සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හිදී අද (22 වැනිදා) පැවැත්වේ. අවසන් වූ තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරග 2-0ක් ලෙසින් මේ වනවිට තරගාවලියේ ජය ද හිමිකරගෙන සිටියි.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී, ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා නොකඩවා හිමිකරගත් තෙවැනි පන්දුවාර විස්සයි20 තරගාවලිය මෙය වෙයි. කවදත් ශ්‍රී ලංකා කණ්ඩායමට කුඩාම්මාගේ සැලකිලි ලබාදෙන ඔස්ට්‍රේලියානුවන්ට මෙය ප්‍රබල පහරකි. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කරමින් ඔවුන්ගේ නිත්‍ය ක්‍රීඩකයන් විවේකගන්වා කළ මදි පුංචිකමට ලබාදුන් යස පාඩමකි. ඔස්ට්‍රේලියානුවන්ට දැන් ඉතිරිව ඇත්තේ අවසන් තරගය ජයගනිමින් සිය අභිමානය රැකගැනීම පමණි. එයද සුණු විසුණු කරදමමින් 3-0ක තරගාවලි ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ උත්සාහය විය යුතුය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නවක මුහුණු කිහිපයක් සොයාගැනීමට හැකිවූවා යැයි අපි විශ්වාස කරන්නෙමු. අසේල ගුණරත්න, ඩිල්ෂාන් මුණවීර, විකුම් සංජය ඒ අතරින් ඉදිරියෙන්ම පසු වෙති. මීට අමතරව නිරෝෂන් දික්වැල්ල, චාමර කපුගෙදර සහ මිලින්ද සිරිවර්ධන ද නැවත වරක් සිය දක්ෂතා අතරට පැමිණීම කණ්ඩායමට හිතකර තත්ත්වයකි. ඔවුන්ට තව තවත් අවස්ථාව ලබාදීම තේරීම් කමිටුවේ වගකීමකි.
දකුණු අප්‍රිකාවට එරෙහි තරග සංචාරයේ අවසන් භාගයේ සිට මේ දක්වා ජාත්‍යන්තර පිටියේ සිය නම සනිටුහන් කරමින් දිනෙන් දිනම දියුණු වෙමින් සිටින ක්‍රීඩකයා අසේල ගුණරත්න බව නොරහසකි. කලක පටන් ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුවක්ව පැවති මැද පෙළ ශක්තිමත් කරමින් තරග දිනවන්නෙකුගේ භූමිකාවට තමන් සුදුස්සෙකු බව අසේල ක්‍රම ක්‍රමයෙන් සනාථ කරමින් සිටියි. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට ධන ලකුණකි. අසේල ගැන විශ්වාසය තබා ඉදිරිපෙළ පිතිකරුවන්ට යම් ප්‍රමාණයකට නිදහස්ව පන්දුවට පහරදීමට දැන් අවස්ථාව උදාව ඇත. ඉදිරිපෙළ පිතිකරුවන් ඉන් ප්‍රයෝජනයක් ගන්නේ දැයි අපි විමසිල්ලෙන් බලා සිටින්නෙමු.
කලකට පසුව කණ්ඩායමට එක්වූ මිලින්ද සිරිවර්ධන තමන්ට හිමිවූ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් ගනිමින් සිටින බවද පෙනෙන්නට තිබේ. කිසිදු හේතුවක් නොමැතිව කණ්ඩායමෙන් ඉවත් කළ මිලින්ද, නැවත වරක් කණ්ඩායමට කැඳවීම තේරීම් කමිටුව සහ නායක උපුල් තරංග සිදුකළ වැදගත් කාර්යයකි. වසර කිහිපයකට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මැදපෙළ පිතිකරුවෙකු ලෙසින් කටයුතු කරමින් තරග දිනවන්නෙකුගේ භූමිකාවට පනදුන් මයික් හසී වැනි ක්‍රීඩකයෙකු බිහිකර ගැනීමට අපට දැන් අවස්ථාව හිමිව ඇත.
ඒ සඳහා තේරීම් කමිටුව සහ නායක උපුල් තරංග මිලින්දට දිගින් දිගටම අවස්ථාව ලබාදෙන්නේ නම් අගනේය. දිගින් දිගටම පන්දුවාර විස්සයි20 තරග බිමේ අසාර්ථක වන කුසල් මෙන්ඩිස්ට මෙන් මිලින්දලාට අවස්ථාව හිමි නොවන්නේ මන්දැයි අපි නොදනිමු. එහෙත් සෑම ක්‍රීඩකයෙකුටම එකම හැන්දෙන් බෙදිය යුතු යැයි නැවත නැවතත් සඳහන් කර සිටින්නෙමු.
දෙවැනි තරගයේ දී උපුල් තරංග පමණට වඩා කලබල වූවායැයි අපගේ හැඟීමයි. උපුල්ට ඊට වඩා යම් ප්‍රමාණයකට ආරක්ෂාකාරීවන්නට තිබුණි. කෙසේ වෙතත් පන්දුවට පහරදීමට පැමිණීමට පෙර ඔස්ට්‍රේලියානුවන්ගේ සැලැස්ම ගැන දැන සිටි උපුල් සහ දික්වැල්ල ඇස්ටන් ටර්නර්ට එරෙහිව ක්‍රියාත්මක වන්නට සූදානමින් සිටි බවද පැහැදිලිය. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්මේ කොටසයකි.
මන්ද අනිවාර්ය පන්දුවාර 06 තුළදී හැකිතරම් ලකුණු ලබාගැනීම කණ්ඩායමට වැදගත් බැවිනි. එහෙත් පන්දුව නිවැරදි ලෙසින් ස්ථානගත කරගැනීමට උපුල්ට නොහැකි විණි. එය කලබලය නිසා සිදුවූවක් විය හැකිය. එහෙයින් උපුල් අනවශ්‍ය ලෙස කලබල නොවී සිය සුපුරුදු ක්‍රීඩාවේ නිරත වන්නේ නම් එය ඔහුටත් කණ්ඩායමටත් හිතකරය.
කෙසේ නමුත් දෙවැනි තරගයේ දී නිරෝෂන් දික්වැල්ලට එරෙහිව විනිසුරුවරයා ලබාදුන් තීරණයට යම් විරෝධයක් දැක්වීම හේතුවෙන් ඔහුට අද (22දා) තරගය සහ එළඹෙන එක්දින තරගයක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේය. ඒ අනුව උපුල්ගේ සහායක පිතිකරුවාවීමට ඩිල්ෂාන් මුණවීරට වැඩි අවස්ථාවක් ඇත. කෙසේ වෙතත් තේරීම් කමිටුවේ අවධානය කුසල් මෙන්ඩිස් වෙත යොමුවීමටද අවස්ථාවක් නැතුවා නොවේ. එහෙත් මුනවීර ආරම්භක පිතිකරු ලෙස යෝදා ගනිමින් සචිත් පතිරණ හෝ දසුන් ශානක අතරින් කෙනෙකු කණ්ඩායමට කැදවීමෙන් වැඩි වාසි අත්කරගත හැක.
අද (22 දා) තරඟය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 02.20ට ආරම්භවේ.