Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
එදා මෙදා තුර මෙරට මුහුණ දුන් ආක්රමණකාරී අවස්ථා හා අභ්‍යන්තර ගැටුම්කාරී අවස්ථා සමතයකට
පත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඉටු කළ මෙහෙවර අතිමහත්ය. නමුත් මෑතකාලීන දේශපාලනය තුළ කහ සිවුර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් දැරීමට යාම බහුතර ජනතාවකගේ සිත් තුළ ඇති කරනු ලැබුවේ බලවත් වූ වේදනාවකි. ඒ ඔස්සේ භික්ෂු සමාජය වෙත ගිහි සමාජයෙන් මේ දක්වාමත් එල්ල වෙමින් තිබෙන්නේ ධනාත්මක මතයන් නොවේ. මෙවැනි වාතාවරණයක් තුළ සංඝයා වහන්සේලා සහ ගිහි සමාජය දුරස් වීම කිසිදු ආකාරයකින් සමාජ ප්රගමනයට සුබදායක වන්නේද නැත. මෙම තත්ත්වය පිළිබඳව විග්‍රහයක් ගෙන ඒමට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා සම්බන්ධ කරගතිමු.
'බෞද්ධ භික්ෂූන් වහන්සේලා රටේ දේශපාලනය සඳහා මැදිහත්වීම බුදුන් වහන්සේ ඉන්දියාවේ වැඩසිටින සමයේ පටන්ම තිබූ දෙයක්. බුදුන් වහන්සේ ගත්තොත් උන්වහන්සේ ක්ෂත්රීය වංශිකයෙක්. උන්වහන්සේට රාජ්‍ය පාලනය සහ පාලන මූලධර්ම පිළිබඳ පුළුල් අවබෝධයක් තිබුණා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ සෘජු වශයෙන් පවා රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී සිය අදහස් දැක්වීම සහ මැදිහත්වීම් සිදුකළා. උදාහරණයක් විදිහට රෝහිණී නදියේ ජලය බෙදාගැනීම සම්බන්ධයෙන් මතු වූ ආර්ථික ප්රශ්නයේදී ශාක්‍ය සහ කෝලිය වංශ දෙක අතර යුද්ධයක් හටගැනීමෙන් දේශපාලනික ගැටුමක් නිර්මාණය වුණා. බුදුන් වහන්සේ එතැනට වැඩම කරලා සෘජු මැදිහත්වීමක් මගින් ඇති වෙන්නට ගිය ඒ යුද්ධය වළක්වනු ලැබුවා.
බුදුදහමේ ඇති මූලික ඉගැන්වීම් අනුව බොහෝ දේශපාලනික ගැටලු නිර්මාණය වෙන්නේ ආර්ථික සාධකය මත. මේ නිසයි අග්ගඥ්ඥ සූත්‍රය වැනි සූත්‍රවලදී බුදුන් වහන්සේ දේශපාලනික තත්ත්වයන් නිර්මාණය වීම කෙරෙහි ආර්ථික සාධක බලපාන්නේ කුමන ආකාරයෙන්ද කියලා පැහැදිලි කර තිබෙන්නේ. ධනය නැති ජනතාවට ධනය උත්පාදනය නොවන විට සොරකම ඇති වන බවත්, ඒ ඔස්සේ අනෙකුත් අපරාධත් සමාජයේ සිදුවෙන්නට පටන් ගන්නා බවත් තවත් සමහර සූත්‍රවල සඳහන් වෙනවා. ඒ වගේම දේශපාලනය සිදුකළ යුත්තේ කුමන ආකාරයටද කියලත් ගැඹුරු ඉගැන්වීම් ගණනාවක් උන්වහන්සේගේ ඉගැන්වීම් තුළ දකින්නට ලැබෙනවා. මීට එක් උදාහරණයක් තමයි %දස රාජ ධර්ම^ කියන කාරණය. මෙය මුළුමනින්ම දේශපාලනිකයි. නමුත් මේ දස රාජ ධර්මයන් තුළ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යා යුත්තේ කෙසේද, ආර්ථිකය පවත්වාගෙන යා යුත්තේ කුමන ආකාරයටද සහ ජනතාවට සේවය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන කාරණාවන් රැසක් බුදුන් වහන්සේ පැහැදිලිකොට තිබෙනවා. තවත් උදාහරණයක් තමයි %සතර සංග්‍රහ වස්තු^. මෙම කාරණා තුළින් බුදුන් වහන්සේ අවධාරණය කර තිබෙන්නේ මානව සම්බන්ධතා යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්නට නම් දේශපාලනය තිබිය යුතු බවයි. බුදුන් වහන්සේ නිරන්තරයෙන්ම පෙන්වා දී තිබෙන්නේ දේශපාලනය තිබිය යුත්තේ හුදු බලය සඳහා පමණක් නොවෙයි, මානවයාගේ සහ ජීව අජීව සියල්ලගේම යහපත සඳහා බවයි. ඒ වගේම සමහර අවස්ථා වලදී උන්වහන්සේ දේශපාලනික කාරණාවන්ට කිසිදු මැදිහත්වීමක් නොකර නිහඬව සිටි අවස්ථාත් තිබෙනවා.
මේ කාලයේ කතාබහට ලක්වන මාතෘකාවක් තමයි එකල පැවති ලිච්ඡවී පාලනය කියන පාලන ක්‍රමය. නමුත් ලිච්ඡවී පාලනය නිවැරදිවම අර්ථ දක්වන්නේ බුදුන් වහන්සේ පමණයි. ලිච්චවී පාලනය කියන්නේ සප්ත අපරිහානී ධර්ම පිළිපදින පාලන ක්‍රමයක්. අපරිහානී ධර්ම කියන දේශපාලන න්‍යාය උන්වහන්සේ තමන්ගේ සංඝ ශාසනයටත් හඳුන්වා දෙන්න කටයුතු කළා. ඒ අනුව පැහැදිලිව පෙනෙන දෙයක් තමයි ගිහි ලෞකික දේශපාලන සංස්ථා තුළ වුණු යහපත් කරුණු කාරණා බුදුන් වහන්සේ සිය ශාසනයටත් ගත් බව. ඒ වගේම දස රාජ ධර්ම, දස සක්විතිවත්, සතර සංග්‍රහ වස්තු ආදිය හඳුන්වා දීම මගින් ලෞකික දේශපාලනයට අවශ්‍ය න්‍යායාත්මක පෝෂණයත් උන්වහන්සේ තමන් අතින් සිදු කළා.
ඒ අනුව මෙරට දේශපාලනයට මැදිහත් වීමට භික්ෂූන් වහන්සේලාට පරම අයිතියක් තිබෙනවා. බුදුන් වහන්සේ දේශපාලනයට සිදුකළ සෘජු මැදිහත්වීම් සහ වෙනත් කිසිදු ආගමික ඉගැන්වීමක නැති තරම් දේශපාලන සංස්ථා පෝෂණය කිරීමට උන්වහන්සේ සිදුකළ මගපෙන්වීම් මගින් එය තහවුරු කරනවා. බුදුන් වහන්සේ අග්ගඥ්ඥ සූත්‍රයේදී පෙන්වා දෙන ආකාරය අනුව දේශපාලන සංස්ථාව බිහිවෙන්නේ මානව සමාජයේ යහපත සඳහායි. ඒ පිළිබඳව වැඩිදුරටත් විග්රහ කළොත් ඉඩකඩම් බෙදාගැනීම සම්බන්ධයෙන් මිනිසුන් අතර ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. පරිසරයෙන් සපයන ආහාරවලට වඩා මිනිස්සු ආහාර එකතු කරගත්තා. ඒ සමග ආහාර හිඟ වුණු පිරිස් තවත් අයෙක්ගෙන් ආහාර සොරකම් කළා. සොරකම් හසුවුණාට පස්සේ දඬුවම් ලබාදුන්නා. ඒ දඬුවම්වලින් බේරෙන්න මිනිස්සු බොරු කියන්න පටන් ගත්තා. මේ තත්ත්ව වළක්වා ගන්න ජනතාවම එකතුවෙලා තමන් අතර හිටපු දැකුම්කළු, ප්‍රියමනාප, ශක්තිමත් පුද්ගලයෙක් තෝරාගෙන රජු විදියට පත් කළා. ඒ කාර්යයට ගාස්තු වශයෙන් තමන්ගේ භවභෝගවලින් කොටසක් බදු වශයෙන් රජුට ගෙවන්න ජනතාවම එකඟත්වයට පැමිණියා. ඒ අනුව ජනතාවගේ සමාජ ප්‍රශ්න සහ ආර්ථික ප්‍රශ්න හටගත්තාට පසුව ඒ ගැටලු විසඳන්න දේශපාලන සංස්ථාව නිර්මාණය වූ බව බුදුන් වහන්සේ පැහැදිලි කරනවා.
මේ අනුව බුදුදහම කියන්නේ දේශපාලනයෙන් පරිබාහිර දර්ශනයක් කියලා කාටවත් කියන්න බැහැ. ලෝකෝත්තර පාරිශුද්ධිය පිළිබඳව කතා කරනවා වගේම ලෞකික ජීවිතයත් යහපත් ලෙස ගතකරන්නේ කෙසේද, හොඳ ආර්ථිකයක් හදාගන්නේ කොහොමද, දේශපාලන සංස්ථාවේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද සහ පරිසරයට ආදරය කළ යුත්තේ කොහොමද කියන කාරණාත් බුදුදහම තුළ සාකච්ඡා වෙනවා. ඒ ආකාරයෙන් සාකච්ඡා වුණු බුදුදහම තමයි ක්‍රි.පූ. 03 වැනි සියවසේදී මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ථේරවාදී භික්ෂූන් වහන්සේලා හරහා ශ්‍රී ලංකාවට ලැබුණේ. එදා සිටම භික්ෂූන් වහන්සේලා මෙරට ජනතාවගේ ආධ්‍යාත්මික සහ සාමාජීය සංවර්ධනයට දායක වුණා වගේම මෙරට දේශපාලනික කටයුතු සඳහාත් මැදිහත් වුණා. නමුත් භික්ෂූන් වහන්සේලා ඒ සෑම මැදිහත්වීමක්ම සිදුකළේ කිසිදු භේදයක් හෝ බෙදීමක් නොමැතිව, පොදු මානව ප්‍රජාවගේ යහපත වෙනුවෙන් පමණයි. බුදුන් වහන්සේ තමන්ගේ පළමු ධර්ම දූත කණ්ඩායම අමතලා සිදුකරන ප්‍රකාශයේ තිබෙනවා %මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස චාරිකාවේ හැසිරෙන්න^ කියලා. මේ %බොහෝ දෙනාගේ^ කියන වචනයෙන්ම පැහැදිලි වෙනවා උන්වහන්සේ කිසිදු ආගමක්, ජාතියක්, කුලයක්, රටක් හෝ අඩුම තරමේ ස්ත්‍රී පුරුෂ භේදයක් මත ජනතාව නොබෙදූ බව. සමස්ත මානව ප්‍රජාවේම යහපතයි බුදුන් වහන්සේ අපේක්ෂා කළේ. ඒ මෙහෙවර බුදුන් වහන්සේගෙන් පසුව භික්ෂූන් වහන්සේලා අඩුවක් නැතුව ඉටුකරන්න කටයුතු කළා.
මෙරට ඉතිහාසය තුළ රාජ්‍ය පාලනය සඳහා භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම පිළිබඳ කතා කළොත් අපි දන්නවා ඉන්දියාව වැනි රටවල රජුට පාලන කටයුතු සඳහා උපදෙස් ලබාදෙන්න පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටියා. පුරෝහිතයෙක් නොමැති නම් රජුගේ පුද පූජාවන් දෙවියන් බාරගන්නේ නැහැ කියලා එක්තරා විශ්වාසයක් පැවතුණා. නමුත් මෙරට ඉතිහාසයේදී කෝට්ටේ යුගය දක්වාම මහින්දාගමනයෙන් පසු පුරෝහිත බ්‍රාහ්මණයෙක් රජවරුන්ට සිටියේ නැහැ. ඊට හේතුව වුණේ රජු සෑම අවස්ථාවකදීම භික්ෂූන් වහන්සේලාගෙන් උපදෙස් සහ අනුශාසනා ලබාගන්න කටයුතු කිරීමයි. ඒ අනුව භික්ෂූන් වහන්සේලා රජුට උපදෙස්, අවවාද, අනුශාසනා නිරන්තරයෙන්ම ලබාදුන්නා. ඒ වගේම ඒවා නිසි ආකාරයෙන් පිළිනොපැද වැරදි කරමින් ජනතාව
පීඩාවට පත් කරනවා නම් භික්ෂූන් වහන්සේලා රජුට ලබාදුන්න බරපතළම දඬුවම වුණේ ඔහුගේ දානය ප්‍රතික්ෂේප කිරීම හෝ එම ප්‍රදේශය අත්හැර යාම. ඒ තරම් පෞරුෂයක්, බලයක් එවකට භික්ෂූන් වහන්සේලා සතුව තිබුණා. නමුත් භික්ෂූන් වහන්සේලා කිසිදු අවස්ථාවක රාජ සභාවට
ඇතුළු වෙමින් දේශපාලනයට සෘජුව මැදිහත්වීමක් සිදුකළේ නැහැ. සමහර අවස්ථාවලදී සංඝයා වහන්සේලාව තනතුරුවලට පත් කරන්න රජතුමා විසින් කටයුතු කළත්, උන්වහන්සේලා ඉතාමත් ස්වාධීනව එම කටයුතු සිදුකර තිබෙනවා. උදාහරණයක් විදියට %අභිධම්මික ගෝධට්ඨ^ හිමියන් ඉතාමත් යුක්ති සහගත ආකාරයෙන් නඩු විභාග කරන නිසා නඩු විනිශ්චයේදී උන්වහන්සේගේ උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත්කොට සලකනු ලැබුවා. ඒ වගේම දුටුගැමුණු රජුගේ හමුදාව ඉදිරියෙන් භික්ෂූන් වහන්සේලා ගමන් කිරීමට හේතු වුණේ රටත් ශාසනයත් ආරක්ෂා කිරීම රජුගේ අභිප්‍රාය වුණ නිසායි. උන්වහන්සේලාගේ ඒ මැදිහත්වීමේ අරමුණ වුණේ රට සහ ශාසනය ආරක්ෂා කරගැනීම මිසක වෙනත් පටු අපේෂාවක් නොවෙයි. සතුරු එළාරටත් සොහොනක් ඉදිකරලා ගරුත්වය දක්වන්න දුටුගැමුණු රජතුමා පොළඹවමින් ඒ සඳහා මගපෙන්වූයෙත් භික්ෂූන් වහන්සේලා විසිනුයි. ඒ ආකාරයෙන් රාජ්‍ය අර්බුදයකට මුහුණ දුන්න සෑම අවස්ථාවකදීම උන්වහන්සේලා මැදිහත් වුණේ තමන් වෙත සිවුපසයෙන් සංග්‍රහ කරන, ආක්‍රමණයකදී පීඩාවට පත් වන ජනතාව ආරක්ෂා කිරීම භික්ෂූන් වහන්සේලා තම වගකීමක් ලෙස සැලකූ නිසායි. උන්වහන්සේලාට කිසිදු ජාති, කුල, ආගම් භේදයක් තිබුණේ නැහැ. තමන් වහන්සේලාට තිබෙන පිළිගැනීම භාවිත කරමින් තමන් වෙත ප්රමුඛස්ථානයක් ලබාගන්න කටයුතු කළේ නැහැ.
අපි වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කළොත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සෘජු දේශපාලනයට ඇතුළත් වෙමින්, පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට යාම කිසිදු ආකාරයකින් සාධනීය තත්ත්වයක් ලෙස සලකන්නට හැකියාවක් නැහැ. එසේ වීමෙන් සිදුවෙන්නේ භික්ෂූන් වහන්සේ යම් පක්ෂයකට කොටුවෙමින් ඒ මතයන් සහ පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටීමට යාම පමණයි. අපේ නිදහස් ව්‍යාපාරයට සහ ජාතික අරගලයට කැපවුණු ගරුතර සංඝයා වහන්සේලාගේ මතය වුණේ %දේශපාලනය කරන්නේ ජනතාවගේ හිත සුව පිණිස නම් එය කුමන නමකින් හැඳින්වුවත් අපි ඒ දේශපාලනයේ සිටිය යුතුයි^ යන්නයි. ඒ ආකාරයෙන් උන්වහන්සේලා දේශපාලනයට මැදිහත් වුණත්, පක්ෂයක් නියෝජනය කරන ආයතනවල සාමාජිකයන් බවට පත් වුණේ නැහැ. මේ රටේ මුල්කාලීන දේශපාලඥයන් ගත්තොත් ඒ සියලු දෙනාම පාහේ හොඳ ආර්ථිකයකට හිමිකම් කියන, සමාජයේ ප්‍රභූ පැලැන්තිය නියෝජනය කරන සහ හොඳ සමාජ පිළිගැනීමක් සහිත අය වුණා. ඒ නිසා දේශපාලනයේ නිරත වීමෙන් ඔවුන් අපේක්ෂා කළේ කීර්තිය උපයා ගැනීම පමණයි. නමුත් පසුකාලීනව, විශේෂයෙන් 70 දශකයේ මැද භාගයෙන් පසුව පැවැති දේශපාලනයේ ප්‍රමුඛතම අරමුණ බවට පත් වුණේ කීර්තිය උපයාගැනීම වෙනුවට හුදෙක් ධනය උපයා ගැනීමයි. සමාජ විරෝධී කටයුතුවල නියුතුවෙලා හිටපු පිරිස් කිසිදු බාධාවකින් තොරව මේ කාලයේ දේශපාලනයට අවතීර්ණ වුණා. අදටත් ඒ තත්ත්වයමයි දකින්න ලැබෙන්නේ. මේ ආකාරයට 1978 ව්‍යවස්ථාවෙන් පසුව සදාචාරාත්මක දේශපාලනය සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා ගියා. මේ වටපිටාව තුළ සේවයක් ලෙස සලකපු දේශපාලනය මහා වරප්‍රසාද ගණනාවක හිමිකාරීත්වය ලබාගත හැකි ඉල්ලමක් බවට පත් වුණා. මේ තත්ත්වය භික්ෂූන් වහන්සේලාටත් වෙනසක් වුණේ නැහැ. මොකද භික්ෂූන් වහන්සේලා නිර්මාණය වන්නේ පවතින සමාජ සංදර්භය තුළ මිසක වෙනත්
ලෝක වලින් නොවන නිසා. මුල් කාලයේ භික්ෂූන් වහන්සේලාට සිදුවෙමින් යන දේශපාලන පරිහානිය වළක්වන්න මැදිහත්වීමට සත්‍ය උවමනාවක් තිබුණා. ඒ කාරණාව ඉදිරිපත් කරමින් සමහර පැවිදි පිරිස් වෙනත් අරමුණු මත සෘජු දේශපාලනයට ඉදිරිපත් වුණා. මෙය තමයි බුද්ධශාසනයට මෑතකාලීනව සිදුවුණු දරුණුතම හානිය. ඒ සමගම එතෙක් කාලයක් මහා පෞරුෂයකට උරුමකම් කියූ භික්ෂූන් වහන්සේලා තවත් දේශපාලඥයෙක් පමණක් වුණා. මෙය කාලිංග මාඝ, දොන් ජර්නිමෝ ද අසවේදු බුදුසසුනට කරපු හානියටත් වඩා බරපතළයි. හේතුව ඒ සෑම හානියක්ම එල්ල වුණේ බාහිරින් වුණත් මේ හානිය ඇති වුණේ අභ්‍යන්තරයෙන්. සමහර අවස්ථාවල අපිට හිතෙන දෙයක් තමයි මෙම සිදු වීම බෞද්ධ භික්ෂූන් වහන්සේලා අපහාසයට
පත් කරන්න, උන්වහන්සේලාට මෙරට තිබුණු ස්ථානය අහිමි කරන්න, සමච්චලයට පත් කරන්න ඇතැම් භික්ෂූන් වහන්සේලාගේම දැනුවත් හෝ නොදැනුවත්භාවයෙන් යුතුව සිදුවුණු කුමන්ත්‍රණයක්ද කියන කාරණය. කියන්න කොතෙකුත් සාධාරණ හේතු තිබුණත් සංඝයා වහන්සේලා මේ ආකාරයට දේශපාලඥයෙක් වීමට යාම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කිරීමට නොහැකියි.
අතීතයේදිත් මෙවැනි අවස්ථා මතු වුණා. නමුත් ඒ අවස්ථාවල ශාසන භාරධාරී මහ තෙරුන් වහන්සේලා සහ රජතුමා ඒ තත්ත්ව වලට මැදිහත්වීම් සිදුකළා. භික්ෂූන් වහන්සේලා අතර පරිහානිමය ලක්ෂණ මතු වූ ආකාරයත්, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත හැකි පියවරත් පොළොන්නරු කතිකාවත, දඹදෙණිය කතිකාවත වැනි සෙල්ලිපිවලත් පැහැදිලි කර දී තිබෙනවා. මේ ආකාරයෙන් කථිකාවක් නිර්මාණය කර ගැනීම මගින් ශාසන ශෝධනයක් සිදුකිරීම ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ මේ සඳහා මූලිකත්වය ගන්නේ කවුද කියන කාරණයයි. බෞද්ධ භික්ෂූන් වහන්සේ කියන චරිතය දුසිල්වත්ය, අන්තගාමීය යන වැරදි මතය සමාජයේ බහුතරයකගේ මතය බවට පත් වෙන්නට පෙර මේ සඳහා සාධනීය සහ දේශපාලනික අරමුණකින් තොර ඉක්මන් පියවරක් ගැනීම ඉතා වැදගත් වෙනවා*
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd