කොළඹ අවට රථවාහන තදබදය පිළිබඳ නොයෙක් දේශපාලඥයන්, විද්වතුන් සහ සංවි‘ධාන යෝජනා හා චෝදනා නැගීම මාධ්‍යවල නිරන්තරයෙන් දැකිය හැකි වුවද, ප්‍රායෝගිකත්වය තුළ එය ප්‍රබල ගැටලුවක් විනා එහි කිසිදු ප්‍රගතියක් දැකගත නොහැකි විය. පැවැති ආණ්ඩුව මෙයට නොයෙක් විසඳුම් ගෙන ආවද, ඒවා ක්‍රියාත්මක නොවිණි. වත්මන් ආණ්ඩුව විසින්ද නොයෙක් යෝජනා, අත්හදා බැලීම් ආදිය සුලබව සිදුකරනු ලබයි. මාර්ග තදබදය මේ වනවිට මිනිසුන්ගේ සාමාජීය ජීවිතයට පමණක් නොව මෙරට ආර්ථිකයටද බරපතළ ගැටලුවක් වී හමාරය. එයින් සිදුවන්නේ ඉන්ධන සඳහා විදෙස් රටවලට යන විශාල ධනස්කන්ධයක් අපතේ යෑම හා මිනිස් ශ්‍රමය අපතේ යෑම හරහා රට තවදුරටත් සංවර්ධනයෙන් පසුගාමී වීම හැර අන් කිසිවක් නොවේ. ඒ සඳහා විසඳුම් ව්‍යාපෘති රැසක් වත්මන් ආණ්ඩුව ගෙන ඒම දැකගත හැකි අතර, ඒ අතරින් සැහැල්ලු දුම්රිය හෙවත් 'ලයිට් රේල්' ව්‍යාපෘතිය කැපී පෙනෙයි.
මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ආරම්භ කරන ලද්දේ දැනට මාස කිහිපයකට පෙරය. ඒ යටතේ බස් රථ හෙවත් පොදු ප්‍රවාහන සඳහා වෙන් කරන ලද වෙනම මංතීරුවක් හඳුන්වා දෙන්නට විය.
එහි තවත් ඉදිරි පියවරක් ලෙස හඳුන්වාදෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා පෙරේදා (21දා) බත්තරමුල්ල සුහුරුපායේදී පාඨලී චම්පික මහතා පූර්ව සක්‍යතා අධ්‍යයනයක් සඳහා කොරියාවේ සෙන් යං (Sen young) ආයතනය සමග ගිවිසුමක් අත්සන් කළේය. එය මහවැලිය මෙන්ම විශාල ව්‍යාපෘතියකට මූලික අත්තිවාරම විය. එක්තරා ආකාරයකට මෙය මෙරට සිදුවන දැවැන්තම මාර්ග ව්‍යාපෘතිය ලෙසද හඳුනාගත හැකිය. මෙම සැහැල්ලු දුම්රිය සේවාව ක්‍රියාත්මක වන්නේ කොළඹ සහ කොළඹ අවට මාර්ග තදබදය වැඩි ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනය. ඒ යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග 07ක් ඉදිකිරීමට යෝජනා වී ඇත. එහි එක් මංතීරුවක් සඳහා මේ වනවිටත් ජපන් රජයෙන් අඩු පොලියට ණය ආධාර ලබාගෙන ඉදිකිරීම සඳහා එකඟ වී ඇති අතර, එය මාලඹේ සිට බත්තරමුල්ල, බොරැල්ල හරහා පිටකොටුවට දක්වා ඉදිකිරීමට අපේක්ෂිතය. අනෙක් මාර්ග 06 වන්නේ,
1 කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, යූනියන් පෙදෙස සිට මරදාන දක්වා (කිලෝමීටර් 14.8)
2 කොටුව, මරදාන, මට්ටක්කුලිය සිට පෑලියගොඩ දක්වා (කිලෝමීටර් 11.5)
3 දෙමටගොඩ, බොරැල්ල, කිරුලපන, හැව්ලෝක් ටවුන් සිට බම්බලපිටිය දක්වා (කිලෝමීටර් 10)
4 මාලඹේ - කොට්ටාව (කිලෝමීටර් 9.6)
5 මාලඹේ - කඩුවෙල (කිලෝමීටර් 6)
6 පෑලියගොඩ - කඩවත (කිලෝමීටර් 13)
මෙම මාර්ග සඳහා වන සක්‍යතා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව දින 07ක් ඇතුළත 'සෙන් යං' ආයතනය විසින් සිය වැඩකටයුතු ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත. මේ සඳහා රුපියල් මිලියන 202ක් වැය කිරීමට නියමිතය.
මාර්ග හඳුනා ගැනීම සඳහා වර්ණවලින් මෙම මාර්ග සටහන් කර ඇති අතර, කොටුව - මරදාන මාර්ගය කොළ වර්ණයෙන්ද, මරදාන - පෑලියගොඩ කහ වර්ණයෙන්ද, දෙමටගොඩ - බම්බලපිටිය රතු වර්ණයෙන්ද, බොරැල්ල - මාලඹේ දම් වර්ණයෙන්ද, මාලඹේ - කොට්ටාව රෝස වර්ණයෙන්ද, මාලඹේ - කඩවත මාර්ගය 'ඔලිව්' වර්ණයෙන්ද, පෑලියගොඩ - කඩවත මාර්ගය 'ඇෂ්' වර්ණයෙන්ද හඳුන්වා දී ඇත.
මෙම මාර්ග හය ජාත්‍යන්තර ආයෝජනයන් හා ඒකාබද්ධව ඉදිකිරීම සඳහා ජනතා සේවයට ලබාදීමට මේ වනවිට තීරණය කර ඇත. මේවා සඳහා ප්‍රසම්පාදන කටයුතු කොටස් දෙකක් යටතේ සිදුකෙරේ. එනම්, මේ සඳහා සැලසුම් නිර්මාණ කටයුතු හා ශක්‍යතා අධ්‍යයන වාර්තා පිළියෙල කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශන ආයතනයක් තෝරා ගැනීම සහ ඉදිකිරීම් නඩත්තු සහ පවත්වාගෙන යෑම සඳහා රජය හා ඒකාබද්ධ වන ජාත්‍යන්තර මට්ටමේ ආයෝජන තෝරාගැනීම යනාදියයි. මේ වනවිටත් ප්‍රසම්පාදන කටයුතු එනම්, ආයෝජනයන් තෝරා ගැනීම සිදුවෙමින් පවතින අතර ඒ සඳහා උපදෙස්, දත්තයන් සැපයීම සඳහා සහයෝගය %සෙන් යං^ උපදේශන ආයතනය විසින් සිදුකරනු ලැබේ. 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂිත කටයුතු සඳහා ප්‍රසම්පාදන ක්‍රියාදාමයක් මගින් තෝරාගත් ආයෝජනය සමග වැඩ ආරම්භ කිරීමට අපේක්ෂා කෙරිණි. මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී සමාජීය, ආර්ථික සහ පාරසරික ආදී වශයෙන් නොයෙක් ගැටලු මතුවිය හැකිය. මන්ද මේ සියලු සැහැල්ලු දුම්රිය මාර්ග ක්‍රියාත්මක වන්නේ ජනාකීර්ණ ප්‍රදේශයන් තුළින් වීම එයට ප්‍රධාන හේතුවයි. එහිදී දේපොළ, ඉඩම්වලට මෙන්ම ජනතාවට සිදුවන බලපෑම පිළිබඳවද විශේෂයෙන් සොයා බැලිය යුතුය. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කළ යුතුය. මන්ද ලෝකයේ කොතෙකුත් මෙවැනි ප්‍රවාහන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වුවද, තවමත් යටත්විජිතකරණයෙන් පසුව ලංකාවේ එවැනි ආකාරයෙන් ප්‍රවාහන ක්ෂේත්රයේ පරිවර්තනයක් සිදු නොවීම ඊට හේතුවයි. එබැවින් ජනතාවට මේ සම්බන්ධයෙන් ඇති අවබෝධය පුළුල් කළ යුතුය. මේ නිසා මෙම ව්‍යාපෘති පිළිබඳ ජනතාව නියමාකාරයෙන් දැනුවත් විය යුතුය. ප්‍රමුඛතා මංතීරු ආරම්භ කිරීමත් සමග මේ පිළිබඳ යම් අදහසක් ජනතාවගේ සිත් තුළ ඇති වුවද, අද වනවිට එය එතරම් අවධානයට ලක්නොවීය. නමුත් මේ සියලු දේ සිදුකරනුයේ පියවර වශයෙනි. ජනතාවද එයට අනුගත වීම තුළින් මෙම ව්‍යපෘතිය සිදුකිරීමට ඉදිරියේදී එය සහායක් වනවා ඇත. ඒ අනුව ජනතාවට මෙම ඉදිකිරීම් සමග සිදුවන පාඩුවට නිවැරදි තක්සේරු කිරීම් මත වටිනාකමක් ලබාදිය යුතුය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඉදිකෙරෙනුයේ මාර්ග මධ්‍යයේ කුලුනු යොදා එසවීම මගිනි. එම නිසා ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සිතා බැලිය යුතුය. විධිමත් දත්ත ඇතුළත් ඉංජිනේරු අධ්‍යයනයක් සිදුකළ යුතුය. එමෙන්ම පාරිසරික අධ්‍යයනයක්ද කිරීම අත්‍යවශයෙන්ම සිදුවිය යුත්තකි.
ඒ අනුව 2023 වර්ෂය වනවිට මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා සියල්ල සකස් කරමින් යන අතර, ඉදිරි වසර 05 තුළ මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ නගරයේ රථවාහන තදබදය යම්තාක් දුරට හෝ අවම කිරීමේ හැකියාව පවතී. මෙම ව්යපෘතියත් සමග ඊට සාපේක්ෂව කොටුව සහ බත්තරමුල්ල ප්‍රදේශ තුළ මේවා පාලනය වන ප්‍රවාහන මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කිරීමටද අපෙක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව ඉදිරියේදී ස්වාභාවික වායු හරහා විදුලිය නිපදවීමට අපේක්ෂා කරන රටකි. එම නිසා ඉන්ධන භාවිතයෙන් හරිත සංකල්පය යටතේ ලංකාව ගමන් කිරීමේදී එයට සාපේක්ෂව මෙම ව්‍යාපෘතියද හරිත ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ආරම්භ කිරීම කාලෝචිත ක්‍රියාවකි. මෙම සැහැල්ලු දුම්රිය සියල්ල ක්‍රියාත්මක වන්නේ විදුලියෙනි.
කෙටිකාලීන විසඳුමකට වඩා දිගුකාලීන පදනමක් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය තුළින් නාස්ති වන මිනිස් ශ්‍රමය, කාලය මෙන්ම ඉන්ධන ඉදිරි වර්ෂ 05 තුළදී යම්තාක් අඩුකිරීමේ හැකියාව තිබේ. එනිසා දිනකට විනාශ වී යන රුපියල් බිලියනයක මුදල අනාගතයේදී සුරක්ෂිත කර ගැනීමට මේ යටතේ අපට හැකියාව ලැබේ.
ෂෙහානි දිල්රුක්ෂිකා \ ඡායාරූප- කිත්සිරි ද මෙල්