මැයි දිනය යනු වැඩ කරන කම්කරු ජනතාව වෙනුවෙන් වෙන්වූ දිනය වන අතර, කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැයි දින රැලි සංවිධානය වනු ඇත. එහිදී ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන මැයි රැලි වෙත වැඩි අවධානයක් යොමුවේ. කෙසේ වෙතත් මෙවර මැයි දිනය ආසන්නවත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය මගින් පවත්වන මැයි රැලි පිළිබඳ කතාබහ උත්සන්න වී ඇති අයුරු දැකගත හැකිය. තමන් ඇතුළු පිරිස් එක් එක් රැලි සඳහා සහභාගී වන බවට මැතිඇමතිවරුන් ප්‍රකාශ සිදුකරන අතර, තම තමන්ගේ රැලි ඉතා සාර්ථක වන බවට මත පළකරති. එවන් වටපිටාවක් තුළ මේ පිළිබඳව අදහස් දැනගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල සමාජිකයෙකු වන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සමග කළ සංවාදයකි මේ.
Q මැයි දිනය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙබිඩි පිළිවෙතක් නිර්මාණය වෙලා?
නෑ. එහෙම දෙයක් නැහැ. පාර්ලිමේන්තුවෙ වුණත් පසුගිය මාස 6 ට මම දැකපු දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩු පැත්තේ ඉන්නවා. තව පිරිසක් විපක්ෂයේ ඉන්නවා. ඉතින් ඒ දෙපාර්ශ්වය වෙන වෙනම මැයි දිනය සමරන්න තීරණය කරනවා. මෙය පාර්ලිමේන්තුවෙ සිදුවෙන දෙයම තමයි අලුත් දෙයක් නෙමෙයි.
Q ඔබ සහභාගි වන්නේ කුමන මැයි රැලියටද?
පැහැදිලිවම කිරුලපන පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට මම සහභාගි වෙනවා.
Q එකම පක්ෂයේ මැයි රැලි දෙකක් පැවැත්වීමෙන් පක්ෂය දෙකඩ වීමක් සිදුවෙනවා නේද?
නෑ. මම එහෙම හිතන්නෙ නැහැ. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධ සටනක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව දෙකක් සිටිනවා. බොහොම සරලයි, හරියට අර සියම් නිකායේ පාර්ශ්ව දෙකක් සිටිනවා වගේ. ඒ නිසා පක්ෂයටවත් පාක්ෂිකයන්ටත් මේකෙන් හානියක් වෙන්නෙ නැහැ.
Q ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගාල්ල මැයි රැලියට සහභාගි නොවන පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගන්න බව පවසනවා?
ඒ ප්‍රකාශයම මට නම් යම් විකාරරූපී බවක් තියෙනවා. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම. අපි විපක්ෂයේ ඉන්න තීන්දු කළේ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කරලා. දැන් මාස 6 ක් අපි විපක්ෂයේ ඉන්නවා. ඉතින් අපට කිසිලෙසක හැකියාවක් නැහැ එජාප නායකත්වය දරන මේ ආණ්ඩුවෙ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. මේ මතවාද දෙක එකට එකතු වෙන්න නම් වෙන්න තියෙන්නෙ කරුණු දෙකයි, එක්කෝ අපි ආණ්ඩුවට එකතු වෙන්න ඕන. නැත්නමි ආණ්ඩුව ඇතුළෙ ඉන්න අපේ පක්ෂයේ අය අපත් සමග එකතු වෙන්න ඕන, එයයි විසඳුම.
Q හයිඩ් පිටියේ ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගී වූ අයට විනය ක්‍රියාමාර්ග නොගත් නිසා මෙයත් එවැනි බියගැන්වීමක් ලෙසද ඔබ පවසන්නේ?
මම තවදුරටත් කියන්නේ අප විපක්ෂයේ භූමිකාව කරන්නේ. එහෙනම් අපි කරන්නෙ වැරදි දෙයක් නම් පාර්ලිමේන්තුවෙ අසුන් ගැනීමත් වැරදියිනේ. එතකොට එයටත් විනය ක්‍රියාමාර්ග ගන්න එපැයි. එතනත් විනය උල්ලංඝනය වීමක්නෙ වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට යන්නෙ නැත්නම් ඒක වැරදියි. මෙතන එහෙම නෙමෙයි දේශපාලන ක්‍රියාමාර්ගයක්. මේක කම්කරුවන්ගේ දිනය සම්බන්ධ ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව කම්කරුවන්ට ගොඩක් රිද්දවලා තියෙනවා. ඒ රිදවීම්වලට එරෙහිව තමයි අපි කම්කරුවන් වෙනුවෙන් කිරුළපනදි පෙනී ඉන්නේ. අපිට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ආණ්ඩුවෙ ඒ ක්‍රියාමාර්ග අනුමත කරපු කණ්ඩායමත් එක්ක එකතු වෙලා මැයි දිනය සමරන්න.
Q අද වනවිට එජාප ඇමතිවරුන් පවා ශ්‍රීලනිප මැයි රැලිය පිළිබඳව බොහොම උනන්දුවකින් කතා කරනවා?
ඇත්තටම ඔව්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සරත් ෆොන්සේකා මහතා, අප පක්ෂයේ නියෝජ්‍ය ලේකම් පී. හැරිසන් මහතා, ඒ වගේම අප පක්ෂයේ අනුශාසක සජිත් ප්‍රේමදාස මහතා. මේ අය අපට උපදෙස් දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න කටයුතු කරන්න ඕන විදිය ගැන. මේවට කොහොම හිනාවෙන්නද කියලා මට නම් තේරෙන්නෙ නැහැ.
Q මහින්ද රාජපක්ෂ මහතාට ගාල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සහභාගි වන ලෙස ආරාධනා ලැබිලා තියෙනවා නේද?
එතුමා පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගි වෙනවා කියලා. ඒක තවදුරටත් රහසක්වත් ප්‍රෙහේලිකාවක් නෙමෙයි. ඒ වගේම කියන්න ඕන අද ආණ්ඩුවෙ විශාල මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ කියන්නේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් කතා කරන්න තියෙද්දි මේ මැයි දිනයක් ගැන හැම මාධ්‍යකම අවශ්‍යතාවට වඩා කතාබහ කෙරෙනවා. මෙය සිදුවන්නෙ ආණ්ඩුවෙ උවමනාවටයි.
Q මොකක්ද ඔබ පවසන වැදගත් ප්රශ්නය?
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න යෝජනාවක් ගෙනත් තියෙනවා. මුස්ලිම් කලාපයක් හදන්න යෝජනාත් ගෙනත් තියෙනවා. කඳුකරයේ ඉන්දීය සම්භවයක් ඇති අයගේ කලාපයක් හදන්නත් යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒ වගේම මේ යෝජනා පළාත් සභාවෙ සම්මත වෙනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. කතා කරාම ලේබල් එකක් ගහනවා ජාතිවාදියා කියලා. මාධ්‍ය මේ ගැන කතා කරන්නෙ නැහැ. ආණ්ඩුව මෙය හොඳට සැලසුම්සහගතව කරන වැඩපිළිවෙළක් විදියටයි මා දකින්නේ.
Q මැයි දිනයට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුණා නේද?
මම ඉතා ගෞරවයෙන් ඔබට කියනවා රටට වැරදි ප්‍රකාශ කරන්න එපා. කවුද ඒකාබද්ධ විපක්ෂයේ ඉඳලා ගිය මන්ත්‍රීවරුන්.
Q මනූෂ නානායක්කාර සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න ඔබ පක්ෂයේ අය නෙමෙයිද‘?
මනූෂ නානායක්කාර අප පක්ෂයේ හිටියේ මාසයක පමණ කාලයක් පමණයි. ලක්ෂ්මන් සෙනෙවිරත්න කවමදාවක් ඒකාබද්ධ විපක්ෂයේ ඉඳලා නැහැ. මම ඔබට අභියෝග කරනවා ලක්ෂ්මන් සෙනෙවිරත්න ඒකාබද්ධ විපක්ෂයේ එක රැස්වීමක, එක සාකච්ඡාවක හිටියා කියලා ඔප්පු කළොත් මම මගේ මන්ත්‍රී ධුරයෙන් හෙට ඉවත් වෙනවා. මම කියන්නේ මේවා තමයි ඒකාබද්ධ විපක්ෂය පහළට දමන්න කරන සැලසුම්සහගත ප්‍රහාර. නමුත් අපිව වට්ටන්න බැහැ.
Q රටේ වත්මන් සංවර්ධනය සහ මහින්ද රාජපක්ෂ කාලයේ සංවර්ධනය පිළිබඳව ඔබේ අදහස?
අද රටේ සංවර්ධනයක් වෙන්නෙ නැහැ. ඔක්කොම ඇණහිටලනේ. මම හිතන්නේ දෙකේ පංතියේ ළමයෙක්ට වුණත් තේරෙනවා කිසිම සංවර්ධනයක් වෙන්නෙ නැහැ කියලා. ඒකට පර්යේෂණ කරලා, නිරීක්ෂණ කරලා කියන්න ඕන දෙයක් නෙමෙයි. බැලූ බැල්මට පේන බොහොම සරල දෙයක්.
Q විපක්ෂනායකවරයා ඇතුළු පිරිසක් උතුරෙ හමුදා කඳවුරකට ඇතුළුවීම සම්බන්ධව කතාබහක් ඇතිවී තිබෙනවා?
එහෙම යන්න පුළුවන්ද කියලයි අපිත් අහන්නේ. මම අභියෝගයක් කරනවා, මාතර දිස්ත්‍රිකයේ කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ඉන්නවා. එක් රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. පුළුවන් නම් මේ එක්කෙනෙක්ට මාතර යුද හමුදා කඳවුරට බලෙන් ඇතුළු වෙන්න කියන්න. එහෙම බැහැ. ඒකයි වෙනස. එයයි අපි කියන්නේ මේ තුළ සැඟවුණු දෙයක් තියෙනවා කියලා. මෙය මාධ්‍යවේදීන් සභානායකවරයාගෙන් ප්‍රශ්න කරාම එතුමා මාධ්‍යවේදීන්ට බැණ වදිනවා ජාතිවාදය අවුස්සන්න එපා කියලා. එතකොට අපට තේරෙනවා මේක පිටිපස්සෙ යම් දෙයක් තියෙනවා කියලා.
Q මැයි දිනයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරිය කොයි වගේ වෙයිද?
මැයි දිනයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය පළල් වෙනවා. ඒ වගේම මැයි දිනයෙන් පසුව පාර්ලිමේන්තුවෙ අපේ පැත්තේ මන්ත්‍රීවරුන් ප්‍රමාණය වැඩිවෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා.