සර්, යුද්ධෙට නෙවේ දඩයමටවත් මටනම් බෑ
දුෂ්කරතා හමුවේ සැලෙන්න එපා
ඇමති රුවන් විජයවර්ධන ඉදිරියේ බියගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිවුරුම් දුන් අතර, එහිදී ඇමති රුවන් ඔවුන් අමතා ප්‍රකාශ කළේ, ‘දේශපාලනයේදී පසුබැසීම්වලටද මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම නවක මන්ත්‍රීවරුන් මෙන්ම මන්ත්‍රීතුමියන්ලා කලබල නොවී දිගුකාලීන මහජන සේවා අරමුණු වෙනුවෙන් සාමූහිකව කටයුතු කළ යුතුයි. බියගම කියන්නේ සුවිශේෂී තැනක්. දූෂණයෙන් තොර සැබෑ මහජන සේවාවක් ඉටුකිරීම සඳහා මැදිහත්වෙමින් විපක්ෂයේ කාර්යභාර්ය බොහොම හොඳින් ඔබතුමාලා ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා’ යනුවෙනි.
එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෝ රුවන්ට පැවසූ දේ
ඩී.එස්. සමරුවට සහභාගි වූ ඇමති රුවන්ට ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් කිහිප දෙනෙකුගෙන්ම සුබපැතුම් හිමි විය. ඩී.එස්. සේනානායක අගමැතිවරයාගේ 66 වැනි ගුණ සමරුව කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්රයේදී පැවැති අතර, ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරු හා ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කිහිප දෙනෙක් පැමිණ සිටියහ.
ඔවුන් රුවන් විජයවර්ධනගෙන් ඉල්ලා සිටියේ, එක්සත් ජාතික පාක්ෂිකයන් බලාපොරොත්තු වන ප්‍රතිසංවිධානයන් වෙනුවෙන් තරුණ නායකයෙකු ලෙස මැදිහත් වන ලෙසය. එහිදී රුවන් විජයවර්ධන සඳහන් කළේ, තමන් සභාපතීත්වය දරන එම කමිටුව මගින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හා නවක මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම විශ්‍රාම ගොස් ඇති හා කලකිරීමෙන් සිටින හැම දෙනාගේම අදහස් තමන් ලබාගත් බවයි. ඒ අනුව සාධාරණ වාර්තාවක් සභාපතිවරයා ලෙස තම කමිටුව මගින් ඉදිරිපත් කළ බවද රුවන් ඒ සැමට කීවේය.
කිරිඇල්ල දොස් කියද්දි තිලංගගේ සහායට දිනේෂ්
රනිල් වික්‍රමසිංහ විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් පසුගිය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. එම අවස්ථාවට එක්ව සිටි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් තම තමන්ගේ ස්ථාවරයන් පැහැදිලි කරන අතරතුරදී නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අතරේ වචන හුවමාරුවක් ඇති විය.“ තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කරන ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට වාඩි වෙලා තිබුණා.ඒක අපිට අනුමත කරන්න බැහැ. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී එස්.බී. දිසානායක ඇමතිවරයා විශ්වාසංභංගයට පක්ෂ විදියට කතා කරලා අගමැතිතුමා විවේචනය කළා. ඒ වගේ මාධ්‍ය සාකච්ඡාවකට නියෝජ්‍ය කථානායකතුමා සහභාගිවීමෙන් නියෝජ්‍ය කථානායක ධුරයේ ගෞරවය කෙලෙසිලා තියෙනවා. අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන අවස්ථාවක නියෝජ්‍ය කථානායකතුමා මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕන’ කිරිඇල්ල දැඩි ස්වරයෙන් කියාගෙන ගියේය.මම නියෝජ්‍ය කථානායක පුටුවේ ඉන්න අවස්ථාවලදි එම රාජකාරිය හරියට කරනවා. ඒ නිසා සභානායකතුමාගේ චෝදනාව මම පිළිගන්න සූදානම් නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක්. ඒ නිසා මට පක්ෂයේ රැස්වීම්වලට සහභාගිවීමට සිදු වෙනවා. ඒක මේ අවස්ථාවේදි පටලවා ගන්න එපා සභානායකතුමා.මේ කාරණය ගැන මේ වෙලාවේ කතා කරන්න මම කැමති නැහැ. ඕනනම් වෙනම කතාකරන්න මම ලෑස්තියි’ තිලංග ඊට උත්තර දුන්නේය. මෙම සංවාදයට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධනද එක් විය. ඔහු තිලංග සුමතිපාලගේ සහායට එක් විය.“මන්ත්‍රී කෙනෙක් නියෝජ්‍ය කථානායක ධූරය හරි වෙන ධුරයක් දැරුවත් තමන්ගේ පක්ෂයේ දේශපාලන කටයුතුවලට සහභාගි වීමට සිදු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති විදියට කටයුතු කරන සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීතුමාට උතුරේ ඒ අයගේ පක්ෂය සංවිධානය කරන රැස්වීම්වලට සහභාගි වෙන්න සිදු වෙනවා.
ඒ වගේම අනිත් මන්ත්‍රීවරුන්ටත් තමන්ගේ පක්ෂයේ වැඩවලට සහභාගි වෙන්න සිදු වෙනවා.’ දිනේෂ් සිය ස්ථාවරය පැහැදිලි කළේය. මෙම අවස්ථාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල තරමක් කෝපයෙන් මෙන් යළිත් අදහස් දැක්වීය. අගමැතිතුමාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙක් අත්සන් කර තිබෙනවා. ඒ අය අත්සන් කළේ මොන පදනමින්ද, මොන සම්ප්‍රදායට අනුවද කියලා කියන්න ඕන. මම අවුරුදු තිහක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මගේ අත්දැකීම් අනුව නියෝජ්‍ය කථානායකවරයෙකු මේ විදියට පක්ෂ දේශපාලනයේ ඉන්නවා දැකලා නැහැ. ඒක හැමදාමට එහෙම වෙන්න ඕන. එංගලන්තයේ හා ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව නියෝජ්‍ය කථානායකවරයා පක්ෂ දේශපාලනයේ නිරත වීමෙන් මූලාසනය හෑල්ලුවට ලක්වෙනවා.’ යැයි කිරිඇල්ල කීවේය. එයට පිළිතුරු දුන් තිලංග සුමතිපාල “මම තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරනවා. ඒ නිසා මම පක්ෂයේ වැඩවලට සහභාගි වෙනවා.ඒක නතර කරන්න නම් බැහැ’ යනුවෙන් පවසා සිටියේය.
ඔයාලා මොනවද කළේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වූයේ අඟහරුවාදාය. එහිදී ආර්ථික කමිටුව පිළිබඳව පළමුව සාකච්ඡාවට බඳුන් විය. ආර්ථික කමිටුව වෙනුවට කැබිනට් අනුකාරක සභාවක් පත්කිරීම පිළිබඳව මෙහිදී යෝජනා කෙරුණු අතර, එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ආර්ථික කමිටුව අහෝසි කළ බැවින් යළි ඒ පිළිබඳව සාකච්ඡා නොකළ යුතු බවයි.
නමුත් අමාත්‍ය මලික් සමරවික්‍රම පැවසුවේ කැබිනට් අනුකාරක සභාවක් පත්කිරීමට තීරණය කළ බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සති දෙකක කාලයක් අවශ්‍ය බවයි. කැබිනට් අනුකාරක සභාවේ සංයුතිය පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට එම කාලය අවශ්‍ය බව එවිට අගමැති රනිල්ද පෙන්වා දුන්නේය. එවිට ජනාධිපති මෛත්‍රී මලික්ට බැණවදින්නට විය.
‘ගිය සතියේ මම කැබිනට් පේපර් එකක් ගෙනාවා මේක අවලංගු කරන්න. ඔයගොල්ලෝ ඊට පස්සෙත් මේකෙ වැඩ. අවුරුදු දෙකක් ඔයගොල්ලෝ මොනවද කළේ’ යැයි මෛත්‍රී චෝදනා කළේය.
කැබිනෙට්ටුවේ ග්ලයිෆොසේට් දේශනය
තේ කර්මාන්තය සඳහා පමණක් ග්ලයිෆොසේට් ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නවීන් දිසානායක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. තේ කර්මාන්තයේ වල් මර්දනය කිරීම සඳහා ග්ලයිෆොසෙට් අවශ්‍ය බව එමගින් පෙන්වා දී තිබුණේය. ග්ලයිෆොසේට්වලින් හානියක් නොමැති බවත්, තහනම ඉවත් කළ යුතු බවත් ඉල්ලා ඇමති දුමින්ද දිසානායකද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. එහිදී නවීන් දිසානායක පැවැසුවේ මෙම කැබිනට් පත්‍රිකා දෙකම එකක් ලෙස සලකා තීරණයක් ගත යුතු බවයි. ‘ග්ලයිෆොසේට් භාවිතයෙන් හානියක් වන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයද දෙවැනි ශ්‍රේණිය යටතේ ග්ලයිෆොසේට් නම් කර තිබෙනවා. එම නිසා තහනම ඉවත් කළ යුතුයි’. නවීන් දිසානායක පෙන්වා දුන්නේය. ඉන් පසු ග්ලයිෆොසේට් පිළිබඳව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. ‘ලෝක සෞඛ්‍ය සංවිධානය 2013 වසරේදී වියළි කලාපය ආශ්‍රිතව වකුගඩු රෝගයට බලපා ඇති සාධක පිළිබඳ පර්යේෂණයක් සිදු කළා. එහිදී ගොවීන්ගේ ශරීර තුළ කැඩ්මියම්, ආසනික් වැනි ලෝහ වර්ග රුධිරය සමග මිශ්‍රව ඇති බව සොයා ගත්තා. අවසන් වාර්තාවක් නිකුත් කළේ නැහැ’ ආදී ලෙස විශාල කාලයක් ගනිමින් රාජිත පැවසීය. මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රී කියා සිටියේ මේ පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කළ යුතු බවයි. එවිට රාජිත සේනාරත්න පැවසුවේ මහාචාර්ය සරත් ගුණතිලක හා වෛද්‍ය ශාන්ති මෙන්ඩිස් යන අය විශේෂඥයන් ලෙස මෙම කමිටුවට පත්කළ යුතු බවයි. රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක සහ නවීන් දිසානායක යන අමාත්‍යවරුන් නිරීක්ෂකයන් ලෙස කමිටුවට පත්කිරීමට තීරණය කෙරුණි.
එක්සත් ජාතික පෙරමුණේ හදිසි රැස්වීම
අඟහරුවාදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ අමාත්‍යවරුන් රාජිත සමග සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණියහ. ඒ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමට සහ එක්සත් ජාතික පෙරමුණ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටයි. රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, චම්පික රණවක, රවුෆ් හකීම්, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, කරුණාරත්න පරණවිතාන, චතුර සේනාරත්න, යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක් වූහ. මෙම සාකච්ඡාවට රිෂාඩ් බදියුදීන්ද සහභාගි වීමට නියමිතව තිබුණද, ජීවන වියදම් කමිටුව හේතුවෙන් පැමිණීමට නොහැකි බවට දැනුම්දී තිබුණි. මෙහිදී විශ්වාසභංගය පරාජය කිරීමට කටයුතු කළ යුතු ආකාරය සහ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. එහිදී ගත් තීරණ පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා හමු වී දැනුවත් කරන ලදී.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පිළිබඳව විවිධ ප්රවෘත්ති වෙබ් අඩවිවල පළ වී තිබුණි. අග්‍රාමාත්‍යවරයාට එම ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලීමටත් නව අග්‍රාමාත්‍ය ධුරයට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත්කළ යුතු බවත් යෝජනා කිරීමට තීරණය කළ බව වෙබ් අඩවිවල සඳහන්ව තිබුණි. කෙසේ වෙතත් මේ පිළිබඳව බදාදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු විමසා සිටියහ. එවිට රාජිත සේනාරත්න පැවසුවේ ‘මට දැන්ම අග්‍රාමාත්‍ය ධුරය ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. මේ වේලාවේ බාර ගන්නෙත් නැහැ. තව කල් තිබෙනවා’ යනුවෙනි.
වන්ෂොට් සාගල
නව වැනි යොවුන්පුරය ඊයේ (29දා) සවස නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමියේදී ආරම්භ විය. එදින සවස් යාමයේ යොවුන් ඇමති සාගලද යෞවන යෞවනියන් අතරට එක් වූයේ සුපුරුදු පරිදි ජැන්ඩියට හැඳ සිනහවෙන් මුව පුරවාගෙනය.
‘පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය ගත්තොත් ඒකෙදි තරුණ අය අපට අනාගතය දැනට වඩා වේගවත්ව තහවුරු කරලා දෙන්න කියලා රජයට අනතුරු ඇඟෙව්වා. එනිසා රජය තරුණයො ගැන දැනට වඩා අවධානය යොමු කරන්න අවශ්‍ය යුගය උදාවෙලා තියෙන්නෙ. තරුණ තරුණියන්ට රටේ අනාගතය ගොඩනැගීම ගැන, රජය දැනටත් වඩා අවධානය යොමු කරන්න අවශ්‍ය කාලය එළඹිලා තියෙනවා. රටේ ආර්ථික දියුණුව කියන්නෙ රට දියුණු කරන්න දමන අඩිතාලම. ඒ දියුණුවත් එකක් වෙන වෙනස්වීම්වලට, අභියෝගවලට අවස්ථාවන් ජයගන්න අවශ්‍ය තරුණ ආකල්ප හා අවස්ථාවන් ගොඩනැගීම අපි ආරම්භ කරන්න ඕන’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් සාගල කීවේය.
අනතුරුව යොවුන්පුරය ප්‍රදර්ශනය විවෘත කළ සාගල යෞවන යෞවනියන්ගේ ජංගම දුරකථනයන්හි විටින් විට රැඳුණේ නොයෙකුත් හැඩතලවලටය. තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ, මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ද සමග අතරමගදී යොවුන් සේනාංක ප්‍රදර්ශන කුටියේ වායු රයිෆල් කුටියට පිවිස සාගල ඉලක්කය ගත්තේය. සිය පළමු ඉලක්කයම තිතට, නිවැරදිව ගත් සාගලගේ දෙවැනි ඉලක්කයද එසේම විය.
‘සර් සුපර්බ්. වන් ෂොට් වන්’ දෙපසින් ඇසිණී.
ඊට මද වේලාවකට පසු යුද හමුදා ප්‍රදර්ශන කුටියේදීද සාගල ගත් ඉලක්කය පෙර ලෙසම සාර්ථක විය. අනතුරුව එරංග ඉලක්කය ගත්තේය. කිහිප වරක්ම අසාර්ථක වූ එරංග අවසනදී සාර්ථක විය. තුෂාර ඉඳුනිල්ද එසේම විය. ‘ඔයාත් එන්න, තියන්න’ සාගල අනතුරුව ආරාධනය කළේ ළඟ සිටි බ්රිගේඩියර්වරයෙකුටය. ‘සර්, මම වෙපන් එක අවුට් කරලා ආවේ’ බ්‍රිගේඩියර්ගේ පිළිතුර විය. එසැණින් වායු රයිෆලය අතට ගත් ඇමති ලේකම්වරයෙකු අඛණ්ඩව ඉලක්කය ගනු පෙනිණි.
‘සර්, යුද්ධෙට නෙවේ දඩයමටවත් මට නම් බෑ’ යැයි කියමින් ඔහු රයිෆලය ගත් තැනින් තබද්දී සාගලටද සිනහ නොවී බැරි විය. වසර ගණනක් පසුපසට යමින් යෞවනයන් අතර යෞවනයෙකු වෙමින් සාගල එදින ගත කරනු කාහටත් පෙනිණි.
ඒකාබද්ධය පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමේ මෙහෙයුම දියත් කළ හැටි
අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ සැවොම පසුගිය සතිය සිටියේ කාර්යබහුලවය. ඒ කාර්යබහුලත්වය මැද වුවද, ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට තවත් සටනක් කරන්නට සිදුව තිබුණේ පසුගිය මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබුණු පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම සඳහාය.
ඩලස්, මහින්දානන්ද ඇතුළු පිරිස විශ්වාසභංගය ජයගැනීම සඳහා වෙහෙසෙමින් සිටින අතරතුර මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුක්තව බැසිල්, ප්‍රසන්න ඇතුළු කණ්ඩායමක් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළහ. මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබුණු ආයතන 71ක් සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.
බහුතර බලයක් නොමැති සභාවල බලය ඇල්ලීමේ වැඩපිළිවෙළේදී තීන්දු තීරණ ගැනීමේ බලය බැසිල් විසින් පවරා දෙනු ලැබ තිබුණේ පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් නායකයන්ටය. පළාත් පාලන නියෝජිතයන් අතර නොහොඳ නෝක්කාඩු නිසා ඇති විය හැකි ගැටුම් නිරාකරණය කර බලය ඇල්ලීම සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් නායකයන්ගේ වගකීම විය.
බහුතර බලයක් නොමැති සභා සඳහා පළාත් පාලන ආයතන පනතට අනුව ඡන්ද විමසීම් මගින් සභාපති, උපසභාපති හෝ නගරාධිපති, උපනගරාධිපති තනතුරු තෝරා ගැනීමට නියමිතව තිබිණි. ප්‍රථම වටය ලෙස 23 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව මහ නගර සභාව, මිනුවන්ගොඩ සහ කටුනායක සීදුව නගර සභා හා කටාන ප්‍රාදේශීය සභා සඳහා ඡන්ද විමසීම් පැවැත්විණි.
එහිදී මිනුවන්ගොඩ නගර සභාව ජයග්‍රහණය කිරීමේ කටයුතු ප්‍රසන්න කරට ගෙන සිටි අතර, අනෙකුත් ආයතන තුනෙහි වගකීම පැවරී තිබුණේ නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ සහ සරත් කුමාර ගුණරත්න වෙතය. ඔවුහු තිදෙනා එක්ව එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසියක් තිබූ මීගමුව මහ නගර සභාවේ බලය ලබා ගැනීමට සමත් වූහ.
මිනුවන්ගොඩ නගර සභාවේ බලය ලබා ගැනීම සඳහා කුමන පක්ෂයකට සහාය දුන්නද, පොහොට්ටුවට සහාය නොදෙන ලෙස නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැඩිව අවවාද කර තිබූ නමුත් ප්‍රසන්නගේ මැදිහත් වීම මත මිනුවන්ගොඩ නගර සභාවේ බලය පොදුජන පෙරමුණ සතු විය.
මේ අතර, ලන්සාට දුරකථන ඇමතුමක් ලැබුණේ බැසිල්ගෙනි. කටාන ප්‍රාදේශීය සභාවේ ප්‍රශ්නයක් ඇති නිසා වහාම එතැනට යන්නැයි බැසිල් උපදෙස් දුන්නේය. ඒ අනුව එහි ගිය ලන්සා එම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට මැදිහත් විය. එහෙත් පොදුජන පෙරමුණට වැඩි වාසියක් තිබූ කටුනායක සීදුව නගර සභාවේ බලය මන්ත්‍රීවරුන්ගේ අභ්‍යන්තර ගැටුමක් නිසා එක්සත් ජාතික පක්ෂයට හිමිවිය.
අත්තනගල්ල ගැන විශේෂ අවධානය
පළමු වටයේ මෙහෙයුම සාර්ථකව අවසන් වීමත් සමග පොදුජන පෙරමුණේ නායකයන් දෙවැනි වටය සඳහා සැරසුණේ වැඩි උනන්දුවකිනි. ඒ අනුව මහින්ද ඉරිදා උදෑසන ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ගෙන කීවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයතන කිහිපයක ගැටලු පැනනැගී ඇති බැවින් එහි ගොස් අවශ්‍ය කටයුතු සොයා බලා එම ආයතනවල බලය ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව ප්‍රසන්න ප්‍රථමයෙන් අරණායක ප්‍රාදේශීය සභාවේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලුවේය. ප්‍රසන්න එහි යන විට ගාමිණී ලොකුගේද පැමිණ සිටියේය. ප්‍රසන්න ලොකුගේද කැටුව මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරමින් ගැටලුව විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින අතරතුර ලොකුගේට බැසිල්ගෙන් ඇමතුමක් ලැබිණි.
‘මොකද මන්ත්‍රීතුමා දැන් තත්ත්වය?’ බැසිල් ඇසුවේය.
‘අපි සාකච්ඡා කරගෙන යනවා. අපට මේක විසඳගන්න පුළුවන්. දැන් ප්‍රසන්න මන්ත්රීතුමත් ආවා’ ලොකුගේ කීවේය.
‘ආ ප්‍රසන්න ආවද? එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එයා කොහොම හරි ඕක දිනලා තමයි පස්ස බලන්නේ’ බැසිල් කීවේ මහත් විශ්වාසයකිනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන්ද පසුගිය සතියේ සෑම කෙනෙකුගේම අවධානය යොමුව තිබුණේ එහි සභාපතිවරයා තෝරා ගැනීමටද ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබුණු නිසාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායකවරිය ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කටයුතු කිරීම නිසා මෙම විශේෂ උනන්දුව ඇතිව තිබිණි.
බදාදා උදෑසනම ප්‍රසන්න අත්තනගල්ල බලා ගියේ ප්‍රාදේශීය සභාවේ බලය ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීම පිණිසය. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට නුදුරු විහාරස්ථානයකට ගිය ප්‍රසන්න සභාවේ සියලු මන්ත්‍රීවරුන්ද එහි කැඳවාගෙන බලය ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීය. එහි සභාපතිවරයා සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබුණු අතර, බෙදීමක් තිබුණේ උපසභාපති ධුරය සම්බන්ධයෙනි. ඒ අනුව ප්‍රසන්න මන්ත්‍රීවරුන් සියලු දෙනා කැඳවා උපසභාපති ධුරයට රහස් ඡන්දයක් පැවැත්වීය. ප්‍රසන්න බදාදා අත්තනගල්ලට ගියේ කිසිවකුටත් හෙළි නොකළ එම රහස් ඡන්දයේ ප්‍රතිඵලත් රැගෙනය.
මන්ත්‍රීවරුන් ප්‍රසන්නට කීවේ අත්තනගල්ල දිනාගැනීම සඳහා චන්ද්‍රිකා මහත් ආයාසයක් දරමින් සිටින බවයි.
‘අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ බලය යන්නේ කාටද කියන එක ගැන අද මුළු රටම බලන් ඉන්නවා. මුළු රටේම ආයතන දිනනවාට වඩා අපට අත්තනගල්ල දිනාගන්න එක වැදගත්. ඒ හින්දා තමුන්නාන්සේලාගේ පෞද්ගලික ප්‍රශ්න මේවාට ඈඳාගන්න එපා. එකතු වෙලා මේ ප්‍රාදේශීය සභාව දිනාගන්න කටයුතු කරමු. පක්ෂයේ තීන්දුව තමයි අවසන් තීන්දුව. කවුරුත් ඒකට උඩින් යන්න හිතන්න එපා’ ප්‍රසන්න මන්ත්‍රීවරුන් අමතමින් කීවේය.
ඒ අතරතුර ප්‍රසන්නට මහින්දගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ‘කොහොමද ප්‍රසන්න තත්ත්වය?’ මහින්ද ඇසුවේය. ‘හොඳයි සර්. අපට දිනන්න පුළුවන්’ ප්‍රසන්න උත්තර දුන්නේය. ‘එහෙනම් කමක් නැහැ. මම ඔයාලට සුබ පතනවා’ යැයි පැවසූ මහින්ද ප්‍රසන්නගේ දුරකථනයේ
ලවුඩ් ස්පීකර් පහසුකම ක්‍රියාත්මක කරන ලෙස දන්නවා අත්තනගල්ලට තේරීපත්ව සිටි මන්ත්‍රීවරුන්ට සුබ පැතුවේය.
‘ඔයාලා අතර බෙදීම් තියාගන්න එපා. කොහොම හරි එකතු වෙලා මේ ප්‍රාදේශීය සභාව දිනාගන්න බලන්න. පසුගිය කාලයේ අත්තනගල්ලට වෙච්ච දේවල් අපි දන්නවා. අපි බෙදුණොත් පරාදයි. ඒ හින්දා එකමුතුකම රැකගෙන මේ ගමන ඉදිරියටම යමු. ඔයාලට සුබ අනාගතයක්’ මහින්ද මන්ත්‍රීවරුන්ට සුබපතමින් කීවේය. අනතුරුව බැසිල්ද දුරකථන ඇමතුමක් ගෙන ප්‍රසන්නගෙන් තත්ත්වය විමසා සිටියේය.
‘ප්‍රසන්න ඉන්න හින්දා අපට බයවෙන්න දෙයක් නැහැ’ යැයි පැවසූ බැසිල් මන්ත්‍රීවරුන්ටද සුබ පතන්නට අමතක කළේ නැත. අනතුරුව මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙමින් ‘ප්‍රසන්න මන්ත්‍රීතුමාට තමයි අපි මේක බාරදීලා තියෙන්නේ. එතුමා ගන්න තීන්දුව තමයි අන්තිම තීන්දුව. ඒ හින්දා එතුමා කියන විදියට කටයුතු කරලා කොහොම හරි අපට මේ සභාවේ ජයග්‍රහණය අරගෙන දෙන්න’ කියාය. සභාවේ ඡන්දය පැවැත්වීමට පැය භාගයක් තිබියදී ආරම්භ කෙරුණු සාකච්ඡාව අවසානයේදී මන්ත්‍රීවරු එකඟතාවකට පැමිණ සිටියහ. මන්ත්‍රීවරුන් සභාවට යාමට පෙර සභාපති අපේක්ෂකයා කැඳ වූ ප්‍රසන්න සියලු දෙනාම ඉදිරියේ කොළයක් ලබා දුන්නේය. එහි සඳහන්ව තිබුණේ කලින් දිනක පැවැත් වූ රහස් ඡන්දයෙන්
තේරීපත් වූ උපසභාපති ධුරයට පත්කිරීමට නියමිත අපේක්ෂකයාගේ නමය.
හොඳින් නවා තිබූ කොළය සභාපති අපේක්ෂකයාගේ අතට දුන් ප්‍රසන්න ඔහු උපදෙස් දුන්නේ සභාපතිවරයා තේරීපත් වීමෙන් පසුව පමණක් කොළය දිගහැර බැලිය යුතු බවටය. සභාපතිවරයා එම උපදෙස් අනුව කටයුතු කළ අතර, සභාපති උපසභාපති ධුර දෙකම දිනා ගනිමින් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ බලය පොදුජන පෙරමුණ විසින් තහවුරු කර ගත්තේ බැසිල්ගේ අනාවැකිය ටක්කෙටම ඔප්පු කරමිනි.
රනිල්ගේ කරේ ඉඳගෙන පාර්ලිමේන්තුවට රිංගපු සමහර ඇමතිවරු රනිල්ව එළවන්න කුමන්ත්‍රණය කරනවා
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී මුණගැසුණහ. ඩලස්, මහින්දානන්ද, ප්‍රසන්න, පවිත්‍රා, රෝහිත ඇතුළු පිරිසක් එහි වූහ. ඔවුන්ගේ විශේෂ අවධානය යොමු කෙරුණේ අප්‍රේල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙනි.
‘විශ්වාසභංගය තුළින් අගමැතිට එල්ල කරපු අභියෝගය සුළුපටු එකක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය වගේම ආණ්ඩුවට සහයෝගය දෙන අනෙක් සියලු දෙනාත් මේකෙන් හෙල්ලිලා ගියා’ ඩලස් පැවසීය.
‘ඒ කතාව ඇත්ත. ආණ්ඩුවෙම ඉන්න ගොඩක් අයට රනිල්ව අයින් කරන්න ඕනකම තියෙනවා කියලා දැන් පැහැදිලි වෙලා ඉවරයි. ඒ අය බලන් ඉඳලා තියෙන්නේ කවුරු හරි අගමැතිව එළවලා දාන්න මූලිකත්වය ගන්නකම්. හැබැයි රනිල්වත් හිතන්න නැතිව ඇති මෙච්චර විරෝධයක් ආණ්ඩුව ඇතුළෙන්ම තියෙනවා කියලා’ මහින්දානන්ද පෙන්වා දුන්නේය.
‘රනිල්ව රටට වගේම දැන් එයාගෙම පක්ෂයේ අයටත් සහමුලින්ම එපා වෙලා ඉවරයි. කාටත් එපා වෙච්ච කෙනෙක් බලෙන් බලයේ රැඳිලා ඉන්න එකත් ඒකාධිපතිවාදයක් තමයි. හැබැයි එදා අපට නොයෙක් චෝදනා කරපු අයට රනිල් පක්ෂයෙත් ආණ්ඩුවෙත් බලෙන් රැඳිලා ඉන්න එක පේන්නේ නැහැ’ ප්‍රසන්න කීවේය.
‘රනිල් නායකත්වයට පත්වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂය ජනතාවට එපා වෙලාම ගියා. එහෙම වුණේ රනිල් බලයට පත්වුණාම කවදාවත් රට, ජාතිය, ආගම ගැන හිතන්නේ නැතුව වැඩ කරපු නිසයි. 2001 දී වගේම 2015 හදපු ආණ්ඩුවත් වැඩ කළේ රට, ජාතිය ගැන හිතන්නේ නැතුවයි’ පවිත්‍රා පැවසුවාය.
‘හැබැයි අපට ලැබිලා තියෙන ආරංචිවලට අනුව තවම රනිල් සටන අතහැරලා නැහැ. කොහොම හරි අගමැතිකමේ එල්ලිලා ඉන්න පුළුවන් තරම් උත්සාහ කරයි. ඒක තමයි රනිල්ගේ හැටි’ ඩලස් කීවේය.
‘ඔව් ඔව් අපටත් ආරංචි වුණා. දැන් මන්ත්‍රීවරුන් බිලී බාගන්න සල්ලි මලු පිටින් විසිකරනවයි කියලා. මන්ත්‍රීවරුන්ගේ වටිනාකම දැන් එන්න එන්නම වැඩි වෙනවා. මේ විදියට අල්ලස් දෙන්න වියදම් කරන්නේ බැඳුම්කරෙන් ගහපු සල්ලිද කියන එක ගැන විමර්ශනයක් කරන්න ඕන’ ප්‍රසන්න පැවසීය.
‘එදා බැඳුම්කර හොරු ආරක්ෂා කරන්න එකතු වෙච්ච කට්ටියම තමයි දැන් රනිල්ව ආරක්ෂා කරන්නත් එකතු වෙලා තියෙන්නෙ. මේ සේරම එක වල්ලේ පොල්’ රෝහිත කීවේය.
‘බැඳුම්කර වංචාවෙන් හොයපු මුදල් තමයි එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණයට වගේම පළාත් පාලන මැතිවරණයටත් වියදම් කළේ. සල්ලි හොරකම් කළාට ඒ සල්ලි වියදම් කරලා ජනමතය හොරකම් කරන්න බැහැ කියන එක නම් කට්ටියට පසුගිය මැතිවරණයේදී හොඳටම තේරුම් යන්න ඇති’ ප්‍රසන්න පැවසීය.
‘මන්ත්‍රීවරුන්ට අල්ලස් දීලා බිලී බාගත්තත් ජනතා කැමැත්ත අල්ලසට ගන්න බැහැ’ පවිත්‍රා පැවසුවාය.
‘විශ්වාසභංගය නිසා ආණ්ඩුව විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයත් දෙදරලා. දැන් පක්ෂය ඇතුළේ ඇනකොට ගන්නවා රනිල්ට සහාය දෙනවද, නැද්ද කියලා. ඒ අස්සෙන් තව කට්ටියක් පක්ෂ නායකත්වයට පොරකනවා. තවත් කට්ටියක් අගමැතිකමට පොරකනවා’ මහින්දානන්ද කීවේය.
‘ඕක තමයි යථාර්ථය. රනිල්ගේ කරේ ඉඳගෙන පාර්ලිමේන්තුවට රිංගපු එක්සත් ජාතික පෙරමුණේ සමහර ඇමතිවරු කොළඹ නිල නිවාසවලට රිගංලා රනිල්ව එළවන්න කුමන්ත්‍රණය කරනවා කියලා ආරංචියි. ඒ අය හදන්නේ අපේ පානෙන් එළිය බලන්නයි’ ප්‍රසන්න පැවසීය.
‘අද ජනතාව ඉන්නේ කොතැනද කියලා තේරුම් යන කිසිම කෙනෙක්ට විශ්වාසභංගයට විරුද්ධ වෙන්න බැහැ. මේ ආණ්ඩුව ගෙදර යායුතුයි කියලා අපි දරන මතයේ තමයි මේ රටේ බහුතර ජනතාව දැන් ඉන්නේ. ඒක පසුගිය මැතිවරණයේදී හොඳටම පැහැදිලි වුණා. ඒ හින්දා බහුතර මතයට පිටුපාලා විශ්වාසභංගය පරද්දන්න ඡන්දය දෙන කිසිම කෙනෙකුට දේශපාලන වශයෙන් අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිදහස් පක්ෂයේ අය හොඳින් තේරුම් ගෙන තියෙනවා කියලයි මම හිතන්නේ’ සියල්ල අසා සිටි මහින්ද කළ විග්‍රහය සියලු දෙනා අනුමත කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

