පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරලගාවලියේ සුපිරි දස දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවැනි තරගය හෙට (20දා) ඉන්දියාවේ බැංග්ලෝර් හි එම්. චින්නස්වාමි පිටියේ දී ආරම්භවීමට නියමිතය. ඒ බ.ඉ. කොදෙව් කණ්ඩායම සමඟිනි. සුපිරි දස දෙනාගේ වටය ආරම්භ කරමින් පසුගිය 17වැනිදා ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමඟ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක ජයක් හිමිකරගත් අතර පසුගිය 16 වැනිදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගයෙන් බ.ඉ.කොදෙව් කණ්ඩායම ද කඩුලු 6ක ජයක් හිමිකර ගත්තේය. තමන් මුහුණ දෙන දෙවැනි තරගය කණ්ඩායම් දෙකටම එකසේ වැදගත්ය. ඒ මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට අර්ධ අවසන් වටයේ තරග වෙනුවෙන් තම ස්ථානය වෙන්කර ගැනීමට වැඩි අවස්ථාවක් පවතින බැවිණි. එහෙයින් හෙට තියුණු තරගයක් දැකබලා ගැනීමේ අවස්ථාව ක්‍රිකට් ලෝලීන්ට උදාවනු ඇත.
මෙම සටහන තබන මොහොත වනවිට බ.ඉ.කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තරමක් ඉදිරියෙන් පසුවේ. ජාත්‍යන්තර තරග බිමේ තවමත් ආධුනික කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට යම් තරගයක් ලබාදෙන්නට සිදු වුවද එංගලන්ත කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමට කොදෙව්වන්ට හැකි වූ බැවින් මේ මොහොතවන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා කොදෙව්වන් ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රමයෙන් සිය අධිපත්‍ය පතුරුවන කණ්ඩායමක් බැවින් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබාගත් සාර්ථක ආරම්භය පන්දුවාර විස්සයි20 තරග රටාවේ සිය ස්ථානය මෙන්ම ලෝක කුසලාන තරගාවලදී සිය සාර්ථකත්වය තව තවත් පසක් කිරීමට අවස්ථාවක් කරගනු ඇතැයි සියලු දෙනාගේ අපේක්ෂාවයි'
මෙවර තරගාවලියේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව මුහුණදුන් පළමු තරඟයේ දී පන්දු යවන්නන් භාවිත කළ ආකාරය ගැන එතරම් සැහීමට පත්විය නොහැක. ඇෆ්ගනිස්තානය හමුවේ ඔවුන් යම් සාර්ථකත්වයක් ලබාගත්තද එම පන්දු යැවීමේ සංයුතිය බ.ඉ.කොදෙව්වන්ට හිතකර බවක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම වේග පන්දු යවන්නන් හමුවේ කොදෙව්වන් හොඳින් පන්දුවට පහර දෙන බැවින් ශ්‍රී ලංකා නායකයා පළමු තරගයට යෝදාගත් පන්දු යැවීමේ සංයුතිය කොදෙව්වන්ට හිතකරය.
මේ නිසා රංගනගේ සහායට සචිත්ර දඟ පන්දු යවන්නෙකු ලෙස අවසන් 11 දෙනා අතර සිටිය යුතු යැයි අප විශ්වාස කරන්නෙමු. එසේ නොමැතිනම් රංගනට අමතරව මිලින්ද, ශේහාන් සහ ඩිල්ෂාන් යෝදා ගනිමින් වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යවා ගැනීමට මැතිව්ස් උත්සාහ කළ යුතුව ඇත. එය කණ්ඩායම වැඩිවාසි අත්කරගත හැකි තත්ත්වයක් යැයි අපගේ හැඟීමයි. කෙසේ වෙතත් මැතිව්ස්ට තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් ගැන එතරම් විශ්වාසයක් නොමැති බවක් පෙනේ. තවද එක් දඟ පන්දු යවන්නෙකු ප්‍රහාරයට ලක්වූ සැණින් සෙසු දඟ පන්දු යවන්නන් ගැන ඇති විශ්වාසය බිඳ ගැනීමද මැතිව්ස්ගේ දුර්වලතාවයකි. එමෙන්ම පන්දුවාර 6 සිට 15 දක්වා පන්දු යවන්නන් කළමණාකරණය කරගැනීමේ ගැටලුවක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් දිස්වේ. එය මෙම තරගාවලියේ ඉදිරියට යෑමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසියකි.
ආසියානු කළාපයේ තණතිලිවල තරග වදිද්දී දඟ පන්දු යවන්නන් වැඩි ප්‍රතිඵල අත්කර ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම එම වාසිය අමතක කොට කටයුතු කිරීම ගැටලුවකි. විශේෂයෙන් ඉන්දියාවේ දී දඟ කැවීමක් සමග ඉපිලීමක් සහිත තණතිලිවල තරග වදිද්දී දඟ පන්දු යවන්නන් හමුවේ පිතිකරුවන් නිරන්තරයෙන් පීඩනයට හසුවන බැවින් එහි වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුය. මේ දක්වා පැවැති තරගවලදී නවසීලන්තය එහි වාසිය උපරිමයෙන් ලබාගත් කණ්ඩායමවේ. වේග පන්දු යවන්නන් ගැන කවදත් වැඩි විශ්වාසයකින් කටයුතු කරන නවසීලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ දී දඟ පන්දු යවන්නන් ගැන වැඩි විශ්වාසයක් තබා ඇති බවක් පෙනේ.
විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව තරගයේ දී ඔවුන් දඟ පන්දු යවන්නන් තිදෙනෙකුම යෝදාගත් අතර ඔවුන් තිදෙනාම සාර්ථකවිය. එමෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ද නවසීලන්තයේ දඟ පන්දු යවන්නන් සාර්ථක විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ සංයුතියද තවමත් නිසි පරිදි ස්ථාවරව නොමැති බවක් දැකගත හැකිය. විශේෂයෙන්ම ළහිරු තිරිමාන්න තවමත් සුපුරුදු රිද්මයේ නොසිටීම කණ්ඩායමට ආවාසියකි. ළහිරු පුහුණු තරග දෙකේදීම ලකුණු අතරට පිවිසියද අවශ්‍යම මොහොතේ ආසාර්ථකවීම ඔහුට පමණක් නොව කණ්ඩායමටද පීඩනය ගෙන දෙන්නකි. ළහිරු පන්දුවට පහරදීමට පැමිණි පසු පිටියේ ස්ථාවරවීමට පන්දු කිහිපයක් ලබාගැනීමද කණ්ඩායමට එතරම් හිතකර තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම පන්දුවාර විස්සයි20 තරග රටාවේ දී එසේ ස්ථාවරවීම සඳහා පන්දු කිහිපයක් ලබාගැනීමට අවස්ථාවක් නොමැත. එහෙයින් ළහිරු පන්දුවර පහරදීමට පැමිණි පසු පළමු පන්දුවේ සිටම පන්දු නිවැරදිව ස්ථානගත කරමින් කෙටි ලකුණු ලබාගැනීමට උත්සාහ කළ යුතුය.
එසේ කිරීමට ඔහුට හැකිවුවහොත් අනිත් අන්තයේ සිටින පිතිකරුවාගේ පීඩනය අවම කළ හැකි අතර ප්‍රතිවාදීන්ද පීඩනයට හසුකර ගත හැකිය. එසේ නොවන්නට ළහිරු පිටියේ ස්ථාවරවීමට පන්දු කිහිපයක් වැයකළ හොත් එය ප්‍රතිවාදීන්ට නැවත තරගයට පැමිණීමට අවස්ථාවක් ලබා දෙන්නක් වේ. එපමණක් නොව අනිත් අන්තයේ සිටින පිතිකරුවාද පීඩනයට හසුකරවන්නකි. එවැනි අවස්ථාවලදී කඩුලු එකක් හෝ දෙකක් ඇදවැටීම වුවද සිදුවිය හැක. එසේ වුවහොත් නැවත තරගයට පිවිසීමට අවස්ථාවක් පවා හිමිනොවනු ඇත. ඇෆ්ගනිස්තානය හමුවේ ද එය එසේ සිදුවුවද ඔවුන් තවමත් ජාත්‍යන්තර පිටියේ ආධුනික කණ්ඩායමක් බැවින් ඔවුන්ගෙන් එල්ල වූ පීඩනය පාලනය කර ගැනීමට සෙසු පිතිකරුවන්ට හැකිවිණි. එහෙත් සෙසු කණ්ඩායම් වෙතින් එවැනි සහනයක් කිසිසේත්ම හිමි නොවනු ඇත. එබැවින් ළහිරු වේගවත් පහරවල් කරා නොගියද කෙටි ලකුණු ලබාගත යුතුව ඇත.
පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ශතක දෙකක් වාර්තා කළ පිතිකරුවෙකු වේ නම් ඒ ක්‍රිස් ගේල් පමණි. එමෙන්ම පන්දුවාර විස්සයි20 තරග රටාව ක්‍රිස් ගේල්ට කඳිමට ගැලපෙන තරග රටාවද වේ. එහෙයින් ක්‍රිස් ගේල් සාර්ථක වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ගැන හිතන්නටවත් අවස්ථාවක් හිමි නොවනු ඇත. එබැවින් පන්දුවට පහරදීමට පැමිණි විගසම ගේල් දවා ගැනීමට හැකිවුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියකි. එමෙන්ම මාලන් සැමුවෙල්, ඇන්ඩෘ රසල්, ජෝන්සන් චාර්ල්ස්, ඩැරන් බ්රාවෝ සහ ඩැරන් සාමි බ.ඉ.කොදෙව් කණ්ඩායමේ ශක්තිය වේ. මොවුන් සියළු දෙනාම පාහේ අයි.පී.එල් තරගාවලියට සම්බන්ධව සිටින බැවින් පන්දුවාර විස්සයි20 තරග රටාව ගැන මෙන්ම ඉන්දියානු තණතීරු සම්බන්ධයෙන් ද අත්දැකීම් ඇති ක්‍රීඩකයින්ය. එය ඔවුන්ට වාසියකි. විශේෂයෙන්ම ගේල්ට අමතරව බ්රාවෝ සහ රසල් ද ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි පීඩනයක් එල්ල කළ හැකි ක්රීඩකයින්වේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතය.