සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක් සහභාගි වන යොවුන් (19න් පහළ) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (15දා) ආරම්භ වේ. මේ සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, මැලේසියාව, නේපාලය, පාකිස්තානය, සිංගප්පූරුව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය සහභාගි වෙයි.
තරගාවලිය සඳහා 'ඒ' හා 'බී' කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් සහභාගි වන අතර, ශ්‍රී ලංකාව මෙහිදී සහභාගි වන්නේ 'ඒ' කාණ්ඩය යටතේය. තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (15දා) නේපාලයට එරෙහිව කොළඹ එන්.සී.සී. පිටියේදී පැවැත්වේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූූලස්ථානය ශ්‍රී ලංකාවේදී පසුගිය අගෝස්තු මාසයේදී පිහිටුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදී පවත්වන පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිය මෙය වේ.
තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ (14දා) කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වූ අතර, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊට සහභාගි විය. එමෙන්ම මේ සඳහා සියලුම කණ්ඩායම්වල ක්‍රීඩකයන් හා නිලධාරීහු සහභාගි වී සිටියහ.
තරගාවලියේ සමාරම්භක උලෙළේදී අදහස් පළකළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා,“රටවල් 08ක සහභාගිත්වයෙන් ආසියානු 19න් පහළ ක්‍රිකට් තරගාවලියකට සත්කාරකත්වය දැක්වීමට ලැබීම භාග්‍යයක්. ඒ වගේම ජයග්‍රහණයක්. අපි ආසියානු ක්‍රිකට් සම්මේලනය ලංකාවට ගෙනාවා. මේ තරගාවලිය සාර්ථක කරගැනීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා ආසියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශාල ශක්තියක් ලබාදෙන්න. ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10න් 04ක්ම ආසියානු රටවල්.
අපි බංග්ලාදේශයට උදවු කළා වගේම ඇෆ්ගනිස්තානයට , ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවලට උදවු කළා. උදවු කරලා ඔවුන්ව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවර්ධන කමිටු සභාපතිවරයා වශයෙන් මෙය වර්ෂයක් පාසා පැවැත්වීමට මම යෝජනා කළා. ඒ අනුව ලබන අවුරුද්දේ ඉන්දියාවේදීත් ඊට පසුව බංග්ලාදේශයෙන් අනතුරුව පාකිස්තානයෙත් මෙම තරගාවලිය පැවැත්වීමට අපේක්ෂා කරනවා" යැයි පවසා සිටියේය.
තරගාවලියේ පළමු වටයේ තරග එළඹෙන 18 වැනිදා අවසන් වන අතර, අවසන් පූර්ව වටයේ තරග එළඹෙන 20 වැනිදා හා 21 වැනිදා පැවැත්වීමෙන් පසු අවසන් තරගය එළඹෙන 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.