Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී 2015 පෙබරවාරි මස බැඳුම්කර නිකුතුවේදී සිදුවී යැයි පවසන වංචාව සම්බන්ධ කෝප් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදය ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.
විවාදය ආරම්භයේදී කථානායකවරයා සඳහන්කර සිටියේ පුද්ගල චරිත ඝාතනයකින් තොරව කරුණු මත පදනම්ව විවාදයට එක්වන ලෙසය. කෙසේවුවද බැඳුම්කර සිදුවීම සම්බන්ධ විවාදය ආරම්භයේ උණුසුම් විය. මෙම විවාදයේදී මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් මෙසේය.
බැදුම්කර වංචනිකයන්ට දඬුවම් දීම කථානායකවරයාගේ අතට ගෙන ක්‍රියා කළ යුතුයි
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව මුලින්ම පරීක්ෂණයක් දියත්කරන ලෙස අපි ඉල්ලා සිටියත්, එය සිදුවූයේ නැහැ.
මෙම ගනුදෙනුවේ මුළු පදනමම සකස් වී තිබෙන්නේ ගනුදෙනු ක්‍රමවේදය වෙනස් කිරීමට භාජනය කිරීම නිසා. එයට අගමැතිවරයා උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තුවේදී පැවසුවා. විධිමත් ආයතනයක් හරහා මෙම පරීක්ෂණ කටයුතු යොමුකිරීම කළ යුතුව තිබුණා. නමුත් නීතිඥ තිදෙනාගේ කමිටුව සැබෑ ගනුදෙනුව වසන් කරගැනීමේ කමිටුවක්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා කෝප් කාරක සභාව තුළ ඩීව් ගුණසේකර මහතාගේ සභාපතීත්වයෙන් යුතුව වාර්තාව අහෝසි වුණා.
නව පාර්ලිමේන්තුවේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නව කෝප් කමිටුව පත්වෙනවා. මෙයත් විවිධ දෙනා විවිධ ලෙසින් අර්ථකථනය කරන්න ගත්තා. අපි සතුටු වෙනවා මෙම ගනුදෙනුව යටපත් කිරීමට ඉඩනොදීමට හැකිවීම පිළිබඳව.
පෙබරවාරි 27 බැඳුම්කර පරීක්ෂණයේ මහබැංකුවේ ගනුදෙනු පිළිබඳ නියැදි පරීක්ෂණයක් සිදුකරනවා. බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පචුවල් ටෙෂරීස් සමාගම සිදුවීමේ සිට මාස 23ක් ඇතුළත මිලියන 13000ට වඩා ලාභයක් උපයලා . කුඩු විකිණුවත් මාස 23ක් ඇතුළත මෙතරම් ලාභයක් හොයන්න බැහැ. බැඳුම්කර වෙළෙඳපොළේ අනිකුත් සමාගම්වල වත්කම් වැඩි වී තිබෙන්නේ 31%න්. නමුත් පර්පචුවල් ටෙෂරීස් සමාගමේ වත්කම් 1853%කින් වර්ධනය වී තිබෙනවා. මේ තුළ මෙම අයථා ගනුදෙනු සැඟවී නැද්ද?
මෙම සමාගමේ සේවකයන් ඉන්නෙ 14යි. ඒ තුළින් නිපුණතාවය ඇති අය ඉන්නේ 05යි. මෙය පරීක්ෂාවට භාජනය කළයුතු නැද්ද? මෙම සමාගම තුළ වංචා කළ මුදල් තිබෙන බව පැහැදිලියි. මෙම වංචාවට හවුල් වූ පුද්ගලයන් පිළිබඳව කෝප් වාර්තාව තුළ අන්තර්ගත කර තිබෙනවා.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඊට අදාළ නිළධාරීන්ට අදාළ නීතිය ක්‍රියාත්මක කළයුතු බව ඒ තුළ දැක්වෙනවා.
මෙම වංචනික ක්‍රියාවලිය දියත් වී ඇති ආකාරය කෝප් වාර්තාව තුළ පැහැදිලිවම දක්වා තිබෙනවා. මෙම ගනුදෙනුව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට කෝප් කමිටුව තුළ විගණකාධිපතිවරයා දැඩි ලෙස කැප වුණා. මේ නිසාම විගණකාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක් කළා. කෝප් සභාවේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පැහැදිලිවම අඩපණ කිරීමට උත්සාහ කළා.
මෙම ගනුදෙනුව නිසා එක් දවසකට ආණ්ඩුවට මිලියන 1674ට වැඩිය අලාභයක් සිදුවෙලා. මේ ගනුදෙනුව පිළිබඳව තොරතුරු හවුල්කරුවෝ වගේම වංචා කරන ලද ධනය තිබෙනවා. නමුත් අගමැතිවරයා සහ ආණ්ඩුව මෙතැන ඉන්න නිසා පරීක්ෂණ කටයුතු අඩපණ කරනවා.
අගමැතිවරයා සහ ආණ්ඩුව මෙතැනින් අයින් වෙන්න. පරීක්ෂණ හොඳින් සිදුවී වරදකරුවාට දඬුවම් ලබාදිය යුතුයි. තිනියාවල පාලිත හාමුදුරුවො මෙම වාර්තාව අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අවසානය දක්වාම මෙම ගනුදෙනු සඳහා ගන්නා ක්‍රියාමාර්ග අඩපණ කරන්න කටයුතු කළා.
ජනපති කොමිසමට ස්තුතිවන්ත වෙනවා. නමුත් වසර දෙකක් ගතවනතුරු, කෝප් වාර්තාව එනතුරු, මෙම විවාදය එනතුරුම ඉන්න තිබුණාද? මෙම පරීක්ෂණය සඳහා කොමිෂන් සභාව පමා කළේ ඇයි?
මෙම ගනුදෙනුව හරහා විශාල මූල්‍ය පාඩුවක් සිදුව තිබෙනවා. ඒ නිසා මෙහි වගඋත්තරකරුවෝ නීතිය හමුවට කැඳවිය යුතු නැද්ද? සාම්ප්‍රදායික ක්‍රියාවලිය තුළ මෙය සිදුකළ හැකිද? මෙම හොරකම ඉතා හොඳින් හෙළිදරව් වී තිබෙනවා.
ඒ වගේම පර්පචුවල් ටෙෂරීස් සමාගම ප්‍රාථමික ගැනුම්කර තත්ත්වයෙන් ඉවත් කළ යුතුයි. මෙම ගනුදෙනුවේ ප්‍රධානතම ආරක්ෂකයා බවට අග්‍රාමාත්‍යවරයා පත්ව තිබෙනවා. වංචනිකයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය කථානායකවරයාගේ අතට ගෙන ක්‍රියා කළ යුතුයි.
බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න බැරිනම් විධායක ජනාධිපති ධුරයෙන් වැඩක් නැහැ
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන
මෙම වංචනිකයන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි කියලා මම කියනවා. ඒකට ඒකාබද්ධ විපක්ෂය සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. එදා බැඳුම්කර සම්බන්ධ මහබැංකුවේ 9.5% තිබුණු පොලිය 12.5% දක්වා වැඩි කළා. එය මේ වෙනකම් අඩුකරගන්න බැරිවෙලා. මුළු මූල්‍ය වෙළෙඳපොළම වට්ටලා තියෙනවා. මේ මහා බැංකු මංකොල්ලය මේකට හේතු වුණා.
ලංකා බැංකුව වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙක් වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට ලංසු තිබ්බා. කොහොමද ලංකා බැංකුව මෙහෙම දෙන්නේ.
සමාගම පටන් ගත්තේ 2013දී. එතකොට තිබුණු මිලියන 300යි. ප්‍රාථමික ගනුදෙනුකරුවෙක් ලෙස 2014දී ගන්න පුළුවන් උනේ මිලියන 27යි. මේ වන විට ශුද්ධ ලාභය කෝටි 1000යි. රවී කරුණානායක ඇමතිතුමා, ඉතාම කෙටි කාලයක් තුළ ශුද්ධ ලාභයක් ගත්තු මෙම සමාගමට සුපිරි බද්දක් අයකරන්නේ නැද්ද?
මෙම සමාගම බැංකු ආයතන, රක්ෂණ ආයතන මිලදී ගන්නවා. පුවත්පතක් මුද්‍රණය කිරීමට මාධ්‍ය ප්‍රධානීන් මුද්‍රණය කර අවසන්. මේ වනවිට මේ ආයතනයට තමන්ගේ වත්කම කෝටි 2600යි. මහ බැංකුවේ මහ දවල් කොල්ල කාපු අයට කිසිම දෙයක් වෙන්නෙ නැත්ද?
මෙම සමාගම මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවෙක් ලෙස තිබෙන බලපත්‍රය පවා අහෝසි කරන්න මේ ආණ්ඩුවට පුළුවන්කමක් නැතිවුණා. හොරුන්ට දඬුවම් දීම වහාම ක්‍රියාත්මක කරන්න . එහෙම කරන්න බැරිනම් විධායක ජනාධිපති ධුරයෙන් වැඩක් නැහැ
පසුගිය ආණ්ඩුවේ කෝප් වාර්තා 40ක් තිබ්බා. එකක් වත් නීතිපතිට යැව්වේ නැහැ
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල
හොරුන්ට දඬුවම් දෙන්න ඕන. ඒක පාර්ලිමේන්තුවට කරන්න බැහැ. අධිකරණය කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා. නමුත් තීන්දුව පිළිබඳ කෝප් කම්ටුව අඹමල් රේණුවක සැලකිල්ලක් කරලා නැහැ.
විපක්ෂය ගණනය කරලා චංචාවක් පිළිබඳ කිව්වා. මනඃකල්පිත පූර්ව උපකල්පන මතයි ඒ ගණනය කළේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඒක ප්‍රතික්ෂේප කළා. පාඩුව මනඃකල්පිතයි කියලයි කිව්වේ. පසුගිය ආණ්ඩුව කාලේ බැඳුම්කර සියල්ල දුන්නේ මේසෙ යටින්. මේ ආණ්ඩුව තමයි ප්‍රථම වතාට ඒක ප්‍රසිද්ධ වෙන්දේසියකට ගෙනාවේ. අපිට හංඟන්න කිසිම දෙයක් නැහැ.
පසුගිය අවුරුදු කාලේ කෝප් වාර්තා 40ක් තිබ්බා. ඒ එකක් වත් නීතියට යැව්වෙ නැහැ. කෝප් කමිටුවේ වගකීම මොකද්ද කියලා වරදවා වටහාගෙන තියෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනුව කෝප් කමිටුවට කිසිම දවසක නඩු දාලා නැහැ. හෙළිදරව් කිරීම සහ ලැජ්ජා කිරීම තමයි කරන්නේ. මෙම වාර්තාව නීතිපතිට යවලා තියෙනවා. නීතිපති තුමා දෙන නිර්දේශය අපි පිළිගන්නවා. අපි බය නැහැ.
රජයේ මුදල් අවභාවිත කරන්න කාටවත් බැහැ
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්
මිනිස්සුන්ට දැන් මේක ඇතිවෙලා. දෙගොල්ලොම කරන්නේ එකම දෙයක්. වරදකරුවන්ට දඬුවම් දිය යුතුයි. නමුත් මේ දේ අපේ රටේ සිදුවුණේ නැහැ. අධිකරණයේ දූෂණ චෝදනා ලබපු අය ඉතාම සුළුවෙන් ඉන්නේ. එජාපය, නිදහස් පක්ෂය මේ දේවල් වලට සම්බන්ධයි. මේක තමයි ඇත්ත. ඒකාධිපතිවාදයක් හරහා ගමන් කරමින් සිටි මේ රටේ දැන් දූෂණ වැඩි වෙලා.
පහුගිය ආණ්ඩු කාලේ තිබුණු දූෂණය ගැන බොහෝදෙනා කතා කරනවා. නමුත් වරදකරුවන් බේරාගන්නද ආණ්ඩුව උත්සාහ කරන්නේ. ජනතාව මේ දේවල් දැනගත යුතුයි. දූෂණය හේතුවෙන් රට පීඩාවට ලක්වෙලා. මේ සිදුවීම නිසා මහ බැංකුවේ කීර්තිය අහිමි වෙලා.
ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පත්කරලා සත්‍ය සොයාගන්න කියලා මම රජයට යෝජනා කරනවා. වරදකරුවෝ කවුරු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. රජයේ මුදල් මේ ලෙස අවභාවිත කරන්න කාටවත් බැහැ.
2013 – 2014 කාලයේදී තමයි රටේ විශාල මුල්‍ය වංචාව සිදුවෙන්නේ
ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්
බැඳුම්කර නිකුතුව ප්‍රසිද්ධ වෙන්දේසියේ සිදුකළේ. මහබැංකුවේ ඥාතිකම් තිබීමේ පළමු වතාව මෙය නොවෙයි. කබ්රාල් මහතා අධිපතිව සිටියදී ඔහුගේ සහෝදරිය වසර හතක් පමණ පර්පචුවල් ටෙෂරීස් එකේ හිටියා. නමුත් කිසි කෙනෙක් කතා කළේ නැහැ. කිසිම විටක රජය මේකට හරස්වෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂය මේකට හරස් වෙන්නේ නැහැ.
බැඳුම්කර නිකුතුවේ මූලධර්මයක් තියෙනවා. ඒක දන්නේ නැතුව බොරු තර්ක පිළිබඳ කියන කතා පිළිගන්න බැහැ. පසුගිය සමයේ මේ රටේ මූල්‍ය පද්ධතිය දෙදරීමකට ලක්කර තිබෙනවා. ඒක විපක්ෂය පිළිගන්න ඕන. අපේ පැත්තෙන් වරදක් උනාම කතා කරනවා වගේම දැන් විපක්ෂය එදා කතා කළේ නැහැ.
කෝප් වාර්තා කිහිපයක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් උනත් එකක්වත් කතා කළේ නැහැ. එදා අර්ථසාධක අරමුදලට කරපු වංචාව පිළිබඳ කතා කළේ නැහැ. ආයතන කිහිපයක කොටස් වැඩි මිලට ගෙන පාඩුපිට විකුණන්න උනා. ඒ වෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපති, කබ්රාල් මහබැංකු අධිපති. කෝ ඒවට ජනාධිපති කොමිසම්. විවෘත වෙළෙඳ මෙහෙයුම් ක්‍රමවේදය තුළ මේ යටතේ අඩුපාඩු සිදුවෙලා තියෙනවා. නමුත් පාඩුව තක්සේරු කරන්න බැහැ තවම.
2013 - 2014 තමයි රටේ විශාලම මූල්‍ය වංචාව සිදුවෙන්නේ. ඒ එන්ට්‍රස් සිකියුරටි සමාගම සිදුකරපු වංචාව. කෝටි 1200 අතුරුදහන් වෙලා තියෙනවා. ඒක කාගෙද. විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ අර්ධසාධක අරමුදලෙන් කෝටි 250ක් හොරකම් කරලා. සමුපාකර සමාගමෙන් මිලියන 250ක් ගත්තා. නමුත් මේ සම්බන්ධ කිසිම පරීක්ෂණයක් කෝප් කමිටුව සිදුකළේ නැහැ.
එන්ට්‍රස් සමාගම කාල්ටන් රග්බි තරගවලට උදව් කළා. වෙස්ටස් වොරියස් ක්‍රීඩා සමාජය මේ සමාගමේ. යෝෂිත රාජපක්ෂ තමයි මේ ක්‍රීඩා සමාජයේ සභාපති. මෙතන තියෙන්නේ වංචාව නෙවෙයිද. මේවට භාවිත කරන්නෙත් රජයේ සල්ලි.
නිදහස් පක්ෂය වංචා වහන්න උත්සාහ කරන්නේ නැහැ
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
අපි විපක්ෂයේ ඉද්දි තමයි මේ සම්බන්ධයෙන් මහබැංකුව වට කළේ. විගණකාධිපතිතුමා මේ සම්බන්ධයෙන් විශාල මඟපෙන්වීමක් කළා. කෝප් වාර්තාවේ සෑම කරුණක් සමගම එකඟ වෙනවා. කිසිවක් අභියෝගයට ලක්කරන්නේ නැහැ. හුදෙක් එය නීතියට යැවීමෙන් පමණක් සාධාරණය කරගන්න පුළුවන්ද.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මෙම වංචා වහන්න හදන්නේ නැහැ. එදා හිටපු ඒ ස්ථාවරයේ පැහැදිලිව ඉන්නවා. මාස තුනක් ඇතුළත කොමිෂන් සභාවේ වැඩකටයුතු අනුව වාර්තා කරන්න ජනාධිපතිතුමා නියෝගකර තිබෙනවා. නීතිපතිවරයාටත් වඩා පුළුල් ලෙස ප්‍රසිද්ධියේ සිදුකරන්න කොමිෂන් සභාවට පුළුවන්.
මහ බැංකු කොල්ලයක චෝදනාව අගමැතිට යොමුවන්නේ ඉතිහාසයේ පළමුවරට
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
ඉතිහාසයේ පළමු වතාවට තමයි අග්‍රාමාත්‍යවරයකුට මහබැංකුව මංකොල්ල කාපු චෝදනාව යොමු වෙන්නේ. සිංගප්පූරු රටවැසිභාවය තියෙන පුද්ගලයාට අධිපතිකම දුන්නේ මේ මංකොල්ලය සිදුකළ යුතු නිසාමයි. මේ තමයි මේ රටේ ඉතිහාසයේ සිදුවුණ විශාලම මංකොල්ලය.
ජනවාරි 08 ට කලින් ජනතාව රවට්ටලා ආපු තක්කඩි හොර රැළ අද බොරුවට කෑගහනවා. රටේ නීතියේ සාධාරණත්වය ගැන කතා කරන්න දෙයක් නැහැ. අර්ජුන ඇලෝසියස් හොරා කාපු සල්ලි වලින් මාධ්‍ය ආයතන මිලදී ගන්නවා. ඒ හරහා අගමැතිගේ ප්‍රතිරූපය හදන්න හදනවා.
ශ්රීක් බැදුම්කර ගැන නිසි කතාවක් නැහැ
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ
මේ බැඳුම්කර සිදුවීම සමබන්ධයෙන් ආණ්ඩුවක් විදිහට කරන්න තිබෙන දේවල් සියල්ල කරලා තියෙන්නේ. කරලා නැත්තේ පේන බලල නැති එක විතරයි. නිවැරදි නීතිය යටතේ පරීක්ෂණ කරලා තියෙනවා. ඒ පරීක්ෂණ ඉදිරියට යන්න උදව් කරන්න. අපි කිසිවකට බාධා කරන්නේ නැහැ. පහුගිය කාලේ අජිත් නිවාඩ් කබ්රල් කෝච්චි රවුම් දැම්මා. සල්ලි නාස්ති කළා. ඒවට ගත්තු ක්‍රියාමාර්ග මොනවද?
ශ්රීක් බැදුම්කර ඇතුළු පහුගිය ආණ්ඩුව කාලේ හංඟපු කෝප් වාර්තා 40ම මේ විදිහට කතා කළ යුතුයි . එදා කොන්දක් තිබ්බෙ නැහැ මේවා කතා කරන්න.
අර්ජුන් මහේන්ද්‍රන් උපදේශකකමෙන් අයින් කරන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ
යුඇන්පීකාරයෝ එකතුවෙලා බොහොම අමාරුවෙන් ආණ්ඩුවක් ගත්තා. මේ හතර දෙනෙක් එකතුවෙලා මේ ආණ්ඩුව විනාශ කරනවා. එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කරනවා.
බැඳුම්කර මගඩිය හොයන්න ජනාධිපතිතුමා කොමිසමක් පත්කළාට ස්තුතියි. අදත් මහබැංකු අධිපති කුමාරස්වාමි නොවෙයි. අදත් අධිපති අර්ජුන් මහේන්ද්‍රන්. ඒ නිසා මේ පරීක්ෂණ හරියට කරන්න නම් අගමැතිතුමාගෙන් මහබැංකුව ඉවත් කරන්න.
අමරවීර ඇමතිතුමාට කියනවා පරීක්ෂණයට මොකද වුණේ කියලා අල්ලස් කොමිසමෙන් අහන්න කියලා. අර්ජුන් මහේන්ද්‍රන් උපදේශකකමෙන් අයින් කරන්න. මේ වගේ දූෂිතයන් ආණ්ඩුවේ තියාගන්න එපා. එදා හොරු විතරක් නෙවෙයි හෙට හොරුත් අල්ලන්න.
අපි එදා ඉඳලා හොරකමට විරුද්ධයි
ධීවර හා ජලජං සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර
පහුගිය ආණ්ඩුව වැඩියෙන් හොරකම් කළත් ඒකත් වැරදියි. මේ ආණ්ඩුවට අඩුවෙන් හොරකම් කළත් ඒකත් වැරදියි. අපි එදා ඉඳලා හොරකමට විරුද්ධව කතා කළා. අද සංවර්ධනයේ අයිතිකාරයෝ බවට විදේශිකයෝ පත්වෙලා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම ජනතා විමුක්ති පෙරමුණත් ඒකට වගකියන්න අවශ්‍යයි.
මහබැංකුව බැඳුම්කර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කොමිසමක් පත්කළා වගේම ආණ්ඩුවේ වෙන වැරදි සම්බන්ධයෙන් එතුමා අවධානයෙන් ඉන්නවා. මේ ගනුදෙනුව නිසා පර්පචුවල් ටෙෂරීස් සමාගම විශාල ලාභයක් ලබාගත්තා. මේ මුදල් තහනම් කරන්න පුළුවන්ද කියලා හොයලා බලනවා. මේ සිද්ධියට පර්පචුවල් ටෙෂරීස් සමාගම වැරදිකරුවෝ උනොත් එහි සියලු දේපළ රාජසන්තක කරනවා. එයට අවශ්‍ය අණපනත් පවා ගෙන එනවා.
මූල්‍ය කටයුතුවලදී කරන හොරකම් හොයන්න අමාරුයි. ඒවට විශේෂඥ කමිටුවක් පත්කළ යුතුයි. විරුද්ධ පක්ෂය ආණ්ඩුවේ වැරදි හොයන්න අවශ්‍යයයි. නමුත් රට ආපස්ස හරවන්න යාම හොඳ නැහැ.
අපේ ආණ්ඩුවකදී අර්ජුන ඇලෝසියස් අත්අඩංගුවට ගන්නවා
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
ලංකා ඉතිහාසයේ දැවැත්තම මූල්‍ය චංවාව පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. ආණ්ඩුව බලයට ආවේ යහපාලනය ගැන කතාකරලා හොරු අලන්න එන න්‍යායෙන්. නමුත් බලයට ඇවිත් මාසයක් ඇතුළත විශාලතම මහ බැංකු මංකොල්ලය සිදුකළා.
මහ බැංකු මංකොල්ලය ගැන නිලධාරීන් ගෙනැවිත් ප්‍රශ්න කරන්න බැරි ඇයි? සේවක අර්ථසාධක අරමුදලේ අභ්‍යන්තර වාර්තාව කියන පරිදි එම ආයතනයට රුපියල් බිලියලන 15 ට වඩා පාඩු උනා. ජනාධිපතිතුමා දාපු කොමිෂන් සභාවෙන් මොකද කරන්නේ. තවත් වාර්තාවක් දෙන එක විතරයි.
ආණ්ඩුවට කෙළවෙනකම් වාර්තා හදනවා. නමුත් මේ චංචාවල අවසන් පියවර මොකද්ද. මේ රටේ ජනතාවගේ ආර්ථිකය කඩාවැටිලා ජීවන වියදම වැඩිවෙනවා. රටේ ආර්ථිකය කඩා වැටෙන්න මූලික හේතුව බැඳුම්කර මංකොල්ලය. විවිධ වංචා සොයනවා. හැබැයි බැඳුම්කර චංවාව නිසා වැරදිකරුවෝ වෙලා ඉන්න අය නිදැල්ලේ ඉන්නවා.
අපේ ආණ්ඩුව ආවට පස්සෙ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගන්නවා. මෙම මංකොල්ලයට අගමැතිවරයා වගකිව යුතුයි. මේවට කොමිෂන් පත්කර වැඩක් නැහැ. නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි.
මූල්‍ය වංචාවකට ජනාධිපති කොමිසමක් පත්කළ මුල්ම අවස්ථාව මෙයයි
අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත
2015 පෙබරවාරි 27 මේ සිදුවීම වෙද්දි අපි හිටියෙ විපක්ෂයේ. නමුත් අපි එදා ගත්ත ස්ථාවරය ආණ්ඩුවේ හිටියා කියල වෙනස් වෙන්නේ නැහැ. මෙම වංචාවට මහ බැංකු අධිපතිවරයා වගේම මහ බැංකුවේ නිලධාරීන් වගකිව යුතුයි කියන මතයේ අපි එදත්, අදත්, හෙටත් ඉන්නවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කිරීම තුළ මේ කටයුත්ත කල්දැමීමක් වෙන්නෙ නැහැ. ඉතිහාසය තුළ සිදුවුණ මූල්‍ය වංචා වාර්තාවලට සිදුවුණ දෙයක් නැහැ. මෙවැනි වංචාවකට ජනාධිපති කොමිසමක් පත්කරන මුල්ම අවස්ථාව මෙයයි. ඒ තුළ මෙම වාර්තා සියල්ල සාක්ෂි බවට පත්වෙනවා. ඒවා අධිකරණයේදී ඉදිරිපත් කළ හැකියි.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව නිසාම බැංකු පොළිය ඉහළ ගිහින් තියෙනවා. මේ නිසා රජයේ සහ මහ බැංකුවේ විශ්වාසය කඩා වැටිලා. බැඳුම්කර සිදුවීමෙන් පසුව ඔහුව උපදේශකකමේ තබාගැනීමට අපි විරුද්ධයි. ඒ වගේම 2015ට පෙර මෙවැනි දේවල් සිදුනොවුණා කියල ඇඟ බේරාගන්න බැහැ. කොමිසමට පුළුවන් මේ සියලු දේවල් හොයන්න.
අද හොරුන්ට ලැජ්ජාවත් නැහැ, බයත් නැහැ
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක
බැඳුම්කර සිදුවීම සම්බන්ධ කෝප් කමිටු වාර්තාව සැකසීමේදී කථානායකතුමා, කෝප් සභාපතිතුමා නිසි ගෞරවය ලබාදුන්නා. බැඳුම්කර චංචාව සිදුවුණාට පස්සෙ ඒක ආරක්ෂා කරන්න කරන වැඩපිළිවෙළ ගැන තමයි වැඩි අවධානයට යොමුවෙලා තියෙන්නේ.
මීට කලින් කෝප් කමිටුව වාර්තාවක් නිතුක් කළා. රාජ්‍ය ආයතන ගණනාවක කෝටි 3300ක පාඩුවක්. ඒ ගැන කතා කළේ නැහැ. ඒ වගේම මේ වංචාව වහන්න පසුගිය රජයේ වැරදි කියල වැඩක් නැහැ. වැරැද්දනම් කවුරු කළත් වැරැද්ද.
වෙන්දේසි ක්‍රමය සහ සෘජු ක්‍රමය නිසා ඇතිවුණ වැරැද්දක් කියලා ඇතැම් අය මතයක් හදන්න හැදුවා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් මේ බැඳුම්කර ක්‍රමවේදය ගැන කියන්න හැදුවා. 2005 අප්‍රේල් මාසයේ පටන් ලංකා ආණ්ඩුව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත්කර තිබෙනවා.
විගණකාධිපතිවරයා 2008 සිට සිදුවුණ බැඳුම්කර නිකුතු 2136ක් උපයෝගී කරගෙනයි ඒක හොයාගත්තේ. මෙම සෘජු ක්‍රමයෙන් අවස්ථා 57දී ලංකා ආණ්ඩුවට මුදල් ඉතිරිකර තිබෙනවා.
මේ වාර්තාව නීතිපතිතුමාට යවලා මගින්මගට නිරීක්ෂණය කරන්න. මේ උනන්දුව සෑම දූෂණයක් පිළිබඳවම තිබිය යුතුයි. ලෝකය පාලනය වෙන්නේ ලැජ්ජාව සහ බය නිසා කියලා බුදුහාමුදුරුවෝ කියල තියෙනවා. අද වෙලා තියෙන්නේ හොරුන්ට ලැජ්ජාවත් බයත් නැහැ. අද ඇමති කෙනෙක් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වුණේ ඇමති කෙනෙක් වෙලත් එයාගෙ අලලස් නඩුව නවත්වාගන්න බැරි වුණ නිසා.
බීජය සරුවට වැවුණහම සරු පොළොව ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා
තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලා කවුරුත් දන්නවා. පර්පචුවල් සමාගම ගැන මුලින්ම කතා කළේ මම. ඒ 2014 වසරේ. ඒක හැන්සාඩ්ගත වෙලා තියෙනවා. බීජය සරුවට වැවුණහම ඇයි ඒකට සහයෝගය දුන්නු සරු පොළාව ගැන කතා කරන්නේ නැත්තේ.
කෝප් වාර්තාව පිළිබඳ මහ බැංකු අධිපති සහ නීතිපති කතා කරලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් කරන්න පුළුවන් උපරිමය කරලා තියෙනවා. මහ බැංකුව විසින් පර්පචුවල් ටෙෂරිස් සමාගමේ ලාභය එළියට ගන්න බැරි විදිහට ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. සිවිල් නඩුවකින් වැරදිකරුවෝ උනොත් ඒම මුදල් රාජසන්තක කරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබෙනවා. පාද සටහන් තිබෙන කෝප් වාර්තාව සාධාරණ නම් පාද සටහන් අසාධාරණ වෙන්නේ කොහොමද. එයින් සිදුවී තිබෙන්නේ වාර්තාව ශක්තිමත් කිරීමක්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd