සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සාමාන්‍යයෙන් යෙදෙන්නේ මැයි මාසයටය. එහෙත් මෙවර එය අප්‍රේල් මාසයට යෙදීම පිළිබඳ සමාජය තුළ කතාබහක් ඇතිව තිබේ. එමනිසා මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සඳහා අපි ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා සම්බන්ධ කරගතිමු.
සාමාන්‍යයෙන් වෙසක් පොහොය යෙදෙන්නේ මැයි මාසයටයි. නමුත් මෙවර වෙසක් පොහොය යොදාගෙන තිබෙන්නේ අප්‍රේල් 29දාටයි. බොහෝ විට ජ්‍යෝතිෂ ගණිතය සහ ජ්‍යාමිතිය පිළිබඳව අධ්‍යයනය කරන්නකු හැටියට මේ ගැන ඔබගේ මතය කුමක්ද
ජ්‍යෝතිෂමය ගණනය කිරීම් අනුව ගත්තොත් අප්‍රේල් 29දා ඉරිදා පෙරවරු 06.30න් පසුව වෙසක් පුර පසළොස්වක පොහොය උදාවෙනවා. එය කිසිම සැකයක් නැතිව නිවැරදි වෙසක් පුන් පොහෝ දිනය හැටියට තීරණය කිරීම හරියටම හරි. මොකද පොහොය දින තීරණය කරන්නේ සඳු ග්‍රහයා මුල්කොට ගෙනයි. ජ්‍යෝතිෂ ගණිතයට සම්බන්ධ ගණනය කිරීම් අනුව සඳු ග්‍රහයාගේ වෙසක් පුර පක්ෂය ආරම්භ වුණේ පසුගිය අප්‍රේල් 17දායි. මෙතන පටලවාගෙන තියෙන්නේ ඉංග්‍රීසි මාස සහ චන්ද්‍ර මාස කියන දෙකම එකක් හැටියට ගැනීමයි. ජූලියන් හෝ ග්‍රෙගරියන් කැලැන්ඩර් අපට බෝ වුණේ මෑත කාලයේදීයි. මුලින්ම තිබුණේ සූර්ය සහ චන්ද්‍ර මාස ක්‍රමයයි. විශේෂයෙන්ම පොහොය තීරණය කිරීමට නම් එක එල්ලේම සම්බන්ධ වෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමයයි. ඔය අප්‍රේල් මාසය අමතක කරලා වෙසක් කියන චන්ද්‍ර මාස ක්‍රමය විතරක් පිරිපහදු කරලා ගත්තම කිසිම ප්‍රශ්නයක් නැතිව මෙවර වෙසක් පුර පසළොස්වක යෙදෙන්නේ කවදාටද කියා තීරණය කරන්න පුළුවන්.
නමුත් මැයි මාසයටත් පුර පසළොස්වක පොහොය දිනයක් යෙදී තිබියදී එම පොහොය වෙසක් ලෙස නම් නොකර අප්‍රේල් මාසයේ 29 වෙසක් ලෙස නම් කිරීම නුහුරු, අසාමාන්‍ය දෙයක් වෙන්නේ නැද්ද
ඔව්. බැලූ බැල්මට ගත්තොත් එතැන නුහුරු අසාමාන්‍ය බවක් තියෙනවා තමා. මොකද මේ ඉංග්‍රීසි මාස ක්‍රමයට ඇබ්බැහි වෙලා ඉන්න නිසා මේ තත්ත්වය කෙනෙකුට තවත් සංකීර්ණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබ ඒ මැයි හැටියට හඳුනාගන්නා පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන මැයි 28 ජ්‍යෝතිෂය අනුව අධි පොසොන් හැටියටයි හඳුන්වන්නේ. ඇත්තටම අසාමාන්‍ය ලක්ෂණයක් තියෙන්නේ ඒ පොසොන් පොහොයට මිස වෙසක් පුර පසළොස්වක පොහොයට නෙවෙයි. ව්‍යවහාර සම්මත මැනීම්වලට සාපේක්ෂව සඳු ග්‍රහයා සතු චලනය අනෙක් ග්‍රහයන් වගේ නිශ්චිත ඒකාකාර නීතියටම සිදුවෙන්නේ නෑ. යම් අවස්ථාවල එහි වේගය සහ දුර මැනීම වෙනස් වෙනවා. එය විස්තර කිරීම නම් පොදු පාඨකයාට එතරම් ගෝචර වෙන එකක් නෑ. ඒ නිසා අපි මේක සරලව විස්තරාත්මකව තේරුම් ගන්න බලමු.
මුලින්ම චන්ද්‍ර මාස දොළහ ගනිමු. දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උදුවප් හැටියටයි මේවා හඳුන්වන්නේ. මේ චන්ද්‍ර මාස දොළහ යෙදෙන්නේ පිළිවෙළින් ඉංග්‍රීසි කැලැන්ඩරයේ එන ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් කියන මාස ඇතුළෙයි. නමුත් හොඳින් මතක තියාගන්න ඔය ඉංග්‍රීසි මාස ක්‍රමයට පදනම් වෙන්නේ සූර්ය හෝ චන්ද්‍ර ගමන නෙවෙයි. මුලින් කිව්ව චන්ද්‍ර මාස ක්‍රමයට සපුරාම පදනම් වෙන්නේ හිරු සහ පොළොවට සාපේක්ෂව සිදුවන සඳුගේ ගමන් රටාවයි. ඉතිං ඉතා සාමාන්‍යයෙන් ඉංග්‍රීසි මාස සහ චන්ද්‍ර මාස 12 එක පිළිවෙළට යෙදෙන නමුත්, හැමවිටම ඉංග්‍රීසි මැයි මාසයට වෙසක් චන්ද්‍ර මාසය ඇතුළත් විය යුතුයි කියා නියමයක් හෝ පදනමක් නෑ. ඒක එහෙම බලහත්කාරයෙන් විකෘති කරන්නත් බෑ. ඒ නිසා යම් කෙනෙක් කියනවා නම් වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මාසයටම ගන්න ඕනෑය කියලා ඔහු තුළ චන්ද්‍ර මාස ක්‍රමය හෝ ග්‍රහ චලනය පිළිබඳව දැනුමක් නැති බවයි හෙළි වෙන්නේ.
සාමාන්‍යයෙන් එක් වසරකට උදාවන්නේ පුර පසළොස්වක පොහොය 12ක් පමණයි. නමුත් මේ 2018 වසරේ ජනවාරි 01දා සිට දෙසැම්බර් 22දා දක්වා පුර පසළොස්වක පොහොය 13ක් යෙදී තියෙනවා. ඒක සුවිශේෂී හෝ අසාමාන්‍ය තත්ත්වයක් හැටියට කැපී පෙනුණත් ජ්‍යෝතිෂවේදීන්ට නම් ඒක සාමාන්‍ය සංසිද්ධියක් පමණයි. මොකද ඒකට හේතුව මොකක්ද කියා ඔවුන් දන්නවා. ජ්‍යෝතිෂ ගණිතයෙන් එවැනි අවස්ථා කාලත්‍රයේ වෙනසක් නැතිව පුරෝකථනය කරන්නත් පුළුවන්. දැන් බලන්න. පසුගිය ජනවාරි 01 සහ 30, මාර්තු 01 සහ මාර්තු 30 කියන එකම මාසයේදී දෙවතාවක් පුර පසළොස්වක පොහොය උදාවුණා. බටහිර අය මේකට බ්ලූ මූන් කියා කියනවා. මොකද ඔවුන්ට අනුව එකම මාසයක් තුළ දෙවතාවක් පුරහඳ පායා තිබෙනවා. එසේ එකම මාසයේ දෙවන වරට පායන පුරහඳ ඔවුන්ට අනුව බ්ලූ මූන් වුවත්, ඊට වඩා වෙනස් ජ්‍යෝතිෂ ගණිත ක්‍රමයක් තියෙන නිසා අපට ඒ බ්ලූ මූන් කතාව වැඩක් නෑ. 2018 ජනවාරි 01දා පෑයූ පුරහඳ අපේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව දුරුතු පුර පසළොස්වක පොහොය වුණා නම් ඉන්පසුව ජනවාරි 30දා පෑයූ පුරහඳ හඳුන්වනු ලබන්නේ නවම් පුර පසළොස්වක හැටියටයි. ඒ වගේම මාර්තු 01දා පෑයූ පුරහඳ හඳුන්වනු ලබන්නේ මැදින් පුර පසළොස්වක හැටියටයි. ඊළඟට මාර්තු 30දා පෑයූ පුරහඳ හඳුන්වනු ලබන්නේ බක් පුර පසළොස්වක පොහොය හැටියටයි. ඒක එහෙම නම් අප්‍රේල් 29 පායන පුරහඳ වෙසක් පුර පසළොස්වක පොහොය හැටියට හැඳින්වීම විතරක් වැරදි වෙන්නේ කොහොමද? මේක වැරදි නම් සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයට එන නවම් පුර පසළොස්වක පොහොය ජනවාරි 30දාට ගැනීමත් වැරදි වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ අවුරුද්දේ පෙබරවාරි මාසයට පුර පසළොස්වක පොහොය දිනයක් තිබුණේම නෑ. එහෙනම් වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මාසෙටම එන්න ඕනැයි කියන අය පෙබරවාරි මාසයට පුර පසළොස්වක පොහොයක් අහිමි වීම ගැනත් කතා කළ යුතුයි නේද?
