ලෝක කුසලාන රග්බි තරගාවලියේ මූලික වටයේ තරග 19 ක් (ආසන්න වශයෙන් අර්ධයක්) අවසන් වනවිටදී තම කාණ්ඩයන්හි පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව (ඒ), ස්කොට්ලන්තය (බී), නවසීලන්තය (සී) හා අයර්ලන්තය (ඩී) සමත්ව ඇත. ඔවුන් සියලුම දෙනා මේ දක්වා තරගාවලියේ තරග 02 බැගින් ක්‍රීඩාකර ඇති අතර, එම සියලුම තරග ජය ගැනීමට සමත්ව ඇත. කෙසේ වෙතත් මේ වනවිට කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවී ඇත.
මේ අතරින් වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ, ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු නායක ජෝන් ඩිවිලියර්ස් මෙවර තරගාවලිය අතරතුරදීම අන්තර්ජාතික රග්බි පිටියට සමුදීමට තීරණය කිරීමයි. සැමෝවා සමග පසුගිය සෙනසුරාදා (26දා) පැවැති තරගය අතරතුරදී ඔහුගේ හනුව (හක්ක හා දත්පෙළ අසල/ jaw) බිඳී ගියේය. වෛද්‍ය නිර්දේශ මත තරගාවලියෙන් ඉවත්වීමට ඔහුට සිදු වූ අතර, මේ හේතුවෙන් ඩිවිලියර්ස් පසුගියදා (27දා) අන්තර්ජාතික රග්බි පිටියෙන් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කළේය. 34 හැවිරිදි ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 109 ක් ක්‍රීඩාකර ඇති අතර, ඔහු මෙවර තරගාවලියට ඉදිරිපත්වූයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටින්නෙකු ලෙසිනි.
ඩිවිලියර්ස්
ඩිවිලියර්ස්ට අමතරව එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වෙන බිලී වුනිපොලාටද මෙවර තරගාවලිය අහිමි වන ලකුණු මතු වී ඇත්තේ, පසුගියදා (26දා) වේල්සය සමගින් පැවැති තරගය අතරතුරදී දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.
මේ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වන වයික්ලිෆ් පාලු හා විල් ස්කෙලිටන්ද මේ වනවිට ආබාධවලට ලක්වී ඇත. උරුගුවේ කණ්ඩායම සමග පසුගිය සෙනසුරාදා (26දා) පැවැති තරගය අතරතුරේදී ආබාධවලට ලක්වීම හේතුවෙන් මොවුන් දෙදෙනාගේද තරගාවලියේ ඉතිරි තරග බලාපොරොත්තු අතහැර දැමීමට සිදු වී ඇත.
ස්කෙලිටන්
සත්කාරක එංගලන්තය පරාජය කර මෙවර තරගාවලියේ අනපේක්ෂිත අවධානයක් දිනාගත් වේල්ස කණ්ඩායමේද ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වනවිට ආබාධවලට ගොදුරු වී ඇති අතර, ඒ අතරින් ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් ත්‍රිත්වයක් වන ජේම්ස් හුක්, ස්කොට් විලියම්ස් හා හැලන් ආමොස්ට තරගාවලිය අහිමි වී ඇත. තරගාවලියේ මූලික වටයේ තවත් තරග 21 ක් පැවැත්වීමට නියමිත අතර, එම තරග ඔක්තෝබර් 11 මස වැනිදායින් අවසන් වේ.
හැලන් ආමොස් ආබාධයකට ලක්ව ලැගෙන යන අයුරු