Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්විය යුතු බවට පවසමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට අවශ්‍ය මූලික කටයුතු ආණ්ඩුව විසින් සකස් කරමින් තිබේ. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් ගෙනවිත් මැතිවරණය පැවැත්වීම අදාළ ගැසට් පත්‍රයක්ද පසුගිය ජූලි 28 වැනි දින ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
සෑම මැතිවරණයක්ම කඩින් කඩ නොපවත්වා එකම දිනයක පැවැත්විය යුතු බවට බොහෝ දෙනාගේ මතය වුවද, එහෙත් පසුගිය කාලයේ සිටි පාලකයන් මැතිවරණ ජයග්‍රහණ තමන් සතු කරගැනීම සඳහා පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණය කඩින් කඩ පැවැත්වීය. මේ නිසා පළාත් සභාවල නිල කාලය අවසන් වීමද කඩින් කඩ සිදුවෙමින් තිබේ.
අද වනවිට මෙය නිවැරදි කර ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන අතර, මෙය නිවැරදි කරගැනීමට යාම හරහා පළාත් සභා කිහිපයක නිලකාලය නියමිත දිනට පෙර අවසන් කිරීමට සිදුකළ යුතුය.
එසේ නොමැති නම් තම පළාත් සභා කිහිපයක නිලකාලය දීර්ඝ කළ යුතුව තිබේ. පොදුවේ පළාත් සභාවල නිල කාලය වසර 05ක් වන අතර, මේ යටතේ පළාත් සභා 03ක නිලකාලය මේ වසරේ අවසන් වීම සිදුවේ. එනම් සබරගමු පළාත් සභා නිලකාලය සැප්තැම්බර් 26 වැනිදාත් නැගෙනහිර පළාත් සභාවේ නිලකාලය සැප්තැම්බර් 30 වැනිදාත් උතුරු මැද පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් පළමුවැනිදාත් අවසන් වේ.
මේ අනුව මෙම පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වීමේ නිල ප්‍රකාශය ඔක්තෝබර් 02 වැනිදා සිට ඕනෑම දිනක ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමිය.
යම් ලෙසකින් ඔක්තෝබර් දෙවැනි දින මැතිවරණය ප්‍රකාශයට පත් කළහොත් ඉතිරි පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට සිදුවන්නේ එම පළාත් සභාවල නිලකාලය අවසන් වූ පසුවය.
වර්තමානයේ පවතින ක්‍රමවේදයට අනුව ඉන්පසුව නිලකාලය අවසන් වන්නේ මධ්‍යම පළාත් සභාවේය.
එම පළාත් සභාවේ නිල කාලය 2018 වසරේ ඔක්තෝබර් 08 වැනිදාත්, වයඹ පළාත් සභාවේ නිල කාලය 2018 වසරේ ඔක්තෝබර් 10 වැනිදාත්, උතුරු පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් 24 වැනිදාත් අවසන් වේ. මීට අමතරව දකුණු පළාත් සභාවේ නිල කාලය 2019 වසරේ අප්‍රේල් 10 වැනිදාත්, බස්නාහිර පළාත් සභාවේ නිලකාලය එම වසරේ අප්‍රේල් 21 වැනිදාත්, ඌව පළාත් සභාවේ නිලකාලය එම වසරේ ඔක්තෝබර් 08 වැනිදාත් අවසන් වීමට නියමිතය.
මේ අනුව සියලුම ආයතනවල නිල කාලය අවසන් වී එකම දිනයක මැතිවරණය පවත්වනවානම් එය සිදු කිරීමට සිදුවන්නේ 2019 වසරේ ඔක්තෝබර් 09 වැනිදායෙන් පසුවය. එසේ කළහොත් මේ වසරේ සහ ලබන වසරේ නිලකාලය අවසන් වන පළාත් සභාවලට දැඩි අසාධාරණයක් සිදුවේ. එසේ නොමැතිව ඉදිරියට නිල කාලය අවසන් වීමට නියමිත පළාත් සභා සියල්ලම විසුරුවා හැර මේ වසරේදී එකම දිනයක මැතිවරණය පැවැත්වුවහොත් ලබන වසරේ සහ 2019 වසරේදී නිල කාලය අවසන් වන පළාත් සභාවලට අසාධාරණයක් සිදුවේ.
මේ නිසා සිදුවන අසාධාරණය අවම කරමින් පළාත් සභා සියල්ලගේම මැතිවරණය එකම දිනයක පැවැත්වීමට ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබෙනවානම් ආණ්ඩුව ලබන වසර මැද කාලයේදීම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පරිසරයක් රට තුළ සකස් කිරීමට හැකිය.
එහෙත් පවතින ප්‍රශ්න හමුවේ මැතිවරණයකට මුහුණ දීමට බිය වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම හා එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබෙන්නේ සියලුම පළාත් සභාවල නිල කාලය අවසන් වූ පසු එකම දිනක මැතිවරණය පැවැත්වීමටය. එසේ වුවහොත් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සිදුවන්නේ 2020 ජනවාරි මාසයෙන් පසුවය.
මන්දයත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර මැතිවරණයක් පැවැත්වීමට අවම වශයෙන් දින 55ක කාලයක් ගතවන අතර මේ අනුව 2019 වසරේ ඔක්තෝබර් 09 වැනිදාය. එහෙත් එම දිනයේ සිට දින 55ක් ගණනය කිරීමට යාමේදී මැතිවරණය පැවැත්වීමට සිදුවන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය‘පෙළ විභාගය පැවැත්වෙන කාලයේදීය. එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ ස්ථාවරය වී තිබෙන්නේ, විභාග පැවැත්වෙන කාලසීමාවේදී මැතිවරණය පැවැත්වීම තුළින් විභාග අපේක්ෂකයන්ට බාධා ඇතිවන බවයි.
මේ නිසා 2019 වසරේ දෙසැම්බර් මාසයේදී මැතිවරණයක් පැවැත්වීමට කොමිෂන් සභාව කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය.
මේ නිසා 20 වැනි සංශෝධනය හරහා මැතිවරණය කල්දැමීමට නොගොස් මේ පිළිබඳව පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් සමග සාකච්ඡා කර, රටට ජනතාවට ගැළපෙන ක්‍රමයකට අනුව මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත්කළ හැකි පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුය. පවතින නීතිමය රාමුව තුළ ප්‍රධාන අමාත්‍යවරයාට පළාත් සභා‘ව විසුරුවා හරින ලෙසට ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කළ හැකිය.
එහෙත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවට හෝ විධායක ජනාධිපතිවරයාට පළාත් සභාවක නිල කාලය දීර්ඝ කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැත. අඩුම වශයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින්වත් මෙම කටයුත්ත සිදුකිරීමට නොහැකි අතර, එවැනි කටයුත්තක් කළහොත් එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි.
මේ නිසා අදාළ කටයුතු සිදුකිරීම සඳහා ජනමත විචාරයක් පැවැත්වීමට පවා සිදුවේ.
මේ රට තුළ පැවැත්වෙන ජනමත විචාරණයකදී පවා සැබෑ තත්ත්වය ඉස්මතුවේදැයි කිව නොහැක. මන්දයත් ජේ.ආර්. ජයවර්ධන මහතා මැතිවරණය කල්දැමීම වෙනුවෙන් පැවැත්වූ ජනමත විචාරණයේදී බහුතර ජනතාවක් ඡන්දය භාවිත කළේ මැතිවරණය කල්දැමීම සඳහාය.
උදෑසන සයනයෙන් නැගිටින වේලාවේ සිට රාත්‍රී නින්දට යනතෙක් ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන ජනතාවක් සිටින රටක, මෙම ක්‍රියාව කොතරම් සුදුසු ක්‍රියාවක්දැයි අදටත් ප්‍ර‘හේළිකාවකි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධානතම කාරණයවී තිබෙන්නේ බහුතර ඡන්දදායකයන් රට ගැන, තමන් ගැන නොසිතා තමන් නියෝජනය කරන දේශපාලන මතය ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම නිසාය.
මේ ආකාරයේ මෝඩ ජනතාවක් සිටින තාක්කල් තමන්ගේ අරමුණු ඉටු කරගැනිමට හැකි බව දන්නා දේශපාලඥයෝ සෑමවිටම තමන්ගේ අරමුණු ජයග්‍රහණය කිරීමට අවශ්‍ය කටයුතු කරති.
මේ අනුව අද දවස වනවිට තමන්ට වැඩි බලයක් හිමි නොවේයැයි සිතා කටයුතු කරන ආණ්ඩුව පළාත් පාලන ආයතන මැතිවරණය සූක්ෂම ලෙස කල් දමමින් තිබේ.
නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට යාමේදී යම් ගැටලු ප්‍රමාණයක් ඇතිවූ අතර, එය විසඳීම සඳහා යම් කාලයක් ගත විය.
එහෙත් එම කටයුතු කඩිනම් කිරීමට ආණ්ඩුව නොකළ අතර, සීමා නිර්ණය කටයුතු අවසන් කර තිබියදී එතුළ ගැටලු ඇති බව පවසමින් සීමා නිර්ණය කටයුතු ගැසට් කිරීමද ප්‍රමාද කිරීමට ආණ්ඩුව කටයුතු කෙරිණි. මෙම කාරණයට අමතරව සභික සංඛ්‍යාව කොතරම්ද යන්න සහ පළාත් පාලන ආයතන යටතේ තාක්ෂණික ගැටලු පිළිබඳව ප්‍රශ්නයක් මතුවී තිබුණි.
එහෙත් මෙම ගැටලු දෙක සීමා නිර්ණය කොමිසමේ කටයුතුවලට සාපේක්ෂව සිදුකිරීමට ආණ්ඩුව සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු නොකළේය.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා සිවිල් සංවිධානවල දැඩි විරෝධතාවක් මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල විය. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය දිනවල පළාත් පාලන ආයතනවලට තේරී පත්වන සභික සංඛ්‍යාව හා ප්‍රතිශතයක් වශයෙන් ලබාදෙන කාන්තා නියෝජනය කොතරම්ද යන්න ප්‍රකාශයට පත් කළේය. මීට අමතරව තාක්ෂණ ගැටලු පිළිබඳව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
එහෙත් සීමා නිර්ණය කොමිෂන් සභාවේ වැඩ කටයුතු සිදුවන අතරතුරදී ආණ්ඩුවට මෙම ගැටලු විසඳීමට සැලකිය යුතු කාලයක් තිබුණි.
මැතිවරණය කල් දැමීමේ මානසිකත්වයෙන් සිටින දේශපාලඥයෝ ඒ ආකාරයේ සුභවාදී ක්‍රියාවක් සිදුකිරීමට කටයුතු නොකළහ. මේ නිසා මැතිවරණය පැවැත්වීමට අදාළව බාධාවක්ව පවතින තාක්ෂණ ගැටලු ටික තවමත් විසඳා ගැනීමට නොහැකිවී තිබේ.
එවකට පැවැති මැතිවරණ දෙපාර්තමේන්තුව 2013 වසරේදී පවතින තාක්ෂණික ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය පිළිබඳව යෝජනා ඉදිරිපත් කර තිබුණි.
කනගාටුවට කරුණ වී තිබෙන්නේ වසර 04ක් ගතවී තිබුණද තවමත් එම කටයුතු නිරාකරණය කරගැනීමට නොහැකිවීමය. යම් ලෙසකින් මෙම සංශෝධන සකස් කරගත්තත්, මැතිවරණය පැවැත්වීමට නොහැකි තැනට අද දවස වනවිට පිඹුරුපත් සකස් කරමින් තිබේ. මැතිවරණයට මුහුණ දීමට බියට පත්ව සිටින සුළු පක්ෂ කිහිපයක් හා ආණ්ඩුව එක්ව අදාළ පිඹුරුපත් සකස් කරමින් තිබේ.
එනම් මෙතෙක් පැවැති ක්‍රමයට අනුව පවත්නා මැතිවරණයකදී නියෝජිතයන් තෝරා පත්වීම සිදුවන්නේ කොට්ඨාස ක්‍රමයට 70% කුත් සමානුපාතික ක්‍රමයට 30% කුත් වශයෙනි.
එමෙන්ම කාන්තාවන් දේශපාලනයට ගෙන ඒම සඳහා පනතක් මගින් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% ක් කිරීමටද යෝජනා වී ඇත. මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල කැමැත්තද හිමිවිය. එහෙත් 70% යි 30% ක්‍රමය යටතේ සුළුපක්ෂවලට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවට මේ වනවිට තර්කයක් ගොඩනගා තිබූ ඔවුන්ගේ යෝජනාවවී තිබෙන්නේ, එම ප්‍රතිශතය 60% යි 40% බවට පත් කළ යුතු බවයි. මෙම ක්‍රමය හරහා 25% කාන්තා නියෝජනය 15%ක් දක්වා පහත දැමීමටද යෝජනා වී ඇත.
පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන මොහොතක මෙවැනි යෝජනා ඉදිරිපත් වී තිබෙන්නේ මැතිවරණය කල්දැමීමට බව ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට තහවුරුවන කාරණයකි. මේ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනා තාක්ෂණික ගැටලුවලට අද හෝ හෙට විසඳුම් ලබාදුන්නත් මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කිරීමට නොහැකිය. මන්දයත් ඉන් පසුව 60% යි 40% ප්‍රතිශතයට මන්ත්‍රී ධුර ප්‍රමාණය සකස් කළ යුතුය. මෙම කටයුතු සිදුකරන විට කාන්තා නියෝජනය අඩුවී තිබෙන නිසා එයට එරෙහිවද මේ වනවිටත් විරෝධතා එල්ලවෙමින් තිබේ. මේනිසා මෙම ගැටලුවලට විසඳුම ලබාදීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇත.
මේ හරහා ආණ්ඩුවේ අරමුණ සැබෑ ලෙසම ඉෂ්ට කරගැනීමට හැකියාව ලැබුණද ඉන් ප්රජාතන්ත්රවාදය අගයන ජනතාවගේ බලාපොරොත්තු සුන් කිරීමකි.
පළාත් පාලන ආයතනයක් යනු ජනතා සේවයක් සිදුවන ප්‍රධාන ඒකකයක් වන අතර, එම ආයතනයේ කටයුතු නිසි ලෙස සිදුවීමට නම් එතුළ ජනතාව පත් කරගන්නා මහජන නියෝජිතයන් සිටිය යුතුය. එසේ නොමැතිව එම ආයතන තුළ සේවය කරන නිලධාරීන්ගෙන් සැබෑ ජනතා සේවාවක් බලාපොරොත්තු විය නොහැකිය.
මහජන නියෝජිතයන් නොමැතිව නිලධාරීන් විසින් පාලනය කරන පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය දෙස බැලීමේදී මෙය මනාව පැහැදිලි වන කාරණයකි.
ඉදිරියේදී පළාත් සභා මැතිවරණයට සිදුකිරීමට යන්නෙත් මෙම උපක්රමයට සමාන ක්‍රියාවකි. මේ අනුව ඉදිරියේදී මහජන නියෝජිතයන් නොමැති පළාත් සභා ඇතිවිය හැකිය. පළාත් ආයතන හැරුණු කොට ඉන්පසුව ජනතාවට සමීපතම හා සේවාවක් සිදුකරන ආයතනය වන්නේ පළාත් සභාවයි. මෙම පළාත් සභා යටතේ රට පවතින බහුතර රෝහල් ප්‍රමාණයක් හා පාසල් ප්‍රමාණයක්ද පාලනය වේ.
මගි ප්‍රවාහන සේවාව ගතහොත් වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ පළාත් සභාව යටතේ ක්‍රියාත්මක මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙනි.
මෙම සියලුම ආයතනවල ප්‍රතිපත්තිමය තීරණ සහ දේශපාලන තීරණ ගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් පළාත් සභා මගිනි. එහෙත් මහජන නියෝජිතයන් නොමැති පළාත් සභාවක ප්‍රතිපත්තිමය තීරණ සහ දේශපාලන තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නොමැති. මේ නිසා මැතිවරණය නොපවත්වන බව පවසමින් මැතිවරණ කොමිෂන් සභාව චෝදනා එල්ල නොකර ප්රජාතන්ත්රවාදය අගයන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙසට පාලකයන්ට බලපෑම් කළ යුතුය.
එසේ නොමැති වුවහොත් 2019 වසරේ අවසානයෙන් පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයකට මෙහා මැතිවරණයක් බලාපොරොත්තු විය නොහැක. ඒ තැනට ප්‍රධාන දේශපාලන පක්ෂ රට පත්කරමින් සිටි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd