සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (28දා) කොළඹ එස්.එස්.සී පිටියේදී ආරම්භ වේ. මේ වනවිට කණ්ඩායම් දෙකම එක් තරගයක් බැගින් ජය හිමිකරගෙන සිටින හෙයින් මෙම තරගය කණ්ඩායම් දෙකටම එකසේ වැදගත්ය.
රංගන හේරත් හැරෙන්නට සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම තරුණ ක්‍රීඩකයන් බැවින් අවසන් තරගයේ ජයග්‍රහණය කෙසේ වෙතත් ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් එය ජයග්‍රහණයකි. මන්ද එසේ වුවහොත් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවන බැවිනි. කෙසේ වෙතත් සිය අවසන් තරගයේ දී කුමාර් සංගක්කාර සඳහන් කළ පරිදිම පරාජයට බිය නොවී ජයග්‍රහණය වෙනුවෙන් සටනක් ලබාදිය යුතුය.
ඉන්දීය කණ්ඩායමට සටනක් ලබාදීමට නම් මේ වනවිට ඔවුන්ගේ ප්‍රධානම පන්දු යවන්නා බවට පත්ව සිටින රවිචන්ද්‍රන් අශ්වින් පාලනය කරගත යුතුව ඇත. ඒ සඳහා දකුණත් පිතිකරුවන්ට වැඩි වැඩ කොටසක් කිරීමට සිදුව ඇත. මන්ද ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින වමත් පිතිකරුවන් ලකුණු අතර නොසිටීමත් ඔවුන් පීඩනයට හසුව සිටින බැවිනි. තවද දකුණත් පිතිකරුවන් අතරින් නායක මැතිව්ස්ට සහ චන්දිමාල්ට අශ්වින් පාලනය කරගැනීම වෙනුවෙන් ඉදිරියට පැමිණීමට සිදුවේ. ඒ මැතිව්ස් සහ චන්දිමාල් ලකුණු අතර සිටීම මෙන්ම, ඔවුන් දෙදෙනා හොඳින් ස්විප් පහරද එල්ල කරන බැවිනි. අශ්වින් පාලනයට ස්විප් පහර හොඳ ආයුධයකි.
පන්දුවට පහරදීමේ දී ඉන්දීය පිතිකරුවන්ට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියේ ස්ථාවරවීමට වැඩි වේලාවක් ගන්නා අතර එසේ ස්ථාවර වූ පසුවද කෙටි ලකුණු ලබාගනිමින් ඉන්දීය පන්දු යවන්නන් පීඩනයට හසුකර ගැනීමට උත්සාහ නොකිරීමද ගැටලුකි. බොහෝ ශ්‍රී ලංකා පිතිකරුවන් පසුගිය තරග දෙක තුළදීම හැකි සෑම අවස්ථාවකදීම උත්සාහ කරනු ලැබුවේ කඩුල්ල ආරක්ෂා කරගැනීමට පමණි. කඩුල්ල ආරක්ෂා කරගනිමින් ලකුණු ලබාගැනීමද කළ යුතුව ඇත. කඩුල්ල ආරක්ෂා වුවද ලකුණු නොලැබුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට හසුවනු ඇත. එමෙන්ම එය ඉන්දීය පන්දු යවන්නන්ට පිටියේ ස්ථාවරවීමටද අවස්ථාවකි. එසේ ඉන්දීය පන්දු යවන්නන් පිටියේ ස්ථාවර වුවහොත් ඔවුන්ගෙන් ලකුණු ලබාගැනීම එතරම් පහසු නැත. එබැවින් තම කඩුල්ල රැකගනිමින්, කෙටි ලකුණු ලබාගනිමින් සිය අන්තයන් මාරු කරගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදුවේ. විශේෂයෙන්ම ආරම්භක පිතිකරු ලෙසින් කෞෂාල් සිල්වා අද තරගයට ක්‍රීඩා කරන්නේ නම් ඔහු මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීම ඔහුට මෙන්ම කණ්ඩායමටද එකසේ වැදගත්ය.
කුමාර් සංගක්කාර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ද සමුගත් බැවින් ඔහුගෙන් හිස්වූ අංක තුන ස්ථානයට උපුල් තරංග ක්‍රීඩා කරනු ඇත. උපුල් පාකිස්තානු තරගාවලියේ දී අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු අතරට පිවිසියද සංගක්කාර ක්‍රීඩා කළ හෙයින් ඔහුට පසුගිය තරග දෙක තුළදී කණ්ඩායමේ ස්ථානය අහිමි විය. එහෙයින් සංගක්කාර නොමැති බැවින් උපුල් අද තරගයේදී අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරනු ඇතැයි අපගේ විශ්වාසයයි.
අන්තර් සමාජ තරගවලදී ඉතා විශිෂ්ට ලෙස දක්ෂතා දැක්වුවද මුබාරක්ට අන්තර්ජාතික තරගවලදී දක්ෂතා නොදැක්වීම ගැටලුවකි. එසේ වන්නේ ඔහුගේ දුර්වලතාවක් හේතුවෙන්ද එසේ නොමැතිනම් මෙරට අන්තර් සමාජ තරගවල තත්ත්වය එතරම් උසස් මට්ටමක නොමැති නිසාද යන්න විමසා බැලිය යුතුව ඇත. කෙසේ වෙතත් මුබාරක්ට ලකුණු අතරට ප්‍රවිෂ්ටවීමට අවස්ථාවක් හිමිනොවූ බැවින් අද තරගයේ දී ඔහුගේ ස්ථානය සම්බන්ධයෙන් විශ්වාසයක් තබා ගැනීමට නොහැකි තත්ත්වයක් දැකගත හැකිය. මුබාරක් අද තරගය ක්‍රීඩා නොකරන්නේ නම් ඔහුගේ ස්ථානය කුසල් පෙරේරාට හිමිවීමට වැඩි අවස්ථාවක් ඇත. කුසල් අවසන් 11 දෙනා අතරට පැමිණෙන්නෙ නම් එය දිමුත් කරුණාරත්නටද පීඩනයකි. මන්ද කුසල් ආරම්භක පිතිකරුවෙකු බැවින් දිමුත් දිගින් දිගටම අසාර්ථක වන්නේ ඔහුගේ ස්ථානයට කුසල් යොදාගැනීමට මැතිව්ස්ට හා මාවන් අතපත්තුට අවස්ථාව ඇති බැවිනි. එහෙයින් අද තරගයේ දී ආරම්භක පිතිකරු ලෙසින් ක්‍රීඩා කිරීමට දිමුත්ට අවස්ථාව උදාවුවහොත් ලකුණු අතරට පිවිසීමට දිමුත්ට සිදුවේ. එසේ නොවුනහොත් ඔහුගේ ස්ථානය සම්බන්ධයෙන්ද විශ්වාසයක් තබාගැනීමට නොහැකිවනු ඇත.
තරිඳු කෞෂාල්ද ආබාධයකට ලක්ව ඇති අතර ඊයේ (27දා) සන්ධ්‍යාව වනවිටත් ඔහු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොතිබුණි. කෙසේ වෙතත් තරිඳු අද තරගයට ක්‍රීඩා නොකරන්නේ නම් රංගන හේරත්ගේ සහායක පන්දු යවන්නා ලෙස ඩිල්රුවන් පෙරේරා යොදා ගනු ඇතැයි අපගේ විශ්වාසයයි.
ජාත්‍යන්තර තරගයක් ජයග්‍රහණය කරවීම පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට පමණක් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා පන්දු රකින්නන්ගෙන්ද හොඳ සහායක් අවශ්‍යය. විශේෂයෙන්ම ජාත්‍යන්තර තරගවලදී මෙය තදින්ම දැනෙන්නකි. අන්තර්ජාතික තරගවලදී බාග අවස්ථාවන්ද උඩ පන්දු බවට පත්කරගනිමින් කඩුල්ලක් දවාගැනීම කළ යුතුව ඇත. ඉන් පන්දු යවන්නන්ට එල්ලවන පීඩනයෙන් ඔවුන්ව මුදවා ගැනීමට පන්දු රකින්නන්ට සහායක් ලබාදිය හැකිය. ජාත්‍යන්තර තරග බිමේදී එය දැකගත හැකි දෙයකි. එහෙත් නවක ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් එවැනි දායකත්වයක් නොලැබීම ගැටලුවකි. විශේෂයෙන්ම දෙවැනි තරගයේ පළමු ඉනිම පළමු තරග සමයේදී ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ලබාදුන්, රැකගත හැකිව තිබූ උඩ පන්දුව මුබාරක් රැකගත්තේ නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබූ බවද මතක තබාගත යුතුය. එහෙයින් ලැබෙන අවස්ථාවන් රැකගැනීම මෙන්ම, බාග අවස්ථාවන් උඩ පන්දු බවට පරිවර්තනය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උත්සාහ කළ යුතුය.
ඉන්දීය ආරම්භක පිතිකරු මුරලි විජේ සහ කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සහා ආබාධයන් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්කර ඇති අතර, ඒ සඳහා නමන් ඕජා සහ කුරුන් නෙයිර් කණ්ඩායමට කැඳවා ඇත. ඔවුන් දෙදෙනා අතරින් නමන් ඕජා අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. එමෙන්ම මුරලි විජේ වෙනුවට චෙටෙස්වර් පුජාරා අද තරගයේ දී අවසන් 11 දෙනා අතරට එක්වනු ඇතැයි සිතිය හැකිය. පුජාරාද දිගු ඉනිම් ක්‍රීඩා කළ හැකි පිතිකරුවෙකි. පසුගිය තරගාවලි කිහිපයකදී ලකුණු අතර නොසිටි බැවින් පුජාරාට කණ්ඩායමේ ස්ථානය අහිමි විය. එහෙයින් නැවතත් අවස්ථාවක් හිමිවනතුරු පුජාරා ඇඟිලි ගැන ගැන සිටියේය. අද ඔහුට ඒ සඳහා අවස්ථාවක් හිමිවුවහොත් සිය ස්ථානය තවදුරටත් රැකගැනීමට ඔහු සටනක් දෙනු ඇත. විරාට් කෝලි සහ අජින්ක්‍යො රහානේ, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කළ හැකි සෙසු පිතිකරුවන්ය. රහානේ පිතිකරණ ලැයිස්තුවේ අංක 3 ස්ථානයෙත් කෝලි පිතිකරණ ලැයිස්තුවේ අංක 4 ස්ථානයෙත් ක්‍රීඩා කරමින් පිටියේ ස්ථාවර වුවහොත් ඉන්දීය කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑම වැළැක්විය නොහැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම -
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, තරිඳු කෞෂාල්, ජෙහාන් මුබාරක්, ඩිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, කෞෂාල් සිල්වා, උපුල් තරංග, ධම්මික ප්‍රසාද්
ඉන්දීය කණ්ඩායම -
විරාත් කෝලි (නායක), වරුන් ආරොන්, රවිචන්ද්‍රන් අශ්වින්, ස්ටුවර්ට් බිනී, හර්බජන් සිං, අමිත් මිශ්රා, කරුන් නයිර්, නමන් ඔජා, චෙටෙස්වර් පුජාරා, අජින්ක්‍යො රහානේ, ලෝකේෂ් රාහුල්, ඉශාන්ත් ශර්මා, උමේෂ් යාදව්, රෝහිත් ශර්මා