ජය පෙනෙන මානයේ සිටි බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර මීර්පූර්හිදී අද (17දා) ආරම්භවූ පළමු එක්දින තරගයෙන් ලකුණු 13ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මෙම තරගය බංග්ලාදේශය ජයගත්තානම්, එය ඔවුන් පිට පිට තරග දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරන පළමු අවස්ථාව වන්නට තිබිණි. අවසන් වරට දෙරට අතර පල්ලෙකැලේදී පැවැති තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 03ක ජයක් හිමිවිය.
මෙම තරගයත් සමග දෙරට අතර 1986 වසරේ සිට මේ දක්වා එක්දින තරග 34ක් පවත්වා ඇති අතර, ඉන් තරග 29ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, තරග 4ක් පමණක් බංග්ලාදේශය ජය ගෙන ඇත.
ලකුණු 181 ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 39.2 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 167ක් පමණි. කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රබල සටනක නිතරවූ ශම්සූර් රෙහමාන් හා ශකිබ් අල් හසන් දුවද්දී දැවීයාමකට හසුවීම බංග්ලාදේශ පරාජයේ ප්‍රධානම සාධක විය. ඒ අතරින් ලකුණු 62ක් රැස්කරගෙන සිටි ශම්සූර්, සීමා ඉර ආසන්නයේදී පිත්ත අතහැරී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඔවුන්ට අමතරව මොමිනුල් හක් ලකුණු 44ක් රැස්කිරීමට සමත්විය.
පන්දුවට පහරදීමෙන් කණ්ඩායමට ලබාදිය නොහැකිවූ දායකත්වය පන්දු යැවීමෙන් ලබාදුන් නායක මැතිව්ස් ලකුණු 21කට කඩුලු 3ක් දවාලීමට සමත්විය. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ තිසර පෙරේරා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
බංග්ලාදේශ නායක මුෂ්ෆීකර් රහීම්ගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180ක් පමණි.
බංග්ලාදේශය වැනි ලෝක ක්‍රිකට් පිටියේ අත්දැකීම් අඩු කණ්ඩාමක් හමුවේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන්නට ඉඩ තිබූ අවමානයෙන් ශ්‍රී ලංකා ඉනිම ගලවාගැනීමට තිසර පෙරේරා සමත්විය. සමස්ත ශ්‍රී ලංකා පිතිකරණ බලඇණියම බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ ඇඳ වැටුණත් කිසිදු අවස්ථාවක එම පීඩනයට තමාව හසු කරගැනීමට ඉඩනොදුන් තිසර, පන්දු 57කදී හයේ පහර 6ක් හා හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 80 රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල මුළු ලකුණු 67 දී බිඳවැටෙද්දී පිටියට එක්වූ සචිත්ර සේනානායක, නව වැනි කඩුල්ල සඳහා තිසර සමගින් ලකුණු 82 සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ. ලකුණු 30ක් රැස්කරගෙන සිටි සචිත්ර නවවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 149දී ශකීබ් අල් හසන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
ඉන් අනතුරුව පිටියට එක්වූ ලසිත් මාලිංග සමගින් තිසර ලකුණු 29 සබඳතාවක් ගොඩනගා සිටියදී මාලිංග දැවීයාමත් සමග ශ්‍රී ලංකා ඉනිම අවසන්විය.
කුසල් ජනිත් සමගින් තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ. ලකුණු 3ක් රැස්කරගෙන සිටි ඩිල්ශාන් පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, දෙවැනි කඩුල්ල ලෙස කුසල් ජනිත් දැවී ගියේය. ඒ වනවිට ඔහු එක් 6 පහරක් හා 4 පහර දෙකක් සමගින් පන්දු 18කදී ලකුණු 20 රැස්කරගෙන සිටියේය. සිය කුළුදුල් එක්දින කඩුල්ල මංගල තරගයේදීම දවාගත් අර්ෆාට් සනී, ලකුණු 8ක් රුස්කරගෙන සිටි සංගක්කාරගේ කඩුල්ල දවාගැනීමට සමත්විය. සංගාගේ දැවී යාමත් සමග පිටියට එක්වූ අශාන් ප්‍රියන්ජන් සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 6 ක් ලබා සිටියදී දැවී ගියේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නායකයාට හා උපනායකයාට ඉනිම ගොඩනැගීමේ වගකීම පැවරුණද 5වැනි කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල්ද, හයවැනි කඩුල්ල ලෙස මැතිව්ස්ද දැවීගියේ ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් අසරණ කරමිනි. සචිත්ර සේනානයකට හා තිසර පෙරේරාට ඉනිමේ සම්පූර්ණ බර තබමින් ඉන් අනතුරුව පිටියට එක්වූ කුලසේකර හා කිත්රුවන් විතානගේ 6වැනි හා 7වැනි කඩුල්ල ලෙස දැවී ගියහ.
ශ්‍රී ලංකාව 180/10 (පන්දුවාර 40)
තිසර පෙරේරා 80* (පන්දු 57, 4x4, 6x6)
සචිත්ර සේනානායක 30 (පන්දු 48, 4x2, 6x1)
කුසල් ජනිත් 20 (පන්දු 18, 4x2, 6x1)
බංග්ලාදේශය පන්දු යැවීම
රුබෙල් හුසේන් 37/2 (පන්දුවාර 8)
ශකීබ් අල් හසන් 29/2 (පන්දුවාර 7)
අර්ෆාට් සනී 31/2 (පන්දුවාර 6)
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු වැටීම
22/1- ඩිල්ශාන් 28/2-කුසල්, 43/3- සංගක්කාර, 52/4- අශාන්, 58/5- චන්දිමාල්, 62/6- මැතිව්ස්, 64/7- කුලසේකර, 67/8- කිත්රුවන්, 149/9- සචිත්ර, 180/10- මාලිංග
බංග්ලාදේශය 167/10 (පන්දුවාර 39.2)
ශම්සූර් රෙහමාන් 62 (පන්දු 49, 4x5, 6x3)
මොමිනුල් හක් 44 (පන්දු 53, 4x7)
මුෂ්ෆීකර් රහීම් 27 (පන්දු 50, 6x1)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස් 21/3 (පන්දුවාර 7.2)
සචිත්ර සේනානායක 33/2 (පන්දුවාර 9)
තිසර පෙරේරා 35/1 (පන්දුවාර 9)
බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු වැටීම
0/1- අනාමුල්, 79/2- මොමිනුල් ;, 114/3- සම්සූර්, 119/4- ශකීබ්, 133/5- නසීර්, 133/6- මහමුදුල්ලා, 142/7- ගාසි, 161/8- අර්ෆාට්, 162/9- මුෂ්ෆීකර්, 167/10- රුබෙල්