අශ්වයන්ගේ තහනම් උත්තේජක පරීක්ෂාවක් සිදුනොකර තරග පැවැත්වීමට මින් ඉදිරියට අවසර ලබානොදෙන බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
නුවර එළියේදී අශ්වයන්ගේ තහනම් උත්තේජක පරීක්ෂාවට සිදුවූ බාධාකිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට නීතිපති අවසර ලැබුණු බවද ඔහු සඳහන් කරයි.
'ගවනර්ස් කප්' තුරඟ තරගයේ ඇතිවූ ගැටලුව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් ඊයේ (28දා) %අද^ කළ විමසුමකදී මහාචාර්යවරයා මේ බව පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන ද සිල්වා මහතා, "ගවනර්ස් කප්^තුරඟ තරගයේ ඇතිවූ ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට නීතිපති අපට (ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයට) අවසර ලබාදී තිබෙනවා. එම නිසා මෙම ගැටලුව ඇතිවූ පාර්ශ්වකරුවන් සමග මැයි 10 වැනිදා සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගන්නවා. නමුත් මින් ඉදිරියට අශ්වයන්ගේ පරීක්ෂාවකින් තොරව තරග පවත්වන්න බැහැ. සියලු අශ්වයන් අප ආයතනයේ නියෝජිතයන් ලවා පරීක්ෂා කරවා යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා." යැයි පැවසීය.
නුවරඑළිය තුරඟ තරග ධාවන පථයේ පසුගියදා (15දා) පැවැති 'ගවනර්ස් කප්' තුරඟ තරගය සඳහා සහභාගී වන අශ්වයන්ගේ තහනම් උත්තේජක පරීක්ෂාවක් සිදුකිරීමට ගිය ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ වෛද්‍යවරුන්ට එම කර්තව්‍යය සිදුකිරීමට තරගාවලියේ සංවිධායකයෝ අවස්ථාව ලබා නොදුන්හ. පෙර කරන ලද දැන්වීමකින් පසු එම වෛද්‍ය කණ්ඩායම අසුන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂාවට පැමිණියද, සංවිධායකයෝ විරෝධතාවක් එල්ලකරමින් ඔවුන්ට එම රාජකාරිය කිරීම වළක්වා ඇත. ඒ හේතුවෙන් වෛද්‍යවරු නුවරඑළිය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක්ද සටහන් කිරීමට කටයුතු කළහ.