කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන සමන්ත විද්‍යාරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයෙකි. හිටපු සංස්කෘතික ඇමතිවරයෙකු වන සමන්ත විද්‍යාරත්න මහතා ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුද වේ. ජනතා විමුක්ති පෙරමුණින් බදුල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කර සිටින අපේක්ෂක කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන සමන්ත විද්‍යාරත්න මහතා සමග අද කතාබහක නිතර විය.
Q විපක්ෂ නායක සහ ප්‍රධාන අමාත්‍යවරයා නියෝජනය කරන කණ්ඩායම් දෙක සමග තරග කිරීම අභියෝගයක් නේද?
එක්සත් ජාතික පක්ෂයෙනුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් ප්රබලයො දෙන්නෙක් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කරනවා කියලා කියනවා. හැබැයි ඒ ප්‍රබලයන්ගෙ තිබෙන දුබලකම් මේ දිස්ත්‍රික්කයෙ ජනතාව හොඳට අඳුරගෙන තියෙන්නෙ. විශේෂයෙන්ම ඔවුන්ගෙ පක්ෂවල තිබුණ ප්‍රශ්න නිසා මේ දිස්ත්‍රික්කයේ ජීවත් වුණ එම පක්ෂවල සාමාජිකයන් විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දුන්නා. ඒ වගේම මේ වගේ ප්රබලයො ඉද්දි තමයි ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්ක අතරට බදුල්ල දිස්ත්‍රික්කය එක්වුණේ. දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ගත්තත් දෙක තුන හතර වශයෙන් ස්ථාන තුනම බදුල්ලට හිමිවෙලා තියෙන්නෙ.
Q දේශගුණික කලාප කිහිපයක් තියෙන, මිශ්‍ර භෝග වගාවලින් සමන්විත බදුල්ල දිස්ත්‍රික්කය දුප්පත් වුණේ ඇයි?
පාලකයන්ගෙ තිබුණ සැලසුම්වල තියෙන අවුල්සහගත තත්ත්වය නිසා තමයි දුප්පත්කමේ නාමය බදුල්ලට හිමි වුණේ. විශේෂයෙන්ම වර්ග කිලෝමීටර් 2061 ක් තියෙනවා. කඳුකරයේ කොටසක් පවතිනවා, තැනිතලා බිම් කොටසක් තියෙනවා. ජනගහනය අට ලක්ෂ තිස් දහසකට ආසන්නයි. සිංහල, මුස්ලිම්, දෙමළ යන කණ්ඩායම් තුනම මේ දිස්ත්‍රික්කයේ ජීවත්වෙනවා. වී වගාව, එළවළු වගාව, තේ වගාව, අතිරේක භෝග වගාවන් විශාල ලෙස සිදුවෙනවා. ලංකාවේ මුළු එළවළු නිෂ්පාදනයෙන් 38% ක් ලබාදෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. ලංකාවේ නිෂ්පාදිත අර්තාපල්වලින් 78% ක් සපයන්නේ මේ දිස්ත්‍රික්කයෙන්.
එහෙම තිබුණත් වගාවන් දියුණු කරන්න සහන නැහැ. අස්වැන්න සාධාරණ මිලකට ගන්න වැඩපිළිවෙළක් නැහැ. තේ ටිකට නිසි මිලක් නැහැ. ඒක නිසා ඒ කර්මාන්තයන් අර්බුදයට ලක්වෙලා තියෙන්නෙ. මෙවැනි ගැටලු තියෙද්දි දිස්ත්‍රික්කයෙ ජනතාවගෙ ජීවිත දියුණුවට පත්වෙන්නෙ නැහැ.
Q අද වනවිට සීගිරිය සමග සමන්ත විද්‍යාරත්නගෙ නමත් කියවෙනවා?
ඉතිහාසය ගත්තත් වර්තමානය ගත්තත් එක එක්කෙනාගෙ නම් කියවුණත් බොහෝ ව්‍යාපෘතිවලට ඒ අය ගඩොලක්වත් අතින් අල්ලා නැතුව ඇති. මහජන ශ්‍රමය, මහජන බදු මුදල්වලින් හදපුවා තමයි ගොඩක් තියෙන්නෙ. සීගිරිය ගැන කතා කරන කොට අපි ගැන සඳහන් වෙනවා නම් අපි මාස 14 ක් සංස්කෘතික අමාත්‍යාංශයෙ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළා. එහි නියෝජ්‍ය අමාත්‍යවරයා වුණේ මම. සීගිරියෙ ප්‍රතිසංස්කරණ කටයුත්තක් ඒ කාලෙ සිදුකරන්න තිබුණා. ඒ සඳහා ලක්ෂ 98 ක් අවශ්‍ය වෙලා තිබුණා. නමුත් මුදල් නැති නිසා අවුරුදු 18 ක්ම ඒක නවත්වලා තිබුණා. අවුරුදු 18 ක් කරගන්න බැරි වුණ එම ප්‍රතිසංස්කරණ කටයුත්ත අපේ ශ්‍රමය පාවිච්චි කරලා කළා. එම කටයුත්තට මම වගේම අපේ පක්ෂයේ සියලුම දෙනාම ශ්‍රමයෙන් දායකත්වය ලබාදුන්නා. ඒ වගේම මහජනතාවත් විශාල දායකත්වයක් ලබාදුන්නා.
Q හිටපු සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් වර්තමානයේ රට තුළ පවතින සංස්කෘතිය ගැන මොකද හිතන්නේ?
අපේ රටේ සංස්කෘතිය ගත්තම ඉතිහාසයේ තිබුණ නම් යම් සාධනීය තත්ත්වයක්, ඒවත් විනාශ කරලා අද වනවිට රට තුළ කුහකකම්වලින් පුරවලා ආත්මාර්ථකාමීකම්වලින් පුරවලා. ජාතිවාදී, ආගම්වාදී හැඟීම් අළුයට ගිනි පුපුරු වගේ යටින් තියලා. මිනිස්සු මරාගන්නා තත්ත්වයකට රට පත්කරලා තියෙන්නෙ. ඒ වගේම ජනතාව සූදුවට, මත්ද්‍රව්‍යවලට හුරු කරලා. කාන්තාව ගණිකා වෘත්තියට පත්කරලා, අපචාරවලට හුරු කරලා තියෙන්නෙ. මේ නිසා අපේ රටේ සංස්කෘතිය හෝදාපාළුවකට ලක්කරලා කනත්තට දක්වමින් ඉන්නෙ. මේ රටේ සුක්කානම අතට ගත්ත යූ.එන්.පී. ආණ්ඩු ශ්‍රී ලංකා ආණ්ඩු රට අරගෙන ගිය තැන තමයි මෙතන.
Q රට මේ තත්ත්වයෙන් මුදවාගැනීමට නම් කුමක්ද සිදුකළ යුත්තේ?
මේ රටේ ජාතික සමගිය මුලින්ම ගොඩනගන්න ඕන. ඒවගේම සංස්කෘතිය ගොඩනගන්න කටයුතු කරන්න ඕන. සියලුම ජාතීන්ට එකට එකතුවෙලා වැඩ කළ හැකි පරිසරයක් ගොඩනගන්න ඕන. එහෙම වුණොත් මේ රට තුළ මනුෂ්‍යත්වයේ සුවඳ හමන සමාජයක් ගොඩනගාගත හැකියි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂයට කළ හැකි දෙයක් නොවෙයි. මොකද ඒ අය තමයි රට මේ තැනට පත්කරලා තියෙන්නේ. එය සිදුකළ හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණට ශක්තිමත් ජන පදනමක් අවශ්‍ය වෙනවා. ඉදිරි මැතිවරණයේදී එම ශක්තිමත් ජනපදනම අපිට ලබාදේවි කියලා හිතනවා.
Q උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් කියලා දේශපාලඥයන් සඳහන් කළා. ඒත් එයට ඔබලා අද එරෙහිවෙලා?
උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කරන කොට කිව්ව අරමුණ එය වුණාට ඒ තුළ යටි අරමුණක් තිබුණා. ඒ යටි අරමුණ තුළ තිබුණේ කඳුකරයේ දිය උල්පත් තුළින් මතුවන වතුර ටික හම්බන්තොටට ගෙනහිල්ලා ඒ වතුර ටික නැව්ගත කරලා ගුවන්ගත කරලා මිල කිරීමට. ඒත් උමා ඔය හරහා දකුණට හෝ ඌවට වතුර දෙන එක ගැන ගැටලුවක් නැහැ. නමුත් මෙම ව්‍යාපෘතිය තුළින් සිදුවන්නේ එම ජනතාව සියලු දෙනාටම ගැටලුවලට මුහුණදෙන්න වෙන එක. මධ්‍යම කඳුකරය අස්ථාවර වෙන එක. අපි කියපුවා මේ වනවිට ඔප්පු වෙමින් තියෙන්නෙ. මොකද පරිසරයට විරුද්ධව කටයුතු කළොත් ඒකට ප්‍රතිවිපාක ලැබෙනවා. ඒ ප්රතිවිපාකවලින් පීඩාවට පත්වෙන්නේ අපේ රටේ අහිංසක ජනතාව. ඒ නිසා අපි ජනතාවගේ ජීවිත රැකගන්න පෙනී සිටියා.
Q හෘද සාක්ෂියෙන් බදුල්ලට මොනවද ලැබෙන්නේ?
අපි හිතනවා රටේම ජනතාවගේ හෘද සාක්ෂිය සැලකිය යුතු ප්‍රමාණයකට මේ මොහොතේ අවදි වෙලා තියෙනවා. මෙම අවදි වීම තුළ එහි කොටසක් බදුල්ලෙ ජනතාවටත් හිමිවෙනවා. හෘද සාක්ෂියේ සම්මුතිය ප්රතිපත්තියෙ සඳහන් කරුණු රට තුළ ක්‍රියාත්මක වනවිට රටේම ජනතාවට විශාල ප්රතිලාභ ප්‍රමාණයක් ලැබෙනවා. බදුල්ලේ ජනතාවට පොදුවේ ඒ ප්රතිලාභ සියල්ලම ලැබේවි. මොකද හෘද සාක්ෂියේ සම්මුතිය රට තුළ ක්‍රියාත්මක කර ගැනීමට හැකි වුණොත් මේ රට බත බුලතින් ස්වයංපෝෂිත වී සමස්ත ජන වර්ගයාට එකම මවකගේ දරුවො වගේ සතුටින් ජීවත් විය හැකියි.
Q දුප්පත් බදුල්ල ගොඩනගන්න ජනතා විමුක්ති පෙරමුණට වැඩපිළිවෙළක් තියෙනවාද?
අපේ දිස්ත්‍රික්කය ගත්තම කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කය තුළ වී, එළවළු, තේ, අතිරේක භෝග වගාවන් සිදුවෙනවා. මේ නිසා මුලින්ම සිදුකළ යුත්තේ ගොවි ජනතාවගේ අවශ්‍යතා සැපිරීම. ඒ සඳහා අපේ පක්ෂයට හොඳ වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වගේම අස්වැන්න හොඳ මිලකට මිලදී ගන්න වැඩපිළිවෙළකුත් අප සතුව තියෙනවා. ඒ වගේම බදුල්ලේ කහගොල්ල, බිඳුණුවැව යන ගොවිපොළවල් වගේම ගිතෙලන්ද ගොවිපළ මේ වනවිට වල්වැදිලා තියෙන්නෙ. මේවාට නැවත පණ දෙන්නත් අප තුළ හොඳ සැලසුම් තියෙනවා.
Q නිදහස් හා සාධාරණ මැතිවරණයක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිදුවෙනවාද?
මැතිවරණ කොමසාරිස්තුමාගේ සහ පොලිස්පතිතුමාගේ දැඩි කැපවීම නිසා යම් සාධනීය මට්ටමක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට පවතිනවා. නමුත් අවසාන සති දෙකේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපොළ අවභාවිතයට ලක්කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු කරන්න උත්සාහ කරන බවක් පෙන්නුම් කරනවා.