දක්ෂතම මෝටර් රථ ධාවකයා සම්මානය අශාන් සිල්වාටත්, දක්ෂතම යතුරුපැදි ධාවකයා සම්මානය ඉෂාන් දසනායකටත් හිමි කර දෙමින් 2017 ෆොක්ස් හිල් (නරියා කන්ද) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය අද (22) දියතලාවේදී නිමාවට පත් විය.
මෝටර් රථ හා යතුරු පැදි අංශ 22 ක් යටත් පැවති තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් මෙන්ම ශූරතාව සඳහා වැදගත් වූ සුපර් කාර් (එස්.එල්.ජී.ටී. සි.ධා. 3500 ඉක්මවූ) මෝටර් රථ ඉසව්වේ තනි ආධිපත්‍යයය සියතට ගත් අශාන් සිල්වා එහි තරග ඉසව් ද්විත්වයේම ශූරතාව දිනා ගත් අතර ඔහු මීට පෙර 2013 හා 2015 වර්ෂයන් හිදීද මෙහි ශූරතාව දිනා ගැනීමට සමත් වී ඇත.
පසුගිය වසරේ ස්ලාඩා වසරේ යතුරු පැදි ශූරතාව දිනා ගත් ඉෂාන් දසනායක මෙහිදී ශූරතාවට වැදගත් වූ මෝටර් ක්‍රොස් සි.ධා. 175-250 දක්වා අංශයේ ඉසව් ද්විත්වයේම ශූරතාව දිනා ගත්තේ අනෙකු තරගකරුවන්ට තියුණු සටනක් ලබා දෙමිනි.
ඉෂාන් ෆොක්ස් හිල් යතුරු පැදි ශූරතාව පිට පිට දිනාගත් දෙවැනි අවස්ථාව මෙය විය.
මීට අමතරව මෙහි කණ්ඩායම් යතුරු පැදි ශූරතාව ඉවෝන් බියාජී ගුරුසිංහ හා ළහිරු ජීවන්ත ගෙන් සැදුම්ලත් සියැට් කණ්ඩායම විසින් හිමි කර ගනිද්දී කණ්ඩායම් ශූරතාව දිනා ගත්තේ දිනේෂ් ජයවර්ධන හා ෂෙහාරා ජයවර්ධනගෙන් සැදුම්ලත් මැක්ලරන්ස් කණ්ඩායමයි.
25 වැනි වරට පැවති මෙවර තරගාවලියේ නිළ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙසින් විජය පුවත්පත් සමාගම ක්‍රියා කලේය.
ඉෂාන් දසනායක
අශාන් සිල්වා
දක්ෂතම යතුරු පැදි ධාවකයා වූ ඉෂාන් දසනායක හා දක්ෂතම මෝටර් රථ ධාවකයා වූ අශාන් සිල්වා
ඡායාරූප - චානුක කුලසේකර