රටම හූරගෙන කාපු අඳුරු අවතාරවලට නැවත ඉඩ නොදිය යුතුයි - ඇමති මංගල
- 3 04 2018
- 09:49
- {{hitsCtrl.values.hits}} views
- . .
මේ රට බංකොලොත් කළ, විනාශ කළ, මේ රටේ සම්පත් සූරා කෑ, මේ රටේ ජාතීන් අතර බේද භින්න ඇති කළ ඒ අඳුරු අවතාරයන්ට යළි ඉඩ නොදිය යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.අමාත්‍යවරයා එසේ පවසා සිටියේ ‘විශ්වාස භංගයේ ඇත්ත නැත්ත‘ පිළිබඳව ජනමාධ්‍යවේදී විමල් කැටපෙආරච්චි මහතා හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවට සහභාගි වෙමිනි.
ප්රශ්නය- මොකක්ද මේ විශ්වාසභංගයේ අභියෝගය?
පිළිතුර- මම හිතනවා හතරවෙනිදා රාත්‍රියේ මේ සම්බන්ධයෙන් ඡන්දය පැවැත්වෙනවා. යළි වතාවක් ඉතිහාසයේ මේ අවස්ථාව දෙස හැරී බලනකොට මෙය තේ කෝප්පයක කුණාටුවක් හැටියට සලකන බව ස්ථීරයි. නමුත් තේ කෝප්පයක කුණාටුවක් වුණත් මේ විශ්වාසභංගය හරහා මේ රටේ අනාගතය ගැන තීන්දු රාශියක් යළි ගන්නට අවස්ථාවක් අපිට ලැබිලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ජනවාරි අට වැනිදා 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා විදියට පත්වෙලා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරගෙන අන්ධකාරයෙන් ආලෝකය කරා යන ගමනක් අපි ආරම්භ කළා. ඒ ගමන අපි අභියෝග රාශියක් මැද්දේ ඉදිරියට ගෙනැල්ලා තිබෙනවා. ඒ ආලෝකය කරා යන ගමන ඒ ආකාරයටම එදාටත් වඩා වේගවත්ව එක්සිත්ව එක්සත්ව ඉදිරියට යනවාද, එහෙම නැත්නම් යළි වතාවක් අන්ධකාරය දිහාවට මේ රට ඇද ගෙන යන්නට ඉඩදෙනවාද කියන තීන්දුවයි අපිට හතරවැනිදාට ගන්න තිබෙන්නේ.
ප්රශ්නය - සමහරු මේක අර්ථ දක්වන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ අගමැතිවරයා ඉවත් කිරීම කියන කාරණයට මේක ලඝු කරලා. ඔබ කියන විදියට 2015 ජනවාරි අටට මේක සෘජුවම සම්බන්ධයි.
පිළිතුර- අනිවාර්යයෙන්ම. මොකද ජනවාරි මාසේ අටවෙනිදා ඒකාධිපතිත්වය කරා යන රටක්, ඒකාධිපති වියරුවෙන්, පවුල්වාදයේ වියරුවෙන්, ඒ වගේම චෞරවාදයේ වියරුවෙන් මහා විනාශයක් කරා ගිය ගමනක් අපි මේ රටේ ජනතාව සමග අත්වැල් බැඳගෙන නවත්වලා ප්රජාතන්ත්රවාදය සංවර්ධනය සහ සංහිඳියාව කියන ප්‍රධාන කුලුනු තුන මුල් කරගෙන යන ගමනක් ආරම්භ කළා. නමුත් ඒ මොහොතේ සිටම ඒ පසුගිය චෞර රාජ්‍ය ක්‍රමයෙන් වාසි ගත්තු අය, බලයේ හිටපු අය, ඒකේ හිටපු අනෙකුත් අනුග්රහයකයන් දිගින් දිගටම රජය දුර්වල කරන්න විනාශ කරන්න විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඒ තනතුරෙන් නෙරපන්න කුමන්ත්‍රණය කරා කියන එක අපිට රහසක් නෙමෙයි.
නමුත් ජනවාරි අටවෙනිදා විතරක් නෙමෙයි යළි වතාවක් මේ අය ජාතික මැතිවරණයකින් මහා මැතිවරණයේදීත් මේ කණ්ඩායම ප්‍රතික්ෂේප කරා. ඉන් පසුව තමයි මේ කණ්ඩායම මේ විවිධ උපක්‍රම මේ රජය දුර්වල කරන්න සිදුකළේ. විශේෂයෙන්ම අද මේ අයගේ හොරකම් මැරකම් දූෂණ ගැන සොයමින් තියෙන මොහොතක කොහොම හරි අපි ඒවා උසාවිවල දැන් ඉදිරිපත් වෙන කරුණු ක්‍රමක් ක්‍රමයෙන් එනවා. ඒ කරපු හොරකම්, මැරකම්, මිනී මැරුම් ආදිය එක රාත්‍රියකින්, අවුරුද්දකින් දෙකකින්වත් හොයාගන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් දැන් ඒවා එන නිසා තවත් කලබල වෙලා.
මේ නඩු සියල්ල යටපත් කරගන්න තියෙන උවමනාව හා යළි බලයට ඇවිල්ලා ඒ අයට අහිමි වුණ ඒ චෞර රාජ්‍ය ක්‍රමය ඇති කරන්නට මේ අය දැන් ගෙනැල්ලා තිබෙන අලුත්ම උපක්‍රමය තමයි විශ්වාස භංගය. අගමැතිවරයාට පමණක් නොවෙයි විශ්වාස භංගය රජයටත් එරෙහි විශ්වාස භංගයක් කියන එක පැහැදිලිවම සඳහන් වෙනවා. අන්න එහෙම නම් ඒකාබද්ධ විපක්ෂයේ අය මේකට වැඩිපුර අත්සන් කරත්, රජයේ ඇතුළේ ඒ අයගේ ඉන්න ඒජන්තවරුත් එකතුවෙලා. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට විශාලම ශක්තියක් වන, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්නට පරිත්‍යාග කරලා අවංකවම මහා කැපවීමක් කරපු අග්‍රාමාත්‍යතුමා ඒ අයගේ ප්‍රථම ඉලක්කය වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමා මෙතනින් අයින් කර ගත්තොත්, ඡන්දය දෙවතාවක් පැරදිච්ච මේ කණ්ඩායම්වලට පස්ස දොරෙන් ජනාධිපති පුටුවට ඒමේ වැඩපිළිවෙළක පළවෙනි පියවර හැටියටයි මම දකින්නේ.
ප්රශ්නය- සමහරු විශ්වාස කරනවා ගරු ජනාධිපතිතුමා සහ රජය අතරත් ගැටුමක් තිබෙනවා කියලා. ඒකෙ ඇත්තක් තියෙනවාද? මොකක්ද මේක?
පිළිතුර - ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා සහ රජය අතර ගැටුමක් කිසිසේත්ම නැහැ. මොකද පක්ෂ දෙකේම අය ජනාධිපතිතුමාට ඉතාමත් ගරු කරනවා එතුමා බොහෝම ප්‍රසන්න හැමදේටම අහුම්කන දෙන පුද්ගලයෙක්. නමුත් ජනාධිපතිතුමාගේ පැත්තෙනුත් තමන්ගේ පක්ෂය තුළ කණ්ඩායම් කිහිපයක් සමතුලනය කරන්නට එතුමාට සිදුවෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඡන්දයෙන් පස්සේ ඡන්දය දින්නායින් පස්සේ එතුමා ජනාධිපතිවරයා වන දවස වෙනකනුත් එතුමාට අභූත චෝදනා කරපු, එතුමාට බැනපු, එතුමාට කුණුහරුප කියපු පිරිසක් යළි වතාවක් ඇමැතිධුර සඳහා ආණ්ඩුවට එකතු වෙලා. ඒ අය තමයි ඇත්ත වශයෙන්ම මේ කණ්ඩායම මෙහෙයවීමේ කටයුතු මෙහෙයවන්නේ. නමුත් එතනදීත් ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට, පොදු ජන එක්සත් පෙරමුණේ නායකයා හැටියට මධ්‍යස්ථ පිළිවෙතක් ගෙනයන්නට සිදුවෙලා තිබෙනවා.
ප්රශ්නය- දේශපාලන විචාරකයෝ මේ ආණ්ඩුවට විවිධ විවේචන ගේනවා. ඒ අතර අතුරුදහන්වුවන් සම්බන්ධව ආණ්ඩුව කටයුතු කිරීමට ගත් නව පියවර, තොරතුරු දැනගැනීමේ පනත, ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ගත් අලුත් පියවර මේවා සාධනීය ලක්ෂණ හැටියටත් විචාරකයෝ දකිනවා. දැන් විශ්වාස භංගයෙන් පස්සේ මේ ඔක්කොම හොඳ වැඩ රිවස් වෙයිද කියන ප්රශ්නය තිබෙනවා.
පිළිතුර- නැහැ කොහොමද රිවස් වෙන්නේ? රිවස් වෙන්න අපි පරදින්න එපායැ. කිසිම හේතුවකින් මේ විශ්වාස භංගය අපි පරදින්නේ නැති බව මම කියනවා. එය මේ කේන්දර බලලා, සාස්තර බලලා, තාරකා දිහා බලලා කියන දෙයක් නෙමෙයි ප්‍රායෝගිකව පාර්ලිමේන්තුව ඇතුළේ තිබෙන තතත්වය දැනගෙන කියන දෙයක්. මොකද එක පැත්තකින් පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ ඇගමැතිතුමාට විශාල ගෞරවයක් තිබෙනවා.
ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් ඒ ගෞරවය සමහරුන් තුළ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා විය යුතුයි, පක්ෂ නායකයා විය යුතුයි කියන තීන්දුව අරගෙන තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ. කිසිසේත්ම ඒ අය මෙම යෝජනාවේදී ගන්න තීන්දුව ගැන මට කතා කරන්න බැහැ. ඒ ගැන දන්නෙත් නැහැ. නමුත් ඒ අය අපිට කියලා තිබෙනවා කිසිම හේතුවකට යළි අර චෞර යුගයට යන පාර ලෑස්ති කරන්න එතුමන්ලා සම්මාදන් වෙන්නේ නැති බව. ඒ වගේම ටී.එන්.ඒ සංවිධානයත් විශේෂයෙන්ම ආගම්වාදී ජාතිවාදී පසුගිය යුගය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන නිසා ඒ අයත් සහයෝගය මෙම කටයුත්තට නොලැබෙනවා කියලා අපි දන්නවා. මෙතන ප්‍රධාන සාධකය තමයි කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. මොකද ජනාධිපතිතුමා වුණත් එතුමා කරපු කැපවීම හොඳින් දන්නවා.
මොකද ඉතිහාසය දිහා බැලුවාමත් පක්ෂ නායකයෙක් තමනගේ තමන්ට හිමිවිය යුතු අපේක්ෂකත්වය සාමාන්‍යයෙන් දින්නත් පැරදුණත් ලෙහෙසියෙන් අත් හරින්නේ නැහැ. මට මතකයි 1988 ජනාධිපතිවරණයේදී මම මාතර ආසනයේ සංවිධායකවරයා හැටියට මුල් වතාවට පත්වෙච්ච අවස්ථාවේ මීට අවුරුදු තිහකට ඉස්සෙල්ලා ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයට මුහුණදෙන්න ඒත් ඒකාබද්ධ විපක්ෂයක් ඇතිකරන්න සාකච්ඡා කරා. මුස්ලිම් කොන්ග්රසය, ලිබරල් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණත් ආවා මේ සාකච්ඡාවට සහභාගි වෙන්න. මේ යුගයේ අපි අලුතින් ආපු අය අපිට තවම මතකයි මේ වගේ පොදු වේදිකාවක් හදන්න සාකච්ඡා කරපු වෙලාව. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියට මම ඉතාමත් ගරු කරනවා.
ඇය මම ඉතාමත් ආදරය කරන නායිකාවක්. නමුත් ඒ වෙලාවේ එතුමිය ඇරෙන්න වෙන පොදු අපේක්ෂකයන් දාන්න කැමැති වුණේ නැහැ. ඒක ප්‍රතික්ෂේප වුණා. අපිට මතකයි 1982දී , එතකොට මැතිණියගේ ප්‍රජා අයිතිය දුන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු අපේක්ෂකයා හැටියට හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ආවා. නමුත් ඇත්ත වශයෙන්ම කියන්න ඕන එහෙම දාල පැරැද්දුවා. දාන්න උවමනාවට දාලා පක්ෂය විසින්ම කොබ්බෑකඩුව මහත්මය පැරැද්දුවා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහෙම කළේ නෑ. එහෙම එතුමාටත් කරන්න තිබුණා ඕනනම්. එක්කෝ දින්නත් පැරදුනත් මට මේ අපේක්ෂකත්වය ඕනමයි කියලා එතුමාටත් කියන්නත් තිබුණා. ඕනනම් එතුමාට ඉල්ලන්න තිබුණා.
මොකද ඒකටත් හොඳ කතාවක් මහින්ද රාජපක්ෂ මහතා කියනවා මට මතකයි. 2005ට ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒ අපේක්ෂකත්වය තීන්දු කරන්න රැස්වීමට ඉස්සෙල්ලා අපි කතා කර කර ඉන්න කොට මහින්ද රාජපක්ෂ හිනා වෙවී කිව්වා “මේ අපේක්ෂකත්වය ගත්තයින් පස්සේ මට කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ජනාධිපතිපති අපේක්ෂකයෙක් වුණාම දින්නත් දිනුම් කිව්වා පරාද වුණත් දිනුම්” කිව්වා. මොකද ඒකෙන් අදහස් කළේ ඇත්ත වශයෙන්ම ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයෙක් වුණාම පුදුම සල්ලි ප්‍රමාණයක් මැතිවරණයට හම්බුවෙනවා. පරාද වුණත් ඒ මැතිවරණ ආධාර විශාල ප්‍රමාණයක් එක්ක ගෙදර යන්නේ. ඒකත් දිනුමක්. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා එහෙම හිතුවානම් එතුමා ඒ කටයුත්තත් ඒ විදියට 2015 දී කරන්න තිබුණා.
නමුත් එතුමා ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා, පොදු අපේක්ෂකයා විය යුතුයි කියපු වෙලාවේම බොහොම සන්තෝෂයෙන් ඒකට එකඟ වුණා විතරක් නෙමෙයි, බොරුවට එකඟ වෙන්න තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම මුළු පක්ෂයම මුළු එක්සත් ජාතික පක්ෂයම එකාමෙන් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරා. කබීර් හෂීම් මැතිතුමා, මලික් සමරවික්රමලා, සජිත් ප්‍රේමදාස මහතාලා මට මතකයි එදා තමන්ගේම අපේක්ෂකයෙක් දිනවන්න තියෙන උනන්දුවෙන් කටයුතු කරලා දිනෙව්වා. එතනදී අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙත් තිබෙන චරිත ලක්ෂණ නිසා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තිබෙන අවංකභාවය පිරිසිදුභාවය නිසා ඒකත් දිනන්න අනිවාර්යයෙන්ම හේතුවක් වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කැපවීම තිබුනේ නැත්නම් ඒ ජයග්‍රහණය ඔය තරම් පහසුවෙන් ලබා ගන්න පුළුවන්වෙයි කියා මම හිතන්නේ නැහැ.
ආණ්ඩුව ගත්තායින් පස්සේත් මට මතකයි ජෝන් කෙරී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඔබාමාගේ රාජ්‍ය ලේකම්තුමා ලංකාවට ආපු වෙලාවේදී 2015දී එතුමා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා මමත් එක්ක එළියට එනකොට “මට නම් හිතෙනවා මංගල ඕගොල්ලන්ගේ ජනාධිපතිතුමා කියන්නෙත් තවත් නෙල්සන් මැන්ඩලා කෙනෙක් කියාලා” කිවුවා . එහෙම කියලා ඔහු කිව්වා “මම අගමැතිතුමාත් හම්බවුණා එතුමාත් ඉතාමත්ම දක්ෂ පුද්ගලයෙක් එතුමාට සිංගප්පූරුවේ ලී ක්වාන් යුගෙ ලක්ෂණ තිබෙනවා. එහෙමනම් ලංකාවට පුදුම වාසනාවන්ත මොහොතක් උදාවෙලා තිබෙන්නේ නෙල්සන් මැන්ඩෙලායි ලී ක්වාන් යුයි එකම ආණ්ඩුවකට ඇවිල්ලා රට හදනවා වගේ කියලා”.
මේකේ ඒතරම් බලාපොරොත්තු තිබුණා. අපි ඒ බලාපොරොත්තු සියල්ල ඉටු නොකරත් ඇත්ත වශයෙන්ම මේ කාලය තුළදී විශේෂයෙන්ම අපේ ආර්ථිකය දැන් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ජනාධිපතිතුමාගෙත් උපදෙස් මත රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි ඇත්ත වශයෙන්ම ආර්ථිකය මෙහෙයවූයේ. එතුමා මහා ණය බරකින් හෙම්බත්වෙච්ච රටක් භාර ගත්තා. නමුත් ඒ ණය බරටත් කර ගහලා මේ අවුරුද්දේ ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය අපි ගෙවනවා ට්‍රිලියන එකයි දශම නමයක්. එන අවුරුද්දේ ට්‍රිලියන හතරයි ගාණක් ගෙවන්න වෙනවා. නමුත් ඒවාටත් මුහුණදෙන්න පුළුවන් විදියට ආර්ථිකය හැදුවා.
ඒ හදපු නිසා තමයි මේ වසරේ මුල වෙනකොට 2017 වසරවල තමයි නිදහසින් එක්දහස් නමසිය පනස් ගණන්වලින් පස්සේ අපේ ප්‍රාථමික ගිවිසුමේ අතිරික්තයක් පෙන්නුවේ. එය විශාල ජයග්‍රහණයක්. 2017 තමයි අපි අපනයනය කරන භාණ්ඩ වැඩියෙන්ම පිටරට යැව්ව වර්ෂය හැටියට වාර්තා වෙලා තිබුණේ. විදේශ ආයෝජන වැඩියෙන්ම ආපු වසර හැටියට වාර්තා ගත වුණේ එම වසර.
මෙන්න මේ විදිහට ආර්ථිකය මහා කුණු කන්දකින් වැහිච්ච ආර්ථිකය දැන් අපි ක්‍රමක් ක්‍රමයෙන් ගොඩ නගමින් සිටිනවා. ඒ වගේම ඉදිරි වසර එක හමාර තුළදී මේ ආර්ථිකයේ තවත් ප්‍රථිලාභ රාශියක් ජනතාවට දැක ගන්න පුළුවන් වෙයි. මේ හැම එකක්ම අපි ඇත්ත වශයෙන්ම කුහක වෙන්නේ නැතිව අපේ අගමැතිවරයාට ගෞරව මුලිකව දීලා ඉන්න ඕන. මෙතන මොකක්ද මේගොල්ලන් මේ කියන්නේ. විශ්වාස භංග යෝජනාව ගෙනැල්ල තිබෙන්නේ මොකටද. අර මොකක්ද එක මහ බැංකුවේ බොන්ඩ් එක ගැන කතා කරනවා. ඔව් අපිත් කියනවා එතන විශාල වංචාවක් වෙලා තිබෙනවා.
නමුත් ඒ වෙච්ච වංචාව ගැන හොයන්න අපේ රජය තමයි ඒ අවශ්‍ය චෙක්ස් ඇන්ඩ් බැලන්සස් ලබා දුන්නේ. විශේෂයෙන් මට මතකයි 2015 අගෝස්තු මාසයේ ඡන්දෙන් ඉස්සෙල්ලා මමම ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කිහිප දෙනෙක් හමුවෙලා කිව්වා ඕගොල්ලන් වෙනම තරග කරත් අපි කැමැතියි අපේ ආණ්ඩුව පිහිටෙව්වොත් කෝප් ආයතනය පාර්ලිමේන්තුවේ තිබෙන මූල්‍ය ගිණුම් සම්බන්ධයෙන් තිබෙන කාරක සභාවල සභාපතිත්වය විපක්ෂයට දෙන්න. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට දෙන්න කියලා. එහෙම කියලා මම විහිළුවටත් කිව්වා මොකද ජනතා විමුක්ති පෙරමුණ අපටත් වඩා දක්ෂයිනේ හොරු අල්ලන්න කියලා. ඒ අගමැතිතුමාගේ පණිවිඩය මම ජෙවීපී එකට ගෙනිච්චේ. හොරකම් කරන්න බලාපොරොත්තු වුණ ආණ්ඩුවක් නම් අපි විපක්ෂයට ඕක දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ වගේම ආණ්ඩුවේ කීකරු ගෝලයෙක් ඇමැතිවරයෙක් ඔතන සභාපතිත්වයේ තියාගෙන අපිටත් මේ කාලයේ යන්න තිබුණා.
නමුත් මේ ගැන මුලින්ම පරීක්ෂණයක් ඉල්ලුවේ අගමැතිතුමා. එපමණක් නොවෙයි පරීක්ෂණය ඉල්ලලා නිහතමානීව ජනාධිපති කොමිසමට ගියා. ගිහිල්ලා සාක්කිත් දුන්නා. ඒ විතරක් නොවෙයි අන්තිමට මේකේ නැති වුණයි කිව්ව ඒ විශාල මුදල තාමත් බැංකු ගිණුමක අත්හිටවලා ඒ මුදල තිබෙනවා. දැන් අපිට නීති රීති ගෙනැල්ලා ඒ මුදල ලබා ගන්න පුළුවන් ලංකාවට රටට රජයට සතයක්වත් අඩු නැතිව. නමුත් අද වෙනකොටත් හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ, එහෙම නැත්නම් හිටපු මහ බැංකු අධිපති ඒ කාලේ මේ වගේ ගොන් වංචා ට්‍රිලියන ගණනක වෙලා තාමත් ඒවා ගැන හොයා ගන්න මුකුත් නැහැ.
ඒවා ගැන හොයන්නෙ නැතිව හොරු අල්ලන්න වංචා දූෂණ අල්ලන්න ක්‍රම වේදයන් නිර්මාණය කරපු පුද්ගලයාට එරෙහිව ඇඟිලි දික් කරන්නේ කවුද? ඇත්ත වශයෙන්ම මේකට ඇඟිලි දික් කරන්නේ, මේකට වැඩිපුර මහන්සි වෙන්නේ, දුවන්නේ ඔය විපක්ෂයේ අය බහුතරයක්. ඒ අයට තිබෙන ලොකුම ප්රශ්නය තමයි ඒ අයට වංචා දූෂණ රාශියක් තිබීම. ඒවා හොයන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුව පෙරළා ගන්නයි ඒගොල්ලන්ට ඕන. දැන් එක පැත්තකින් ඒ අය චෝදනා කරනවා ඇගමැතිතුමා මේ ආණ්ඩුව රාජපක්ෂලාව රකිනවා කියලා. නමුත් රාජපක්ෂලාව රකිනවා නම් රාජපක්ෂලා අත්සන් කරපු මහින්ද රාජපක්ෂ උන්නැහේ අත්සන් නොකරපු එක ඇත්ත නමුත් නාමල් රාජපක්ෂ ඇතුළු අනිත් අය සියල්ල අත්සන් කරපු ඒ අයගේ පූර්ණ අනුග්‍රහය ලැබෙන විශ්වාස භංගයක් තමන් ආරක්ෂා කරන අගමැතිවරයාට එරෙහිව ගෙනෙයිද කියලා මම අහනවා. ඉතින් මේ ඔක්කොම බොරු කතා. මේකේ පිටිපස්සේ තිබෙන්නේ අගමැතිතුමාගේ කතාවක් නෙමෙයි. ඊට වඩා බරපතළ මේ රට ආපස්සට ගෙන යාමේ කුමන්ත්‍රණයක්.
ප්රශ්නය- මේ සියලු තත්ත්වයන් මැද ඔබ කියන්නේ විශ්වාස භංගය ඔබේ පාර්ශ්වය නියත ජයග්‍රහණයකින් ජය ලබනවා කියලා.
පිළිතුර- ඔව් අනිවාර්යයෙන්ම
ප්රශ්නය - මම අහන්න කැමැතියි විශ්වාස භංගයෙන් ඔබ කියන ආකාරයෙන් ඔබේ ජයග්රහණයෙන් පසු ආණ්ඩුවටත් විවේචන නොතිබුණා නෙමෙයි මේ අවුරුදු දෙක තුන තුළ
පිළිතුර.- අනිවාර්යයෙන්ම විශාල විවේචන ප්‍රමාණයක් තිබෙනවා. ඒක මම පිළිගන්නවා.
ප්රශ්නය - ඒ විවේචන කුමන ආකාරයකින්ද තේරුම් ගෙන මෙතනින් එහාට ගමන් කරන්නේ.
පිළිතුර - ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක තිබෙන ප්‍රධනතම විවේචනය අපි ජනවාරි අට බලයට ගෙනා බලවේගයන් හුදෙකලා කිරීම. ආණ්ඩුවට තිබෙන ප්‍රධානම විවේචනය තමයි අපි ජනවාරි අට බලයට ගෙනා ප්‍රතිපත්ති මාලාවෙන් ඈත්වීම. මොකද ඇත්ත වශයෙන්ම අපිට පසුගිය මේ මෑතකදී තිබුණ ගම් සභා මැතිවරණයේ ප්‍රතිඵලවලින් පේනවා ඒකාබද්ධ විපක්ෂය ගම් මට්ටමින් විශාල ජයග්‍රහණයක් ලබාගත්තයි කිව්වත් ඇත්ත වශයෙන්ම ඒ අයට ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කරන්න තවමත් බෑ. තවමත් මේ රටේ ශ්‍රී ලාංකිකයන්ගේ බහුතරයක් ඒ අයට 2015 මෙන්ම අදත් විරුද්ධයි.
නමුත් ඒ බහුතරයේ විශ්වාසය අපි ගැනත් අඩුවෙමින් තිබෙනවා. නමුත් අන්න ඒ නිසා මම නම් හිතන්නේ අපේ මුල්ම පියවර වෙන්න ඕන ඒ 2015 අපේ මැතිවරණයේ පදනමට ගිහිල්ලා විශේෂයෙන්ම මේ රටේ ඉන්න අහිංසක දුප්පත් ජනතාවට සහන සලස්වලා අනිත් පැත්තෙන් දියුණු ලෝකයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කිරීම කියලා. ජාතිවාදය පරාජය කිරීමට අවාසනාවකට වගේ අපේ කාලයේ ජාතිවාදී කෝලහල එතනදීත් මේ කුමන්ත්රණයේ මුලාශ්රයටම යන්න පුළුවන් ජාතිවාදී කෝලහලවල මූලාශ්‍රය තිබෙන්නේ මේ විශ්වාස බංගයේ මූලාශ්රයමයි. ඉතින් ඒ අය පරාජය කරන්න කටයුතු කරන්න ඕන මම ඇත්ත වශයෙන්ම කියනවා. පොලීසිය එහෙම ඒ ඒ වෙලාවේ බොහොම හෙමින් කටයුතු කරේ. අපේ දියුණුව ආපස්සට අදින්න අපි කාටත් ඉඩ දෙන්නේ නැහැ. මින් ඉදිරියට එවැනි දෙයක් කරොත් අපි මිටත් වඩා තද තීන්දු ගන්න වෙයි.
ප්රශ්නය - ජනවාරි අට අභිලාශයන් පරදවන්න එන කුමන්ත්රණයේ කොටසක් හැටියට තමයි ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර මැතිතුමා මේ විශ්වාස භංගය හඳුන්වන්නේ. අවසාන වශයෙන් හෙට දවසේ ඔබට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ට සහ ලංකාවේ ජනතාවට කෙටියෙන් කියන්න තිබෙන්නේ කුමක්ද?
පිළිතුර - ඇත්ත වශයෙන් අපි දිනපු නිදහස අපි දිනාගත්ත ජයග්‍රණය ඒ වගේම අපි පදනමක් ලබාදී තිබෙන මේ යහපාලන ක්‍රමය වඩ වඩාත් ශක්තිමත් කරන්න හැම කෙනෙක්ම ඒකරාශී වෙන්න ඕන. විශේෂයෙන්ම අතීතයේ මේ රට බංකොලොත් කරපු, විනාශ කරපු, මේ රටේ සම්පත් හූරා කාපු, මේ රටේ ජාතීන් අතර බේද භින්න කරපු, ඒ අවතාරයන්ට යළි ඉඩ නොදෙන්න කියන ඉල්ලීමයි මම කරන්නේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


