වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් මත යැපෙන තත්ත්වයක් තිබෙන බවත්, එසේ නොවී අනෙකුත් ක්‍රීඩකයන්ද දක්ෂතා දැක්වි යුතු බව ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. බංග්ලාදේශයේ ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01දා) පැවැති ශ්‍රී ලංකා - ඉන්දියා තරගයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්මින් මැතිව්ස් මේ බව පවසා සිටියේය. ශ්‍රී ලංකා විස්සයි20 නිත්‍ය නායක ලසිත් මාලිංග මෙම තරගයේද විවේක ගන්වා තිබූ අතර, ඒ හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් නායක කටයුතු කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ, ආසියානු හා ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම නම් කළේ තේරීම් කමිටුව හා ලසිත් මාලිංග මැදිහත්ව බවයි. ක්‍රීඩකයන් ගැන විස්වාසය තබා ඔවුන් (තේරීම් කමිටුව/මාලිංග) කණ්ඩායම තෝරාගෙන ඇති බැවින් එම ක්‍රීඩකයන් තමන්ගේ උපරිමයෙන් ක්‍රීඩාකළ බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිව්ස්,
"අපි හිතුවා මේ ලකුණු සංඛ්‍යාව (138) ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් පළමු පන්දුවාර කිහිපයේ සාර්ථකව තරගයට අවතීර්ණවෙන්න අවස්ථාව ලැබුණත්, පින්න ආවට පස්සේ ශ්‍රී ලංකාවෙන් තරගය ගිලිහී ගියා. කෙසේ නමුත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් සමගම යැපෙන තත්ත්වයක් තියෙන්නේ. නමුත් එසේ නොවී ආධුනික ක්‍රීඩකයන්ද ඔවුන්ගේ වගකීම් ඉටුකළ යුතුයි.
මේ කණ්ඩායම තේරීම් කමිටුවයි ලසිත් මාලිංගයි තෝරලා තියෙන්නේ ආධුනික ක්‍රීඩකයන් ගැන විස්වාසය තියලා. ආසියානු තරගාවලිය අත්හදා බැලීම් සිදුකරන තරගාවලියක් නෙමෙයි. සියලු දෙනා දක්ෂතා දැක්විය යුතුයි. නවක ක්‍රීඩකයෙකුට යම් කාලයක් දෙනන් ඕන දක්ෂතා අතර එන්න. නමුත් ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ එවැනි කාලයක් දෙන්න බැහැ. කෙසේ නමුත් මෙම තරගය අපි නරකට ක්‍රීඩාකළා කියලා කියන්න බැහැ. නමුත් අපි ඉන්දීය කණ්ඩායම පරාජය කරන්න තරම් හොදින් ක්‍රීඩාකළේ නැහැ. එමනිසා මෙම තරගාවලිය අපි පාඩමක් කර ගත යුතුයි" යැයි පැවසීය.
මෙහිදී තිසර පෙරේරා ස්ටම්ප් කිරීමට හසුව දැවී යාම සම්බන්ධයෙන් ලබාදුන් විනිසුරු තීරණය ගැන අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ, ඕනෑම කෙනෙකු අතින් වැරදි සිදුවෙනවා වුවත් තාක්ෂණය ලබාගත හැකි අවස්ථාවක එය ලබාගත යුතු බවයි.
"අපි ඔක්කොම වැරදි කරනවා. නමුත් තාක්ෂණය තියෙනවා නම්, ඒ සෑම වෙලාවේම ඒ දේවල් ප්‍රයෝජනයට ගත යුතුයි. නමුත් අවාසනාවකට ක්‍රීඩකයන් හැටියට විනිසුරුවන්ගේ වැරදි ගැන පුන පුනා කථාකරන අවසර නැහැ මාධ්‍ය සාකච්චා වල. නමුත් තිසරගේ දැවීයාම පිළිබඳව ලබාදුන් තීරණය ඒ මොහොතෙ ඉක්මන් වුණා වැඩි වෙන්න පුළුවන්"