්ස විද්‍යා දෙවිදුහල් අතරේ අද (29) සවස පැවති තරගයෙන් අනතුරුව උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.
තරගය අවසන් වූ බවට තරගයේ විනිසුරුවරයා වූ රොහාන් ප්‍රනාන්දු මහතා විසින් සඥා කිරීමත් සමගින් පිටියට පිවිසි කළහකාරී කිහිප දෙනෙකු විසින් විනිසුරුවරයාට පහර දීමට උත්සාහ කරන ආකාරයත් ඔහුට තර්ජනාත්මකව බැණ වදින ආකාරයත් අප දුටු අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ඉසිපතන විදුහලේ යැයි සිතිය හැකි ඇඳුම් හැඳ සිටියහ.
කෙසේ වෙතත් ක්‍රීඩාංගණ ආරක්ෂකයින් පැමිණ විනිසුරුවරයා ක්‍රීඩාංගණයෙන් පිටතට ගෙන යාමට දැඩි වෙහෙසක් ගත් අතර පසුව විනිසුරුවරයා ක්‍රීඩාගාරයට කැඳවා ගෙන යාමට පොලිස් ආරක්ෂාව ද ලබා දීමට සිදු විය.
තරගය අතරතුරදීද විනිසුරුවරයාගේ තීරණ සඳහා ඉසිපතන විදුහලේ ප්‍රේක්ෂකයින්ගෙන් කිහිප විටක්ම අයහපත් ප්‍රතිචාර ලැබෙනු අපට දක්නට ලැබිණ.
මේ පිළිබඳ ශ්‍රී ලංකා රග්බි විනිසුරු කමිටුවේ සභාපති නිශාම් ජමල්ඩීන් මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මේ පිළිබඳ වාර්තාවක් හෙට (30) රොහාන් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් ශ්‍රී ලංකා රග්බි විනිසුරු කමිටුවට භාර දීමට නියමිත බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජමල්ඩීන් මහතා , ''මේ පිළිබඳ වාර්තාවක් තරගයේ විනිසුරු වූ රොහාන් ප්‍රනාන්දු මහතා විසින් හෙට (30) අප සංගමයට ලබා දීමට නියමිතයි. ඒ වගේම මේ සිදුවීමේ වීඩියෝ දර්ශණ හා ඡායාරූපත් අප සතුයි. මේ සාක්ෂිත් සහිතව අපි ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයට ලිඛිත පැමිණිල්ලක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.යැයි පැවසීය.