Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙවරද කැබිනට් මණ්ඩලය අඟහරුවාදා රැස්විය. අගමැති රනිල් වික්‍රමසිංහ ෆින්ලන්ත සංචාරයක යෙදී සිටින බැවින් අගමැති ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙක් මෙවර කැබිනට් මණ්ඩලයට සහභාගි නොවීම විශේෂත්වයකි.
කැබිනට් මණ්ඩලයේ කටයුතු සුපුරුදු පරිදි සිදුවෙමින් පවතින විට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ විය.
එවිට ඇමති පාඨලී චම්පික කරුණු හතරක් ඉදිරිපත් කරමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර - මහනුවර කොටස අනවශ්‍ය බව පැහැදිලි කරන්නට උත්සාහ කළේය.
'ලංකාවේ ජාතික භෞතික සැලැස්ම දැන් වෙනස්වෙලා තියෙන්නේ. කඳුකර නාය යෑම් සිදුවන නිසා කුරුණෑගල - දඹුල්ල - ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගයට ප්‍රමුඛත්වය දෙන්න කියලයි ජාතික භෞතික සැලැස්මේ තිබෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලංකාවේ වියදම් පිළිබඳ විමසීම් කර තිබෙනවා. අපි මේ අධිවේගී මාර්ගය හදන්න පටන් ගත්තාම ඉඩම් අත්පත් කරගැනීම්වලට, මාර්ගයේ ඉංජිනේරු
කටයුතු වලට බිලියන 160 ක විතර වියදමක් යනවා. මේ අවස්ථාවේ මෙච්චර වියදමක් කරලා අපිට කරන්න තව ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා අපි මේ අධිවේගී මාර්ගයට ප්‍රමුඛත්වය දෙනවද කියලා හිතන්න වෙනවා.
ඒ නිසා අපි මේ අධිවේගය කුරූණෑගලට හදලා එතැන ඉඳන් මංතීරු හතරක හොඳ පාරක් හදමු. එතකොට ට්‍රැෆික් ඇති වෙන්නේ නැහැ.
අනිත් එක මේ කොටස හදන්න මුලින්ම චීනයට දෙන්න හැදුවා. ඊට පස්සෙ ජපානෙට. එතැනත් සමාගම් දෙකක ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා අපි මේ ගැන හරි තීරණයක් ගත යුතුයි'
පාඨලීගේ එම පැහැදිලි කිරීම අවසන් වනවාත් සමගම ඇමති දයාසිරි හඬ අවදි කළේය.
'මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අධිවේගී මාර්ග හදලා තියෙන්නේ
කිලෝමීටර් 170 යි. අපේ ආණ්ඩුව 2020 වෙනකම් අවුරුදු පහට අධිවේගී මාර්ග කිලෝමීටර් 194කට අවසර දීලා තියෙනවා. ඉතිං අපි තවත් හදිස්සියේ අධිවේගී මාර්ග හදන්න උත්සාහ කරන්නේ ඇයි? මේ අවසර දීලා තියෙන පාරවල් ටික හදාගත්ත නම් ඇතිනේ*
දයාසිරි එසේ පවසන විට ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඉවසීමේ සීමාව ඉක්මවා තිබුණි.
'මේගොල්ලො මේ මොනවද කියන්නේ. අපි මහනුවර දිනුවා. ඒ නිසා ඒ මිනිස්සුන්ට අපි සලකන්න අවශ්‍යයි. ඔයාලා පැරදුණ අය. මහනුවර පැරදුණා. ඒ නිසා එහෙම කතා කරන්න එපා. මහනුවර මිනිස්සුන්ට සලක්න තමයි අපි මහනුවරට අධිවේගී මාර්ගය හදන්නේ. ඒක කඩාකප්පල් කරන්න එපා'
දයාසිරිට බැණ වදිමින් කිරිඇල්ල පැවසූ කතාව අසාගෙන සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් නොසන්සුන්වූ අතර ඇමති අමරවීර පැවසුවේ,
'මෙතන දිනපු පැරදුණ අය නැහැ. ජාතික ආණ්ඩුවක් හදලා තියෙන්නේ. අපි මේ කියන්නේ කාත් එක්කවත් තරහට නෙවෙයි. ආණ්ඩුවේ හොඳට. අපි පැරදුණ අය කියලා අපේ අදහස් අහන්නෙ නැතිව මේ වැඩ කරනවා නම් අපි ආණ්ඩුවෙන් යන්නම්. ඔබතුමාලට ඕන දෙයක් කරගන්න'
අමරවීරට පසුව සුසිල් ද එයට එක්විය. කෙසේ හෝ මෙම පැටලැවිල්ල විසඳීමට සිදුවූයේ ජනාධිපති මෛත්‍රීපාලටයි.
'මධ්‍යම අධිවේගී මාර්ගය ගැන අපි අවසන් තීරණයක් අරගෙන නැහැ. අගමැතිතුමාත් ලංකාවෙ නැති නිසා අපි එතුමත් ආවාම මේ ගැන කතා කරලා අවසන් තීරණයක් ගනිමු. එතකම් ශක්‍යතා අධ්‍යයනය කරන්න අපි අවසර දෙමු' ජනාධිපතිවරයා එසේ පවසමින් ඇමතිවරුන්ගේ මත ගැටුම අවසන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දෙන සතියේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇමති රාජිතගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු පැවසුවේ එවැනි මත ගැටුමක් ඇති නොවූ බවයි. කෙසේවෙතත් මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදරින් අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කළ බව ඇමති රාජිත මාධ්‍යයට පැවසුවේය.
මෙවර සඳුදා දිනයේ පාර්ලිමේන්තුව විශේෂයෙන් කැඳවා තිබුණේ මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සංශෝධන පනත් සම්මත කරගැනීම සඳහායි. 2018 මුදල් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද මෙදින සිදුවූ බැවින් එදින විශේෂිත දිනයක් විය.
පාර්ලිමේන්තු දිනයට පෙර දින ශ්‍රී ලංකාව විසින් උතුරු කොරියාවට සම්බාධක පනවා තිබූ බැවින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මේ ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නට විය.
'රාජතාන්ත්‍රික වශයෙන් ආන්දෝලනාත්මක තීරණයක් ආණ්ඩුව අරගෙන තිබෙනවා. ඒ තමයි උතුරු කොරියාවට සම්බාධක පනවා තිබීම. එවැනි තීරණයක් ගන්න හේතුව ආණ්ඩුව පාර්ලිමේන්තුවට දැනුවත් කළ යුතු වෙනවා. එවැනි තීන්දුවක් ගන්න හේතු වුණ කරුණු මොනවාද කියලා මේ පාර්ලිමේන්තුව දැනගත යුතුයි. නමුත් අපි මාධ්‍ය හරහා තමයි මේ කාරණය දකින්නේ'
අනුරගේ අදහස් දැක්වීමට ඉඩදුන් කථානායක කරු ජයසූරිය විදේශ ඇමති මාරපනගෙන් විමසුවේ,
'ඇමතිතුමා අද ඒ ගැන කියනවද වෙන දවසක පිළිතුරක් දෙනවද?* කියාය.
නමුත් එම අදහසට අනුර විරුද්ධ විය.
&නැහැ, නැහැ අදම දැනගන්න අවශ්‍යයි*
පිළිතුරු දීමට තිලක් මාරනප නැගී සිටියේය.
'එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුවයි මේ තීරණය ගත්තේ. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සියල්ලම බැඳිලා ඉන්නවා මේ තීරණය ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපි ඒ රෙගුලාසි ගැසට් කරනවා. මේක එක දවසකින් ගත්තු තීරණයක් නෙවෙයි. මාස ගණනක ප්‍රතිඵලයක්. අපි බොහොම ප්‍රමාද වෙලා මේක කරලා තියෙන්නේ.
ඇමති එසේ කියූවද තවදුරටත් අනුර ප්‍රශ්න කරන්නට වූයේ සභානායක කිරිඇල්ල නැඟී සිටිමින් අනුරට විරුද්ධව කතා කළේය.
'සභානායක ඇමතිතුමා මේකට උත්තරයක් දුන්නා. මෙහෙම ප්‍රශ්න අහන්න බැහැ. ඔබතුමාට ඕන නම් විවාදයක් ඉල්ලන්න. අපි දෙන්නම්'
එහිදී අනුරද උණුසුම් අයුරින් කතා කළේ කිරිඇල්ලට චෝදනා කරමිනි.
'මේ ප්‍රශ්නෙ සයිටම් ගැනවත්, හයිවේ එක වත් නෙවෙයි. ඇයි මේ කලබල'
කිරිඇල්ල එවිට පැවසුවේ,
'විවාදයක් ඕන නම් දෙන්නම් ප්රශ්නය අහන්න ඉඩ දුන්නහම. මෙතුමා සීමාව ඉක්මවා යනවා'
කථානායකද එය අනුමත කරමින් පැවසුවේ,
&ඔබතුමා මාව කලින් දැනුවත් කළෙත් නැහැ. ඒත් මම අවස්ථාව දුන්නා' කියාය.
එවිට අනුර නිශ්ශබ්ද විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවට කථානායක කරු ජයසූරිය කිහිප අවස්ථාවකදීම අවවාද කර තිබුණි. නමුත් මෙවරද පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණි.
වැවිලි කර්මාන්ත ඇමති නවීන්ට මන්ත්‍රී වාසුදේව ප්‍රශ්නයක් යොමුකර තිබුණු අතර, එයට පිළිතුරු දීමට නවීන් හෝ නවීන්ගේ නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් පාර්ලිමේන්තු පැමිණ සිටියේ නැත.
නමුත් වාසුදේව ප්රශ්නය ඇසීය.
'මම අසමි'
නවීන් නොසිටි බැවින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත නැගී සිට පිළිතුර දෙන්නට විය.
'වැවිලි කර්මාන්ත ඇමතිතුමා අද නැහැ. එතුමා අසනීපෙන්. ඒ වෙනුවෙන් මම පිළිතුරු සපයන්නම්'
'ඇමතිතුමා ඔබතුමා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය නොකරන නිසා මගේ අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැරි වෙයි'
'වාසුදේව මන්ත්‍රීතුමා , ඔබතුමාට අවශ්‍ය නම් පිළිතුරු දෙන්නම්. නැත්නම් මම කල් ගන්නම්'
'පිළිතුර කියන්න. නමුත් ඒකෙන් මේ ප්‍රශ්නෙ බේරගන්න බැරිවෙයි'
'ඒ බැරි ප්‍රශ්න වැවිලි කර්මාන්ත ඇමතිතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් නේද ප්‍රධාන සංවිධායකතුමා* කථානායකවරයා එවිට ගයන්තගෙන් ඇසීය.
'ඔව් පුළුවන් කථානායකතුමනි. අද නියෝජ්‍ය ඇමතිතුමත් නැහැ'
ගයන්ත පිළිතුර සභාවට කියවූ අතර, ඉන්පසු වාසුදේව අතුරු ප්‍රශ්න අසන්නට සැරසුණි.
'කුඩා තේ වතු හිමියන් පොහොර මිලදී ගත්තේ වෙළෙඳ පොළේ මිල ගණන්වලට. ඉතිං මොකද්ද මේ සහනාධාරය කියන්නේ. තරමක් සද්දෙන් වාසුදේව අතුරු ප්‍රශ්න ඇසීය*
'ඔබතුමාට වැඩිදුර පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ඇමතිට යොමු කරන්නම්* කියූ ගයන්ත නිශ්ශබ්ද විය.
බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා බුද්ධශාසන ඇමති ගාමිණී ජයවික්‍රමට ප්‍රශ්නයක් යොමුකර තිබුණි. එයට පිළිතුරු දෙමින් විහාරස්ථාන පිළිබඳ දීර්ඝ විස්තරයක් ගාමිණී ජයවික්‍රම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
'ලංකාවේ තියෙන පන්සල් A,B,C,D කියලා වර්ග 04කට වර්ග කරලා තියෙනවා. A,B කියන්නේ ඉතා ධනවත් ආර්ථික ශක්තියක් තිබෙන පන්සල්. C,D කියන්නේ නොදියුණු මට්ටමේ පන්සල්. C,D පන්සල් වෙනුවෙන් ඉදිරියට පහසුකම් සපයන්න මම තීරණය කළා. ගොඩක් පූජා භූමි ලියාපදිංචි කරලා නැහැ'
ඇමතිගේ කරුණු දැක්වීමෙන් පසු බිමල් ප්‍රශ්න අසන්නට විය.
'ඇමතිතුමා මේ මොන වර්ගීකරණ ගැන කතා කළත්, අපි දකින දෙයක් තිබෙනවා.
ලංකාවේ ඉස්කෝලවල ලොකු ඉස්කෝල ලොකු වෙලා, ලොකු වෙලා ලොකූ වෙනකොට පොඩි ඉස්කෝල පොඩි වෙලා පොඩි වෙලා වැහිලා යනවා. පන්සල්වල තත්වෙත් ඒකයි*
බිමල් එසේ පවසන විට ආණ්ඩු පක්ෂයේ සිටි ඇමති ගයන්තද එයට යමක් එකතු කළේය.
'ඇයි දේශපාලන පක්ෂත් ඒ වගේනේ'
'මොකද්ද ඇමතිතුමා?'
'දේශපාලන පක්ෂ'
'ආ ඇත්තද? ආස ඇති එහෙම හිතන් ඉන්න* යැයි බිමල් ගයන්තට පිළිතුරු දුන්නේ උපහාසයෙනි.
ජනතා විමුක්ති පෙරමුණෙන්ද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 06ක් නිසාවෙන් ගයන්ත මෙය පවසා තිබුණි.
පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණයද දිනෙන් දින කල් යෑම හේතුවෙන් වැඩි වශයෙන්ම දෝෂාරෝපණ ඇසීමට සිදුව ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රියටය. මේ දිනවල ඔහුට ලිපි මගින්, දුරකථනයට ලැබෙන පණිවුඩවලින් මෙන්ම කවුරුන් හෝ මුණගැසුණද විමසන්නේ මැතිවරණ පවත්වන දිනය පිළිබඳවය.
අඟහරුවාදා දින මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රියට එක්තරා පුද්ගලයෙකු ලිපියක් යොමුකර තිබූ අතර, 'මැකෝ' යනුවෙන් ආරම්භ කර තිබූ එය අවසන් වනවිට අසභ්‍ය වචන රැසක් යොදා ගනිමින් ඡන්ද පවත්වන ලෙස ඉල්ලා තිබිණි.
ලිපිය බැලූ දේශප්‍රිය අසල සිටි නියෝජ්‍ය කොමසාරිස්වරයාටද ලිපිය පෙන්වා පැවසුවේ, මේ දිනවල එවැනි ප්‍රතිචාර තමන්ට බොහොමයක් ලැබෙන බැවින් කලබල විය යුතු නැති බවයි.
එමෙන්ම ජනතාව හා දේශපාලඥයන් මැතිවරණ කොමිසමට කුමන දේ පැවසුවද, ඒ සියල්ලටම පිළිතුර දීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොමැති බවද දේශප්‍රිය පවසා තිබේ.
මේ අතර දිනක් දේශපාලන පක්ෂයකට සම්බන්ධ පුද්ගලයෙකු දේශප්‍රිය මුණගැසුණු අවස්ථාවක ඡන්දය පවත්වන්නේ කවදාදැයි කියා අසා තිබිණි.
එයට දේශප්‍රිය කදිම පිළිතුරක් ලබාදී තිබූ අතර, එය මෙසේය.
ලංකාවේ ඡන්දෙ තියෙන දවස දන්නේ සමාන්තර විශ්වයෙන් කෙනෙක් පමණයි. මේ ලෝකේ නම්, කවුරුත් ඒක දන්නේ නැහැ* මැතිවරණ කොමසාරිස්ගේ පිළිතුර විය.
එමෙන්ම මේ දිනවල මැතිවරණ කොමිසම හා සේවකයෝ පැරණි කතාවක් නව තාලයට අර්ථකථනය කරමින් සිටිති.
නිවසේ කුකුළු කූඩුවේ බිත්තර හොරකම් කිරීම වළක්වා ගැනීමට නිවසක ආරක්ෂාවට ඇතිකළ බල්ලෙකු කුකුළු කුඩුව අසලින් ගැටගසා තිබේ. මේ අවසරයෙන් හොරු එම නිවසේ රත්‍රං භාණ්ඩ සොරාගෙන ගොස් ඇත.
ඒ ආකාරයෙන්ම මේ දිනවල මැතිවරණ කොමිසම ඡන්ද ලැයිස්තුව සුරක්ෂිත කිරීමට බොහෝ සෙයින් උත්සාහ ගනියි. මැතිවරණ කොමිසමේ ඇතැමුන් පවසන්නේ &අපි ඡන්ද ලැයිස්තුව සුරක්ෂිත කරන අතරතුර අපේ ඡන්ද හොරු අරන් ගිහින්* යනුවෙනි.
පසුගිය දහවෙනිදා manthri.lk වෙබ් අඩවිය මගින් සංවිධානය කළ විවෘත සංවාදයක් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මේ අවස්ථාවට ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ එහි ප්රචාරක ලේකම් විජිත හේරත්ය. මේ අවස්ථාවට ශ්රීලනිපය නියෝජනය කරමින් දුමින්ද දිසානායක, එජාපය නියෝජනය කරමින් කබීර් හෂීම්, ටීඑන්ඒ නියෝජනය කරමින් සුමන්තිරන් යන දේශපාලඥයෝ පැමිණ සිටියහ. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම පැමිණෙන බව දන්වා තිබුණද ඔහු පැමිණ සිටියේ නැත. එදින සංවාදයට බඳුන් වීමට තිබූ මාතෘකාව වූයේ ආණ්ඩුවේ පක්ෂවල ප්‍රතිපත්ති ප්රකාශයන්ය. එජාපය, ශ්රීලනිපය ජනතාවට පොරොන්දු ඉටු කළාද? නැද්ද? යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. කෙසේ වෙතත් සංවාදය ආරම්භ වීමට පෙර දුමින්ද දිසානායක ඇමතිවරයා සිය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් අධ්‍යයනය කරමින් සිටි අතර විජිත හේරත් කතාවකට මැදි විය.
'අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයක තියෙනවා, සමෘද්ධි පවුලකට ගෑස් සිලින්ඩරයක් දෙනවා කියලා. ඒ වගේ දේවලුත් අපි පොරොන්දු වෙලානේ..” ඇමතිවරයා කියා සිටියේය.
විවෘත සංවාදය ආරම්භ වූ අතර, එහිදී ප්‍රධාන මාතෘකාව වූයේ විගණන පනත ප්‍රමාද වීමය. කෙසේ වෙතත් ශ්‍රීලනිප ලේකම් හා එජාප ලේකම් විගණන පනත පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළ අතර, දින 100 ඇතුළත සම්මත කර ගැනීමට තිබූ පොරොන්දුවක් ඉටුකිරීමට නොහැකි වූ බව අමතක කර ඔවුහු කරුණු ඉදිරිපත් කළෝය. එමෙන්ම විගණන පනත රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතුවලට බාධාවක් බවද ඇමතිවරු කීහ.
'මේ විගණන පනත දින 100දී සම්මත කරන්න තිබුණ එකක්. නමුත් ඒක සම්මත කළේ නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන් මේක සම්මත වෙනවට බයයි. නිලධාරීන්ට අධිභාර පැනවෙනවා කියලා මේක කල් දානවා. හොරකම් නොකරන ඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මේ පනත හොඳ එකක්. විගණන කොමිසම පත්කරලා ක්‍රියාත්මක වෙන්න පනතක් නැහැ. ආණ්ඩුව බොරුවට කොමිසමට සල්ලි වියදම් කරනවා විතරයි” විජිත හේරත් කීවේය. සංවාදය මෙහෙය වන නිවේදකයා විජිත හේරත් වෙත අපූරු ප්‍රශ්නයක් යොමු කළේය. &ආණ්ඩුවට විවේචන කළාට ජවිපෙ මේ ගැන මොකුත් කළාද? මම මේක ඇහැව්වේ ජවිපෙ අමාරුවේ දාන්න නෙවෙයි” නිවේදකයා විමසීය. 'ඒක මාව අමාරුවේ වැටෙන එකක් නෙවෙයි. ඔබතුමා මට හොඳ පාස් එකක් දුන්නා ඩෑෂ් එකක් ගහන්න. අපි නිකන් හිටියෙ නැහැ. ආණ්ඩුව මේක කල් දාන නිසා අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට මේක පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය කටයුතු කළා” විජිත හේරත් පිළිතුරු දුන්නේය.
manthri.lk වෙබ් අඩවිය මගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සැලකිල්ලට ගෙන කරන ලද සමීක්ෂණයෙන් තවමත් ප්‍රථම ස්ථානය ලැබී තිබුණේ ජවිපෙ නායක අනුර දිසානායකටයි. පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම, අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම, විෂ්‍ය භාර ඇමතිවරුන්ගෙන් ජනතාවට බලපාන ගැටලු පිළිබඳව ප්‍රශ්න කිරීම, පාර්ලිමේන්තුවේ විවාද ඉල්ලා සිටීම, ජනතාවට වැදගත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීම ඇතුළු කටයුතු පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි. මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිටම පළමු ස්ථානය ලබාගෙන තිබුණේ අනුරයි. එමෙන්ම ජවිපෙ අනෙකුත් මන්ත්‍රීවරු ක්‍රියාකාරීම මන්ත්‍රීවරුන්
දස දෙනා අතර රැඳී සිටීමට සමත්ව සිටිති.
පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී විගණන පනත සම්මතවූ බව ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රකාශ කළහ. මේ සමග මෙම පනත පිළිබඳව ජවිපෙ නායකයන් අතර කතාබහක් ඇති විය.
'ආණ්ඩුව විගණන පනත පාර්ලිමේන්තුවට ගේන්න යන්නේ සැර බාල කරලා. එහෙම ගෙනෙන විගණන පනතෙන් ඇති වැඩක් නැහැ. රාජ්‍ය නිලධාරීන්ට අධිභාර පැනවීම අමාත්‍යාංශ ලේකම්වරයාට පවරලා තිබෙනවා. ලේකම්වරයාට පුළුවන් පහළ නිලධාරීන්ට අධිභාර පනවන්න. නමුත් අමාත්‍යාංශ ලේකම් මේකෙන් නිදහස් කරලා තිබෙනවා” විජිත හේරත් කීවේය.
'අමාත්‍යාංශ ලේකම් තමයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙන්නේ. අමාත්‍යාංශයේ සිදුවන මුදල් ගනුදෙනු සියල්ලට වගකිව යුත්තේ ලේකම්. දැන් ලේකම්ට එරෙහිව පියවර ගන්න හැකියාවක් මේ විගණන පනතට අනුව නැහැ. ඇමති අනුකමිටුවෙන් කරලා තියෙන්නේ මේ පනතේ බලය අඩු කරපු එකයි” අනුර දිසානායක කීවේය.
'ලලිත් වීරතුංගලා වගේ ජනතාවගේ මුදල් අවභාවිත කරන ලේකම්වරුන් හිටපු කාලයක් තිබුණා. විගණන පනත හරි විදියට ආවා නම් අමාත්‍යාංශ ලේකම්වරු ඇමතිවරු එක්ක එකතුවෙලා ජනතා මුදල් අවභාවිත කරන්නේ නැතුව හරියට වැඩ කරන්න පෙළඹෙනවා. ඒත් දැන් වෙලා තියෙන්නේ ඇමති අනුකමිටු දාලා හොරකම් කරන්න පාර කපාගෙන” බිමල් රත්නායක කීවේය.
අධිවේගී මාර්ග පිළිබඳව මේ වනවිට රට තුළ විශාල සංවාදයක් මතුව තිබේ. මේ නිසාම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළහ. පසුව කණ්ඩායම් නායක අනුර දිසානායක විසින් මෙම විවාදය ඉල්ලා සිටි අතර, ලබන 19 වෙනිදා එම විවාදය පැවැත්වේ.
මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවෙන් ගැටලුවලට මුහණදී සිටින ගම්පහ, කෑගල්ල, කුරුණෑගල සහ නුවර දිස්ත්‍රික්කවල ජනතාව එක්ව ඒකාබද්ධ සංවිධානයක් ගොඩනගාගෙන තිබේ. මෙම ඒකාබද්ධ සංවිධානය ගොඩනගාගෙන ඇත්තේ දිස්ත්‍රික්ක හතරෙහි පීඩාවට පත් ජනතාව විසින් වෙන වෙනම ගොඩනගාගෙන තිබූ සංවිධාන ඒකාබද්ධ කරමිනි. මේ සඳහා විජිත හේරත්, මහින්ද ජයසිංහ, නාමල් කරුණාරත්න, ගාමිණී රත්නායක, ගයාන් ජානක යන ජවිපෙ මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් සංවිධායකයන් විසින් නායකත්වය ලබාදෙයි.
ලෝක තරුණ හා ශිෂ්‍ය උලෙළේ 19වෙනි සමුළුව සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සමාජ සංවිධානවල සාමාජිකයෝ බොහෝමයක් රුසියාවට පිටත්ව ගියේ අඟහරුවාදා, බදාදා දිනවලය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් මේ සඳහා සහභාගි වීමට සූදානමින් සිටියහ. හම්බන්තොට සිදුවීමට නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහුට මේ සඳහා සහභාගි වීමට
නොහැකි වූ අතර, අනිකුත් සාමාජිකයෝ පිටත්ව තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක, මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ඇතුළු කණ්ඩායමක් රුසියාව බලා පිටත් විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ශාන්ත බණ්ඩාර ඇතුළු පිරිසක්ද සමුළුවට සහභාගි වීමට පිටත් විය.
මෙම අවස්ථාවට රටවල් 150ක් නියෝජනය කරමින් තරුණ තරුණියන් විසිපන්දාහක් පමණ සහභාගි වෙයි. එම සමුළුව 14 වෙනිදා සිට 21 දක්වා පැවැත්වේ. ලෝකයේ තිබෙන ප්රගතිශීලී වමේ පක්ෂ හා තරුණ සංවිධාන එක්ව මෙම සමුළුව සංවිධානය කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කමිටු කාමර අංක 04 දී පැවැත්විණි. දිනේෂ්, ඩලස්, මහින්දානන්ද, ප්‍රසන්න, නාමල් ඇතුළු කණ්ඩායමක් ඊට සහභාගි වී සිටියහ.
"ආණ්ඩුව ජනමත විචාරණය හරි පළාත් පාලන මැතිවරණය හරි තියනවයි කියලා නිශ්චිත තීන්දුවකට ඇවිත් නැහැ. හැබැයි කොයි වෙලාවේ හරි මොනයම් හෝ මැතිවරණයක් තියයි. ඒ නිසා අපි බිම් මට්ටම ශක්තිමත් කරමින් ඒකට ලැහැස්ති වෙලා ඉන්න ඕනේ" ඩලස් පෙන්වා දුන්නේය.
"ඒක නම් ඇත්ත. ආණ්ඩුව අපි නොහිතන වෙලාවක, නොහිතන දෙයක් කරන්න වගෙයි ලැහැස්ති වෙන්නේ. අපි හැමදේකටම සූදානමින් හිටියොත් හොඳයි" දිනේෂ්ද පැවසීය.
"නාමල් ටිකක් පරෙස්සමෙන් හිටියොත් හොඳයි. ආණ්ඩුව දැන් උද්ඝෝෂණය අල්ලගෙන ඔයාගේ පස්සෙන් පන්නනවා" ප්‍රසන්න නාමල්ට කීවේය.
"ඔව් ඒක නම් ඇත්ත. ඒත් අපි සටන් කළේ ජාතික සම්පත් විකුණන එකට විරුද්ධව. ජනතාවට අයිති සම්පත් මේ විදිය කුණුකොල්ලයට එක එක්කෙනාට ඕනේ විදියට විකුණලා දාන්න දෙන්න බැහැ. ඒ වෙනුවෙන් එක පාරක් නෙමේ දහපාරක් හරි හිරේ යන්න මම ලැහැස්තියි" නාමල් පැවසීය.
"මට ආරංචියක් ආවා කොහොමහරි මේකට නාමල්ව ඇතුළට ගන්න ඕනේ කියලා මහින්ද අමරවීර කියලා තියෙනවයි කියලා" ප්‍රසන්න කීවේය.
"අමරවීරලට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම ප්රශ්නය නාමල් තමයි" මහින්දානන්ද පැවසීය.
"අපිව හිරේ දැම්මත් කමක් නැහැ. උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති අයත් පොලීසිය අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා තියෙනවා" නාමල් පැවසීය.
"ඇයි අර පොලිස් අත්අඩංගුවේ හිටපු තරුණයෙකුට ඒ.එස්.පී. කෙනෙක් කන පැෙළන්න ගහපු හැටි දැක්කනේ. පොලීසිය දැන් ආණ්ඩුවටත් වඩා දේශපාලනීකරණය වෙලා. ඉහළින් එන ඕඩර්වලට ඕනේ කෙනෙකුගේ කන පළන ජාතියට දැන් පොලීසිය වැටිලා ඉවරයි" සිසිර ජයකොඩි පැවසීය.
"පහුගියදා චන්ද්‍රිකා රහස් සාකච්ඡාවක් තියලා තියෙනවා. එතැනදි කතා වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීම ගැන. දිනේෂ්, විමල් ඇමතිතුමාලා මහින්ද මහත්තයා එක්ක තරහා කරවලා කොහොමහරි ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කරන්න ඕන කියලා චන්ද්‍රිකා කියලා තියෙනවා. ඒ වගේම උසාවියට එන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් කරන්නත් තීන්දු කරලා තියෙනවා. අපි මේවා ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ" ප්‍රසන්න තමන්ට දැනගන්නට ලැබුණු රහසක් හෙළි කරමින් කීවේය.
අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පොලිස් කොමිසම වෙත ගියහ. ඩලස්, මහින්දානන්ද, රමේෂ්, සිසිර සහ මහින්ද යාපා ඒ අතර වූහ. පොලිස් කොමිසම වෙත ගිය මන්ත්‍රීවරු එහි සභාපති ආරියදාස කුරේ හමු වී සාකච්ඡා කළහ.
"හම්බන්තොට උද්ඝෝෂණය අවස්ථාවේදී අත්අඩංගුවට අරගත්තු තරුණයකුට
ඒ.එස්.පී. කෙනෙක් පහර දුන්නා. ඒක නීතියට පටහැණි දෙයක්. ඒ විතරක් නෙමෙයි අත්අඩංගුවට අරගෙන එන ගමන් බස් රථයෙදිත් මිනිස්සුන්ට පහර දීලා තියෙනවා. මේවා ගැන සොයා බලන්න ඕනේ" මහින්දානන්ද පැවසීය.
"මේක හරියට පොලිස් රාජ්‍යයක් වගේ. එහෙම නැත්නම් පොලිස් අත්අඩංගුවේ ඉන්න අයට පහර දෙන නීතියක් නැහැනේ. කරුණාකරලා ඔබතුමාලා මැදිහත් වෙලා මේවාට අදාළ පියවර ගන්න" රමේෂ් ඉල්ලා සිටියේය.
එදින සවස පහට හම්බන්තොට පොලීසියට එන ලෙස නාමල් ඇතුළු පිරිසට යළිත් දැනුම්දී තිබුණි. ප්‍රසන්න රණවීර සවස පහටත් පෙර හම්බන්තොටට ගොස් අතරමග නැවතී සිටි අතර, හරියටම සවස පහට පිරිස පොලිස් ස්ථානය වෙත ගියහ. ඔවුන් ඇතුළට යනවාත් සමග පොලිස් බස් රථයක්ද පොලිස් භූමියට ගෙන එන ලදී.
එය දුටු පිටත සිටි ජොන්ස්ටන් තමා ළඟ සිටි කාංචන විජේසේකරට කීවේ "අද නම් මෙයාලට එන්න වෙන්නේ නැහැ. දැක්කනේ ඇතුළට ගිය ගමන් බස් එකත් ගෙනල්ලා ගැහුවා" කියාය.
නාමල්ලා සමග ඇතුළට ගිය ප්‍රසන්න රණවීර සිලි සිලි උරයක් අතේ තබාගෙන සිටිනු දුටු නාමල් ඇසුවේ "ඔය මොනවද?* කියාය.
"මම කෝකටත් කියලා සරමකුයි බැනියමකුයිත් ගෙනාවා. යහපාලන පොලීසිය අපට අද නම් එන්න දෙන එකක් නැහැ" රණවීර උත්තර දුන්නේය.
එතැන සිටි උපාලි කොඩිකාරගේ බිරිඳ වන කාන්ති කොඩිකාර පුතාට කීවේ "තාත්තව අද එවන එකක් නැහැ. කෝකටත් ගිහින් තාත්තාගේ බෙහෙත් ටිකත් අරගෙන එන්න" කියාය. එහෙත් උපාලිගේ බෙහෙත් ටික ඇතුළට ගෙන යාමට පොලීසියෙන් අවසර නොදුන්නේ තවම කටඋත්තර ගෙන අවසන් නොමැති බව කියමිනි.
එසේම කටඋත්තරය කියවා බැලීම සඳහා සිය කණ්ණාඩිය ගෙන්වාගැනීමට ප්‍රසන්න රණවීර කරන ලද ඉල්ලීමටද අවසර ලැබුණේ නැත. පැය හතරකට වැඩි කාලයක් කටඋත්තර ලබා ගැනුණු අතර, එය අවසන් වනවිට රාත්‍රී 8.30 ද පසුව තිබිණි.
එහෙත් නාමල් ඇතුළු පිරිස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙන විට රාත්‍රී එකොළහ පමණ වී තිබුණි. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ පිරිස 16 වැනිදා දක්වා රිමාන්ඩ්ගත කරන ලෙසටය. නාමල්ලා තංගල්ල බන්ධනාගාරය වෙත ගෙනයන ලද එම මාර්ගයේ ටයර් පුච්චා මාර්ග අවහිර කර තිබිණි.
නාමල්ලා හම්බන්තොට පොලීසියේ සිටින අතරතුර ඔවුන් සමග සිටි නීතිඥවරයකුට මේ දිනවල විදෙස්ගතව සිටින මහින්දගෙන් ඇමතුමක් ලැබුණි.
"මොකද දැන් තත්ත්වය?* මහින්ද ඇසුවේය.
"කට්ටිය ඇතුළට දාන පාටක් තමයි සර් තියෙන්නේ" නීතිඥවරයා කීවේය.
"මම නම් ඕක දැනගෙන හිටියා. ජාතික සම්පත් විකුණන්න එපා කියලා උද්ඝෝණය කළාම ලැබෙන දඬුවම තමයි ඕක" මහින්ද පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd