Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නව අමාත්‍යාංශයක් ලෙස වත්මන් රජය ස්ථාපිත කරන ලද්දේ බස්නාහිර පළාත් තුළ විධිමත් සංවර්ධනයක් සිදුකිරීම වෙනුවෙනි. හරිත සංකල්ප, නවෝත්පාදන සහ බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් නව සංකල්ප හඳුන්වා දුන් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට එම අමාත්‍යාංශයේ වගකීමද රජය පවරා තිබෙන්නේ එකී අරමුණු නව සංකල්ප ඔස්සේ යථාර්ථයක් බවට පත්වනු දැකීම වෙනුවෙන් යැයි විශ්වාස කළ හැකිය.
එම විශ්වාසය අනුව සිදුවන අමාත්‍යාංශයේ වැඩසටහන් පිළිබඳව අද දිනට අමාත්‍යවරයකු ලෙස කටයුතු කර වසර දහයක් සපුරන පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සමග 'අද' මෙලෙස සංවාදයේ යෙදුනෙමු.
Q වර්තමානයේ අමාත්‍යවරුන්ට විවේචන රැසක් එල්ලවෙනවා. මේ තත්ත්වය තුළ අමාත්‍ය ධුරයක් දැරීම සම්බන්ධයෙන් ඔබට ඇත්තේ කුමනාකාරයේ අත්දැකීම්ද?
අපේ රටේ විකල්ප දේශපාලන ධාරාවේ ඉන්නවා කියන අය ඇමති ධූර දරන්න බයයි. මොකද විධායක බලය දරාගෙන මහ පොළොවේ වැඩකරලා තමන්ගේ හැකියාව පෙන්වනවා වෙනුවට විවේචනය කර කර ඉන්න හැමෝම කැමතියි.
ඒකට ප්‍රායෝගික තර්කයක් තිබෙනවා. ඔවුන් බලාපොරාත්තු වන ආකාරයේ පරමාදර්ශී සමාජයක්, දේශපාලනයක් නැති නිසා සමාජය ගොඩනැගෙනතුරු අමාත්‍ය ධූර ලබාගන්නේ නැහැ කියලා කියනවා.
ජනතා විමුක්ති පෙරමුණ වගේ මාක්ස්වාදී පක්ෂවල මතය ඒකයි. ඒ වගේම අපේ රටේ වර්ග දෙකක දේශපාලකයෝ අපි දැක තිබෙනවා. ඉන් එක කොටසක් කයිවාරු, වාචාල දේශපාලනඥයෝ. ඔවුන් මනෝරාජික අදහස් මත අහස් මාලිගා හදල දෙන්න උත්සාහ කරනවා. ශූර කථිකයෝ නමුත් ඔවුන් මහ පොළොවේ කරපු දෙයක් නැහැ.
නමුත් ඔවුන්ට මැති ඇමති පදවියක් ලැබුණ විට මුලින්ම කරන දේ තමයි අමාත්‍යාංශවලට තමන්ගේ ඥාතීන් ඇතුළත් කර ගැනීම. තමන්ගේ හෙන්චයියන් රාජ්‍ය ආයතන වලට පත්කිරීම, හිතවතුන් දහස් ගණනින් රැකියා ලෙස ඇතුළත් කර ගැනීම වගේම රට තුළත්, රටින් පිටතත් දේපළ මිලදී ගැනීම ඔවුන් සිදුකරනවා.
මේක තමයි ප්‍රේත දේශපාලනය. අපේ රටේ මිනිස්සු දැකල තියෙන්නේ මේ දේශපාලනය. මේ වසර දහය තුළ මම මේ රටට වෙනස් දේශපාලනයක් හඳුන්වා දුන්නා. ඒක තමයි අපි බය නැතුව ඇමතිකම් භාරගත්තේ. වගකීම් භාරගත්තේ. අපි සමාජයට බැන බැන හිටියෙ නැහැ. අපි ප්‍රායෝගිකව වැඩකරලා පෙන්නුවා.
දූෂණයට තිත තිබ්බා. හෙන්චයියෝ වෙනුවට වෘත්තීයවේදීන් ආයතනවලට බඳවාගෙන අපි අලුත් ආදර්ශයක් දුන්නා. මම අමාත්‍යාංශ ගණනාවක් භාරව හිටියා.
Q ඔබ අමාත්‍ය ධූරය දැරූ අමාත්‍යංශ තුළ සිදුකළ වෙනස්කම් පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
පළමුවෙන්ම පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය. ඒ යටතේ ආයතන ගණනාවක් තිබුණා. විශේෂයෙන්ම මේ රටේ පරිසරයට අදාළ ආයතන වගේම රටේ ඉඩම් වලින් තුනෙන් එකක් පාලනය වන ආයතන මම පාලනය කළා.
ඒ කාලේ වනය අල්ලා ගන්න කවුරු හරි උත්සාහ කළා නම් අපි තරාතිරම නොබලා දඬුවම් දුන්නා. වනජීවී ප්‍රශ්න වලදී දැඩි දඬුවම් දුන්නා. ඇමතිවරුන්ගේ ඥාතීන් පවා තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට අපි කටයුතු කළා.
වනජීවී ක්ෂේත්රයේ අපි විශාල වෙනසක් ඇති කළා. ඒ වගේම රටේ කැලෑව මැනලා කැලෑව කියන්නේ මේකයි කියලා නම් කරලා අපි රජයට භාරදුන්නා. ඒ වගේම වාණිජ ආයතන වූ දැව සංස්ථාව වගේ ආයතන පාඩුයි කියලයි විකුණන්න තිබුණේ. මේ සියලුම ආයතන මූල්‍ය උත්පාදනය කරන ප්‍රබල ආයතන බවට පත් කළා.
ඒ වගේම මේ වැඩකටයුතු අන්තර්ජාතික මට්ටමට ගෙන ගියා. මේ නිසාම මුළු ලෝකයෙන්ම ඕසෝන් වියන රැකගැනීම පිළිබඳ ජාත්‍යන්තර ක්ෂේත්රයේ පළමු තැන ලංකාවට හිමි වුණා. වියානා සම්මුතියේ සභාපතිකම ලැබුණා. මම පරිසර ඇමති කාලයේ කසළ පාලනයට වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නා. ඒ කාලේ මට විශාල වශයෙන් මාධ්‍යයෙන් පහර දුන්නා. නමුත් මම ඒ ධුරයෙන් ඉවත් වූ විට හැමෝම තේරුම් ගත්තා මගේ වටිනාකම. ඊට පස්සෙ තමයි හැමෝම හොඳම පරිසර ඇමති කියලා මට කියන්න පටන් ගත්තේ.
ඊළඟට මම විදුලිබල හා බලශක්ති ක්ෂේත්රය භාරගත්තා. ලංකා විදුලිබල මණ්ඩලය, ලෙකෝ ආයතනය, පරමාණු බලශක්ති ආයතනය භාරගෙන පරමාණු බලශක්ති ක්ෂේත්රය අන්තර්ජාතික මට්ටමට ගෙන ගියා. සිවිල් පරමාණුක තාක්ෂණය ඇතුළු පරමාණුක ක්ෂේත්රයේ නවීන තාක්ෂණය සියල්ලම මම ලංකාවට ගෙනාවා. බලශක්ති නිපදවීම හැරෙන්නට වඩා බලගතු ස්ථානයක් නිෂ්පාදනය කරගැනීමට අපිට හැකියාව ලැබුණා.
ලෙකෝ ආයතනය තුළ දූෂණය නිසා පාඩු ලබමින් තිබුණේ. මම මාස හයෙන් ලෙකෝ ආයතනය ලාභ කළා. ඒ විතරක් නෙමෙයි දූෂණයට අදාළ පිරිස් වෙත දඬුවම් ලබාදෙන්න ක්‍රියා කළා.
ලංකාවේ විදුලිබල ක්ෂේත්රයේ දැවෙන ප්‍රශ්න වන පැය විසිහතරම විදුලිය ලබාදීම, හරිත බලශක්තිය පිළිබඳ අත්දැකීම්, සූර්ය බලශක්තිය ලබාගැනීම සිදුකළා. ඒ වගේම මෙගා වොට් 100ක සුළං විදුලි බලාගාරයක් පුත්තලමේ හදලා පෙන්නුවේ අපි.
රටේ ආර්ථිකයට මහා බරක් වී තිබුණ තෙල් බලාගාර පහක් වහලා දැම්මා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලුම කළමනාකරණයට, විදුලිබල සංරක්ෂණයට අපි කටයුතු කළා. රටේ හැමදෙනාටම විදුලිය ලබාදෙන්න 'විදුලමු ලංකා' වැඩසටහන ක්‍රියාත්මක කළා. අද මුළු රටේම විදුලිය තිබෙනවා. යුද්ධයෙන් විනාශ වුණු ප්‍රදේශවල විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම ඇති කළා.
පාඩු ලබන විදුලිබල මණ්ඩලය බිලියන 05ක ලාභයක් ලැබුවා. ඒක දැකපු රාජ්‍ය නායකයා සතුටුවෙයි කියලා මම හිතුවා. නමුත් රාජ්‍ය නායකයා මාව වට්ටන්න ජනප්‍රියතාවය බිඳදාන්න බදු පිට බදු පැනෙව්වා. නමුත් අවසානයේ 2015 විදුලිබල මණ්ඩලය භාරදුන්නේ වර්ෂයකට බිලියන 20ක් ලාභ ලබන ආයතනයක් හැටියට.
ඊළඟට ඛණිජ තෙල් සංස්ථාව භාර ගත්තා. එහිදී මම දැක්කේ විධිමත් ටෙන්ඩර් පටිපාටියක් නැතිකම. හිතවතුන්ට ලබාදී තිබූ ටෙන්ඩර් සියල්ල මම වහාම අවලංගු කළා. හිතවතුන් වෙනුවට සියලුදෙනාට සහභාගී විය හැකි ටෙන්ඩර් ක්‍රියාවලියක් හඳුන්වා දුන්නා.
ගල්අඟුරු මාෆියාව බිඳ දැම්මා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතාට අයිති සුප්රීන් සැට් චන්ද්‍රිකා ආයතනයට අයිති ටෝරියන් කියන සමාගම වැරදි විදිහට ගෙනාපු ගල්අඟුරු වලට මම ගෙවීම් ප්‍රතික්ෂේප කළා කියලා මට දඬුවම් මාරුවක් ලැබුණා තාක්ෂණ අමාත්‍යාංශයට.
මම දැක්කා ඒ අමාත්‍යාංශය සතු වූ විශාල විභවයන්. මම එම අමාත්‍යාංශය ඉතා ඉක්මනින් වෙනස් කරලා ඒකෙ තිබුණු විධාතා වැඩසටහන යටතේ අවුරුද්දකට 65,000කට ස්වයංරැකියා අවස්ථා ලැබෙන ලෙස ක්‍රමවේදයක් සැකසුවා. ඒ වගේම තාක්ෂණ කෞතුකාගාරයක්, විද්‍යා තාක්ෂණ මධ්‍යස්ථානයක් හෝමාගම ඉදිකරන්න අපි ආරම්භ කළා.
ඒ වගේම නව නිර්මාණ ක්ෂේත්රයේ නව පිම්මක් අපි ඇති කළා. මේ කාලය ඇතුළත මේ රටේ ක්ෂේත්‍ර වශයෙන් ගත්තාම වැදගත් සැලසුම් තුනක් හදන්න මම මුල් වුණා. එකක් තමයි පරිසර ක්ෂෙත්රයේ හරිත ලංකා කියන සැලසුම. මෙය දස අවරුදු සැලැස්මක් ලෙසයි සිදුකළේ.
එය අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමකට ලක්වුණා. ඒකෙන් තමයි අපිට පරිසර ක්ෂේත්රයේ අද්විතීය ස්ථානයක් හිමිවුණේ. මීළඟට මම විදුලිබල ක්ෂේත්රයට හදලා දුන්නා බලශක්තියෙන් අපේ රට ස්වයංපෝෂිත කරන්න වැඩපිළිවෙළක්.
විශේෂයෙන් අපේ ගෑස් සම්පත මන්නාරමෙන් උකහාගන්න වැඩපිළිවෙළක්, වැඩසටහනක්, ක්‍රියාකාරී සැලසුමක් ඉදිරිපත් කරනු ලැබූවා. ඒවා අනුව යනවා නම් මේ රටේ බලශක්ති ප්‍රශ්න ඇති වෙන්නේත්, පරිසර ප්‍රශ්න ඇතිවෙන්නේත් නැහැ.
ඒ වගේම තාක්ෂණය පැත්තෙන් තාක්ෂණික සැලසුමක් මම ඉදිරිපත් කළා. විද්‍යාඥයින් 600ක් පමණ එකතු කරගෙන, නව උත්පාදනයට ආයෝජනය කරලා තාක්ෂණය පැත්තෙන් රට ඉදිරියට ගෙන යන්න, රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න මම නව අදහස් දුන්නා.
Q ඔබේ මතයට අනුව රටේ ආර්ථික ගමන්මග කෙසේ සකස්විය යුතුද?
සමහරු හිතනවා විවෘත ආර්ථිකය ඔස්සේම ඉදිරියට යන්න. තව සමහරු හිතනවා පරණ සමාජවාදය තමයි ක්‍රමය, සමාජවාදය ඔස්සේ රාජතාන්ත්රයේ සියලු දේවල් කරන්න අවශ්‍යයි කියලා.
නමුත් අපි පළමුවම ඉගෙනගත යුත්තේ ආර්ථික වශයෙන් අපේ රටට තිබෙන විශේෂත්වය කුමක්ද කියන කාරණයයි. ලංකාවේ සාපේක්ෂ වාසිය හඳුනාගත යුතුයි. ඇත්තටම ලංකාවේ සාපේක්ෂ වාසිය මොකක්ද? ඒ තමයි අපේ භූගෝලීය පිහිටීම.
ලංකාව මූල්‍ය කේන්ද්‍රයක්, වාණිජ කේන්ද්‍රයක්, නාවුක හා ගුවන් කේන්ද්‍රයක්, ඒ වගේම දැනුමේ කේන්ද්‍රයක් හා බලශක්ති කේන්ද්‍රයක් විය යුතුයි. ඒක තමයි අදටත් ගැළපෙන ක්‍රියාදාමය.
ලංකාවට ආයෝජන එන්නෙ නැත්තේ ඇයි? පසුගිය වසරේ ලංකාවට පැමිණි ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 800ක්. නමුත් ඉන් කොපමණ ප්‍රමාණයක් මේ රටේ කර්මාන්ත ඇතිකරයිද දන්නෙ නැහැ. එහෙම උනත් අපිට මිලියන 800ක් එද්දි බුරුමයට ආයෝජන මිලියන 6800ක් ලැබිලා තිබෙනවා. වියට්නාමයට මිලියන 16,000ක් ලැබිලා තිබෙනවා.
මෙහෙම වෙන්නේ ඇයි? හේතුව තමයි ලංකාව තුළ තවදුරටත් කර්මාන්ත ඇති කරන්න ආයෝජන එන්නෙ නැහැ. මේ රටේ ලාභ ශ්‍රමය නැහැ. ලාභ බලශක්තිය නැහැ. ලාභ ප්‍රමිතිත්, ලාභ පරිසරයත් නැහැ. මේ නිසා විශේෂ දේශපාලන හේතුවක් මත එනවා මිසක් ලංකාවට ආයෝජනය කරන්න ආයෝජකයෝ එන්නෙ නැහැ. ලංකාවේ ආයෝජකයා ආයෝජනය කරන්නේ වියට්නාමයේ, බුරුමයේ රටවල.
මේ නිසා තමයි අපි අනෙක් සාපේක්ෂ වාසිය හඳුනාගත යුත්තේ. අපේ රටේ උගත් ශ්‍රමය ඇති තරම් තිබෙනවා. මේ උගත් ශ්රමයට ගැළපෙන දැනුම පදනම් කරගත් ආර්ථිකයක් අපි සැලසුම් කරගත යුතුයි. මේක මම ඉදිරිපත් කරපු අදහසක්. ආර්ථිකය මේ රටේ එකතැන පල්වෙද්දී එයට අලුත් අදහස් දුන්නේ අපි.
අපි ජාතිවාදී කියලා සමහර අය අපිව හංවඩු ගහන්න, චරිත ඝාතනය කරලා වට්ටන්න හැදුවට මේ රට ඉදිරියට යන්න අවශ්‍ය ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාදාමය රටට හඳුන්වා දුන්නේ අපි.
Q ඔබේ වත්මන් අමාත්‍යංශයද සුවිශේෂි අමාත්‍යංශයක්, ඒ පිළිබඳ කතා කළොත්?
වර්තමාන අමාත්‍යාංශය අලුත් දෙයක් මේ රටේ තවම විධිමත් නාගරික සැලසුමක් සිදුවෙලා නැහැ. මේ නිසා මගේ අමාත්‍යාංශය පරණ විදිහටත් නාගරික සැලසුම් ඉදිරිපත් කරනවා. මේ තුළ අපි විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකළ යුතුයි. එහෙම නැතුව අපේ හිතුමනාපයට මේ දේවල් කරන්න හැදුවොත් ඒකත් හම්බන්තොට වරාය වගේ වෙනවා. විධිමත්ව දෙයක් කරන්නට යම් කාලයක් යනවා. නමුත් ඒ තුළින් තිරසාර ඉදිරි ගමනක් ඇතිකරන්න පුළුවන්.
ඒ වගේම මේ සියලු කාරණා ඉටුකර ගැනීමට අරමුදල් අවශ්‍යයි. මම පැහැදිලිවම කියන්නේ බස්නාහිර මහ නගර අමාත්‍යාංශයට එකම එක රාජ්‍ය ආයෝජනයයි සිදුවෙලා තිබෙන්නේ. ඒ සැහැල්ලු දුම්රිය පිළිබඳ ආයෝජනය පමණයි. ඒ හැරෙන්න වෙන කිසිම ආයෝජනයක් අපිට ලබාදීලා නැහැ. මේ නිසා මේවා පෞද්ගලික අංශ සමග කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා.
Q වරාය නගරය 28%ක් මේ වනවිට අවසන්කර තිබෙනවා. එහි ඉදිරිය කෙබඳුද?
2020 වනවිට වරාය නගරයේ ඉඩම් වෙන්දේසි කිරීමට සැලසුම්කර තිබෙනවා. මේ කටයුතු කඩිනම්කර තිබෙන නිසා අපිට ඒ කටයුතු ඉක්මනින් කරන්න පුළුවන්. වරාය නගරයට විවිධ ප්‍රශ්න ආවා. නමුත් අපි ඒ සියල්ලටම විසඳුම් සොයාගෙන ඉදිරියට කරගෙන යනවා.
Q ඒ වගේම මුතුරාජවෙල සේවා නගරය පිළිඳව කතා කළොත්?
වරාය සහ ගුවන්තොටුපළට විවිධ සේවා සැපයීම සිදුකරන්නන්ගේ බඩු ගබඩාව හෙවත් ගුදම් පිහිටුවීමේ ව්‍යාපෘතියක් ලෙසයි එය ක්‍රියාත්මක වන්නේ. අක්කර 100ක පමණ භූමි ප්‍රමාණයක් ඒ සඳහා යොදා ගන්නවා. මුතුරාජවෙල තෙත් බිම තුළ පරිසර අධ්‍යයනයක් කර සංවර්ධනය කළ හැකි ඉඩම් මොනවාද කියා හඳුනාගත්තා. ඒ අනුව තමයි මෙම ඉඩම් තෝරාගෙන තිබෙන්නේ.
Q මුතුරාජවෙල ඇතුළු තෙත්බිම් ගොඩකිරීම සම්බන්ධ විවිධ චෝදනා එල්ල වෙනවා. මේ පිළිබඳ ඔබ අවධානය යොමුකර තිබෙනවාද?
ගොඩකිරීම් පිළිබඳව රටේ හරිහමන් නීතියක් නැහැ. මේ නිසා තමයි බලවත්තු මේ වැඩේ කරගෙන යන්නේ. ඉක්මනින් නීති සංශෝධනය කරලා මොවුන්ට වහාම දඬුවම් ලබාදෙන ක්‍රමයක් ඇති කළ යුතුයි. අපි ඉඩම් ගොඩකරන්නේ විද්‍යාත්මකවයි.
Q වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට ඔබත් මූලිකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයෙක්. නමුත් මේ වනවිට ආණ්ඩුව ගන්නා තීරණ බොහෝ විවේචනයට ලක්වෙනවා නේද?
මේ ආණ්ඩුව යහපාලනය පිළිබඳ ආණ්ඩුවක්. ජනතාවගේ අදහස් බුල්ඩෝසර් කරන්න අපේ අදහසක් නැහැ. යම් යම් තීරණ පිළිබඳ සාකච්ඡා කරලා ඒවා මේ කාලයට උචිත නොවන බව පැහැදිලිකර දුන් විට ඒවා වෙනස් කර ක්‍රියාකරන්න තරම් මේ ආණ්ඩුව නම්‍යශීලීයි. ඒ වගේම නිර්මාණශීලීයි. ඒක දුර්වලකමක් නොවෙයි. ඒක මේ ආණ්ඩුවේ ප්‍රබලකමක්.
ජාතික ප්රතිපත්තියක කටයුතු කරන්න අපි හැමෝම තීරණයකර තිබෙනවා. මොකද ආර්ථික වශයෙන් අපි ඉන්නේ හොඳ තත්ත්වයක නොවෙයි. ඒ හොඳ තත්ත්වයේ නැති විට අපේ ආදර්ශය ඉතාම අත්‍යවශ්‍යයි.
Q වංචා,දූෂණ සෙවීමේ විශේෂ අධිකරණය තවමත් ප්‍රමාද ඇයි?
අපේ වගකීම අපි ඉෂ්ඨකර තිබෙනවා. විශේෂ අධිකරණයක් පිහිටුවීමට අපි යෝජනා කළේ මේ ආණ්ඩුව බලයට පත්වුණ 2015.01.21 දිනයි. මේ රටේ ජනතාව ආණ්ඩුවට මේ වරම් දුන්නේ ප්‍රධාන වශයෙන්ම දූෂණයට එරෙහිව ක්‍රියාකරන්න. නැතුව මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාර්යසාධනයේ අඩුවක් නිසා නොවෙයි.
මේ ආණ්ඩුවේ සියලුදෙනා මතක තියාගන්න අවශ්‍යයයි ලක්ෂ 62ක ජනතාව ලබාදුන් වරම පිළිබඳව. ඒ වරමට පිටුපාන්න බැහැ. ඒ නිසා නායකයෝ දෙපළගේ ප්‍රධාන වගකීම තමයි අතීතයේ දූෂිතයන්ට සහ වර්තමානයේ දූෂිතයන්ට දඬුවම් දීම. ඒවගේම අනාගතයේ එවැනි දෑ සිදුවීම වැළැක්වීමත් කළ යුතුයි. එය සඳහා මම සරත් අමුණුගම ඇමතිතුමා සමග එක්ව පනතක් ඉදිරිපත් කර තිබෙනවා. එය වහාම පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි. ඒකට අපි පෙනී සිටිනවා.
Q ඔබගේ ඉදිරි දේශපාලන ගමන් මග කෙසේ සිදුවේද?
අපි වැඩකරන්නේ මතු පරපුර වෙනුවෙන්. ඊළඟ ඡන්දය වෙනුවෙන් නොවෙයි. මේ රටට අපි ආදර්ශයක් දුන්නා. දූෂණයෙන් තොරව අමාත්‍යාංශ කරන හැටි පෙන්වා දුන්නා. රට හදන අලුත් උපාය මාර්ග පෙන්වා දුන්නා. රටේ ගමන් මග, තීරකයෝ වෙනස් කරන්න මැදිහත් වුණා. අපි නොහිටියානම් ත්‍රස්තවාදය කවදාවත් පරාජය කරන්න බැහැ.
ඒවායේ අයිතිය කවුරු ගත්තත්, අපිට ඒ ගැන ආඩම්බරයි. රජයේ ස්ථාවරත්වය මත අපි ඉන්නවා. අද වනවිට සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතනය කරන්න එල්.ටී.ටී.ඊ. ය තැන තැන කුමන්ත්‍රණය කරනවා. දැන් කාටත් තේරෙනවා ඇති අපි කියන දේ ඇත්ත කියලා. යුරෝපයේ අයට අද ත්‍රස්තවාදය දැනෙමින් තිබෙනවා. මේ නිසා අපේ මතයට යුරෝපය පැමිණෙමින් තිබෙනවා.
අද ඇමරිකාවේ ට්‍රම්ප්ගෙන්, එංගලන්තයේ තෙරේසා මේ ගෙන් මතුවෙන්නේ ජාතික හෙළඋරුමයේ මතය. අද ලෝකයේම මතය වෙලා තියෙන්නේ එකමතය. මේ දේ අපි අවුරුදු 20කට කලින් දැකපු එකයි විශේෂත්වය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd