පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන දීමනා ප්‍රමාණවත් දීමනා නැති බව පවසමින් වැඩිකිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. ඒ පිළිබඳව රට තුළ සංවාදයක්ද ඇතිව තිබේ. අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ තමන්ගේ බිරිඳ තමන්ට වඩා වැටුපක් ලබා ගන්නා බවයි. මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන නිලරථ, දීමනා ඇතුළු පහසුකම් ප්‍රමාණවත් නොවන බවද අගමැතිවරයා එහිදී පවසා සිටියේය. රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා අලුතෙන් වාහන 58ක් ලබාදීමට සූදානමක් තිබියදී මන්ත්‍රී දීමනාව රුපියල් ලක්ෂයකින් වැඩිකිරීමටද සූදානමක් ඇතැයි වාර්තා විය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ දීමනාව සහ කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා ලබාදෙන දීමනාව වැඩිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාල දීමනාව රුපියල් ලක්ෂය දක්වා වැඩිවන අතර, පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව රුපියල් 500 සිට 2,500 දක්වා වැඩිකර තිබේ. අයවැය මගින් විවිධ බදු පනවා ඇති මොහොතක මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩිකර ගැනීම සාධාරණ දැයි ජනතා අදහස් විමසීමට අපි කටයුතු කළෙමු.
අප සමග අදහස් දැක්වූ සියලුදෙනා පාහේ සඳහන් කළේ ජනතාව ආර්ථික පීඩනයෙන් පෙළෙන අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩිකිරීම අසාධාරණ බවයි. මෙවර අයවැයෙන් සාධාරණ වැටුප් වැඩිකිරීමක් සිදුව නැති බව පැවසූ ජනතාව ආදායම වැඩිනොවන පසුබිමක වියදම් ඉහළ යෑමෙන් ජීවත්වීම පිළිබඳ ගැටලුවකට මුහුණ පා ඇතැයිද සඳහන් කර සිටියේය. බදු පැනවීම සහ දඩ අයකිරීම සම්බන්ධවද ජනතාව සිය විරෝධය පළකළහ. එසේ විරෝධය දැක්වූ කිහිපදෙනෙකුගේ අදහස් පහතින් දැක්වේ.
මන්ත්‍රීවරුන්ට තවත් දීමනා වැඩිකිරීම අසාධාරණයි - රොහාන් බුද්ධික (ගලගෙදර)
මන්ත්‍රීවරුන්ට දැනටමත් වරප්‍රසාද ගොඩක් ලැබෙනවා. නමුත් සාමාන්‍ය ජනතාවගේ වැටුප් වැඩිවීමක් සිදුවන්නෙ නෑ. ඒ නිසා මන්ත්‍රීවරුන්ට තවත් දීමනා වැඩිකිරීම අසාධාරණයි. පෞද්ගලික අංශයේ වැටුප් ගැන බලධාරීන් හිතන්නෙ නැහැ. තරුණයන්ගේ ප්‍රශ්න ගැන හිතන්නෙ නැහැ. වැඩිවන ජීවන වියදමත් එක්ක ජීවත්වෙන්නෙ කොහොමද කියලා පාලකයන් කල්පනා කරලා බලන්නෙ නැහැ. ඒ අයට පොඩි මිනිහගේ දුක තේරෙන්නැති එක තමයි ප්‍රධාන ප්‍රශ්නෙ.
මන්ත්‍රීවරුන්ගේ වැටුප් දීමනා වැඩිකරනවා කියන්නේ ඉතා කුරිරු ක්‍රියාවක් - සිරිල් නියරේපොළ (මහනුවර)
රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිව ඉන්න මේ වෙලාවේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් දීමනා වැඩිකරනවා කියන්නෙ ඉතා කුරිරු ක්‍රියාවක් විදියට මම දකිනවා. මම හිතන්නෙ රටේ සෑම පුරවැසියෙක්ම ආණ්ඩුවේ එම තීරණයට විරුද්ධයි. මේ දීමනා වැඩිකර ගෙන තියෙන්නෙ මහජනතාවට සේවය කරන්න ඕන කියලනෙ. ඒත් අතීතයේ සිටි සෑම මහජන නියෝජිතයෙක්ම ජනතාවට සේවය කළානෙ. අතීතයේ හිටිය ඒ මිනිස්සු රටට කොච්චර සේවයක් කළාද? ඒත් අතීතයේ සිටි මහජන නියෝජිතයන් මේ විදියට වැටුප්, දීමනා වැඩිකර ගත්තෙ නැහැ.
ඒ අයට අද වගේ යානවාහන පහසුකම් තිබුණෙ නැහැ. එදා සිටිය සමහර මන්ත්‍රීවරු ගමන්බිමන් ගියේ කෝචිචියේ නැත්නම් බස් එකේ. අද බලන්න මේ අය සේවයක් කරනවාද කියලා. හැම මන්ත්‍රීවරයාම වගේ ඉන්නෙ කොළඹනෙ. කවුද ගමේ ඉන්නෙ? අඩුගාණෙ ආසනයට යන්නෙ කීයෙන් කීදෙනාද? ඔක්කොම කොළඹට වෙලා සැප විඳිනවා. ගමට ගියත් යන්නෙ මහජනතාව කුලප්පු කරලා එන්න. මේ අයගෙන් මොන සේවයද වෙන්නෙ. ලක්ෂ ගණන් වැටුප්, දීමනා, කාර්යමණ්ඩල, කාර්යාල, නිල නිවාස මේ ඔක්කොම නඩත්තු වෙන්නෙ අහිංසක ජනතාව ගන්න හාල් ඇටයෙන්, පරිප්පු ඇටයෙන්, සීනි ටිකෙන්.
ඔය මන්ත්‍රීවරු වෙලා ඉන්න කාටවත් හෘද සාක්ෂියක් කියල එකක් නැහැ. ඡන්ද කාලෙට විතරයි ඒක මතුවෙන්නෙ. මම හිතන විදියට රටේ තිබෙන ආර්ථික පරිහානියත් එක්ක කවුරුවත් කැමති නැහැ මන්ත්‍රීවරුන්ගේ වැටුප් දීමනා වැඩිකරනවට. මේ වගේ තීරණවලින් වෙන්නෙ රටට හානියක්. ජනතාවගෙ පැත්තෙන් හිතලා තීන්දු තීරණ ගන්නවානම් මේ අයට කරන්න තිබුණෙ දැනට දෙන දීමනා අඩුකරලා ආදර්ශයක් දෙන එකයි. අනිත් පැත්තට මේ වෙලාවේ හැටියට මහජනතාවට සහන වැඩි කරන්න ඕන.
මිනිස්සුන්ට කන්න විදිහක් නැතිව ඉන්නෙ. අපේ දීමනා අඩුකරන්න කියලා කිසිම මන්ත්‍රීවරයෙක් කිවුවේ නැහැ. නිකන් බොරුවට වාසියට කතාකරනවා විතරයි. ඔය පාර්ලිමේන්තුවේ විවාද කරගන්නේත් මිනිස්සු රවට්ටන්න. එතැනත් කී ලක්ෂයක් වියදම් වෙනවද? මේවා ගැන කවුද කතා කරන්නෙ? මෙවර අයවැයෙන් ජනතාවට මොන සහනයක්වත් දීලා නැහැ. රුපියල් 67ක් අඩුකරලා තියෙනවලු. දුරකථන බිල වැඩිකරපු විදිය බලන්න. රුපියල් සියයෙ කාඩ් එකක් දැම්මම රුපියල් 80ක් නිකන්ම කැපිලා යනවා. ඒත් මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගණන් දුරකථන බිල් එන්නෙ. ඒවට ගෙවන්න ඒ අයගේ අතින් යන්නෙ නෑ.
මේකේ වැරැද්ද වෙලා තියෙන්නෙ පාලන ක්‍රමය ඇතුළෙයි - විමල් කුමාරගේ (මොනරාගල)
ඒ අය කියන්නෙ අපිට හොඳ කරන්න ඕන කියලනෙ. ඉතිහාසයේ සිටි අය වගේම දැන් ඉන්න කට්ටියත් අපිට නරකක් කරලම නැහැ. ඒ ගොල්ලන්ගේ භාෂාවෙන් කියනවානම් අපේ ජීවිත හදන්න තමයි මේ අය ඔක්කොම වැඩ කරන්නෙ. රවි කරුණානායක මුදල් ඇමතිවරයාට අනුව දඩ යෝජනා කරලා තියෙන්නෙ ජනතාවගේ ආරක්ෂාවට. මේ අය කතා දෙකක් කියනවා. අයවැය ලේඛනයෙන් බදු ගහන්නෙ අයවැය හිඟය පියවගන්න කියන මේ අය, අනිත් පැත්තෙන් කියනවා ජනතාවගේ ආරක්ෂාවට බදු පනවනවා කියලා. ආරක්ෂාව පැත්තෙන් කරනවානම් 25,000ක දඩයක් ගහනවට වැඩිය හොඳ නැද්ද දවසක වැඩමුළුවක් සංවිධානය කරලා දැනුවත් කරන එක.
පාරේ ඉන්න පොලිස් නිලධාරීන්ට ඕක විසඳන්න බැහැ. දැනුවත් කිරීමක් ඇතුළෙ තමයි මේක විසඳන්න වෙන්නෙ. දඩ ගැසීමකින් වැරදි අඩුකරන්න බැහැ. මේ පාලකයො කරන්නෙ බොරුවමයි. මන්ත්‍රී දීමනා වැඩිකරන්නෙ ඒ වගේ බොරු කතා කියලා. මේ ගැන නිමල් සිරිපාලද සිල්වාගෙන් මාධ්‍ය‘වේදීන් අහපු වෙලාවේ දීපු උත්තර අපි දැක්කනෙ.
ලක්ෂ තුන්සීයෙ ඉඳන් ලක්ෂ 700 දක්වා වාහන පර්මිට් එකේ කතාව සිල්ලර ප්‍රශ්නයක් කියලනෙ නිමල් සිරිපාල කිවුවේ. ඒ අයට ලක්ෂ තුන්සීය, හාරසීය සිල්ලර ප්‍රශ්නයක්. අපි වගේ මිනිහෙකුට ලක්ෂයක්,දෙකක් කියන්නෙ ලොකු ගාණක්. මේකෙ වැරැද්ද වෙලා තියෙන්නෙ පාලන ක්‍රමය ඇතුළෙයි. ජනතාව මුලාකරගෙන යන ක්‍රියාවලිය නැවැත්තුවේ නැත්නම් විවේචනය කරකර මේ සමාජයට සදාකල් ඉන්න වෙයි. සමාජයට වගකීමක් තියෙනවා මේ යන පාරවල් තේරුම් අරන් මේක අවසන් කරන්න.
අපි පාන් කියාගන්න බැරිව ඉන්නෙ - ශාන්ත හෙට්ටිආරච්චි කොළඹ කොටුව දුම්රියපොළ ත්‍රිරෝද රථ සංගමයේ උප සභාපති
අපි පාන් කියාගන්න බැරිව ඉන්නෙ. අද සුද්දොවත් නැහැ. ආර්ථික ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා. ඉස්සර මෙහෙම ප්‍රශ්න තිබුණෙ නැහැ. මිනිස්සුන්ගේ අවශ්‍යතාවට ගමන යන්න එන්නෙ. දැන් දෙපාරක් කල්පනා කරනවා යනවද නැද්ද කියලා. අපි කර්මාන්තය පවත්වාගෙන යන්නෙ දුකසේ අමාරුවෙන්. අපි ඉන්ෂූවරන්ස්, ෆිනෑන්ස් ගෙවනවා. අවුරුදු 35 විතර අපි මේ වෘත්තියේ ඉන්නෙ. කවුරුවත් අපි ගැන බලන්නෙ නෑ. අපි එන එන රජයන්වලට රැවටුණු එක විතරයි වුණේ. පොඩි මිනිහා තමයි තැළෙන්නෙ. හැම කෙනෙක්ම ඇවිල්ලා පොඩි මිනිහට තමයි පහර ගහන්නෙ. ලොකු මිනිස්සුන්ට කිසිම පහරක් නැහැ. ලොකු මිනිස්සුන්ට යානවාහන තවතවත් දෙනවා.
ඒවා ගන්න උදවු කරනවා. මන්ත්‍රී දීමනා වැඩිකරපු එකට හෙන ගහන්න ඕන. දැන් බලන්න 2500 දඩයක් ගේන්න යනවා. බීලායන එකයි ලයිසන් නැතිව යන එකටයි 25,000 දඩය සාධාරණයි. කන්ටේනර් අරන් යද්දි අපිට වමෙන් යන්න වෙනවා. ඒකට 25,000ක් දෙනවා කියන්නෙ හෙනගහන අපරාධයක්. 25,000ක් කියන්නෙ පොඩි පහේ ගාණක් නෙවෙයි. අපි රුපියල් 550 දෙන්නනෙත් බොහොම අමාරුවෙන්. මේක සිංගප්පූරුව නෙවෙයිනෙ. දවසකට රුපියල් 1000ක්, 1500ක් හොයාගන්නෙ හරිම අමාරුවෙන්. දඩ කොළයක් ලියන එක වුණත් ලොකු මිනිහට ලියන්නෑ. පොඩි මිනිහට තමයි ලියන්නෙ. මේවා ගැන කතා කරලා වැඩක් නැහැ. අපි කොච්චර කතාකළත් ඒ අයට ඕන කරන විදියට හැමදේම වැඩිකර ගන්නවා. අපි මහන්සි වුණොත් විතරයි අපිට කන්න ලැබෙන්නෙ. නැත්නම් බඩගින්නෙ මැරෙන්න තමයි වෙන්නෙ.
ඡායාරූප - ඉසුරු පෙරේරා