බුදුදහම විකෘති වන ආකාරයට ඇතැම් චීවරධාරීන් විසින් විවිධ අදහස් මත සහ ධර්ම දේශනා පවත්වන්නේ යැයි ජනතාවගෙන් චෝදනාවකි. මෙය බුදුදහමේ පැවැත්මට සහ අනන්‍යතාවට බලවත් තර්ජනයකි. මේ ඒ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ මහ ලේඛකාධිකාරී කාරක සංඝසභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග කෙරෙන අදහස් විමසුමකි.
බුදුදහම විකෘති වන ආකාරයට ඇතැම් චීවරධාරීන් විසින් විවිධ අදහස් මත සහ ධර්ම දේශනා පවත්වන්නේ යැයි ජනතාවගෙන් චෝදනාවකි. මෙය බුදුදහමේ පැවැත්මට සහ අනන්‍යතාවට බලවත් තර්ජනයකි. මේ ඒ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ මහ ලේඛකාධිකාරී කාරක සංඝසභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග කෙරෙන අදහස් විමසුමකි.
Q බුද්ධ වචනය වැරදි ආකාරයෙන් අර්ථ ගන්වමින් රට පුරා ප්‍රචලිත වන බවට ඇතැම් සැදැහැතියන් චෝදනා කරනවා?
උදාහරණයකින් පටන් ගන්නම්. මේ බුදුන්ගේ දේශයයි යනුවෙන් තැන තැන දකින්න ලැබෙනවා. මේ රට බුදුන්ගේ දේශය වුණා නම් හොඳයි. නමුත් බුදුන්වහන්සේ උපන් දේශය මෙය නොවෙයි. ඇතමුන් මෙය බුදුන්වහන්සේගේ දේශය හැටියට හඳුන්වාදීම මම දකින්නේ බුදු උපතේ සත්‍ය වසන් කිරීමක් හැටියටයි.
Q ඒ ඇයි?
මේ මතය බිහිවීම නිසා සිදුවන්නේ බුදුන්වහන්සේගේ උත්පත්තිය පිළිබඳ යම් අවිනිශ්චිත තත්ත්වයක් ජනතාව තුළ ඇති කරවීමයි. දීර්ඝ කාලයක් තිබුණු විශ්වාසය අනුව බුදුන්වහන්සේගේ ඡන්ම භූමිය දඹදිව හැටියට අප විශ්වාස කරනවා.
එම මතය වෙනස්වී එය ලංකාව වුණොත් මෙතෙක් කල් පැවැති ඒ ඵෙතිහාසික නිගමනයට මෙයින් බරපතළ හානියක් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි. එය අකාමකා දැමිය නොහැකි තරමේ විශාල හානියක් විය හැකියි. මෑතකදී පවා ලුම්බිණියේ කළ පර්යේෂණ මගින් ද බුදුන්වහන්සේගේ උපත එතැන සිදුව ඇති බව තහවුරු කළා.
Q එවැනි මත ඉදිරිපත් කරන්නේ කිනම් පදනමකින්ද?
බුදුන්වහන්සේ අපේ රටේ ඉපදුණා නම් අපිත් කැමතියි. ඒ වුණත් එහෙම වෙලා නැහැ කියන දේ අවධාරණය කළ යුතුයි. මේවා කරන්නේ බුද්ධ චරිතයත් ත්‍රිපිටකයේත් සඳහන් ඇතැම් වචන තමන්ට අවශ්‍ය පරිදි අර්ථ ගන්වමින් යම් පිරිසක් විසින් තමන්ගේ ආත්ම ලාභය වෙනුවෙන් කියන දේ බව ජනතාව තේරුම් ගත යුතුයි.
මම උදාහරණ කීපයක් දැනට මුද්‍රණය කර ඇති මෙවැනි ව්‍යාජ ඇතැම් පොත පත අනුව පෙන්වා දෙන්නම්. ඉසින් බැස්සගල යන නමින් ගමක් තියෙනවා. එය ඉසිපතනය ලෙස විවරණය කරනවා. ගිනිගත්හේන කියන්නේ නන්ද කුමාරයා පිළිස්සුණු වැඳිරියක් පෙන්නුම් කළ ප්‍රදේශය හැටියට දක්වනවා.
උඩංගාව යනුවෙන් සුජාතා සිටු දියණිය කිරිපිඬු පූජා කළ තැන සහ පාත්‍රය පා කළ පසු උඩුගං බලා ගිය ප්‍රදේශය හැටියට පවසනවා. බෝ ගසක දලුපත් සූර්ය කිරණ නිසා විපර්යාසයකට ලක්වී සුදු පැහැවෙලා.එය ජය ශ්‍රී මහ බෝධිය හැටියට අර්ථ ගන්වනවා. බුදුන්ගේ ගම බුද්ගම යනුවෙන් විස්තර කරනවා.
Q මෙහෙම මත ප්‍රකාශ කරන්නේ කවුද?
මෑතකාලීනව ඒ කියන්නේ වයසින් මුහුකුරා ගොස් පසුකාලීනව ගිහි දිවිය අතහැර පැවිද්දට ඇතුළත්වූ ඇතමුන් මෙවැනි ප්‍රකාශ ජනගත කරන බවයි පෙනෙන්නට තියෙන්නේ. ඒ අයට සමාජයේ කුඩා කල සිට පැවිදි ජීවිතයේ පැවැත්මක් නැහැ. ඒ නිසාම පසුකාලීනව ලද පැවිද්ද ඒ අයට යම් හීනමානයක් වැනි තත්ත්වයක් ස්වභාවයෙන්ම ඇතිවෙනවා. එනිසා සමාජයේ කැපී පෙනීමේ ආශාව ඔවුන් තුළ තදින්ම තියෙනවා. ඒ කැපී පෙනීමේ මානසිකත්වය හේතුවෙන් වගකීමෙන් තොර ප්‍රකාශ කරනවා.
ඒ විතරක් නෙවෙයි. මිනිසුන් මුළාකරමින් ඔවුන් නොමග යවමින් ඔවුන්ගෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාර සහ සම්මාදන් මුවාවෙන් මුදල් අය කරනවා. මේවා සම්බුද්ධ ශාසනයේ පැවැත්මට විශාල හානියක්.
ඒ අය තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට අනෙක් භික්ෂූන් වහන්සේලා විවේචනය කරමින් බණ නිර්මාණය කරනවා. අපි හරියි, අර භික්ෂූන් වහන්සේලා වැරදියි කියන මතය ජනතාවට දෙනවා. බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා ටීකා ප්‍රතික්ෂේප කරනවා.
Q මෙවැනි සදොස් තැනි නිවැරදි කිරීමට ඔබවහන්සේලා ගෙන ඇති පියවර පැහැදිලි කළොත්?
මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය දැනුම්වත් කර තිබෙනවා. භික්ෂූන් වහන්සේලාගේ මගපෙන්වීම යටතේ බෞද්ධ ප්‍රකාශන සහ නියාමනය සඳහා වන පනත කෙටුම්පත් කළා. දැනට ලියවී ඇති එවැනි නොමනා සාවද්‍ය සහ බුදදහමට අවමානයක් වන පොතපත වෙනුවෙන් අධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
මෙවැනි ව්‍යාජ ඇතැම් චීවරධාරීන් මාර්ගඵල ලබා ඇති බවට පවසා සිටිනවා. රහත්වූ අයත් ඒ අතර ඉන්නවා. ඒ අය මම රහත් නිසා අන් අයට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී වශයෙන් මාර්ගඵල ලබාදෙන බවත් කියනවා. ඒ සඳහා ජනතාවගෙන් මුදල් අය කරනවා. බුදුරජාණන් වහන්සේ පවා කල්ප ලක්ෂයක් පෙරුම් පුරා පාරමිතාවන් ප්‍රගුණ කර බුද්ධත්වය අවබෝධ කරගත්තේ.
මෙලොව උපත ලබා වසර දෙක තුනකින් තමන් ද රහත්වී අනුන්ට මාර්ගඵල ලබාදෙනවා යැයි කියන කතාව පිළිබඳ ජනතාව අවබෝධයෙන් සිතා බැලිය යුතුයි.
Q මෙවැනි අය ශාසනයට සිදුකරන හානිය වෙනුවෙන් වියත්ධර ගෞරවනීය භික්ෂූන් වහන්සේලා නීතිමය පියවර නොගෙන නිහඬව සිටින්නේ ඇයි?
මෙතැන නීතිය ඉදිරියේ යම් තර්කයක් මතු වෙනවා. අධිකරණය පවසන්නේ රහත් යන වචනය හෝ මාර්ගඵල ලැබුවා යැයි කියන සම්බන්ධයෙන් මතුවනවා. එය ලැබූ බව හෝ නොලැබු බව පිළිගැනීමට නීතිමය ප්‍රතිපාදන ඇතුළත්ව නැති නිසා මෙහිලා ගත හැකි පියවරක් නැති බවට තර්කයක් මතුවෙනවා.
Q මෙතන භික්ෂු විනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නේද?
මෙතැන තියන්නෙ බුදුදහමේ තියෙන අසීමිත නිදහස සහ විවෘත බවයි. ඒ නිදහස සහ විවෘත බව තමන්ගේ මූල්‍ය සහ ආත්ම ලාභයට යොදාගනිමින් බුද්ධාගම විකෘති කර අවස්ථාවට ගැළපෙන පරිදි ජනතාව මුළාකර මුදල් ඉපැයීමත් කීර්ති ප්‍රශංසා නම්බුනාම ගෞරවය සොයා යාමේ උත්සාහයක් මෙතැන තියෙන්නේ.
අනික ලංකාවේ පවතින්නේ ථේරවාදී බුදු දහමයි. ථේරිය සම්ප්රදාය කියලත් එයට කියනවා. ථේරිය සම්ප්රදාය ගරු කරන පාර්ශවය මුල් බුදු සමය වෙනස් කිරීමට එකඟ නොවූ පිරිසක්. බුදුන්වහන්සේ පැනවූ දේවල් අප වෙනස් කර ගත යුතු නැතැයි යන මතය ඒ අය තුළ තිබෙනවා. ඒ අය අයත් වන්නේ විනයට අධිපති උපාලි හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවටයි. සාම්ප්‍රදායික වශයෙන් ගලාගෙන යන ඒ පැවැත්ම රටක් මෙන්ම පැවිදි පරපුරටත් තියෙනවා. ඒකයි මහා විහාර වංශය යනුවෙන් හඳුන්වන්නේ.
එදා උපසම්පදාව වෙනස් වුණාට භික්ෂූන් වහන්සේලා හිටියා. විනය කටයුතු කරගැනීමට නොහැකි හේතු තිබුණා. එහෙම වුණත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ සම්ප්රදාය රැකගත්තා. මහාවිහාර වංශයට අවිච්ඡින්න ඉතිහාසයක් තියෙනවා.
භික්ෂූන් වහන්සේලා දායකයන් රැකබලා ගත යුතුයි. දායකයන් සංඝයා වහන්සේලා රැකබලා ගත යුතුයි. භික්ෂූන් වහන්සේලාගේ ගමන වේගවත් ගිහියන්ගේ ගමන හෙමින්. ඒ අයගේ දුක කෙළවර තරමක් දුරස්වන්නේ ගිහි ජීවිතය සමග ඒ අර්බුද ජය ගත යුතු නිසා.
Q පොදුවේ ඇතැම් භික්ෂූන් වහන්සේලාටත් දායකයන්ගෙන් යම් යම් චෝදනා එල්ලවනවා නේද?
වර්තමාන තත්ත්වය ගත්තාම හැලහැප්පිලි මැද භික්ෂූන්ට කටයුතු කිරීමට සිදුව තිබෙනවා. අද මහණ කරවීමට දරුවන්ගේ හිඟයක් තියෙනවා. ඉන්න අයගෙත් යම්යම් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩුකම් නිවැරදි කරගනිමින් යහපත් දේ ඉදිරියට තෝරාදෙමින් කටයුතු කිරීමට සිදුව තිබෙනවා. උන්වහන්සේලාගේ හොඳ පැත්ත ජනතාව අවබෝධ කරගත යුතුයි.
මිගෙට්ටුවත්තේ හිමියන් වාදය සඳහා පැමිණියහොත් පහර දෙන බවට ලද තර්ජන නිසා සිවුරු ගලවා පොට්ටනියක් කර හිස මත තබාගෙන සරමකින් සැරසී වාද පිටියට ගියා. ඒ ශාසනය වෙනුවෙන් කළ යුතු වගකීම ඉටුකිරීමටයි. එවැනි කැපකිරීමට භික්ෂූන් වහන්සේලාට වගකීමක් තියෙනවා.
නමුත් සංවිධානාත්මකව බුදුදහමට මුවාවී ව්‍යාපාරික බවට බුදුදහම පත්කරගෙන චීවර දරමින් ජනතාව නොමග යවන භික්ෂූන් ගැන ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ගුණධර්ම යැයි බොරුව දක්වා ක්ෂණිකව ලැබෙන ප්රතිලාභ ගැන හිතන එක සැබෑ භික්ෂුවකට තබා ගිහියෙකුට වත් සුදුසු වන්නේ නැහැ.
Q ජනතාවගේ වගකීම කුමක් ද?
රැල්ලක් හැටියට නොව ජනතාව අවබෝධයෙන් සොයා බලා තීරණය කර බුදුදහමේ දැක්ම ආදර්ශය සහ පැවැත්ම පිළිබද තීරණ ගත යුතුයි. වෙසක් දිනය ඒ සඳහා තවත් අනුබලයක් කරගත හැකි දිනයක් බවට සළකුණු කර ගත හැකියි.