ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටදී තරග 3-0 ක් ලෙස පරාජය කළා සේම, මේ දිනවල පූර්ණ තරගාවලියකට දිවයිනට පැමිණ සිටින ඉන්දීය කණ්ඩායමද පරාජයට පත්කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක උපුල් තරංග පැවසීය.
තරංග මේ බව සඳහන් කළේ ඊයේ (20දා) කොල්ලුපිටිය මූවන්පික් හෝටලයේ ශ්‍රී ලංකා - ඉන්දීය ක්‍රිකට් තරගාවලිය පිළිබඳ පැවති මාධ්‍ය හමුවේදීය.
උණ රෝගය වැලඳීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් මෙම මාධ්‍ය හමුවට සහභාගි නොවුණු අතර, ඔහුගේ තත්ත්වය තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා බරපතළ නොවන බවත්, දින දෙකකින් පසු ඔහු යළිත් පුහුණුවීම්වලට එක්වන බවත් ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා එහිදී පවසා සිටියේය.
තරගාවලිය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් තරංග,
''අපට ලොකු අවස්ථාවක් ඉන්දීය කණ්ඩායම සමග තරග කරන්න ලැබිලා තියෙනවා. ඔවුන් ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම. ලෝකයේ අංක එකේ කණ්ඩායමත් සමග ක්‍රීඩා කරලා අපේ දක්ෂතා පෙන්වන්න මෙම තරගාවලිය අපට හොඳ අවස්ථාවක්. කණ්ඩායමක් විදිහට ඉන්දීය තරගාවලියට අපේ හොඳ සූදානමක් තිබෙනවා යැයි ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මීට වසර 02කට පෙර ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණු අතර, එම තරගාවලිය ජයගත්තේද අත්දැකීම් අඩු නායකයෙකු වූ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමයි. එහිදී දැක්වූ දස්කම් හා මෙවර තරගාවලිය පිළිබඳ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි දැක්වූයේ මෙවැනි අදහසකි.
“අපි මීට පෙරත් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබෙනවා. අපි එහිදී එම තරගාවලිය සාර්ථකව නිමා කරගත්තා. ශ්‍රී ලංකාව කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ආසම රටක්. ඒ වගේම උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතනවා උසස් තරගකාරී තරගාවලියක් ක්‍රීඩා කිරීමට.
අපි 2014/15 කාලයේ ඔස්ට්‍රේලියානු සංචරය නිමා කරලයි ලංකාවට ආවේ. ඒ ආපු කණ්ඩායම වැඩි අත්දැකීම් තිබුණු කණ්ඩායමක් නොවෙයි. එහෙත් අපට තරගාවලිය ජයගන්න හැකිවුණා. එම තරගාවලියට සංගක්කාර, මැතිව්ස්, රංගන, ධම්මික, ප්‍රසාද් යන ක්‍රීඩකයන්ද ක්‍රීඩා කළා. නමුත් මෙවර තරගාවලියම ඊට වඩා වෙනස් යැයි පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු රවි ශාස්ත්‍රි මහතාගෙන් ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ විමසූ විට ඔහු පවසා සිටියේ, ශ්‍රී ලංකාව ඔහුට මතක සැමරුම් බොහෝ ලබාදුන් රටක් ලෙස තම මතකයට නැගෙන බවයි.
“මම 19 න් පහළ ක්‍රීඩකයෙක් ලෙස පළමු තරගාවලියට ලංකාවේ සංචාරය කළා. ඒ වගේම 1994 දී තමයි මම පළමු වරට විස්තර විචාරයට එක්වන්නේ. එයත් ලංකාවේ. දැන් මම පුහුණුකරුවෙක් ලෙසත් ලංකාවට පැමිණ තිබෙනවා.
ලංකාව ඔවුන්ගේ රටේ ක්‍රීඩා කරන්නේ. අපි ටෙස්ට් ක්‍රිකට්වල අංක එකේ හිටියත් අපි දන්නවා ලංකාව, ලංකාවේ ක්‍රීඩා කරද්දී ලොව කිසිම රටකට නොදෙවෙනි වන බව. එනිසා මෙම තරගාවලිය අපට ඉතා හොඳ තරගාවලියක් වේවි'' යැයි ශාස්ත්‍රි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පිළිබඳ අදහස් පළකළ ඉන්දීය නායකයා,
''සෑම ක්‍රීඩකයෙක්ම කණ්ඩායමට ඇවිත් දක්ෂතා දක්වන්න වුවමනාව තිබෙනවා. අවාසනාවකට ආබාධ හේතුවෙන් සෑම කණ්ඩායමකටම ආරම්භක පිතිකරු යුගලයේ ප්‍රශ්න ඇතිව තිබෙනවා. මුරලි විජේ ආබාධයකට ලක්ව තිබෙනවා.
මේ වනවිට අභිනව් (අභිනව් මුකුන්දා) අපේ දේශීය තරගවල ඉතා හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. පුජාරාත් අපට ආරම්භක පිතිකරුවෙක්. ශිකර් ධවානුත් ආබාධයකට පත්ව නැවත කණ්ඩායම හා එක්ව සිටිනවා.'' යැයි සඳහන් කළේය.
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ සැලසුම් පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා අතුරු පුහුණුකරු නික් පෝතාස්,
''මේක අපට ටිකක් දුෂ්කර කාලයක්. එහෙත් අපි ඉතා හොඳින් පුහුණුවීම් හා අනෙකුත් කටයුතු සිදු කරගෙන යනවා. තරගාවලිය ජයගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපේ දක්ෂතා වැඩිදියුණු කරගත යුතුයි යැයි ප්‍රකාශ කළේය.
''සිම්බාබ්වේ ටෙස්ට් තරගය අපි ජයගත්තේ ලකුණු 388 ක් හඹා යමින්. ඒ වනවිට ඔවුන් තරගාවලිය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටියා. එම ජයත් සමග අපේ ක්‍රීඩකයන්ගේ විශ්වාසය ගොඩනැගිලා තිබෙනවා. ඉන්දියාව සමග ක්‍රීඩා කරද්දි අපි දන්නවා මොනවද කළ යුත්තේ කියලා.'' යැයි උපුල් තරංග පැවසීය.
අපි ගිය පාරත් අංක එකේ කණ්ඩායම (ඔස්ට්‍රේලියාව) ලංකාවට ඇවිත් පැරදුවා. අපට හොඳ අවස්ථාවක් තිබෙනවා ඉන්දියාවත් පරාජය කරලා පෙන්වන්න.
ඉන්දීය කණ්ඩායම දඟපන්දු යවන්නන් ඉන්න ඉතාම හොඳ කණ්ඩායමක්. ඔවුන් පසුගිය කාලය පුරාම සාර්ථක වූයේ දඟපන්දු යවන්නන්ගෙන්. අපි දන්නවා අපට ලැබෙන අභියෝගය මොකක්ද කියලා, ඒ සඳහා සූදානම්'' යැයි තරංග වැඩිදුරටත් පැවසීය.
මෙහිදී මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ පිළිබඳ විමසා සිටි අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පිළිතුරු ලබාදුන්නේය.
''අසේල ඇත්තටම මේ දිනවල ප්‍රතිකාර කරගෙන යනවා. අපේ භෞත චිකිත්සක කිව්වා ඔහු පළමු තරගයට සූදානම් කියලා. මැච් එක 26 වැනිදා තිබෙන නිසා අසේල ගැන අපට කිසිදු ගැටලුවක් නැහැ. ඔහු අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා.
ටෙස්ට් තරගාවලියට ධම්මික ප්‍රසාද්ගේ සහභාගිත්වය පිළිබඳ අදහස් පළකළ අසංක ගුරුසිංහ,
''ධම්මික ප්‍රසාද් තවම දැල තුළ පන්දු යැවීම සිදු කරනවා. ඔහු හුඟාක් පුහුණුවීම්වල යෙදෙනවා. විශේෂයෙන් ඔහුගේ උරහිසේ ආබාධයත් සමග උපරිම වාසිය ගන්න ඔහු බොහෝ පුහුණුවීම්වල යෙදෙනවා. මේ වසර අවසාන වෙන්න ඉස්සෙල්ලා බොහෝ දුරට ඔහු ක්‍රීඩා කරන්න ඒවි. හැබැයි ඔහු අවුරුදු 02කින් ක්‍රීඩා කරලා නැති නිසා ඔහුට ඊට පෙර තරග කිහිපයක් ක්‍රීඩා කරන්න වේවි* යැයි පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා හා එහි නිලධාරීහු එක්ව සිටියහ.