නමුත් මෙතැන ගැටලුවක් ඇත්තේම නැහැයි කියන්නත් බැහැ නේද
ඔව්. මොකද කෙනෙකුට වුවමනා නම් තර්ක කරන්න පුළුවන් මැයි 28දාට එන පුර පසළොස්වක පොහොය අධි පොසොන් හැටියට නම් කළා නම් ඒ අධි පොහොය ඉදිරියට හෝ පසුපසට ගෙන ගොස් එය වෙනත් චන්ද්‍ර මාසයකට එකතු කරලා මැයි 28දා වෙසක් පුර පසළොස්වක පොහොය හැටියට ගන්න තිබුණා නේද කියලා. බැලූ බැල්මට ඒ තර්කය සාධාරණයි. නමුත් මෙතැන ඊට වඩා තදබල ගැඹුරු විශ්වාසයක් සහ ජ්‍යෝතිෂමය පදනමක් තියෙනවා. වෙසක් පුර පසළොස්වක පොහොය කියන්නේ බෞද්ධයන්ගේ අති උත්තම දිනයයි. බුදුන් වහන්සේගේ උපත, සම්මා සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය කියන තෙමඟුල සමරන්නේ මෙදිනයි. එවැනි මහා උත්තම පුරුෂයකු උපන් දිනයක ඉතා බලවත් ග්‍රහචාරයක් තිබිය යුතු බව උපකල්පනය කිරීම ඉතාම යුක්ති යුක්තයි. දැන් අපි බලමු 2018 මැයි 28 ග්‍රහචාරය. එදාට පුර පසළොස්වක පොහොය උදාවෙන්නේ සඳු ග්‍රහයා වෘශ්චික රාශියේ (01.02.53 විසා හතරවැනි පාදයේ) නීච වී සිටියදීයි. ජ්‍යෝතිෂය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් තියෙනවා නම් ඕනෑම කෙනෙක් දන්නවා රාශි චක්‍රයේ අඳුරු විසකුරු වෘශ්චිකයේ සඳු නීචව සිටියදී බුදුන් වහන්සේ වැනි අතිශ්‍රේෂ්ඨ ශාස්තෘවරයකුට උත්පත්තිය ලැබීමට හෝ බුද්ධත්වයට පත්වීමට හෝ පිරිනිවන් පෑමට කිසිසේත් උචිත දිනයක් නොවන බව. මොකද මේ වගේ දවසක ඒ උතුම් තෙමඟුල සිදුවෙන්න ඉඩක් නෑ. සිත දියුණු කිරීම මුල්කොට ගත් විශිෂ්ටතම නිර්වාණ මාර්ගය දේශනා කළ බුදුන් වහන්සේ සිත සහ සිතිවිලිවලට අධිපති සඳු වෘශ්චිකයේ අති නීච වී සිටියදී උපත ලබයිද, සම්මා සම්බුද්ධත්වය ලබයිද, පිරිනිවන් පෑම සිදු කරයිද කියා සිතා බලන්න. අනෙක් අතට බොහෝ ජ්‍යෝතිෂවේදීන් පොදුවේ පිළිගන්නා හැටියට බුදුන් වහන්සේ උපත ලබා තිබෙන්නේ කටක ලග්නයෙන්. එතකොට ඒ කටකයේ අධිපති සඳු ග්‍රහයා හෙවත් ලග්නාධිපති උපතේදීම නීචයි. කිසිම ජ්යෝතිෂවේදියකුට ඔන්න ඔය කාරණේ නිසා 2018 මැයි 28දා වෙසක් පුර පසළොස්වක හැටියට පිළිගන්න අමාරුයි. මේ සිද්ධිය ගැන මීට පෙර රචනා කර තිබූ ඉතා හරවත් ලිපි දෙකක් මට කියවන්නට ලැබුණා. එක් ලිපියක් ආචාර්ය නලීන් ද සිල්වා සහ අනෙක් ලිපිය ආචාර්ය ආර්.කේ. රෝහන් සිසිර කුමාර යන මෙරට කීර්තිමත් වියතුන් දෙපළට අයත් වෙනවා. ඒ වියතුන්ගේ කරුණු දැක්වීම විශිෂ්ටයි. ඒ ගැන කිසිම වාදයක් නෑ. නමුත් ඊට අමතර කරුණක් එකතු කරන්න සිතුණා. ඔවුන් දෙපළම තම අදහස් දැක්වීමට රාශි චක්‍රය උපයෝගී කොට ගෙන තිබුණා. නමුත් රාශි චක්‍රය බුද්ධකාලීන සමාජයේ භාවිතයේ තිබුණේ නෑ. එකල තිබුණේ නැකැත් චක්‍රයක් පමණක් බවයි මගේ විශ්වාසය. රාශි චක්‍රය පෙරදිගට ගෙන ආවේ හෙළනික්වරු. ඒ වගේම මේ ගැටලුව රාශි චක්‍රයෙන් ලිහන්න බෑ. ඔය ගැටලුව විසඳන ක්‍රමය නැකත් චක්‍රය තුළින්ම මතු කරගන්න පුළුවන්. ඒ කොහොම වුණත් නැවත කිවයුත්තේ අප්‍රේල් 29දාට වෙසක් පුර පසළොස්වක පොහොය යොදා ගැනීම ජ්‍යෝතිෂය අනුව ඉතාම නිවැරදි ගණනය කිරීමක් වන බවයි.
ජ්‍යෝතිෂය අනුව පොහොය කියා කියන්නේ කුමන අවස්ථාවකටද
හතර පොහොය ගැන ඔබ අසා ඇති. මේ අවස්ථා හතර යෙදෙන්නේ හිරු සහ සඳු අතර හටගන්නා ජ්‍යාමිතික පිහිටීමක් අනුවයි. හිරු සහ සඳු එකම අංශකයට ආ විට ඒ තමා අමාවක පොහොය. ඉන්පසුව සඳුගේ පුර පක්ෂය උදාවෙලා හිරු සහ සඳු එකිනෙකා වෙතින් අංශක 90ක් ඈත් වූ විට පුර අටවක පොහොය උදාවෙනවා. ඒ පුර අටවක පොහොයෙන් පසුව හිරු සහ සඳු එකිනෙකා වෙතින් අංශක 180ක් ඈත් වී එකිනෙකාට මුහුණට මුහුණලා සිටියදී පුර පසළොස්වක උදාවෙනවා. ඒ පුර පසළොස්වක පොහොයෙන් පසුව සඳුගේ අවපක්ෂය උදාවෙනවා. එතැන් සිට අංශක 90ක් දුර සඳු ගමන් කළ විට අව අටවක පොහොය උදාවෙනවා. කඩදාසියක වෘත්තයක් ඇඳලා එහි මධ්‍ය ලක්ෂ්‍යය හරහා වෘත්තයේ පරිධිය පසාරු වන ලෙස සිරස්ව සහ තිරස්ව සරල රේඛා දෙකක් අඳින්න. දැන් ඔබට පෙනෙන්නේ වෘත්තයක් සහ කුරුසයක්. ඒ කුරුසයේ කොන් හතර තමා හතර පොහොය කියා කියන්නේ. එහි කවරම හෝ ලක්ෂ්යයක හිරු සිටියදී අනෙක් කවරම හෝ ලක්ෂ්යයක සඳු පිහිටන ජ්‍යාමිතික කෝණය අනුව පොහොය කුමක්දැයි ඉතා පහසුවෙන් තීරණය කරන්න පුළුවන්.