2017 වසරේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට හා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ නොපැවැත්වීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය.
"2017 වසරේ ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ අපි කරන්නෙ නෑ. තරගාවලිය නොපැවැත්වීමට අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා." යැයි අද කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත්කිරීමට සිදුවෙන බව ආසියානු ඔලිම්පික් කමිටුව දන්වා ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා මීට ඉහතදී 'අද' පුවත්පතට ප්‍රකාශ කළ අතර, නැවතත් ඊයේද අප ඔහුගෙන් විමසීමක් කළ අවස්ථාවේද සභාපතිවරයා සඳහන් කළේ ඉවත්කිරීම දක්වා ඇතත් ඒ පිළිබඳව නිල නිවේදනයක් ආසියානු ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවට එවා නොමැති බවයි.
එසේ වුවත් ක්‍රීඩා අමාත්‍යවරයා ආසියානු ඔලිම්පික් උලෙළේ සභාපතිවරයා හා සාකච්ඡා කළහොත් තරගාවලිය පැවැත්වීම හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
"ආසියානු ක්‍රීඩා උලෙළ අපෙන් නිල වශයෙන් අරගෙන නෑ. නමුත් අපට දැනුම්දීලා තියෙනවා, ඒක අපෙන් ඉවත්කිරීම සඳහා කටයුතු කරනවා කියලා. හැබැයි ඒක කරලා නෑ.
සමහර වෙලාවට අලුත් ඇමතිතුමා ගිහිල්ලා ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සභාපතිතුමා හමුවෙලා මොනවහරි කළොත් එහෙම මේක තියාගන්න පුළුවන් වෙයි. නමුත් මේ කෙටිකාලයක් තුළ ඒක කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්" යැයි සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර අද (06දා) පස්වරු 5.30ට ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය.
2017 වසරේදී ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණේ 3 වැනි වතාවටය. ඒ සඳහා රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට ආසන්න ප්‍රමාණයක් එක්වීමට නියමිතව තිබුණු බව ආසියානු ඔලිම්පික් කමිටුවේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.