ජාතික පොසොන් උත්සවය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණෝ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිති.
අනුරාධපුර පූජා නගරය සංදර්ශන භූමියක් බවට පත් කර නොගන්නා ලෙස නාහිමියෝ වැඩි දුරටත් පවසති. ඉකුත් දා රැස්වූ පොසොන් උත්සව කමිටුවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. මේ අතර ජාතික පොසොන් උලෙළ මෙවරත් උත්කර්ෂවත් ලෙස සංවිධාන කෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි.
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ප්‍රධාන අටමස්ථානය, මිහින්තලේ රජමහා විහාරය සහ තන්තිරිමලේ රජමහා විහාරය මූලික කොටගෙන මෙවරද ජාතික පොසොන් උත්සවය පැවැත්වේ.මෙවර පොසොන් සතිය ලෙස එළැඹෙන ජුනි මස හත්වැනිදා සිට දහතුන්වැනිදා දක්වා කාලය ප්‍රකාශයට පත්කර තිබේ. ජය ශ්‍රී මහාබෝධිය අබියස පොසොන් සතිපිරිත් පින්කම එළැඹෙන ජුනි මස හයවැනිදා පස්වරුවේ ආරම්භවේ.
රාජ්‍ය පොසොන් උත්සවය ජුනි 09,10 සහ 11 යන දිනවලදී මිහින්තලේ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ. එමෙන්ම තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දී ජුනි මස 09,10 හා 11 යන තෙදින පුරා විජය පුවත්පත් සමාගම විසින් අනුග්‍රහය දක්වන විදුලි ආලෝක පූජා පිංකම ඇතුළු පිංකම් කටයුතු සංවිධාන කෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බුල්නෑව ප්‍රදීප්