පළමු තරගය පරාජය වූ හෙයින් ඉන්දීය කණ්ඩායම ඉදිරි තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු තරගයක් ලබාදෙනු ඇති බවත්, එමනිසා තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතර සිටිය යුතු බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) අවසන් වූ පළමු ටෙස්ට් තරගය ජයගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා මෙම අදහස් දැක්වීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා,
"තරගාවලියෙ අපි තාම පළමු තරගය පමණයි ජයග්‍රණය කළෙ. තවත් තරග දෙකක් තිබෙනවා. ඉදිරි තරගයේදී ඔවුන් අපිට ලොකු තරගයක් දෙන්න බලාගෙන ඉන්නේ. එමනිසා ඔවුන්ව අපට ලේසියෙන් පරාජය කරන්න බැහැ. ඉදිරියේදී අපි තවත් දක්ෂතා දක්වන්න ඕන".
දිනේෂ් චන්දිමාල්ගේ පිතිහරඹය, රංගන හේරත්ගේ හා තරිඳු කෞෂාල්ගේ පන්දු යැවීම විශේෂ ලෙස බලපෑවත් සමස්ත කණ්ඩායමේම දායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට ඉවහල් වූ බව මැතිව්ස් මෙහිදී පවසා සිටියේය.
"දින තුන හමාරක් ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටියා. නමුත් දෙවැනි ඉනිමේදී චන්දිමාල් හොඳින් ක්‍රීඩාකළා. ඒ වගේම රංගන හේරත් හා තරිඳු කෞෂාල් තනියම මේ තරගය ජයග්‍රහණයට දායකත්වය දුන්නා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේම දායකත්වය මෙම ජයග්‍රණයට හේතු වුණා."
මගේ පැත්තෙන් මට පුළුවන් දේ උපරිමයෙන් කළා - රංගන හේරත්
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට තමන්ගේ පැත්තෙන් කණ්ඩායමට අවැසි දායකත්වය උපරිමයෙන් ලබාදුන් බව මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් රංගන හේරත් පවසා සිටියේය. කෙසේ නමුත් මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ සේවාවේ ආසන්නයට හෝ යාමට තමන්ට නොහැකි බව හෙතෙම පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ හේරත්,
"මුරලි කණ්ඩායමෙන් සමුගත් දින සිට එයා කරපු හැමදේම මම කරන්න මට හැකියාවක් ලැබුණෙ නැහැ. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට කරපු දේ මම කරලා නැනැ, මම හිතන් නැහැ මට ඒ ළඟටවත් යන්න පුළුවන් වෙයි කියලා. මුරලි අදටත් ලෝකයේ ඉන්න අංක එකේ පන්දු යවන්නා. එමනිසා මම ගොඩක් උත්සාහ කළෙ මගේ පැත්තෙන් මට පුළුවන් දේ කණ්ඩායමට ලබා දෙන්න"
රංගන හේරත්ගේ සහායක පන්දු යවන්නා ලෙස මෙම තරගයේදීද තරිඳු කෞෂාල් කටයුතු කළේය. ඔහු පිළිබඳ අදහස් දක්වමින් හේරත් පවසා සිටියේ, කෞෂාල්ට අත්දැකීම් තව ගොඩක් අවශ්‍ය බවත්, ඒ සඳහා ඔහු වැඩි වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ක්‍රීඩාකළ යුතු බවත්ය.
"මම හිතන්නෙ කෞෂාල් අපි එක්ක ඉදිරියට යන්න. ඔහුට ඉදිරියේදී අත්දැකීම් ගොඩක් අවශ්‍යයි. ඒ අත්දැකීමත් එක්ක පුහුණුකරුවන් හා වැඩකරලා එයාගේ දියුණුකරගත යුතු තැන් හදාගත්තොත් එයාට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මේ වයසත් එක්ක එයා දක්වන දක්ෂතා එක්ක එයා ගොඩක් හොඳ තැනක ඉන්නවා"