ශ්රී ලංකා ගුවන් හමුදා 65 වැනි සංවත්සරයට සමගාමීව පැවැති 17 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ කේවල පිරිමි ශූරතාව ගුවන් හමුදාවේ අශේන් තාරුකද කේවල කාන්තා ශූරතාව යූ.ඩී. ශ්රියාලතාද හිමිකරගනිමින් පෙරේදා (27දා) ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ග්රීන් ක්රීඩාපිටියේදී නිමාවට පත්විය.
තරගයේ කේවල අනුශූරතාව හා තෙවැනි ස්ථාන පිළිවෙළින් යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ක්රීඩා සමාජයේ නිශාන්ත පෙරේරා දිනාගත්හ.
පසුගිය 25දා සිට පුරා දින තුනක් පුරා අදිරය තුනකින් පැවැති පිරිමි ඉසව්වේ සමස්ත දුර කිලෝමීටර් 442ක් වූ අතර, කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා වූ පළමු අදියර කිලෝමීටර් 178කින් සමන්විත වූ අතර, එහි පළමු ස්ථානය අශේන් තාරුක විසින් හිමිකර ගන්නා ලදී.
තරගයේ දෙවැනි අදියර 26දා ගුවන් හමුදා වීරවිල කඳවුරේ සිට කොග්ගල කඳවුර දක්වා කි.මී. 131 ක දුරකින් යුක්ත විය. එම අදියරේ ජය ශ්රී ලංකා ගුවන් හමුදාවේ නිදුෂ් නිරන්ත හිමිකර ගත්තේය. තරගයේ අවසන් හා තෙවැනි අදියර 27දා ගුවන් හමුදා කොග්ගල කඳවුරේ සිට ගුවන් හමුදා මූලස්ථානය දක්වා කි. මී. 133 ක දුරකින් යුක්ත වූ අතර, එහි ජයග්රහණය ගුවන් හමුදාවේම ජීවන් ජයසිංහ විසින් හිමිකර ගන්නා ලදී.
තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා යුද හමුදා ඒ කණ්ඩායම සමත්වූ අතර ශ්රී ලංකා ගුවන් හමුදා ඒ කණ්ඩායම එහි අනුශූරතාව හිමිකර ගන්නා ලදී. පිරිමි තරගය සඳහා ත්රිවිධ හමුදාව, ශ්රී ලංකා පොලීසිය මෙන්ම පාකිස්තානය, බංගලාදේශය ආදී විදෙස් ක්රීඩා සමාජ ඇතුළුව ක්රීඩා සමාජ 15ක් පමණ නියෝජනය කරමින් තරගකරුවන් 183 දෙනෙක් සහභාගි වූහ
කාන්තා පාපැදි තරගය 27දා ඒකල ගුවන් හමුදා කඳවුර අසල සිට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා කි.මී. 65.5 ක දුරකින් සමන්විතව පැවැත්විණ. තරගකාරියන් 50 දෙනෙකු ඒ සඳහා එක්වූහ.ගුවන් හමුදා පාපැදි සවාරියේ දක්ෂතම ස්ප්රින්ට් ශූරයා ලෙස ගුවන් හමුදා ක්රීඩක ජීවන් ජයසිංහත්, දක්ෂතම ස්ප්රින්ට් ශූරිය ලෙස රංජිත් අරුණ පාපැදි ක්රීඩා සමාජයේ යූ.ඩී. ශ්රීයාලතාත් සම්මාන හිමිකර ගත්හ. අබාන්ස් ආයතයේ ප්රධාන අනුග්රහයෙන් තරගාවලිය පැවැත්විණ.