වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගතවූ කාලසීමාව තුළදී ඇමතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වූ අතර, ඉන් එක් අයෙක් වන්නේ ෆයිසර් මුස්තාපා මහතාය. රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ජනාධිපතිවරණයට පෙර එක්වූ ඒ මහතා මේ දිනවල සූදානම් වන්නේ ඊළඟ මහමැතිවරණයට සඳහාය. මේ ඔහු සමගින් කළ සම්මුඛ සාකච්ඡාවකි.
Q ඔබට ඇමති ධුරයෙන් ඉවත්වීමට බලපෑ කරුණු සඳහන් කරමින් අපේ කතාබහ ආරම්භ කරමු?
මම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය යටතේ නියෝජ්‍ය සංචාරක ඇමති වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ නියෝජ්‍ය සංචාරක ඇමති, පරිසර ඇමති, තාක්ෂණික හා පර්යේෂණ නියෝජ්‍ය ඇමති, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති සහ සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවෙලා හිටියා. කිසිම ජනාධිපති කෙනෙක්ගෙන් මම වරප්‍රසාද ඉල්ලා නැහැ. මට ලැබුණා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඡන්දෙදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ආපු එකම මුස්ලිම් ඇමති හෝ මන්ත්‍රී මමයි. එතුමා ජනාධිපති වුණාට පස්සෙ යූ.එන්.පී එකට ඇමතිකම් දෙකක් දුන්නා.
හකීම්ට, රිෂාඩ්ට ඒවා දුන්නෙ මම නිසා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය දුන්නු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් පාක්ෂිකයන් බලාපොරොත්තුවෙලා හිටියා ජනාධිපතිතුමාගේ පක්ෂය ශක්තිමත් කිරීම තකා ආපු එකම මුස්ලිම් මන්ත්‍රීවරයාට කැබිනට් ඇමතිකමක් දේවි කියලා. ජීවිතේ කවදාවත් මට කලකිරීමක් නැහැ. ලැබෙන්න දෙයක් තියේ නම් ලැබේවි. නමුත් මට එක ප්‍රතිපත්තියක් තියෙනවා. දෙන දේ හරියට කරන්න අවශ්‍යයි.
මම රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී මට උඩින් කැබිනට් ඇමති කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තියෙනවා ඕනෑම මන්ත්‍රී කෙනෙකුට ගැසට්පත්‍රයක් මගින් ආයතන හෝ විෂයපථය ගැසට් කරන්න. හැබැයි මම රාජ්‍ය ඇමති වුණාට පස්සෙ මගේ මිත්‍ර අර්ජුන ඇමතිතුමා කැබිනට් ඇමති වුණා. නමුත් රාජ්‍ය ඇමතිගේ විෂයපථය සම්බන්ධයෙන් ගැසට්පත්‍රයක් නිකුත් වුණේ නැහැ. මට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ සහ අමාත්‍යංශය කරගෙන යාමේ හැකියාව තිබුණා. අර්ජුන රණතුංග මැතිතුමාගේ විෂයපථය විශාලයි. එතුමා ගුවන් සේවා කැබිනට් ඇමති නිසා ගුවන් සේවා අමාත්‍යංශයේ නිලධාරීන් කැඳවලා අනාගත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවා.
ඒ නිසා මට හෘදසාක්ෂියට එකඟව තීරණයක් ගන්න සිදුවුණා. මෙතුමත් එක්ක මම ඝට්ටනයකට යනවද සුභසාධනය සහ ආරක්ෂාව පතා අලුතින් පත්වුණු ආණ්ඩුවත් මගේ ආත්මයත් ආරක්ෂා කරගෙන මගේ ලිපිය දීලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සහයෝගය දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන සම්බන්ධයෙනුත් මේ ආණ්ඩුව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙක යෙදෙන්න.
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ ඉන්නවා. ඒ වගේම ව්‍යවස්ථා කමිටුවටත් ජනාධිපතිතුමා මාව පත්කරලා තියෙනවා. ඒ නිසා මට කිසිම කලකිරීමක් නැහැ. මට වගකීමක් දෙද්දි හරියට ඒ බලය දුන්නනම් ඕනම අවස්ථාවක මම අමාත්‍යංශය කරන්න ලෑස්තියි. සමහරු තමන්ගේ අමාත්‍යංශයේ විෂයපථය කරගෙන යන්න බැරිවුණත් ඇමති ධුරයේ ඉන්නවා. මට සමානව රජිව් විජේසිංහ මැතිතුමාටත් විෂයපථය සම්බන්ධයෙන් ගැටලුවක් ආවා. එතුමාට වැඩකරගෙන යන්න බැරි වාතාවරණයක් තිබුණා කියලා එතුමා තීන්දුවක් අරගෙන අස්වුණා. ඒක කිසිම කෙනෙකු තරහ කරගැනීමක් හෝ ආණ්ඩුව බිඳදැමීමක් නොවේ. තමන්ගේ ආත්මය ආරක්ෂා කරන්න යම් යම් උදවිය යම් යම් තීන්දු ගන්නවා. මම ජනාධිපති නීතිඥයෙක්. මේ වෘත්තිය තුළින් මට රටට යමක් කරන්න පුළුවන්. සියලුදෙනාගේම සුබසාධනය හා ආණ්ඩුවේ ආරක්ෂාව පතා මම මේ තීන්දුව ගත්තේ.
Q මේ වනවිට පාර්ලිමේන්තුට තේරීපත්වී කොපමණ කලක් වගකීම් දරල තියෙනවද?
මේ මගේ දෙවන ධුර කාලය. අර්ජුන රණතුංග මැතිතුමා ආයෝජන සහ සංචාරක නියෝජ්‍ය ඇමති තනතුර පමණයි දැරුවේ. හැබැයි මම තනතුරු රාශියක් දරලා තියෙනවා. අමාත්‍යංශයක් කරගෙන යෑමට මට අත්දැකීම් තියෙනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී රාජ්‍ය ඇමති වෙද්දි විෂයපථය ගැසට් කරලා තිබුණේ නැහැ. මම අත්දැකීම් හුඟක් ලබලා තියෙනවා. නියෝජ්‍ය ඇමති කෙනෙක් ඉන්නේ ඇමති කෙනෙක් යටතේ. රාජ්‍ය ඇමතිවරයෙක් කැබිනට් ඇමතිවරයා යටතේ ඉන්නවද කියලා නෛතික පැහැදිලි කිරීමක් නැහැ. අද නියෝජ්‍ය ඇමති කෙනෙක් හා රාජ්‍ය ඇමති කෙනෙක් අතර බලය සම්බන්ධයෙන් වෙනසක් නැහැ. මට ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියෙනවා. කවුද ඇමතිකම් දුන්නේ කියන එක මට අදාල නැහැ.
Q අර්ජුන රණතුංග ඇමතිවරයා මේ ගැන මොකද කිව්වේ?
මම එතුමාට කිව්වා මට රාජ්‍ය ඇමති හැටියට ක්‍රියාකරන්න බැහැ, ජනාධිපතිතුමාට ඉල්ලා අස්වීමේ ලිපිය දෙනවා කියලා. එතුමාගේ විෂයපථය විශාලයි. එතුමා කැබිනට් ඇමති නිසා මේ විෂයපථය ගැන යම් දර්ශනයක් එතුමාටත් තියෙනවා. මත දෙකකින් මේක කරන්න බැහැනේ.
ඔබට මේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වුණා කියල හිතෙන් නැද්ද?
ඒක ජනතාව සහ ජනාධිපතිතුමා තීරණය කරන්න ඕන. මට අඬන දේශපාලනයක් නැහැ. මම ආත්මයක් තියෙන දේශපාලඥයෙක්. මම අභියෝග කරනවා ඕන කෙනෙකුට, මම ඇමතිකමක් නැතිව කොළඹ දිස්ත්‍රික්කයෙන් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට එනවා. මම ගිය ගිය තැන මිනිස්සු කියන්නේ ඔබතුමා වගේ දේශපාලඥයෝ දුලබයි කියලයි. කිසිම කෙනෙකු සාමාන්‍යයෙන් ඇමතිකම් දාල යන්නෑ. පොල්පිත්තක් දුන්නත් ඇමතිතුමා කියන වරප්‍රසාද තියාගෙන ඉන්නවා. අපේ දේශපාලන සංස්කෘතිය හදලා තියෙන්නේ එහෙමයි. මිනිස්සු ඇමතිතුමා කිව්වම ඡන්දෙ තියෙනවා, මන්ත්‍රීතුමා කිව්වම ඡන්දෙ නැහැ කියලයි අපේ කට්ටිය හිතාගෙන ඉන්නේ. කුඩුකාරයින්ට, ජාවාරම්කාරයින්ට මින් පස්සෙ ඡන්දෙ හම්බවෙන්නෑ.
පාර්ලිමේන්තුව අප්‍රේල් 23 විසුරුවන බවට අගමැතිතුමා කියල තියෙනවා?
අගමැතිතුමා එහෙම කිව්වට ඒ තීන්දුව කළ හැක්කේ අතිගරු ජනාධිපතිතුමාටයි. ඒකට බලය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි.
Q ඒ කියන්නේ අගමැතිතුමාගේ තීරණයට ඔබ එකඟ නැද්ද?
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මගේ පක්ෂයේ නායකයා. එතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා ඕනෑම තීරණයකට මම හිස නමනවා. ඒ කියන්නේ ශ්රීලනිපය තීරණය කළොත් අගමැතිතුමාගේ තීරණය හරි කියලා මම එම තීරණයට හිස නමනවා. හැබැයි පක්ෂය ඊට වඩා පරස්පරවිරෝධී මතයක් ගත්තොත් එය පිළිගන්නවා. මම එක්සත් ජාතික පක්ෂයට ගිහින් නැහැ. තවම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙයි.
Q ප්‍රධාන පක්ෂ දෙක මේ සම්බන්ධව නිශ්චිත එකඟතාවකට මේ දක්වා පැමිණ නැද්ද?
අපේ පක්ෂයේ සංශෝධන මාලාව ඉදිරිපත් කරලා තියෙනවා. මුළු රටම මේ ගැන බලාගෙන ඉන්නවා. ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් මතභේද තියෙනවා තමයි.
Q ඔබ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මොන පක්ෂයෙන්ද?
අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි තරග කරන්නේ. ගියපාර මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරද්දී හුඟක් අය කීවා මුස්ලිම් එක්කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දිනන්න බැහැ කියලා. යූඑන්පී එකේ මුස්ලිම් මන්ත්‍රීවරු හතරදෙනෙක් පත්වෙද්දී මම නුවරින් දිනුවා. මම හිතන්නේ සුළු ජාතීන් අතර ලාංකික චින්තනයකින් හිතන ක්‍රියාකරන දේශපාලඥයෙක් මම.
Q හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් බලයට ගේන්න පිරිසක් ගන්නා උත්සාහය සාර්ථකයිද?
එතුමා පක්ෂයේ අනුශාසක මණ්ඩලයේ ඉන්නවා. එයා පක්ෂයෙන් පිට කෙනෙක් නෙමෙයි. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්නයක්. නොයෙක් අය නොයෙක් මත ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂ පක්ෂෙට ආදරෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් පක්ෂෙට ආදරෙයි. චන්ද්‍රිකා මැතිණියත් එහෙමයි. හැමෝටම ඇමතිකම්, ජනාධිපතිකම් ලැබුණේ පක්ෂය නිසයි. මහින්ද ජනපති වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසයි. මෛත්‍රීපාල ජනාධිපති අපේක්ෂක වුණේ ශ්‍රී.ල.නි.ප මහලේකම් විදියටයි. නොයෙක් මත තිබුණට අපේ පක්ෂය කැඩෙන්න මම ඉඩ දෙන්නෑ. සියලුදෙනා ගෙන්වා ඕනෑම ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමේ හැකියාව අපට තියෙනවා. හුඟක් පිට අය බලාපොරොත්තු වෙන්නේ මේ පක්ෂය දෙකඩ කරන්නයි.
ඊළඟ මහමැතිවරණයේදී ශ්‍රී.ල.නි.පයේ ඇතුළේ ප්‍රශ්න නැත්නම් ආසන 113ට වඩා ගන්නවා. තාමත් ග්‍රාමීය ජනතාව ඉන්නෙ අපිත් එක්ක. තාමත් එක්සත් ජාතික පක්ෂය ග්‍රාමීය ජනතාව කේන්ද්‍රගත කර ගැනීමේ ප්‍රශ්නයෙන් පෙළෙනවා. ඔවුන්ට තියෙන්නේ බහුතර නාගරික පදනමක් පමණයි. මගේ විශ්වාසය මේ කිසිකෙනෙක් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරන එකක් නැහැ කියලයි. අද මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් කතාකරන බහුතරයක් ජනාධිපතිවරණයේදී එතුමාට විරුද්ධව කතාකරපු අයනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විසිගණන් තිස්ගණන් එනවා කිව්වනේ. හැබැයි හුඟක් අය ඡන්දෙන් පස්සෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා හංවඩුගහන්න ගත්තා. ආවේ අපි හය දෙනෙක් විතරයි.
Q දූෂිතයෝ අල්ලන්නෙ නැත්තේ මොකද කියල ජනතාව අහනවා?
රටේ නීති රාමුවක් තියෙනවා. නිකන් මිනිහෙක් අල්ලලා පැය 24න් හිරේ දාන්න බැහැ. අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව දූෂිතයෝ වංචාකාරයෝ අල්ලනවා. ජනතාව අතර විශාල බලාපොරොත්තුවක් ඒ ගැන තියෙනවා. අපේ නීති ක්‍රමය අනුව නඩුවක් අඩුගානේ අවුරුදු දෙක තුනක් ඇදෙනවා. අපිට නීති රාමුව වෙනස් කරන්න බැහැ. නොයෙක් අයගෙන් කටඋත්තර ගන්නවා. ඒ නිසා ජනතාව ඉවසිලිවන්ත වෙන්න ඕන.
Q ඔබත් ළඟින් ආශ්‍රය කරපු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ලවෙන චෝදනා ගැන මොකද කියන්නේ?
චෝදනා ඕන කෙනෙකුට එල්ල කරන්න පුළුවන්. මම නීතිඥවරයෙක්. මම හිටපු ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ සමග නිල මට්ටමින් කටයුතු කළා තමයි. එතුමාට චෝදනා තිබේනම් නීති යාන්ත්‍රණය ක්‍රියාත්මක වේවි. එතුමාට චෝදනා එල්ලවුණා කියලා එතමා ගැන මම කතාකරල වඩක් නැහැනේ.
මම අවුරුදු 9ක් ගිය ආණ්ඩුවේ හිටියා. ඒ ආණ්ඩුවේ වැරදි සම්බන්ධයෙන් ඇඟිලි දික්කරන්න මට යම් සීමාවක් තියෙනවා. පිට අයට පුළුවන් ඕනම චෝදනාවක් කරන්න. අවුරුදු 9ක් ඒ ආණ්ඩුවේ ඉදලා ඒවා ගැන කතාකරන එක සදාචාරාත්මක නැහැ. හැබැයි ඒ ආණ්ඩුවෙන් අනිවාර්යෙන්ම දූෂණ වංචා සිදුවුණා තමයි.