Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ඇමති වජිර සඳුදා ගිය අතර, එම කාර්යාලයට ඇමතිවරයා යන බව කලින් දන්වා නොතිබුණි. හදිසියේම පැමිණි අමාත්‍යවරයාත්, නව ලේකම්වරයාත්, හිටපු ලේකම් නීල් ද අල්විස්ද සමග කාර්යාලය පුරා ඇවිදිමින් කොළඹ ඉඩම් පිළිබඳ ලේඛන ගබඩා කර ඇති ආකාරය පරීක්ෂා කර බැලීය.
‘මේ කාර්යාලයේ තත්ත්වය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. වහලට මුක්කු ගහලා. රටේ වටිනාම ඉඩම් පිළිබඳ ලේඛන තබා තිබෙන ආකාරය කිසිසේත්ම සුදුසු නැහැ. මේවයේ පුස්තකාල දිරලා, මීයෝ කාලා. මේ කාර්යාලය වහාම වෙනස් කරන්න ඕන. පැත්තක් තෙමෙනවා. පොත් උඩ නැගලා තවත් උඩින් තියෙන පොත් ගන්නවා. අපි මේ කාර්යාලය වෙනත් තැනකට ගෙනිහින් වහාම නවීන තාක්ෂණය අනුව මේ ලේඛන පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් හදන්න ඕන’
ඇමති වජිර කියූ අතර මේ සිදුවන්නේ කුමක්දැයි එහි සිටි සේවකයෝ බලාගෙන සිටියේ පුදුමයෙන් මෙනි.
ලේඛන ආරක්ෂා කිරීම සඳහා අලුතෙන් කණ්ඩායමක් බඳවාගෙන පුහුණු කළ යුතු බවද වජිර කීවේය.
බ්‍රහස්පතින්දා උදෑසන එජාපයේ මැති ඇමති අරලියගම මන්දිරයට ගියේ අලුත් අවුරුදු තේ මේසයට සහභාගි වීමටය. අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අගමැති රනිල් සියලු දෙනාම හමුවුයේ බ්‍රහස්පතින්දාය.
එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ වජිර අබේවර්ධනට වැඩක් භාරදුන්නේය.
ඒ වෙසක් උත්සවය රට පුරාම මහ ඉහළින් සැමරීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ඉටුකරන ලෙසයි.
පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට වැඩම කරවනු ලබූ සර්වඥ ධාතූන් වහන්සේලා සහ ඉන්දියාවේ සාරානාත් වරනාසී සර්වඥ
ධාතූන්වහන්සේලා දිස්ත්‍රික්ක හතක ප්‍රදර්ශනය කිරීමේ කටයුතු සංවිධානයේ වැඩි බරක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරා දුනි.
ඒ අනුව වෙසක් සතිය මුළුල්ලේ සර්වඥ ධාතූන් වහන්සේලා දිස්ත්‍රික්ක හතක ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද අගමැති රනිල් වජිරට කීවේය.
අවුරුදු සාදයට අමුත්තන්ට සුබපතමින් ඉදිරියට පැමිණි රනිල් වික්‍රමසිංහ, ඇමති අර්ජුන රණතුංග සහ නියෝජ්‍ය ඇමති අනෝමා ගමගේ අසල නතර විය.
“අගමැතිතුමා ඛනිජ තෙල් මිල ඉහළ දමන්න කියලා හැමතැනින්ම ඉල්ලීම් එනවා...” අනෝමා කීවාය.
“දැන් අපි තීන්දුවක් ගත්තනේ... එය ක්‍රියාත්මක කරන්න...”යි අගමැති රනිල් පැවසීය.
ඒ ගත් තීන්දුව කුමක්දැයි ඒ අසල සිටි අය එකිනෙකාගෙන් විමසූහ. ඇතැමෙක් ඊට පිළිතුරු දෙමින් පැවසුවේ දැන්ම ඉන්ධන මිල ඉහළ දැමීම නොකළ යුතු බවත්, යම්කිසි විදියකින් ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් එම තීන්දුව ජනාධිපතිවරයාගේද මගපෙන්වීම සහ එකඟත්වය මත ගතයුතු බවත්ය.
ඒ අතරේ අගමැති රනිල් සහ අර්ජුන රණතුංග ඉතා සෙමින් කෙරෙන සාකච්ඡාවකට යොමු වූහ. මිනිත්තු කිහිපයකට සීමා වූ එම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබුණේ ළඟ එන ක්‍රිකට් නිලවරණයයි.
එම ක්‍රිකට් නිලවරණයේදී දැන් බලය හොබවන පාර්ශ්වය වෙනුවට පාර්ශ්වයකට එහි බලය ලබාදිය යුතු බවට එම කෙටි සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.
වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවක් නොවුණු බවත්, ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට නම් ක්‍රිකට් සභාපති ධුරය සුදුසු පුද්ගලයෙකුට ලබා දිය යුතු බවටත් එහිදී කියවී තිබූ බව ආරංචි විය.
මේ අතර ක්‍රිකට් සභාපති ධුරය භාරගන්නැයි ඉල්ලා සිටිමින් හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සිවුදෙනෙක් අර්ජුන රණතුංගගෙන් පෞද්ගලිකවම හමුවී ඉල්ලා සිටි බව අර්ජුන සාදයේදී පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට සඳුදා රැස්ව තිබූ අතර, එහිදී විවිධ දේ පිළිබඳව සාකච්ඡා වී තිබිණ.
‘ පාර්ලිමේන්තුවට විශේෂ පනතක් සහ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් වෙන්න තිබියදී පාර්ලිමේන්තු කල් තැබීම ප්රජාතන්ත්ර විරෝධී වැඩක්. විගණන පනත අප්‍රේල් 19 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න නියමිතව තිබුණා. මේක මාස ගාණක් කල් දාපු පනතක්. මේ ආණ්ඩුව වැදගත් දේවල් හැම එකක්ම පස්සට දානවා. අනික අපේ
20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න තිබුණෙත් 19 වැනිදා. දැන් හැම එකක්ම කල් යනවා.” බිමල් රත්නායක එම සාකච්ඡාවේදී කියා සිටියේය.
‘පාර්ලිමේන්තුව කල් දාන්න සිදු වුණේ ශ්‍රීලනිප පක්ෂ අර්බුදය නිසයි. මේ පාර්ලිමේන්තු සභාවාරයේදී ශ්‍රීලනිප කණ්ඩායම විපක්ෂයේ වාඩි වෙන්න තමයි සැලසුම තිබුණේ. නමුත් ජනාධිපති කල්පනා කළා, තමන් රටේ නැති වෙලාවක පක්ෂයේ කණ්ඩායම විපක්ෂයේ ඉඳගන්න එක එයාට වෙන දේශපාලන අවුලක් කියලා. ඒ වගේම එයාට පොදු රාජ්‍ය මණ්ඩල නායකයන්ටත් මුහුණ දෙන්න බැරි වෙන තත්ත්වයක්. ඒ නිසයි එහෙම වුණේ ” ටිල්වින් සිල්වා කියා සිටියේය.
‘ පක්ෂයේ අර්බුද යටගහන්න රටේ නායකයා මුළු රටම අර්බුදයට යවනවා. ජනාධිපති පක්ෂය බදාගෙන මේ වෙනකන් කළෙත් රට අර්බුදයට යවන එක. පාර්ලිමේන්තුව කියන්නේ ඒ අයම කියන විදියට රටේ ජනතාවට වගකියන ප්රජාතන්ත්රවාදයට වගකියන රටේ උත්තරීතර ආයතනය. එහෙම ආයතනයක් තමන්ගේ පක්ෂයේ අර්බුදය විසඳගන්න තමන්ට ඕන ඕන වෙලාවට කල් තියනවා. මේක ප්රජාතන්ත්ර විරෝධී වැඩක්. ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න ආපු අයම ප්රජාතන්ත්ර විරෝධීව වැඩ කරනවා.” ජවිපෙ නායක අනුර දිසානායක එහිදී පැවසීය
සිංහල දමිළ අලුත් අවුරුදු සමයේදී විදේශගත වන කාලය ගෙවා දැමූ රජයේ මැති ඇමතිවරුන් පිරිසක් ගැන දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහ විය. අලුත් අවුරුද්දට ගමට වී සිටීමට බොහෝ දෙනා රුචිකත්වයක් දක්වද්දී මෙම පිරිසේ ආශාව වී තිබුණේ රට රටවල සංචාරය කිරීමය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තයෙන් විදෙස් රටවල් කරා ගිය මෙම මැති ඇමතිවරු අවුරුද්ද අවසන් වන විට යළිත් දිවයිනට නොපැමිණියහ. 16දා වන විටත් ඔවුන් සිටියේ විදේශ සංචාරයේය. නවීන් දිසානායක, දයා ගමගේ, ෆයිසර් මුස්තාපා, සන්දීත් සමරසිංහ යන මැති ඇමතිවරුන් 12 වැනිදා දිවයිනෙන් බැහැරට ගොස් තිබුණි. 13 වැනිදා චන්ද්‍රානි බණ්ඩාර, විජයකලා මහේෂ්වරන්, ආශු මාරසිංහ, වී. රාධක්‍රිෂ්ණන් විදේශගත වූ අතර, අර්ජුන රණතුංග 14 වැනිදා පිටත්ව තිබුණි. තිලංග සුමතිපාල, මංගල සමරවීර, තිලක් මාරපන, අමීර් අලී, අලගජන් රාමනාදන් 15 වැනිදා දිවයිනෙන් ගිය අය අතර සිටිති. මෙම මැති ඇමතිවරුන් ලංකාවෙන් පිට වන විට විදේශගතව සිටි කිහිපදෙනෙක් ලංකාවට පැමිණියහ. 13 වැනිදා රාත්‍රී 10.20ට ගයන්ත කරුණාතිලක පැමිණි අතර, ඒ.ඩබ්ලිව්.එම්. නසීර් එදින රාත්‍රී 11.00ටද, එරාන් වික්‍රමරත්න 14 වැනිදා රාත්‍රී 11.50ටද දිවයිනට පැමිණියහ. මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ උදය ගම්මන්පිල, ෂෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන් 12 වැනිදා සාමාන්‍ය මගී පර්යන්තයෙන් විදේශගතව තිබුණි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැකීමබුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පසුගිය දිනක එම විහාරස්ථානයට ගියේය. බිංගිරිය දේවගිරි රජමහ විහාරස්ථානයේ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය පිළිබඳ දැනුවත් කිරීම ඇමතිවරයාගේ ගමනේ අරමුණ විය.
නායක හිමියන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමතිවරයා පිටත් වීමට සැරසෙන විට, එම විහාරස්ථානයේ වැඩ වෙසෙන වෙනත් ස්වාමීන් වහන්සේ නමක හමුවිය. “කොහොමද හාමුදුරුවනේ?’ ඇමතිවරයා විමසීය. ‘බලන්න ඇමතිතුමා අපේ නායක හාමුදුරුවන්ට අටපිරිකරක් විදියට ගඩොල් බාගයක් දීලා. පසුගිය දවසක විහාරස්ථානයට පැමිණි වෙනත් ආගමකට අයත් කෙනෙක් තායි අටපිරිකරක් කියලා දීලා තියෙන්නේ ගඩොල් බාගයක්’ එම ස්වාමීන් වහන්සේ ඇමතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
‘එහෙම කරලා තියෙනවා නම් ඒක බොහොම වැරදි වැඩක්. ඒක අපේ හාමුදුරුවන්ට කරපු අපහාසයක්. මම මේ ගැන සොයාබලා සුදුසු පියවර ගන්නවා’ ජයවික්‍රම පෙරේරා කීවේය. ඉන්පසුව ඔහු මේ ගැන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේට සැළ කළේය. ‘බලන්න ලේකම්තුමා අටමස්ථාන නායක හාමුදුරුවන්ට කවුද කෙනෙක් අටපිරිකරක් කියලා ගඩොල් බාගයක් රෙදි කෑල්ලක ඔතලා දීලා තියෙනවා. මේ ගැන හොයලා බලන්න’ යැයි පැවසීය. ‘හොඳයි ඇමතිතුමා. පාරිභෝගික කටයුතු අධිකාරිය අටපිරිකරවලට ප්‍රමිතියක් හඳුන්වා දී තිබෙනවා. එම ප්රමිතයෙන් තොරව කටයුතු කරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන්. මම මේ ගැන ඒ අයටත් දැනුම් දෙන්නම්’ ලේකම්වරයා කීවේය.
ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව කල්තැබීමත් සමග පසුවට තැබීමට ජවිපෙට සිදු විය. මේ සංශෝධනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද ජවිපෙ නායකයන්ගේ අවධානය යොමු වී තිබේ.
‘ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න වෙන්නේ මැයි මාසයේ මුල් සතියේ රැස්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී. දැනටමත් 20 ගැන සංවාදයක් ඇතිවෙලා තියෙනවා. සමහරු මේක අල්ලගෙන ආපහු අපිට අවලාද ගහන්න පටන් අරගෙන.” විජිත හේරත් කියා සිටියේය.
‘ඔව්, ඇතැම් බංකොළොත් දේශපාලන විචාරකයෝ මේකත් අපිව රනිල්ට හේත්තු කරන්න මාතෘකාවක් කරගන්න හදනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටනේ අතීතය හිතාමතා අමතක කරලා දාලා තමයි මේ විචාරකයෝ කතා කරන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.”
‘ මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙත් මේ සම්බන්ධයෙන් විවිධ මත තියෙන්නේ. බන්දුල ගුණවර්ධන කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ 20 වැනි සංශෝධනයට සහාය දෙන්නේ පසුදිනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කොන්දේසිය උඩ කියලා. ඒ වගේම වාසුදේවලා ඉන්න මතය වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුත්තේ කියලා.” විජිත හේරත් කීවේය.
‘ කොහොම වුණත් දැන් මහින්ද රාජපක්ෂලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කොන්දේසි පිට හරි සහාය දෙන්න තීරණය කරලා. ඒක හොඳ ප්‍රවණතාවක්. කොහොමත් විධායක ජනාධිපති ධුරය අහෝසි වීම මෛත්‍රීගේ ධුර කාලයට බල නොපාන ලෙස තමයි සංශෝධනය කෙටුම්පත් වෙන්නේ. ඒ නිසා වාසුදේවලාගේ ප්‍රශ්නයට උත්තරය තියෙනවා. නමුත් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන මෙම සංශෝධනයට ප්‍රතිපාදන ඇතුළු කරන්න පුළුවන්කමක් නැහැ. ඒක කරන්න ඕනෑ පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය අනුවයි.” ටිල්වින් සිල්වා පැහැදිලි කළේය.
‘ මේ ගැන විවිධ මත තියෙන නිසා අපි පක්ෂ නායකයන් සමග සාකච්ඡා වටයක් යන්න ඕනෑ. නිශ්චිතවම පක්ෂවල ස්ථාවරය දැනගන්න එක තමයි අපි කළ යුත්තේ. එක එක්කෙනාගේ ප්‍රකාශවලට මේකෙන් පිළිතුරු හදන්න බැහැ.” අනුර දිසානායක යෝජනා කළේය. ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ ඇතුළුව පක්ෂ නායකයන් හමුවී මේ පිළිබඳව අවසාන වශයෙන් සාකච්ඡා කිරීමට ජවිපෙ නායකයෝ තීරණය කළහ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට 39 වසරක් සපිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව, වායාඋල්පත ‘නවතිස් සමරුගම’ ජනතා අයිතියට පත් කළ දා උදෑසන ජය ශ්‍රී මහා බෝධිය ඉහළ මළුවේ පැවති විශේෂ පුද පූජා පිංකම්වලට වැඩම කළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සහ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා අතර පැවති පිළිසඳරේදී අසන්නට ලැබුණේ කනගාටුදායක පුවතකි. ‘විහාර දේවාලවල සේවාවන් වෙනුවෙන් පරම්පරා ගාණක් තිස්සේ කැපවුණු පිරිසක් ඉන්නවා. ඒ අය පාරම්පරිකව පදිංචි වෙලා ඉන්නේ මේ අවට විහාර දේවාලගම්
9කයි. දැන් ඒ ගම්මානවල ඉඩම් පෞද්ගලික නිවාස හදන්නට පිටස්තර පුද්ගලයන්ට විකුණන ඉඩම් කොල්ලයක් ක්‍රියාත්මක වෙනවා. මේක නතර කර දෙන්න.’ අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීම විය. විහාර පළමුගම, විහාර හල්මිල්ලකුලම, විහාර මැදවච්චිය, විහාර බුලන්කුලම, විහාර තිරප්පනේ, විහාර කල්ලංචිය, විහාර කුසියන්කුලම, විහාර කැප්පෙටියාව සහ විහාර ඉලුප්පුකුලම එම ගම්මාන නවයයි. ‘මේ වගේ දෙයක් මම ඇහුවමයි. අපේ ආණ්ඩුව යටතේ එහෙම දෙයක් වෙන්න විදියක් නෑ. මේ තේවාවල යෙදුණු උදවිය මගේ තාත්තගේ කාලේ ඉඳන් රැක බලා ගත්තා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගත් පරම්පරාවල උදවියත්, වෙනත් විහාර දේවාල පුද බිම් රැක බලා ගත් අය දිවි හිමියෙන් සුරකින්න ඕනෑ. මම මේ ගැන වහාම පරීක්ෂා කර බලන්නම්’ සජිත් කීවේය. අටමස්ථානාධිපති හිමියන්ගේ ඊළඟ ඉල්ලීම වූයේ මෙම පාරම්පරික ගම්මානවල ජීවත්වන වත්මන් පරපුර වෙනුවෙන් නව උදා ගම්මාන කීපයක් ඉදිකර දෙන ලෙසයි. සජිත් ඊට ද එකඟතාව පළ කළේය. ‘හැබැයි ඒක සිද්ධ වෙන්න ඕනෑ මගේ අනුදැනුම, උපදෙස් අනුවයි’ උන්වහන්සේ අවධාරණය කළහ. ‘නවතිස් සමරුගම’ විවෘත කිරීමෙන් පසුව ප්‍ර‘දේශයේ දේශපාලන අධිකාරිය හා රජයේ උසස් නිලධාරීන් සමග පිළිසඳරේ යෙදී සිටි සජිත් කීවේ ‘වසර 2020 වෙන කොට දිස්ත්‍රික් මට්ටමින් ගම්මාන 2500ක් හැදීමේ ලොකු අභියෝගයක් තිබෙනවා.
ඒ ඉලක්කය සපුරා ගන්නට නම් දේශපාලන අධිකාරියත් පරිපාලන අංශයේ නිලධාරීනුත් වේගයෙන් වැඩ කරන්න ඕනෑ. ඉඩම් සොයා ගැනීම, නිවැරදි ප්‍රතිලාභීන් තෝරා ගැනීම වගේම තෝරා ගන්නා අයගේ ජීවනෝපාය, ගොඩ භෝග වගාව වගේම පරිසර සංරක්ෂණය ගැනත් සොයා බලන්න වෙනවා.’ කියාය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුද්ද ගත කළේ තංගල්ල කාල්ටන් නිවසේය. පරණ අවුරුද්ද යෙදී තිබුණු 13 වෙනි දින දහවල් මහින්ද බැලීමට පළාත් සභා මන්ත්‍රීවරු නෑගම් පැමිණියේ කද මලු බැඳගෙනය. සිය පවුලේ උදවියද සමග පැමිණ සිටි පළාත් සභා මන්ත්‍රීවරුන් පිළිගත්තේ මහින්ද, ශිරන්ති හා නාමල්ය.
එදා (13දා) සවස තංගල්ල කාල්ටන් නිවසේ අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණි. එය සංවිධානය කර තිබුණේද පළාත් සභා මන්ත්‍රී සංසදයයි. වෙනත් අවුරුදු උත්සවයක දක්නට නොලැබෙන අපූරු තරග රැසක් මෙහිදී සංවිධානය කර තිබුණි. සැඟවුණ අමුත්තා සෙවීම වෙනුවට තිබුණේ මහ බැංකු හොරා සෙවීමේ තරගයයි. කනාමුට්ටිය බිඳීම වෙනුවට මහ බැංකුව කැඩීම යනුවෙන් නම් කළ තරගයක්ද සංවිධානය කර තිබුණි. ‘‘මීළඟට පැවැත්වෙන්නේ මහ බැංකු හොරා සෙවීමේ තරගයයි’‘ නිවේදකයා ලෙස කටයුතු කළ සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා කියද්දී මහින්ද කීවේ ‘එයා මේක ඇතුළෙ නම් නෑ. එයා ඉන්නෙ අරලිය ගහ මන්දිරය ඇතුළේ’ කියාය.
මෙහිදී කඹ ඇදීමේ තරගය වෙනුවට තිබුණේ අගමැතිට එරෙහි විශ්වාසභංගය ඇදීමේ තරගයයි. මන්ත්‍රීවරු දෙපිල බෙදුණේ 16 කණ්ඩායම ලෙස හා 22 කණ්ඩායම ලෙසය. ඒ විශ්වාසභංගයට විරුද්ධ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී කණ්ඩායම ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි මන්ත්‍රී කණ්ඩායම සංකේතවත් කරමිනි. කෙසේ වෙතත් අවසානයේදී ජයගත්තේ විශ්වාසභංගයට පක්ෂ කණ්ඩායම සංකේතවත් කළ මන්ත්‍රී කණ්ඩායමයි.
තරගාවලිය ජයගත් මන්ත්‍රීවරුන්ට තෑගි ලබාදුන්නේ මහින්ද හා නාමල්ය. මන්ත්‍රීවරුන්ට ලැබුණේද අපූරු තෑගිය. මහ බැංකු හොරා සෙවීමේ තරගයෙන් ජයගත් මන්ත්‍රීවරයාට ලැබුණේ සෙල්ලම් ලැම්බෝගිනියකි. කඹ ඇදීමේ තරගයෙන් ජයගත් මන්ත්‍රීවරුන්ට සෙල්ලම් හෙලිකොප්ටරය බැගින් ලැබිණි. මහින්ද සෙල්ලම් හෙලිකොප්ටරය බැගින් මන්ත්‍රීවරුන්ට තෑගි දෙන විට අසල සිටි නාමල් මහින්දට කීවේ “ඔය ඒ කාලේ මම නුවරඑළි ගිහින් අශ්වයෝ පැදල එන්න ගිය හෙලිකොප්ටර’ කියාය.
“කෝ එතකොට රත්තරං අශ්වයෝ?’ මහින්ද ඇසුවේය.
“මේ තියෙන්නේ සර්’ සම්පත් මහින්දට රත්තරං පාට සෙල්ලම් අශ්වයෙක් පෙන්වමින් කීවේය.
“ඕවා තියෙනවා කියල ආරංචිවෙලා එෆ්සීඅයිඩී එක මෙහෙට පනීවිද දන්නෙ නෑ’ මහින්ද කීවේ හැමෝම සිනා ගන්වමිනි.
මහින්ද අවුරුදු චාරිතු කළේ තංගල්ල කාල්ටන් නිවසේය. වැඩ අල්ලන නැකතට මහින්ද කාල්ටන් භූමියේ නා පැළයක් රෝපණය කළේ ශිරන්ති හා නාමල් සමගය. 14 වැනිදා චාරිත්‍ර අවසන් වී පැයක් දෙකක් ඇතුළත මහින්දගේ තංගල්ල කාල්ටන් නිවහන අතුරුසිදුරු නැතිව පිරී ගියේ මහින්දට අවුරුද්දට සුබපතන්නට පැමිණි පිරිස් වලිනි. රට පුරා මහ පිරිසක් මහින්දට සුබපතන්නටත්, ඔහුගෙන් ආශීර්වාද ගන්නටත් තංගල්ල කාල්ටන් නිවසට වැල නොකැඩී පැමිණෙමින් තිබුණි. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සිය උඩුගම්පල නිවසේ අවුරුදු නැකැත් ඉටු කිරීමෙන් පසු කෙළින්ම ගියේ තංගල්ලේ කාල්ටන් නිවසටය. ඒ මහින්දගේ ආශීර්වාද ගන්නටය. ප්‍රසන්න සමග දුලීප්, ඉන්දික, ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාද ඔවුන්ගේ පවුල්වල උදවියද වූහ. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුද, ප්‍රාදේශීය සභා නගර සභා ප්‍රධානීන් කිහිපදෙනෙකුද ප්‍රසන්න සමග මේ ගමනට එක්ව සිටියහ.
ප්‍රසන්න ඇතුළු පිරිස තංගල්ල කාල්ටන් නිවසට යන විටත් මහා පිරිසක් මහින්දගේ නිවසට පැමිණ සිටියහ. මහින්ද සිටියේ ඔවුන් සමග කතාබස් කරමිනි. මහින්ද එනතුරු ප්‍රසන්න ඇතුළු පිරිසට පැයකට ආසන්න කාලයක් බලා සිටින්නට වූයේ මහින්දට පැමිණි පිරිසෙන් ගැලවීමට නොහැකි වූ නිසාය.
‘ප්‍රසන්න ඇවිත් හුඟක් වෙලා නේද? මම සෙනඟට කතා කර කර හිටියේ’ යැයි කියමින් මහින්ද ප්‍රසන්නලා සිටින තැනට ආවේ ප්‍රමාදය පිළිබඳව කනගාටුව පළ කරමිනි.
“කමක් නෑ සර්. ඔය හැමෝම ඇවිත් තියෙන්නේ සර්ගේ ආශීර්වාදය ගන්නනේ. ඒ නිසා සර් ඒ හැමෝටම කතා කරන්න ඕනෑ’ ප්‍රසන්න කීවේය.
ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද පැමිණියේය.
“සර්ට මෛත්‍රී පිල කතා කළේ නැද්ද?’ ප්‍රසන්න මහින්දගෙන් ඇසුවේය.
“කවුද?’ මහින්ද ඇසුවේය.
“ඇයි සර්. දැන් ශ්‍රී ලංකා එකේ කණ්ඩායම් තුනක් ඉන්නවනේ. එක කට්ටියක් අපි. ඒ කියන්නේ ඔබතුමාගේ කට්ටිය. අනිත් අය මෛත්‍රී පිල විදිහට හිටියේ. විශ්වාසභංගයේදී ඒකත් දෙකට කැඩුණා. ඔය දයාසිරිලා වගේ අය ඉන්න 16 දෙනා ශ්‍රී.ල.නි.ප. මෛත්‍රී පිල. එතකොට විශ්වාසභංගයේදී රනිල් රකින්න ඡන්දය නොදුන්න අමරවීරලා, දුමින්දලාගේ කණ්ඩායම ශ්‍රී.ල.නි.ප. රනිල් පිල’ ප්‍රසන්න පැහැදිලි කළේය.
‘ශ්‍රී.ල.නි. පක්ෂය ඉන්න ඕන මහජනතාවගේ පැත්තේ. ඒත් ඉන්නේ වෙන පැත්තක. ඒකයි කනගාටු’ මහින්ද ඊට පිළිතුරු දෙමින් කීවේය.
“ආණ්ඩුවේ ළඟින අය රනිල්ට කඩේ යන එක සාමාන්‍ය දෙයක්නේ. ඒත් මේ විපක්ෂ නායකවරයා රනිල්ව ආරක්ෂා කරන්න ඡන්දය දුන්න එකනේ වුණේ’ ජොන්ස්ටන් කීවේ විපක්ෂ නායක සම්බන්ධන් ගැනයි.
“සම්බන්ධන්ලා වැඩ කරන්නේ රනිල්ව රකින්න. රනිල්ව රකින්න රනිල්ට පක්ෂව ඡන්දය දීපු සම්බන්ධන් කොහොමද විපක්ෂ නායක විදියට රෙද්දක් ඇඳගෙන ඉන්නේ. හරිනම් එයා ඉන්න ඕන ආණ්ඩුවේ කැබිනට් එකේ’ ප්‍රසන්න කීවේය.
‘දැන් සර් මේ 16 දෙනා මොකද කරනවයි කියන්නේ’ දුලිප් ඇසුවේය.
‘මේ අය මට නම් කිව්වේ විපක්ෂයේ අසුන් ගන්නවා කියලයි. මම ඒ අයට කිව්වා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ අය තවම ඒ ගැන තීන්දුවක් අරන් නෑ’ මහින්ද කීවේය.
‘ඒ වුණාට සර් ඔය අය ඒකාබද්ධයට එකතු නොවී වෙනම කණ්ඩායමක් හැටියට ඉඳගත්තොත් ඒක වැඩක් නෑ. ඒ අයට ඇත්තටම ඕනෑ රනිල්ව එලවන්න නම් ඒ අය කරන්න ඕනෑ ඒකාබද්ධයට එකතුවෙලා මේ සටනට සහාය දෙන එක’ ප්‍රසන්න කීවේය.
‘ප්‍රසන්නගේ කතාව ඇත්ත’ මහින්ද කීවේ ප්‍රසන්නගේ කතාව අනුමත කරමිනි.
අලුත් අවුරුදු දින කිහිපයේ බැසිල් රාජපක්ෂ රැඳී සිටියේ නැගෙනහිර පාසිකුඩා වෙරළට යාබද සංචාරක හෝටලයකයි. බැසිල් එහි සිටින බව ආරංචි වී වාලච්චේන ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පිරිසක් ඔහු මුණගැහෙන්න පැමිණියේය.
‘අපිලා මේ සැනසිල්ලේ ජීවත් වෙන්නේ ඔබතුමා සංවර්ධනය කරපු ගම්වල’ එහි සිටි දෙමළ ජාතිකයෙක් කැඩිච්ච සිංහලෙන් බැසිල්ට කීවේය.
‘ඒක ඇත්ත සර්... අපේ පාරවල් හදලා, ලයිට් දීලා අපේ මිනිස්සුන්ට ගොවිතැන් කරන්න, මුහුදු යන්න ඔබතුමාලගේ ආණ්ඩුව ගොඩාක් උදව් කළා’ පැමිණ සිටි පිරිස සමග දිගු වේලාවක් නිදහසේ කතා කරමින් සිටි බැසිල් ඔවුන්ට කීවේ නැෙගනහිර මෙහෙම සංවර්ධනය කරන්න ලැබුණේ මහින්ද ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුද්ධෙ ඉවර කළ නිසා බවයි.
අවුරුදු විවේකයෙන් පසු බැසිල් කෙළින්ම ගියේ පොළොන්නරුව ගිරිතලේ පිහිටි සිරිපාල ගම්ලත් මහතාගේ නිවසටයි. එදින රාත්‍රියේ ගම්ලත් මහතාගේ මියගිය දියණියගේ තුන් මාසේ පිංකමෙහි ධර්ම දේශනය පැවැත්විණි. බැසිල් පැමිණි දුටු සැණින් මුලින්ම ඔහු ඉදිරිපිට ගියේ ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනයි. හිටපු ඇමති චන්ද්‍රසිරි සූරියආරච්චි, ලොහාන් රත්වත්තේ, රොෂාන් රණසිංහ, අනුරාධපුරයේ එස්.එම්. රංජිත් සහ චන්ද්‍රසේනත් එම අවස්ථාවේ එහි සිටියහ. ධර්ම දේශනය පැවැත්වුණේ මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ විසිනි. බැසිල් පැමිණ සිටි දුටු භද්දිය හිමියන් බැසිල් රාජපක්ෂ පිළිබඳ දෙතුන් වතාවක්ම බණ කියන ගමන් මතක් කළේ තමන් වහන්සේ සාමණේර සමයේදී රාජපක්ෂ පවුලේ ඥාති නායක ස්වාමීන් වහන්සේ නමකගේ ගුරුහරුකම් ලබාගත් අතීතයද සිහිපත් කරමිනි.
බණ අවසන් වූ පසු හිටපු ඇමති සූරියආරච්චි යළි බැසිල් ළඟට පැමිණියේය.
“එහෙනම් මම ගිහිල්ල එන්නම් සර්’ සූරියආරච්චි කී විට, “ඔයා ඉතිං කොහොමත් යනව එනවනේ...’ බැසිල් කීවේ සිනාසෙමිනි.
“ඒ වුණාට මමත් ඉන්නේ ඔබතුමාලා එක්ක තමයි’ කියමින් චන්ද්‍රසිරි සූරියආරච්චි පිටව ගියේය.
පසුදා උදෑසන අවුරුද්දට හිසතෙල් ගෑමේ නැකැත යෙදී තිබුණු අතර, හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් හිසතෙල් ගෑමේ උත්සවය පොළොන්නරුව දියබෙදුම ඥානෝද්‍යාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි. රොෂාන් රණසිංහගේ ආරාධනයෙන් බැසිල් එම උත්සවයට එක්වූයේය.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා එෆ්සීඅයිඩියට කැඳවා තිබුණේද එදිනයි. පොළොන්නරුවේ සිට මහින්ද විටින් විට නාමල්ට කතා කරමින් මහින්දානන්දගේ තත්ත්වය විමසා බැලුවේය.
ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිව මහින්දානන්ද රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව දැනගත් මහින්ද ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන්නැයි නාමල්ට පැවරුවේය.
මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් 15 වැනිදා සියලුම තානාපති කාර්යාලවලට විශේෂ තෑගි පාර්සලයක් යැව්වේය. ඒ කැවුම්, කෙසෙල්, කිරිබත් සහිතවය.
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකැත යෙදී තිබුණේ ඊයේ (19දා) පූර්වභාග 06.03ටයි. ජනතාව රැකී රක්ෂා සඳහා නැකැතට පිටත්ව යද්දී නව වසරේ රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ තේපැන් සංග්‍රහයක් සූදානම් විය. ඒ අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. මහා සංඝරත්නය ප්රමුඛ පූජකවරුන්, මැති ඇමතීන්, කාර්යමණ්ඩල නිලධාරීන්, මාධ්‍යව්දීන් ඇතුළු විශාල පිරිසක් ඊට ආරාධනා ලැබ සිටියහ.
‘හරියටම උදේ 8.30ත් 9.00ත් අතර ඉන්න ඕනෑ. දන්නවනෙ අපේ අගමැතිතුමා වෙලාවට වැඩ කරනවා’ සංග්‍රහයට දින කිහිපයකට ප්‍රථම අගමැති කාර්යාලයෙන් සියල්ලන්ටම ආරාධනා ලැබුණි.
තේපැන් සංග්‍රහයට ප්‍රථම අගමැති රනිල් මහා සංඝරත්නය ප්රමුඛ පූජ්‍ය පක්ෂයේ ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව සුහදශීලීව ඔවුන් සමග කතාබහක නිරත විය.
එංගලන්තයේ සංචාරයක නිරත වීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රී මෙම අවස්ථාවට එක්ව නොසිටි අතර ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, කථානායක කරු ජයසූරිය, ඇමතිවරුන් වන වජිර, අර්ජුන, සාගල ඇතුළු මැති ඇමතිවරුන් බොහෝ දෙනෙක් මෙම සංග්‍රහයට එක්ව සිටියහ.
මේ අතර ඇමති අකිල මෙම සංග්‍රහයට පැමිණියේ උදෑසන 9ත් පසුවෙලාය. ගාමිණි ජයවික්‍රම ආවේ ඊටත් පසුවය. සාගල පැමිණ සිටි දේශපාලන හිතවතුන්, නිලධාරීන් මෙන්ම මාධ්‍යවේදීන් ළඟටම ගොස් අලුත් අවුරුදු සුභ පැතුම් එක් කළේය.
අගමැති රනිල්ද විටින් විට සංග්‍රහ ශාලාවෙන් පිටවෙමින් හා නැවත ඊට ඇතුළු වෙමින් සුහදශීලී කෙටි කතාබහක නිරත වනු දක්නට ලැබුණි.
මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇමතිවරුන් කිහිප දෙනෙකු අබියසට යමින් එමින් සක්මන් කරනු පෙනුණි. අවසානයේදී ඔහු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත ළඟට කිට්ටු විය. ගයන්තව
ළංකරගෙන සමන් මොන මොනවදෝ කියවන්නට විය.
‘කැබිනට් සංශෝධනයේදී 49ක් දැනට යෝජනා කරලා තියෙනවා. ජනාධිපතිතුමා කිව්වා ඒක 43ට අඩු කරන්න කියලා.’ එහිදී ගයන්ත පැවසීය.
‘එහෙමද’
‘ ඔව්, දැන් සේරම හරි. ජනාධිපතිතුමා ආවම ඉක්මනටම වෙයි’
ගයන්ත ඔබමොබ බලමින් හෙමිහිට කීවේය.
ඒ අතර මන්ත්‍රී මරික්කාර් කිරිබත් පිඟානක් අතැතිව තම සගයන් අතර සිට ගත්තේය. අසල සිටි අය රවුමක් හැදී මරික්කාර් අසලට පැමිණියේ ඔහුගේ උසළු විසුළු මැද්දේය. පෙරදා විනෝදජනක රැයක් සිහිපත් කරමින් හඬ නගා ඔවුහු සිනහසුණෝය.
මේ අතර ඇමති ලේකම්වරයා ඒ අසලට පැමිණ ඇඟට පතට නොදැනී කීවේ මෙසේය.
‘මේ පත්තර පුදුම මඩක්නෙ ගහන්නෙ. අගමැතිතුමාගෙ ළඟම අය ඒක කරන ඒකනෙ දුක. බැරිද තව අප් කරලා ගන්න. ඕවා ඉතිං අපි කිව්වට බෑ. එයාලා එයාලාම දැනගන්න එපායැ. මේවා ඇහිලා අපේ මාධ්‍ය යාළුවෝ ප්‍රධානීන්ට කියනවා නම් තමයි ඉතිං හොඳ.....’
මෙම සංග්‍රහය දහවල වන තෙක්ම ඇදී ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd