Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මෙවර පාර්ලිමේන්තු සතිය ආරම්භයේදීම උණුසුම් මුහුණුවරක් ගත්තේය. ඒ කැබිනට් මණ්ඩල රැස්වීම හේතුවෙනි. විවිධ පනත් හා නියෝග සම්බන්ධවද විවාද පැවත්වූ අතර, නව ව්‍යවස්ථා සම්බන්ධයෙන් අදහස් දැක්වූ කල්තැබීමේ විවාදයක්ද පාර්ලිමේන්තුවේදී පැවැත්විණ. එමෙන්ම කමිටුශාලා තුළද විවිධ විෂයන්ට අදාළව විවිධ හමුවන් පැවැත්වුණු අතර, මේ සියලු විස්තර සතියේ පාර්ලිමේන්තුව තුළින් මෙලෙස දිගහැරේ.
රවීට හොඳට දෙහි කැපුවා
මෙවර කැබිනට් හමුව පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, එයට සහභාගී වීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. කටුකුරුන්ද බෝට්ටු අනතුරින් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් වන්දි ගෙවීමට මෙහිදී යෝජනා වූ අතර, ඒ සඳහා ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගැනීමටද යෝජනා විය.
කෙසේවුවද මෙවර කැබිනට් හමුව උණුසුම් වූයේ දයාසිරි ජයසේකර හා රවී කරුණානායක අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේදී බහින්බස් වීමක් දුරදිග යාම නිසාය. රවී කරුණානායක අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුවේ මුදල් සම්බන්ධ කටයුතු නිසි අයුරින් රටට පැහැදිලි නොකරන බව මෙහිදී ඔහුට එල්ලවුණ ප්‍රධාන චෝදනාව විය. පසුගිය ආණ්ඩුවේ ණය ගෙවීමට තිබෙන කරුණ සත්‍ය වුවද එයට අමතරව වත්මන් ආණ්ඩුව සිදුකරන කටයුතු පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙසද මෙහිදී දයාසිරි අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත.
එම ගැටුම සමතයකට පත්කර කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යාමේදී කබීර් හෂීම් අමාත්‍යවරයාට අයත් ශ්‍රී ලංකන් ආයතනය සම්බන්ධ කැබිනට් පත්‍රිකාවකට මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීම මත නැවත වරක් රවී කරුණානායක සහ කබීර් හෂීම් අමාත්‍යවරුන් බහින්බස් විය.
කෙසේ හෝ මෙම අමාත්‍ය මණ්ඩල ගැටුම් හේතුවෙන් කැබිනට් මණ්ඩලය අවසන් වීමට බොහෝ කාලයක් ගතවිය. මෙම ගැටුම්වලට පිළිතුරු ලබාදීමට සිදුවන නිසාදෝ මෙවර කැබිනට් තීරණ දැනුම් දීම සම්බන්ධ සතියේ මාධ්‍ය හමුවද අවලංගුකර තිබුණි.
ණය බර වැඩියි
ලංකාව ලබාගෙන ඇති ණය හේතුවෙන් ඉදිරි වසර 10 තුළ පොළිය සහ ණය වාරික වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 36 ක් ගෙවීමට ඇති බව කැබිනට් හමුවේදී ප්‍රකාශ වී ඇත. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් ගෙවිය යුතු බවත්, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් කැබිනට් මණ්ඩලය සාකච්ඡාකර තිබේ.
විශේෂ දළදා පෙරහරක්
ජාත්‍යන්තර වෙසක් සැමරුම් උලෙළ මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇති අතර, මේ දිනවල රජය ඒ වෙනුවෙන් දැඩි සුදානමක සිටී. මේ පිළිබඳව මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක්ද පාර්ලිමේන්තුවේදී පසුගියදා කැඳවා තිබුණි.
ජාතික වෙසක් උත්සවයකට එහා ගිය ජාත්‍යන්තර මට්ටමේ වෙසක් උත්සවයක් පවත්වන බව එයට සහභාගී වූ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. එහිදී කොළඹ නගරය අලංකාර කරන ආකාරය පිළිබඳවද දැනුවත් කළ අතර, එයට සහභාගී වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රචාරයක් අවශ්‍ය බවයි.
එමෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උලෙළ වෙනුවෙන් විශේෂ දළදා පෙරහරක් පැවැත්වීමටත්, දළදා ප්‍රදර්ශනයක් සිදුකිරීමටත් රජය තීරණයකර තිබේ.
උඹලා මේක අපේ ඇඟේ ගැහුවා
පාර්ලිමේන්තු සතිය ආරම්භ වූ අඟහරුවාදා දිනය පාර්ලිමේන්තුවට ඉතා කාර්යබහුල දිනයක් විය. සෑම කමිටු ශාලාවකම විවිධ රැස්වීම් පැවැත්වුණ බැවින් මැතිඇමතිවරුන් මෙන්ම නිලධාරීන්ද බොහොමයක් එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.
සිය කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පාර්ලිමේන්තුවේ අදාළ කමිටු ශාලාව සොයමින් කොරිඩෝවේ පැමිණෙන විට ඔහුට මුහුණට මුහුණ මුණගැසුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙණිය මහතාය.
''ආ ඩොක්ටර් මෙහෙ මොකද?'' විමල් වීරවංශ මහතා ඔහු දුටු සැනින් සිනාසී ඇසුවේය.
ඉදිරි දිනක පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර සහ නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හමුවීමට ඔහු පැමිණ තිබුණි. මෙහිදී වීමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ පාදෙණිය වෛද්‍යවරයා සතරකම්මන්ත්රණයක යෙදුණ අතර, එය නිමා වූයේ දෙදෙනාගේම සිනහබර මුහුණෙනි.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා සමග කතාබහ නිම කළ පාදෙණිය මහතා අදාළ කමිටු ශාලාව වෙත පැමිණෙන විට ඒ අසල සිටි මාධ්‍ය ප්‍රධානියෝ සියල්ලෝම වටවී ඔහුගෙන් සයිටම් ගැන අසන්නට විය.
මේ කතාබහට නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාරණද එක්වූයේ එවිටමය.
''ගිය ආණ්ඩුවේදි විරුද්ධ නොවුණ සයිටම් එකට ඔබතුමාලා දැන් විරුද්ධ වෙන්නෙ ඇයි?''
''නෑ ඇමතිතුමා අපි ඒ කාලෙත් විරුද්ධ උනා...''
''මෙතන තියෙන අවුල මේකයි..'' කියා පාදෙණිය මහතා පැහැදිලි කිරීමක් කිරීමට සූදානම් වුවද ඔහු අසරණ වන මට්ටමට හරස් ප්‍රශ්න ගලා එන්නට විය. පාදෙණිය මහතා කුමන පිළිතුර දුන්නද එතැන සිටි පිරිස් එම තර්ක බිඳ දැමුවේය.
අවසානයේ කරු පරණවිතාරණ නියෝජ්‍ය අමාත්‍යවරයා සිනාසෙමින් පැවසුවේ
''උඹලා මේක අපේ ඇඟේ ගැහුවා'' යනුවෙනි.
සභා මැද වාහන ප්‍රශ්න
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ ක්‍රියාමාර්ග ගත් අතර, ඉන්පසුව එය යටගියේ විසඳුමකින් තොරවයි. එසේ වුවද මෙතෙක් එම මන්ත්‍රීවරුන්ට වාහන ලබාදී නොමැත.
පාර්ලිමේන්තුව ආරම්භයේ කථානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකරමින් පැවති අවස්ථාවේදී සභාගැබ තුළ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් වටවී යමක් කතාකරමින් සිටි අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම එතැනට වහා පැමිණියහ.
ගයන්ත සහ රවී අමාත්‍යවරුන් දෙදෙනා මෙම මන්ත්‍රීවරුන් සමග බැරෑරුම් සාකච්ඡාවක් සිදුකළ අතර, විනාඩි 15ක් පමණ පැවති මෙම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවක් දිස්විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සිය අසුනේ සිට මන්ත්‍රීවරුන්ගේ සභා මැද සභාව දෙස බලා සිටියේය. කෙසේ හෝ එම සාකච්ඡාව අවසන් වූ අතර, පසුව දැනගැනීමට ලැබුණේ මෙසේ සාකච්ඡාකර ඇත්තේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවට ප්‍රකාශ වූ වාහන පිළිබඳව බවයි. 'වාහන දෙනවා කියල අපිව රවට්ටන්න එපා ඇමතිතුමාලා' යැයි එහිදී නවක මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන්ට ප්‍රකාශකර ඇති බවද ආරංචි විය.
ප්‍රශ්න වෙලාවට ඇමති එළියේ
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න කිහිපයක්ම මෙවර පාර්ලිමේන්තු සතිය තුළ න්යායපත්රයට ඇතුළත් වී තිබුණද ඒ කිසිවකට පිළිතුරු දීමට දුමින්ද දිසානායක අමාත්‍යවරයා පැමිණියේ නැත. ඒ සඳහා පිළිතුරු ලබාදුන්නේ නියෝජ්‍ය ඇමති අලුවිහාරේ මහතායි.
ගොවිජන බැංකු සම්බන්ධ ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇසීමට නියමිතව තිබුණ අතර, ඒ වනතුරු සභාගැබේ රැඳී සිටි දුමින්ද අමාත්‍යවරයා ප්රශ්නය අසනවිට සභාගැබේ නොසිටියේය. සුපුරුදු පරිදි නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන් අතර, පිළිතුරු දීම අවසන් වූ ක්ෂණයකින් අමාත්‍යවරයා නැවත සභාගැබට පමිණියේය. සිනාහමුසු මුහුණින් නියෝජ්‍ය අමාත්‍යවරයාට යමක් ඔහු පැවසුවේ 'වැඩේ හරි නේද?' කියන්නාක් මෙනි.
කෙසේවුවද අදාළ අමාත්‍යාංශයන්හි ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට කථානායකවරයා අවස්ථා කිහිපයකදීම නියෝගකර තිබුණි.
අකිල කළකිරිලා
පාසල් පද්ධතිය තුළ මතුවී ඇති ගැටලු විසඳීමට කොතෙකුත් හොඳ තීන්දු තීරණ ගත්තද ඒවා ක්‍රියාත්මක කිරීමට පළාත් සභා ඉඩ නොදෙන බැවින් තමාට කිසිවක් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසුවේ කලකිරුණු ස්වභාවයෙනි.
''දිර්ඝ කාලයක් ගුරුවන් එකම පාසල තුළ රැඳීම ගැටලුවක්. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සහ පළාත් සභා සමග සාකච්ඡා කළා. ගුරු තුලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්තත් ගුරු තුලනය කරන්න පළාත් සභා එකඟත්වයක් නැහැ. ඒ නිසා ගුරු තුලනය යථාර්ථයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි සෑම උත්සාහයක්ම, ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබුවා. විදුහල්පතිවරුන් 3901ක් බඳවා ගත්තත් අද වනතුරු ස්ථානගත කරලා නැහැ. ගුරුවරුන් තමයි වැඩ බලන්නේ. පළාත් සභාවලින් ඒ කාර්යය මඟහැර තිබෙනවා. මේ භාවිතාවන් පිළිබඳව, ගුරුවරුන් බඳවාගැනීම පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ඒවා මගේ මට්ටමින් ඉෂ්ට කරන්න බැහැ'' යැයි අමාත්‍යවරය එහිදී පැවසීය.
බුද්ධිකට ප්‍රශංසා
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේ සෑම දිනකම චාවික ප්‍රශ්න අසන මන්ත්‍රීවරයෙකි. ඔහු අතුරු ප්‍රශ්න අසනවිට ප්‍රශ්නයට අමතරව කතාවක් පවත්වනවාක් මෙන් විශාල විස්තරයක් කර ප්රශ්නය අසයි. මෙමගින් කාලය වැඩි වශයෙන් ගතවන බැවින් කථානායකවරයා කිහිපවිටක්ම බුද්ධික මන්ත්‍රීවරයාට පැවසුයේ සෘජුව ප්රශ්නය අසන ලෙසයි. කෘෂිකර්ම ප්‍රශ්නයට අතුරු ප්‍රශ්නයක් අසමින් දේශනයක් පවත්වනවිට කථානායකවරයා තරමක් තද ස්වරයෙන් පැවසුවේ,
''මන්ත්‍රීතුමා කරුණාකරලා ප්රශ්නය අහන්න'' යනුවෙනි.
''හොඳයි කථානායකතුමනි'' කියමින් මන්ත්‍රීවරයා ප්රශ්නය ඇසූ අතර, අවසානයේ කථානායකවරයා පැවසුවේ,
''බුද්ධික මන්ත්‍රීතුමා කාලීන වැදගත්කමකින් යුතු ප්‍රශ්න අහනවා. ඒක හොඳයි. මම කියපු එක වරදවා තේරුම්ගන්න එපා. කාලය ඉතුරු කරගන්න ඕන නිසයි මම එහෙම කිව්වේ'' යනුවෙනි. එවිට ''කථානායකතුමාට දුක හිතුණා නේද?'' කියා සභාවේ මන්ත්‍රීවරයෙක් පැවසුවේය.
එවිට බුද්ධික මන්ත්‍රීවරයා පැවසුවේ
''අනේ නැහැ.. කථානායකතුමා ඔබතුමා මට ආදෙරෙයි... මම ඔබතුමාට ආදරෙයි'' කියාය. එවිට මුළු සභාගැබම සිනාසුණි.
ප්‍රශ්නෙ දන්නෙත් නැහැ
පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න අසන මන්ත්‍රීන් සහ පිළිතුරු දෙන ඇමතිවරුන් අතර සමහරක් අඩු අවධානයකින් යුතුව පාර්ලිමේන්තුවේ සිටිනා බව මෙවර පාර්ලිමේන්තුව පැවැත්වූ දින කිහිපය තුළම දිස්විය.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් අසන අවස්ථාවේ අවධානය වෙනතකට යොමුව තිබූ දයා ගමගේ අමාත්‍යවරයාට එය ඇසුණේ නැත. අසල සිටි ඇමතිවරුන් ඒ ගැන කියනවිට ඔහු කලබල වී නැගිට පිළිතුරු දෙන්නට පටන්ගත්තද හදිස්සිය නිසා පිළිතුරුද පැටලුණි. එපමණක් නොව ඔහු අසුනෙන් නැගිටි වේගයට ඔහු අත තිබූ ජංගම දුරකථනයද විසිවී ගියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ප්‍රශ්නයක් යොමුකිරීමට තිබුණද, කථානායකවරයා ඔහුට අවස්ථාව දෙන විට ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සමග කතාබහක නිරත වෙමින් සිටියේය. ඔහුට හෝ එම මන්ත්‍රීවරුන්ට එය නෑසුණ අතර, කථානායකවරයා ඊළඟ මන්ත්‍රීවරයාට අවස්ථාව දුන්නේය. අලුත්ගමගේ මහතාට තමාගේ ප්රශ්නවාරය පිළිබඳ මතක් වූයේ බොහෝ වෙලා ගොසිනි.
''කථානායකතුමනි, මගේ ප්රශ්නය අහන්න අවස්ථාවක් දුන්නෙ නැහැනෙ'' යැයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා අසන විට කථානායකවරයා පැවසුවේ,
''මම අවස්ථාව දුන්නා.. ඔබතුමා ඒ අවස්ථාව ගත්තෙ නැහැ. දැන් වෙලාව දෙන්න බැහැ. පිළිතුරු සභාගත කරන්න'' යනුවෙනි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසා තිබූ අතර, කථානායකවරයා එයට අවස්ථාව ලබාදුන් විට ඔහුද අන්දමන්ද විය. න්යායපත්රයේ ප්රශ්නය තිබෙනවාද කියාවත් ඔහු දැනසිටියේ නැත.
කථානායකවරයා අවස්ථාව දුන් විට මන්ත්‍රීවරයා ප්රශ්නය අසන්නටත් ප්‍රථම ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පිළිතුර කියවාගෙන යන්නට විය. කිසිවක් කරගැනීමට නොහැකිව අන්දමන්දව සිටි හේෂා විතානගේ මන්ත්‍රීවරයා පිළිතුර අවසානයේ අමාත්‍යවරයාගෙන් අතුරු ප්‍රශ්නයක් ඇසුවේ ලැජ්ජාව වසාගැනීමට මෙනි. කෙසේවුවද එවිට සභාගැබේ මන්ත්‍රීවරයෙක් පැවසුවේ ප්‍රශ්නෙ තියෙනවද කියලවත් මෙයාලා දන්නෙ නැහැ යනුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමුකළ අවස්ථාවේදී සාගල රත්නායක අමාත්‍යවරයා චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරිය සමග කතාබහක යෙදී සිටි බැවින් ප්රශ්නය නෑසිණි. ඒ අවස්ථාවේදී ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සාගල අමාත්‍යවරයා අසලට ගොස් සාගල ප්‍රශ්නෙට උත්තර දෙන්න යැයි කියනතුරු ඔහුට එය නෑසුණි.
ව්‍යවස්ථා සම්පාදනයට සාකච්ඡා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුව මෙම සතියේදී පාර්ලිමේන්තුවේදී රැස්වූයේ දීර්ඝ කාලයකට පසුවයි. ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර, සාකච්ඡා සාර්ථක බවද වාර්තා විය.
එමෙන්ම නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පළාත් මහ ඇමතිවරුන්ගේ අදහස් සලකා බැලීමටත්, ඒ අනුව විසඳුමක් කරා යාමටත් මෙහිදී තීරණය කරගෙන තිබේ.
ව්‍යවස්ථා සම්පාදන කාර්යයෙන් ඉවත්වන බව පසුගියදා ඒකාබද්ධ විපක්ෂය පැවසුවද එවැනි කිසිවක් මෙහිදී කිසිවකු පවසා නැති අතර, ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෝද ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යහපත් ලෙස කරුණු දක්වා ඇති බව මෙහෙයුම් කමිටු ආරංචිමාර්ග පැවසීය.
බලය බෙදන්න අපි කැමතියි
නව ව්‍යවස්ථාවට මෙන්ම බලය බෙදීමකට එකඟ නොවන බව මෙතෙක් පැවසූ ඒකාබද්ධ විපක්ෂය, ව්‍යවස්ථා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ තම පක්ෂය බලය බෙදීමට එකඟ බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා කල්තැබීමේ විවාදයේ අදහස් දක්වමින් පැවසුවේ,
''බලය බෙදන්න අපි විරුද්ධ නැහැ. මේ ක්‍රියාදාමයටයි අපි අකමැති. අපේ මුලික අයිතිවාසිමකම් වැඩිදියුණු කරගත යුතුයි. එයට අපි එකඟයි. නමුත් ඒවා කළයුත්තේ ජාත්‍යන්තර අවශ්‍යතාවට නොවෙයි, අපේ අවශ්‍යතාව අනුවයි. බලය බෙදාගැනීම සම්බන්ධයෙන් සාධාරණව කතා කළ යුතුයි. සාධාරණ විසඳුමක් දිය යුතුයි'' යැයි පැවසීය.
වැඩිය කල් යවන්න එපා
එමෙන්ම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පරක්කු නොකරන ලෙසත්, එය ඉක්මන් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ලැබී ඇති මෙම අවස්ථාව දුර්ලභ බවත්, එයින් ප්‍රයෝජනය ගතයුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
මේ වගේ මිනිස්සුද ඉස්කෝලෙක ප්‍රධාන අමුත්තා හැටියට ගෙන්වන්න කියන්නේ
නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා උලෙළට තමන්ට ආරාධනා නොකිරීම ගැන අදාළ විදුහල්පතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා දැඩි ආවේගයෙන් පැවසීය.
''ඒ උත්සවයට මම කතා කළේ නැහැ.. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගෙන්නුවා.. ඒක මට කළ අසාධාරණයක්... මේ ගැන මම ආණ්ඩුකාරතුමියටත් කිව්වා'' යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එම අවස්ථාවේදි නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රකාශයට විරෝධය දක්වමින් ''එහෙම විනය පරීක්ෂණ පවත්වන්න පුළුවන්ද... කිසිසේත්ම එය අනුමත කළ නොහැකියි. ආණ්ඩුකාරතුමියටත් කිව්වලු. මම දක්කා එතුමියත් පසුගිය දවසක විදුහල්පතිවරයෙක්ට කතා කරපු හැටි...'' යැයි කීවේය.
එහිදී නැගි සිටි මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා,
''අනේ මේ මොනවද මේ කියන්නේ.... බොරුවට කෑ ගහන්න එපා...'' යැයි ප්‍රකාශ කළේය.
''අයියෝ සභාපතිතුමනි, මේ වගේ මිනිස්සුද ඉස්කෝලෙක ප්‍රධාන අමුත්තා හැටියට ගෙන්වන්න කියන්නේ.... විදුහල්පතිතුමාට ප්‍රශංසා කරන්න ඕන මෙහෙම කෙනෙක් නොගෙන්වූ එකට'' යැයි දිසානායක මහතා කීවේය.
''හරි හරි අපි දන්නවා ඔයාගෙ කෙරුවාව'' යැයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසීය.
''මම මෙතුමා සමග පැටලෙන්න කැමති නැහැ.. එතුමා සමග ප්‍රශ්නයකුත් නැහැ.. වෙච්ච දේ තමයි කියන්නේ. මට විවාදයට ඉඩ දෙන්න'' යැයි අනුරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
සිරගත සිතුවම්
බන්ධනාගාරගත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ දිනවල පාර්ලිමේන්තුවේදී සන්ධානයෙන් වෙන්ව ස්වාධීන වීමට ඉල්ලා සිටියි. මේ අතර බන්ධනාගාරයේ සිටින අතරතුර පොත් දෙකක් ලිවීමට බලාපොරොත්තු වන බවද වරෙක පවසා තිබුණි.
පාර්ලිමේන්තු කොරිඩෝවේදී මන්ත්‍රීවරයාට මුණගැසුණු මාධ්‍යවේදියෙකුට පැවසුවේ,
''මම ඇතුළෙ ඉන්න කාලෙදි පොතට අමතරව චිත්‍ර කිහිපයක් අඳින්න කියලා හිතුවා...''
''මොන වගේ චිත්රද මන්ත්‍රීතුමා''
''බන්ධනාගාරයේ සිදුවීම් ටිකක්... ඒකට නම දාන්නෙ 'සිරගත සිතුවම්' කියලා... චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්නත් හිතල තියෙන්නේ...''
''කාලෙ ඇතිවෙයිද මන්ත්‍රීතුමා... ඉක්මනට ඇප ලැබෙයි නේද?''
''27 ත් ඇප ලැබෙන්නෙ නැතිවෙයි.. ඒ නිසා චිත්‍ර 25ක් විතර අඳින්න පුළුවන් වෙයි... දැනුත් කිහිපයක් ඇඳල තියෙන්නේ..'' යනුවෙන් පැවසීය.
මෙවර පාර්ලිමේන්තු සතිය ඊයේ (23දා) යින් අවසන් වූ අතර, යළි මාර්තු මස 07දා දක්වා කල් තැබිණ.
දේශපාලන වාර්තාකරු විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd