Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ඊයේ (9 දා) පැවැත්විණ. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්රවරුන් දැක්වූ අදහස් පහතින් දැක්වේ.
අනුර කුමාර දිසානායක (ජවිපෙ)
2008 වසරේදී ආරම්භ කර පවත්වාගෙන යන මාලඹේ සයිටම් ආයතනයට බරපතළ විරෝධයක් මේ වන විට මතුව ඇත. එම ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් , සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමැතිය ලබාගෙන නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව වගකීම දරණ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මෙම ආයතනය ප්‍රමිතියෙන් තොර බව ප්‍රකාශකර තිබියදී සයිටම් ආයතනය විසින් පුවත්පත් දැන්වීම් පළකරමින් වාර්ෂිකව ශිෂ්‍ය කණ්ඩායම් දෙක බැගින් බඳවාගත්තා.
මෙම නීතිවිරෝධී ආයතනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයටත්, නිදහස් අධ්‍යාපනයටත් බරපතළ තර්ජනයක්. මේ වනවිට රජයේ වෛද්‍යවරුන් විසින් පළාත් මට්ටමින් වැඩවර්ජන දියත් කරමින් මෙයට විරෝධතාව පළකර ඇති අතර, රජයේ වෛද්‍ය පීඨවල සිසුන් දින 400කට අධික කාලයක් විරෝධතා දියත් කරමින් සිටිනවා. විරෝධතාවේ නිරත ජන කොටස් වෙත මර්දනය දියත් කරනවා වෙනුවට, මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි ආයතනය වහාම අහෝසි කරන ලෙස මෙම ගරු සභාවට යෝජනාකර සිටිනවා.
මෙම ආන්දෝලනයට තුඩු දී තිබෙන හොර උපාධි කඩය යැයි හංවඩු ගැසී තිබෙන සයිටම් ආයතනය ආශ්රිත ප්රශ්නය මේ දක්වා වර්ධනය වීමට මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය හෝ සිසුන් කිසිවෙක් වගකිවයුතු නෑ. ආණ්ඩුවේ ඇමතිවරුත්, ආණ්ඩුවත් නිසි අවස්ථාවලදී නිසි පියවර නොගැනීමත්, ආණ්ඩුව හා ඇමතිවරුන් අනුගමනය කරන නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්රතිපත්තියත් නිසා තමයි මෙම ගැටලුව මේ දක්වා වර්ධනය වුණේ. මෙම අර්බුධයේ වගකීම සිසුන් වෙත හෝ වෛද්‍යවරුන් වෙත හෝ මෙයට එරෙහි අය මත පැටවීම කිසිසේත් සාධාරණ නෑ. මේක තමුන්නාන්සේලාගේ වරදක්, මේක තමුන්නාන්සේලාගේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ වැරැද්දක්.
මෙම ආයතනයේ නීතිවිරෝධීභාවය ගැන අපි දීර්ඝ කාලයක් මේ සභාවේ කතාකර තිබෙනවා. බී.ඕ.අයි ආයතනයෙන් අවසර ලබාගැනීමේදී වංචනිකවයි අවසර ලබාගෙන තිබුණේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔවුන්ට අවසර ලබාදී තිබෙන බවට බී.ඕ.අයි. ආයතනයට ලිපියක් යොමුකර තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස එවකදී සඳහන් කර තිබෙනවා එවැනි ලිඛිත අවසරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා නොදුන් බවට. විදේශ උපාධි ආයතනයකට අනුබද්ධ කරන්නත් අවසර දී නැහැ. ඒ නිසා බී.ඕ.අයි ආයතනයේ පිළිගැනීම වංචනික ක්‍රියාවක්.
සයිටම් ආයතනයේ පීතෘත්වය දරන රාජපක්ෂ පාලනයත්, හොර සයිටම් ආයතනය පවත්වාගෙන යමින් දේශපාලන රැකවරණය, ආරක්ෂාව ලබාදෙමින් සිටින වර්තමාන මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවත් මේ පිළිබඳව ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රකාශ කර තිබෙනවා. මේ පාර්ලිමේන්තුවට ඇවිත් ඔහුගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ලිස්සා යෑමේ ප්‍රතිපත්තිය අනුව කමිටුවක් පත්කර තිබෙනවා.
සෑම ප්‍රශ්නයක්ම උඩුදුවන්න දීලා ගොළුවන් කසාය බිව්වා වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අග්‍රාමාත්‍යවරයා තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළයුතුයි. කිසිවෙකුට හොරගල් අහුලන්න හෝ මේ ප්‍රශ්නයෙන් මගහැර යෑමට කිසිදු අයිතියක් නෑ. තවත් වැඩවර්ජන හෝ උද්ඝෝෂණ එන්න කලින් මෙය විසඳීම ආණ්ඩුවේ වගකීමක් වෙනවා.
මෙම සයිටම් හොර උපාධි කඩයට වෛද්‍ය උපාධියක් සඳහා අවසර ලබාදීම ගැන කිවයුතුයි. එස්.බී. දිසානායක මහතාගේ හැසිරීම ගැන මම පුදුම වෙන්නෙ නෑ. එතුමා උසස් අධ්‍යාපන ඇමතිව සිටින කාලේ සිසුන් 2000කගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න සූදානම් කිව්වා. සිසුන් 1000 - 1500ක් සිරගත කරන්න සූදානම් කිව්වා.
2011-08-31 වැනිදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් මාස හයක් තුළ සම්පූර්ණ කළ යුතු යැයි කියමින් මේක උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස පිළිගත්තා. එවැනි බලයක් ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පමණයි. මාස හය ගෙවෙන්නේ 2012 පෙබරවාරි 28 වැනිදා. එම මාස හයෙන් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නැවත ඇගයීමකට ලක් කළ යුතුව තිබුණා. නමුත් මාස හය ගෙවෙන්න දින 8ක් තිබියදී උපාධියක් පිරිනැමීමේ බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් උසස් අධ්‍යාපන ලේකම්වරයාට පවරා ගන්නවා. එසේ පවරා ගැනීමෙන් වංචාවක් සිදුව තිබෙනවා.
එස්. ශ්‍රීධරන් (දෙමළ ජාතික සන්ධානය)
වෛද්‍ය විද්‍යාව හැර අනෙකුත් ක්ෂේත්‍ර සඳහා පිහිටු වූ සයිටම් ආයතනයේ දැන් වෛද්‍ය විද්‍යාව උගන්වනවා. මේ නිසා එහි සිසුන් සම්බන්ධව චෝදනා එල්ල වෙනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍යවරුන් බිහිකරනවා නම් දුප්පත් සිසුන්ගේ තත්ත්වය කුමක්ද කියා අපි සොයා බැලිය යුතුයි. එවිට දුප්පත් ළමයින්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැතිවෙනවා. මෙතන තියෙන්නේ මුදල් බලය පමණයි.
ජනතාව කෝටි දෙක වෙනුවෙන් වසරකට පිටවෙන්නේ වෛද්‍යවරුන් 2200ක් පමණයි. වෛද්‍ය පීඨ අටක් පමණයි තිබෙන්නේ. එය වෛද්‍ය පීඨ 12ක් දක්වා වැඩි කළ යුතුයි. අද හෙද පුරප්පාඩු රැසක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට වඩා උතුරේ මෙම තත්ත්වය දරුණුවට තිබෙනවා. දැනට සිටින්නේ සිංහල කතා කරන අය පමණයි. වෛද්‍ය ක්ෂේත්රය මුදල් මත කටයුතු නොකළ යුතුයි. සයිටම් සම්බන්ධයෙන් ලංකාවේ හෝ විදේශ විශ්වවිද්‍යාලයක් වගකියන්නේ නෑ. මෙය ජනතාව පණපිටින් සිටියදී මරා දැමීමක්. මෙයට ඉඩ නොදිය යුතුයි. උතුරු නැගෙනහිර ජනතාවත්, උතුරේ ජනතාවත් විරෝධය පළකර තිබෙනවා. උතුරේ රැකියා විරහිත බවක් තිබෙනවා.
එම පළාතේ උපාධිධාරීන් උද්ඝෝෂණ කරමින් ඉන්නවා. අද යාපනය කච්චේරිය ඉදිරිපිට උපවාසයක් කරන අය පිළිබඳව රජය අවධානය යොමුකළ යුතුයි. සයිටම් ආයතනය විශ්වවිද්‍යාලයක් සමග අනුබද්ධ කරන්න. ඒ හරහා වෛද්‍ය සහතිකයට වටිනාකමක් ලබාදෙන්න.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල
සයිටම් විරෝධය පිටුපස තියෙන්නේ දේශපාලනයක්. සයිටම් ආරම්භ කරද්දී මේ අය කවුරුවත් විරෝධය පළ කළේ නෑ. ළමයින්ගේ ප්‍රමිතිය නෙමේ මෙතන ප්රශ්නය තියෙන්නේ. ළමයින්ට විභාගයකට මුණදීම ගැන මේ අය විරුද්ධ නැහැ. මෙතන තියෙන්නේ මැතිවරණ දෙකක් පැරදීම නිසා හටගත් අපහසුතාවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය තමයි නිදහස් අධ්‍යාපනය පිහිටු වූයේ. සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෙක්.
යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසුව විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය ඔක්කෝම පහසුකම් ලබාදී තිබෙනවා. දැන් ළමයින්ට ප්‍රශ්නයක් නෑ. 71 දී 89 දී ළමයි අතරමං කරලා දැන් මේ අය ප්‍රමාදය ගැන අහනවා. දැන් අධිකරණ තීන්දුවක් ලැබී තිබෙනවා. බංකොලොත් දේශපාලනයට අහිංසක විශ්වවිද්‍යාල ළමයි අල්ලගෙන. ඒ අයට මම කියනවා විශ්වවිද්‍යාල කටයුතුවලට සහභාගී වෙන්න කියලා. විරෝධය දක්වන අයට කියනවා පිටු 35ක නඩු තීන්දුව කියවන්න කියලා. අධිකරණ තීන්දුව පිළිගන්නෙ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්න. එයට අවසන් තීරණය ලැබෙන තෙක් අපි විශ්වවිද්‍යාල ආරම්භ කරමු. එයට සහය දක්වන්න.
ආරක්ෂක ලේකම්වරයාට බයේ තමයි කොතලාවල පීඨයට අවසර දුන්නේ. ඒක ප්‍රසිද්ධ රහසක්. හිටපු ජනාධිපති සයිටම් එකට ශිෂ්‍යත්ව 10ක්, මිලියන 600ක් දුන්නා. ලැජ්ජයි, ලැජ්ජයි.
දෙපැත්තම එකතුවෙලා අපි මේ දරුවන්ගේ අධ්‍යාපනයට සහය දෙමු. ඇයි පාරට ඇදලා තියෙන්නේ. මම නෙවිල් ප්‍රනාන්දු මහත්තයා එක්ක අවුරුදු 10කින් කතා කරල නෑ. වධකාගාර පවත්වන අයට පුළුවන්ද ආණ්ඩුව මෙහෙයවන්න. ඇමතිවරු මෙහෙයවන්න පුළුවන්ද? මේ අයගේ එකම කාර්යයත් විශ්වවිද්‍යාලයට එන අයට නවකවදය දෙන එක.
අවුරුදු 50ක් දේශපාලනය කරලා මන්ත්‍රීවරු 4-5ක් ඉන්නේ. ඒ නිසා අපිට සහය දෙන්න කියලා ඒ මිත්‍රයන්ට අපි කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරුවා වැදුවා. අපිට තමයි මේ දරුවා බලාගන්න වෙලා තියෙන්නේ. ඔවුන් ඕනෑම විභාගයකට පෙනී සිටීමට සූදානම් නම් ඇයි විරුද්ධ වෙන්නේ.
නඩු තීන්දුවක් ලබාදී තියෙන වෙලාවක මේක වහලා දැම්මොත් අපිට හිරේයන්න වේවි. මට විරුද්ධව සටන්පාඨ තිබ්බට කමක් නෑ. දැන් මේ විරෝධය අවසන් කරමු. දින 8ක් අපි නඩුවේ තර්ක කළා. එහෙම තිබියදී මේක පිළිගන්න බෑ කියන එක අධිකරණයට කරන අපහාසයක්. අපිට සහය දෙන්න. රට ගිනි තියන්න එපා. දැන් ශිෂ්‍යයන්ට දෙන්න දෙයක් නෑ. ගිහින් ඒ අයගෙන් අහලා බලන්නකෝ.
මම පසුගිය රජයට ප්‍රශංසා කරනවා මේක ආරම්භ කිරීම ගැන. වමට බර ආණ්ඩුවක් වුණත් කාලීනව සලකා බලා එය ආරම්භ කළා.
එස්.බී. දිසානායක (සමාජ සවිබලගැන්වීමේ හා සුභසාධන අමාත්‍ය)
සයිටම් ආයතනයේ ගුණාත්මක බව ගැන හැමෝම කතා කරනවා. ඇයි යාපනය, රජරට, සබරගමුව, මඩකලපුව විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ගැන මේ අය කතා කරන්නෙ නැත්තේ. මඩකලපුවේ තවම එක මහාචාර්යවරයෙක් නෑ. ඔය කෑ ගහන අයට ගිහින් ඒකෙ වැඩකරන්න පුළුවන්නේ. සයිටම් එකේ උපකුලපති විදියට සිටි මහාචාර්ය මල්කාන්ති සතියකට සැරයක් මඩකලපුවේ ගිහින් ඉගැන්වුවා. සයිටම් එකට එන්න මහාචාර්යවරු කැමතියි. ඒ ආයතනය හොඳට ගෙවනවා. සයිටම් එකෙන්ම ඒ අයට චැනලින් කරන්න පුළුවන්. ඔය කෑගහන වෛද්‍යවරුන්ට පුළුවන්නම් චැනල් කරන එක නවත්වන්න කියන්න. ඉස්පිරිතාලවල නිකන් දොස්තරවරු ඉන්නේ. මඩකලපුවට යන්න ලක්ෂ 4ක් දෙන්නම් කිව්වට ඒ අය ගියේ නෑ. මොකද සයිටම් එක ඒ අයට හොඳයි.
මුළු ලෝකයේ හැමතැනම පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙනවා. ඒකට විරුද්ධ තක්කඩිකම නිසයි. දැන් වෛද්‍ය සභාවත් සයිටම් එකට විරුද්ධයි. මේ රටේ දරුවෝ 46300ක් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නවා. මේ අයට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන්න බෑ.
අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබෙනවා උසස් අධ්‍යාපනය විශිෂ්ටත්වයේ කේන්ද්‍රයක් කරන බවට. අපි විදේශීය ළමයින්ට ශිෂ්‍යත්ව දුන්නා. ආසියාවේ දැනුමේ කේන්ද්‍රයක් කරන්න එය කළේ.
සයිටම් එකට මොකද වෙන්නේ කියල අපි බලමු. සල්ලි නැතිවුණාට උසස් අධ්‍යාපනය හදාරන්න බැංකු ණය දෙනවා. වෛද්‍ය ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව දේවි. මෙහේ වෛද්‍යවරයෙක් වෙන්න තියෙන නිදහස නැති කරන්න එපා. අපි සබරගමුව, ඌව වෙල්ලස්ස රජයේ වෛද්‍ය පීඨ ආරම්භ කරනවා. ආසියාවේ සිසුන්ට මෙහේ ඉගෙන ගන්න අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත්කරනවා. අපේ තීන්දු ගැන විශ්වාස නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ට තියෙන ශුද්ධ අයිතිය නැතිකරන්න එපා.
නලින්ද ජයතිස්ස (ජනතා විමුක්ති පෙරමුණ)
එස්.බී. දිසානායක සයිටම් වෙනුවෙන් මුල සිට පෙනී සිටියා. තමන්ගේ තීන්දුවලට පිටින් ගියොත් වෛද්‍ය සභාව විසුරුවා හරිනවා කියලා එතුමා කියා සිටියා. දැන් අපිට කියනවා විදේශ විනිමය ඉතිරි කරන්න මෙහෙම කරනවලු. අපේ උපාධිය ගැන ලෝකයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා විදෙස් ශිෂ්‍යයන් මෙහේ ඉගෙන ගන්නවා. අපි වෛද්‍යවරුන් ලෙස ඉගෙන ගනිද්දී අපේ කණ්ඩායම්වලත් එහෙම අය සිටියා. අපේ උපාධිය ගැන විශ්වාසයක් තියෙන නිසයි එහෙම ඉල්ලුම් කරන්නේ. සත්ත්ව විද්‍යාව ඉගෙන ගන්න පැමිණි විදෙස් ශිෂ්‍යයන් දෙදෙනෙක් සයිටම් එකට යවලා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. ඒ අයට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මුදල් ගෙවලා. ඉතිං කොහොමද විදේශ විනිමය ඉතුරු වෙන්නේ.
මෙවැනි වංචනික ආයතනයක් ආරම්භ කරලා පවත්වාගෙන යන කවරෙකු වුවත් වැරදියි. අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතියයි ඉන් නැතිවෙන්නේ. 2014 දී රුපියල් මිලියන 1300 ක් නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් එකේ ලාභ ලබලා. වසරක් තුළ රුපියල් මිලියන 1000ක් ලාභය වැඩි කරගෙන තිබෙනවා. ඒ ලාභයෙන් කොටසක් ඇමතිවරුන්ට දෙන එක ඒ අයට එතරම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒවා ඇමති දියණියන් හරහා වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි.
වෛද්‍ය සභාව ඩෝසර් කරලා හරි සයිටම් පවත්වාගෙන යන්නයි මේ අය උත්සාහ කරන්නේ. අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පාර්ලිමේන්තුව ගැසට් කරන්න ඕන. ඒක 2006 ඉඳන් වළක්වන්න රාජිත සේනාරත්න ඇතුළු පිරිස උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා සයිටම් එක වහාම අහෝසි කළ යුතුයි.
ඒකාබද්ධ පක්ෂය වෙනුවෙන් වෛද්‍ය රමේෂ් පතිරණ (එජනිස)
නිදහස් අධ්‍යාපනයේ වෘක්ෂය වනස්පතියක් වගේ වැඩෙනකොට එහි ඵල භුක්ති විඳින්න අපිට වාසනාව තිබුණා. මේ රටේ සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් භුක්ති විඳපු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින්න අපිට අයිතියක් තිබෙනවා. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල හැටියට අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන්, මැදිරිගිරියෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආපු දරුවො, ඌව වෙල්ලස්සෙන්, අම්පාරෙන් කාරපිටියට ආපු දරුවෝ ලංකාවේ සෞඛ්‍ය ඉතිහාසය තීරණාත්මක ලෙස වෙනස් කළා. ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුපමේය සේවයක් කළා. එහෙම කරපු නිසා තමයි සෞඛ්‍ය ක්ෂේත්රය කීර්තිමත් තැනකට ගෙනියන්න පුළුවන් වුණේ.
සංවර්ධනය ගැන, මානව හිමිකම් ගැන මොන අඩුපාඩු තිබුණත් අපිට ලෝකයේ ඕන තැනක ගිහින් ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරන්න පුළුවන්. ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කරලා ලංකාවට නව වෛද්‍යවරුන් අවශ්‍ය බවට කරුණක් සමජගත කරන්න හදනවා. නමුත් වෛද්‍යවරයෙකු බිහිකළ යුත්තේ ප්‍රමිතියකින් යුක්තවයි. වෛද්‍යවරුන් බිහිකරන්නන් වාලේ බිහිකළ යුතු නැති බව අපිට පේනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියනවා සයිටම් ආයතනයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් තිබෙන බව. සායනික පරීක්ෂණවල තත්ත්වය මදි, අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වීම් වල ගැටලු තිබෙනවා. ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ තත්ත්වයන් පිළිබඳ ගැටලු තිබෙනවා. නඩු තීන්දුවක් ගැන මේ අය කතා කරනවා. නීතිය සැමවිටම යුක්තිය නොවන බව කිව යුතුයි. නීතිය ගතිකයි. නීතිය තීරණය කරන්නේ උසාවියට ඉදිරිපත් වන කරුණු අනුවයි. නීතිය යුක්තියක් වන්න නම් නීතිය කරවන විනිශ්චයකාරතුමන්ලා සමාජ මතය විමසන්න අවශ්‍යයි. හැබැයි ඔවුන්ට වෛද්‍ය සභාවට බලපෑම් කරලා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තීරණය කරන්න බෑ.
එක්සත් ජාතික පාලන කාලයේදී ධවල පත්‍රිකා හරහා මතු වූ දේ නැවත අලු යට ගිනිපුපුරු මෙන් මතුව තිබෙනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි. ඒකෙන් අත පිහදාගන්න කාටවත් බෑ. ශිෂ්‍යයන්ට හා වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්න. මේක දැවැන්ත සමාජ ප්‍රශ්නයක්. එය විසඳන්න කටයුතු නොකළහොත් ඉතිහාසය අපිට ශාප කරාවි. ඒ නිසා සයිටම් ආයතනය ජනසතු කළ යුතුයි.
රන්ජන් රාමනායක
සයිටම් එකේ අධිපතිවරයාගේ හැසිරීම බලන්න. සමීර නිශාන්තට වෙඩිතිබ්බා කියලා රඟපෑම් කරනවා. ජනතාව පීඩා කරමින් උද්ඝෝෂන කිරීම වැරදියි. මේ අංග විකල දරුවා බිහිවෙලා ඉවරයි. මෙයට විශාල මුදලක් වැයකර තිබෙන නිසා මෙහි ප්‍රමිතිය ඉහළ දැමීම අපි කළ යුතුයි. අද වෛද්‍ය වෘත්තීයේ ගෞරවය විනාශ කිරීමට වෛද්‍ය සභාව හා තවත් වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා. සායන පහසුකම් වැඩි කරන්න. මෙම ශිෂ්‍යයන්ට අසාධාරණයක් වෙන්න දෙන්න එපා. එම සියලුදෙනා ලංකාවේ ශිෂ්‍යයො. මේ දරුවෝ අවශ්‍ය විභාග පාස්වෙනවානම් අවස්ථාව ලබාදෙන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd