රටක ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් සපයන්නේ එරට ව්‍යවසායක ප්‍රජාව බව අප කවුරුත් පිළිගන්නා කරුණකි. එහිදී සීමිත සම්පත් ඉතා කාර්යක්ෂමව හා සඵලදායීව යොදවා වැඩි නිමවුමක් ලබාගන්නන් සාර්ථක ව්‍යවාසායකයන් ලෙස හැඳින්විය හැක. අප දන්නා සාම්ප්‍රදායික ව්‍යවසායකත්ව සංකල්පයට එහා ගිය අලුත් සහ පුළුල් සංකල්ප කිහිපයක් මේ වනවිට විද්වතුන් අතර කතාබහට ලක්වී තිබේ.
ඒ අතර තිරසාර ව්‍යවසායකත්වය ප්‍රධාන තැනක් ගන්නා අතර, එහි අනුකොටස් ලෙස හරිත ව්‍යවසායකත්වය, සමාජ ව්‍යවසායකත්වය වැනි සංකල්ප හඳුනාගත හැක. තිරසාර ව්‍යවසායකත්වය ගැන කතා කිරීමේදී ප්‍රධාන නිර්ණායක 3ක් (triple bottom line) සලකා බලයි. එනම් Profit, people, planet ලෙස එම ත්‍රිත්වය නම් කළ හැක.
Profit/ ලාභ ඉපයීම ලාභ අපේක්ෂිත ඕනෑම ව්‍යාපාරයක ප්‍රධාන අංගයක් වන අතර, අලාභ ලබන ව්‍යාපාර අකාර්යක්ෂම හා සම්පත් අපතේ දමන්නන් ගණයට වැටේ. සාම්ප්‍රදායික ව්‍යාපාරික රාමුව තුළ නම් ඔවුන් කෙසේ හෝ ලාභ ගැනීමට උත්සාහ දරන අතර People සහ Planet යන දෙවර්ගය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වයි.
මෙහිදී මිනිසුන් / people ලෙස හඳුන්වන්නේ පාරිභෝගිකයන්ම පමණක් නොවන අතර, ව්‍යාපාරයට ඇල්මක් දක්වන සියලුම පාර්ශ්වයන්ගේ අරමුණු ඉටුවන අයුරින් ව්‍යාපාර පවත්වාගෙන යාම මේ යටතේ අපේක්ෂා කරයි. Planet ලෙස මෙහිදී අර්ථ දක්වන්නේ අපගේ ව්‍යාපාර පරිසරයට හිතකාමී ලෙස පවත්වාගෙන යාමයි.
මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කළයුතු වන්නේ ව්‍යාපාරයෙන් ඉවත දමන කැළිකසළ, ජලය හා විවිධ වායූන් කළමනාකරණය කොට එය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමයි. අද වනවිට බොහෝ තත්ත්ව සහතිකයන් පවා ලබාදීමේදී මෙවැනි විධිමත් කළමනාකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේදැයි එක් නිර්ණායකයක් ලෙස සොයා බලයි.
මෙම නිර්ණායක තුනම (Profit/People/Planet) යම් ව්‍යාපාරයක් විසින් සපුරාලනු ලබන්නේ නම් එය තිරසාර ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැක. මෙම තිරසාර ව්යාවසායකත්වයෙන් බිඳී ආ තවත් එක් සංකල්පයක් ලෙස සාමාජ ව්‍යවසායකත්වය හැඳින්විය හැක. මෙම ලිපිය හරහා මා බලාපොරොත්තු වන්නේ එම සමාජ ව්‍යවසායකත්වය පිළිබඳ යම් අදහසක් ඔබට ලබාදීමටයි.
ව්‍යවසායකයන් නම් අප කොතෙක් දැක තිබුණද සමාජ ව්‍යවසායකයන් අපට දැකගත හැකි වන්නේ ඉතාමත් කලාතුරකිනි. මෙහිදී ව්‍යවසායකයන් හා සමාජ ව්‍යවසායකයන් අතර වෙනස කුමක්දැයි ඔබට පැහැදිලි කිරීමට කැමැත්තෙමි. ව්‍යවසායකයෙකු යනු ව්‍යාපාරික අවදානමක් දරමින් භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය, දැනුම වැනි සම්පත් යොදවා ලාභ අරමුණු කර ගනිමින් ව්‍යාපාර කරන්නන්ය.
සමාජ ව්‍යවසායකයන්ගේ භූමිකාවට පැමිණෙන විට එහිදී හුදු ලාභ ලැබීමම පමණක් අරමුණු කර නොගෙන එතැනින් එහා ගිය යම් සාමාජීය ගැටලුවකට විසඳුමක් ලබාදීමේ අරමුණින් ව්‍යාපාර කරගෙන යන්නන් සමාජ ව්‍යවසායකයන් ලෙස හැඳින්වේ. නමුත් මෙම ව්‍යාපාර දීර්ඝකාලීනව පවත්වාගෙන යාමේ අරමුණින් යම් ලාභයක් ඉපයිය යුතුවේ.
මෙවැනි සමාජ ව්‍යවසායකයන් සඳහා හොඳම උදාහරණයක් ලෙස බංග්ලාදේශයේ ග්‍රාමීන් සංකල්පයෙහි නිර්මාතෘ ආචාර්ය මොහොමඩ් යුනුස් මහතා හඳුන්වාදිය හැක. 1970/1980 දශකයන්හි පැවති ආර්ථික පරිහානිය හේතුවෙන් එකල්හී බංග්ලාදේශයේ බොහෝ මිනිසුන් නිරාහාරව මරණයට පවා ලක්විය.
මෙයට පිළියමක් ලෙස එරට කාන්තාවන්ට ඉතා අඩු පොලී අනුපාතයක් යටතේ ඇප පවා තබා නොගනිමින් හඳුන්වා දුන් ග්‍රාමීන් ණය යෝජනා ක්‍රමය හේතුවෙන් එරට බොහෝ ජනතාව තම ස්වශක්තියෙන් නැඟී සිටිමින් කඩා වැටුණු ආර්ථිකය යළි පණගැන්වීමට විශාල දායකත්වයක් ලබාදුනි.
මේ වනවිට ආසියා පැසිපික් කලාපයේ රටවල් 10ක් අතර හා ඇමරිකානු කලාපයේ රටවල් 8කද ඉතාමත් සාර්ථක ලෙස මෙම සංකල්පය ප්‍රචලිත විය. එමෙන්ම මේ වනවිට මේ හා සමාන ණය දීමේ ව්‍යාපාර 100කට අධික රටවල් ප්‍රමාණයක් අනුගමනය කරමින් සිටියි. එවැනි විප්ලවකාරී සංකල්පයක නිර්මාතෘ ආචාර්ය මොහොමඩ් යූනුස් මහතාද සමාජ ව්‍යවසායකයෙකු ලෙස නම් කළ හැක. ඒ වෙනුවෙන් ඔහු නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලැබීය.
දකුණු ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවට මෙම සංකල්පය එතරම් හුරුපුරුදු නොවූවද අද බොහෝ රටවල් ශීඝ්‍රගාමී සංවර්ධනයකට යාමේ අඩිතාලම දමා ඇත්තේ මෙවැනි සමාජ ව්‍යවසායකයන් බව නොරහසකි. අප රටට ආසන්නතම රට වන ඉන්දියාවේද මෙම සංකල්පය ශීඝ්‍ර‘යෙන් සමාජගත වෙමින් පවතී.
එරටෙහිද ඉතාමත් දුගී දුප්පත් ජනතාව ජීවත්වන අතර, ඔවුන්ට ඇතිවන ගැටලුවලදී කිසියම් කෙනෙකු නායකත්වය ගෙන සියල්ලන්ටම ප්රතිලාභ ගලායන ආකාරයේ විසඳුම් ඔවුන් අතරින්ම ඉදිරිපත් කර එම ජනයාගේ දැවෙන ගැටලු නිරාකරණය කර ගනී.
නිදසුනක් ලෙස ඉන්දියාවේ සුරන්දායි ප්‍රදේශයේ නිපදවන ඇඟලුම් අලෙවිකර ගැනීමේ ගැටලුවකින් එම ප්‍රදේශවාසීන් බොහෝ පීඩා විඳි අතර, විශ්වනාදන් නැමැති එක්තරා තරුණයෙකුගේ මැදිහත්වීමෙන් එම නගරයේ කුඩා ඇඟලුම් වෙළෙඳ සංගමයක් ඇති කර ඔහු ඉතා සුළු ලාභාන්තිකයක් පවත්වා ගනිමින් ගම්වැසියන්ට ඔවුන්ගේ ඇඟලුම් සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට කටයුතු සැලසීය.
එම ක්‍රියාව ඇගයීමක් ලෙස එරට ජනතා සම්මානයද හිමිකර ගැනීමට විශ්වනාදන් නමැති තරුණයාට හැකි විය. එමෙන්ම ඉන්දියාවේම මුම්බායි නගරයේ අනුජ් නැමැති ව්‍යාපාරික මහතා විසින් ආපන ශාලාවක් ආරම්භ කරන ලද අතර, එය නමින් Mirchi and mime නම් විය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එරට වැඩ කරන වයසේ පසුවූවන් කිසිවෙකුත් සේවයට නොගන්නා, ගොළු මිනිසුන් හට පහසුවෙන් වැඩ කළ හැකි පරිසරයක් සකසා දෙමින් ඔවුනට සාධාරණ වැටුපක් යටතේ එම ආපන ශාලාවෙහි සේවයේ යොදවා ගැනීමයි. එමගින් ඔවුන්ටද සමාජයේ අභිමානනීය පුරවැසියන් ලෙස ජීවත්වීමට කටයුතු සලසා දී ඇත.
මෙම ගොළු සේවක සංකල්පය දිරිගැන්වීමක් ලෙස බොහෝ පාරිභෝගිකයන් පිරිසක් දිනකට එම අවන්හලට පැමිණෙති. එහි ලැබූ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඩුබායි, ලන්ඩන් හා සිංගප්පූරුව වැනි විවිධ රටවවලද මෙවැනි ආපන ශාලා ඉදිවෙමින් පවති.
මෙවැනි සමාජ ව්‍යවසායකයන් අප රටටද අවශ්‍ය කාලය දැන් එළඹ තිබේ. එවැනි සමාජ ව්‍යවසායකයන් 95ක් පමණ දැනට ලංකා සමාජ ව්‍යවසාය පදනමෙහි ලියාපදිංචි වී ඇති අතර, එමගින් රටට අත්‍යවශ්‍ය සමාජ ව්‍යවසායකයන් පුහුණු කිරීමේ කටයුතු සිදුකරනු ලබයි. මේ දිනවල Lanka impact investment network, social enterprise lanka සහ ITN නාළිකාව සමග එක්ව පවත්වනු ලබන 'ඇත් පවුර' ව්‍යාපෘතිය මගින් එවැනි සමාජ ව්‍යවසායකයන්ට අවශ්‍ය අරමුදල් ලබාදීමේ කටයුතු සිදුකරයි.
ඔබටත් එවැනි සමාජයේ දැවෙන ගැටලුවකට විසඳුමක් ලෙස ඵලදායී යෝජනා හෝ අදහසක් (උදා; ගෘහස්ථ ප්රචණ්ඩත්වය, ළමා අපචාර හා ළමා හිංසනය අවම කිරීමට, අධ්‍යාපන පද්ධතියේ ඵලදායීතාවය වැඩි කිරීමට, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට, රැකියා විරහිත කාන්තාවන් හා අනෙකුත් ආබාධිත පුද්ගලයන් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබාදීමට, සමාජයේ අසාධාරණයට ලක්වූ පිරිස් සඳහා රැකවරණය ලබාදීමේ සහ අඩු වරප්‍රසාද ලැබූවන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරදීමට වැඩපිළිවෙළක් සැලසීමට, කැළිකසළ හා පාරිසරික ගැටලු අවම කිරීමට හා අනෙකුත් සාමාජීය හා සංස්කෘතික වැනි ඕනෑම ක්ෂේත්රයක් තුළ පවතින කිසියම් සංකීර්ණ හෝ ගැටලුකාරී තත්ත්වයන්ට) ඇත්නම් 'ඇත් පවුර' වෙත යොමු කරන්න.
එම අදහස් හා යෝජනා දියත් කිරීමට අවශ්‍ය මුදල්, ප්‍රතිපාදන ලබාගැනීමට දැන් හැකියාව ලැබී ඇත.
එසේ නම් මේ එළඹ ඇත්තේ අපගේ ප්‍රශ්නවලට අප විසින්ම පිළිතුරු සෙවිය යුතු කාලයයි. ඒ සඳහා හුදු ලාභ පරමාර්ථයන්ගෙන් ඔබ්බට ගියාවූ මුළු මහත් මනුෂ්‍ය සංහතියේම සුභසිද්ධිය උදෙසා ඔබත් ඔබේ දායකත්වය හැකි පමණ ලබාදෙන්න. එමගින් රටේ සුභදායී වෙනසක් ඇතිකර ජාතියේ ජීවනාලිය සවිබල ගැන්වීමට ඔබත් එක්වන්න.
වජිරා නාකන්දල
ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය