2016 දී 2010 අබිබවා යයි
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා හා වේගවත්ම කාන්තාව ශ්‍රී ලංකාවෙන් බිහිවූ 2016 සාග් ක්‍රීඩා උලෙළේ ඊයේ (09දා) පස්වැනි දිනය නිමාවනවිට ශ්‍රී ලංකාව පසුගිය (2010) ඩකා සාග් ක්‍රීඩා උලෙළේ දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව ඉක්මවා යාමට සමත් විය.ඩකා සාග් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 16 ක් ලබා එහි සිව්වැනි ස්ථානය ලැබීය. ඊයේ දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 17ක් හිමිකරගැනීමට සමත්විය.
සාග් තරගාවලියේ මලල ක්‍රීඩා තරග ඊයේ ඉන්දිරා ගාන්ධි පිටියේදී ආරම්භ වූ අතර දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වූ 19 හැවිරිදි ශ්‍රී ලංකා ක්‍රීඩක හිමාෂ ඒෂාන් තත්පර 10.28 කින් මීටර් 100 ඉසව්ව නිමාකරමින් එහි රන් පදක්කම දිනාගැනීමට සමත් විය.මූලික තරගයකදී හිමාෂ තත්පර 10.26 කින් මීටර් 100 අවසන් කළ අතර එය දකුණු ආසියානු තරග වාර්තාවක් මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවද අබිබවා යාමකි. හිමාෂ සාග් රන් පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වේ. ෂෙහාන් අඹේපිටිය පසුගිය ඩකා සාග් ක්‍රීඩා උලෙළේදී මීටර 100 (පිරිමි) ඉසව්ව ජය ගනිමින් එවරත් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා කිරුළ ශ්‍රී ලංකාව හිමිකර දුන්නේය.
හිමාෂ හා රුමේෂිකා
මෙම ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනාගැනිමට මොහොමඩ් අෂ්රොෆ් සමත්වූයේ තත්ත්පර 10.65 කින් ඉසව්ව නිමකරමිනි. හිමාෂගේ ජයග්රහණයෙන් මොහොතකට පසු දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාවද ශ්‍රී ලංකාවෙන් බිහිවිය. ඒ මීටර 100 කාන්තා තරගය තත්පර 11.71 කින් නිමකිරීමට රුමේෂිකා රත්නායක සමත් වීමත් සමගිනි.
මේ අතර උස පැනීම (පිරිමි) ඉසව්වේ රන් පදක්කම අපේක්ෂා කළ පරිදිම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායක මංජුල කුමාර කුමාර දිනාගත්තේ මීටර 2.17 දක්ෂතාවක් දක්වමිනි. මංජුල කුමාර ඊයේ දිනා ගත්තේ සිය නවවැනි සාග් රන් පදක්කමයි. මීටර 800 කාන්තා ඉසව්ව විනාඩි 2 තත්පර 09.40 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනාගැනීමට නිමාලි ලියනාරච්චි ඊයේ සමත් වූයේ මෙවර සාග් ක්‍රීඩා උලෙළේ පළමු මලල ක්‍රීඩා රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමේ ගෞරවය ලබමිනි. ගීතිකා අබේරත්න විනාඩි 02 තත්පර 09.64 කට එහි රිදී පදක්කම ලබාගත්තාය. ඒ අනුව ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරග ආරම්භ වූ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් හතරක් දිනා ගත්තේය. අද (10දා) දිනයේදී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා අවසන් තරග ගණන 11 කි.
මංජුල කුමාර
මංජුල, නිමාලි, රුමේෂිකා, හිමාෂ
මේ අතර සාග් ක්‍රීඩා උලෙළේ පිහිනුම් තටාකය කැළඹවූ ශ්‍රී ලංකා පිහිනුම් ශූරී කිමිකෝ රහීම් සිය සිවුවැනි රන් පදක්කම ඊයේ දිනා ගත්තේ මීටර 50 පසුපස ආර කාන්තා ඉසව්ව තත්පර 29 .75 කට නිම කරමිනි. පාපැදි ක්‍රීඩක ජීවන් ජයසිංහ ඊයේ සිය දෙවැනි රන් පදක්කම මාර්ග ධාවන (පිරිමි) ඉසව්වෙන් ලබාගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමාවේදී මුළු පදක්කම් 87 ක් හිමිකර ගත්තේය. ඩකා සාග් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව මුළු පදක්කම් 105 ක් දිනාගැනීමට සමත්විය.
ජීවන් ජයසිංහ
කිමිකෝ රහීම්
සාග් වොලිබෝල් පිරිමි රන් පදක්කම මෙන්ම කාන්තා රන් පදක්කමත් ඉන්දියාව දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ අපේක්ෂා බිඳ දමමිනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව 1991 න් පසුව මෙවර වොලිබෝල් (කාන්තා) රන් පදක්කම දිනා ගැනීම කෙරෙහි මහත් බලාපොරොත්තු තබා තිබුණි.එහිදී කාන්තා හා පිරිමි අවසන් මහ තරග දෙකේදීම ශ්‍රී ලංකාවට ඉන්දියාව මුණගැසුණු අතර, එම තරග අවසන් දෙකේදීම ඔවුන් වට 3-0 ක් වන පරිදි පරාජය ලැබීය. පස්වැනි දිනය නිමාවන විටත් ඉන්දීය කණ්ඩායම පදක්කම් සටහනේ පෙරමුණේ පසුවූයේ රන් පදක්කම් 78ක් හිමිකරගනිමිනි.
ක්‍රීඩා ඇමති සාග් ක්‍රීඩකයන් දිරිමත් කරයි
දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ වොලිබෝල් කාන්තා හා පිරිමි ඉසව් අංශවලින් අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් පෙරේදා (08දා) සමත් විය. එහිදී වොලිබොල් කණ්ඩායම් හා හිඳිමින් ඔවුන්ව දිරිමත් කිරිමට ක්‍රීඩා ආමත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කරනු ලැබීය.
මින් පෙර ක්‍රීඩා ඇමතිවරයෙකු කටයුතු නොකළ අන්දමින් දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට එක්ව සිටින ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට කටයුතු කරමින් සිටියි. ඔහු පෞද්ගලිකව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ඉසව් පැවැත්වෙන ස්ථාන සඳහා ගොස් ඔවුන් දිරිමත් කිරීම ක්‍රීඩා විචාරකයන්ගේ ප්‍රසාදයට ලක්ව තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා සමග ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාද මෙම අවස්ථා සඳහා එක්ව සිටී.
නමාල් පතිරගේ / ඡායාරූප කසුන් කැලුම් ඉන්දියාවේ ගුවාති නුවර සිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





