වර්ෂ 1884 හි ඔක්තෝ්බර් මස 20 වැනි දින (අද වැනි දිනක) උදෑසන, ගම්පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම් කෝරළයේ මීරිගම පිහිටි බෝතලේ වලව්වේ සියල්ලන් හට ඉතා ප්රීතිජනක දිනයක් විය. තම පවුලේ සිවුවැනි අමුත්තාගේ උපත නිසා දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමා හා කැතරිනා එළිසෙබත් ගුණසේකර සේනානායක මැතිනිය යන දෙපළට නිම්හිම් නැති ප්‍රීතියක් ඇතිව තිබුණි. එලෙස උපත ලද දරුවා වූයේ අන් කවරෙකුවත් නොව නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ දොන් ස්ටීවන් සේනානායක නොහොත් ඩී.එස්. සේනානායක මහතාය. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ගරු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ 133 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් මෙම සටහන තැබේ.
එක් ගැහැනු දරුවෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස මෙලොව එළිය දුටු ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූයේ පසුකලෙක මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ දොන් චාල්ස් සේනානායක නොහොත් ඩි.සී සේනානායක මහතාය. එමෙන්ම ඔහුගේ දෙටු වැඩිමහල් සොහොයුරා වූයේ, නිදහස් ලංකාවක් උදෙසා කඩඉම් පෑදු, අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් පුරෝගාමීත්වය ලබා දුන් ෆෙඩ්රිරික් රිචඩ් සේනානායක නොහොත් එෆ්.ආර්. සේනානායක මහතාය.
කුඩා ස්ටීවන් බෙහෙවින් දඩබ්බර චරිතයක් විය. ඒ දඩබ්බර බවේ බරපතළකම කොතෙක්ද යත් %ඕනෑම හොඳ පවුලක, නම කන්න එකෙක් හරි ඉන්නවනේ^ යන කියමන නිතරම පාහේ ස්පෙටර් මුදලිතුමාගේ කටින් කියැවිණි. නමුත් පසු කලෙක ඩි. එස්. සේනානායක මහතා නිදහස් දේශයක් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදීත්, ස්ථිරසාර කෘෂි ආර්ථික සංවර්ධනය සඳහා දේශයට අඩිතාලම දැමීමේදීත්, එදා ඒ සොඳුරු දඩබ්බරකම තුළින් ලද පන්නරය ඉවහල් වී ඇති බැව් අද දින අපට මැනවින් ගම්‍ය වන්නකි. අධ්‍යාපනය සඳහාද එතරම් ඇල්මක් නොදක්වන කුඩා ස්ටීවන්ගේ සිත බෙහෙවින් යොමුව තිබුණේ කෙළිලොල් වැඩ සඳහාමය. රටේ පිළිගත් ප්‍රභූ පවුලකින් පැවත එන්නෙකු වුවද, ඔහු වඩාත් ප්‍රිය කරන ලද්දේ ගමේ කොලු ගැටව් සමග ගම් පියසේ සහ වෙල් එළියේ මෙන්ම වන රොදේ කාලය ගත කිරීමටය. ඔහුගේ මෙම ක්‍රියාකලාපය නිසා කා අතරත් ඔහු ප්‍රසිද්ධිය වූයේ %කැලෑ ජෝන්^ යන අන්වර්ථ නාමයෙනි.
ඔහුගේ මෙම දඩබ්බරකම් ඉවසාගත නොහැකි තැන, ස්පෙටර් මුදලිතුමා ඉතා දුෂ්කර තීරණයක් ගනු ලබන්නේ හේතු දෙකක් නිසාවෙනි. ඉන් එකක් නම් කැතරිනා එළිසෙබෙත් මැතිනියගේ නිමා නොවනා ඇවිටිල්ලයි.
“තංගල්ලේ හොඳ හාමුදුරුනමක් ඉන්නවා. උන්නාන්සෙට කියලවත් ස්ටීවන් පුතාගේ කේන්දරේ බලමුකෝ” යන්න ඇය විසින් නිරන්තරයෙන් පවසන ලදී. මන්දයත් ඇයට පවා කුඩා ස්ටීවන්ගේ නොසන්ඩාල ක්‍රියාකලාපය ගැන යම් ආකාරයක බියක් තිබුණි. ඊළඟ හේතුව ඊට වඩා බෙහෙවින් බරපතළ එකකි. එනම් තම මුතුන්මිත්තන් විසින් මෙතරම් කලක් නිසැකව රැකි සේනානායක නාමය, මතු යම් දිනෙක ස්ටීවන් විසින් අකාමකා දමාවිද යන්න පිළිබඳ ස්පෙටර් මුදලිතුමා නිරන්තරයෙන් කල්පනා කරන්නට විය. මන්දයත් සේනානායකවරුන් යනු රාජකීය යුගයේ සිට අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනා පරපුරකින් පැවත එන්නන් නිසාද, තමාද එම අභිමානය රකිමින් නිරතුරුව ජාතික සහ ආගමික පුනර්ජීවනය උදෙසා තමා සන්තක ධනය නිබඳව නොමසුරුව යොදවනා අයෙකුද වන බැවිනි.
කෙසේ හෝ එවන් වූ තත්ත්වයන් මත අවසානයේ ඉතා දුෂ්කර වූ ගමනක් පිටත් වීමට සේනානායක මුදලිතුමා තීරණය කරන ලදී. එසේ ගොස් සුප්‍රකට ජ්‍යෝතිෂ්‍ය විශාරද තංගල්ලේ ස්වාමීන් වහන්සේ මුණගැසී තම දරුවාගේ වේලාපත්කඩය උන්නාන්සේ වෙත ඉදිරිපත් කොට මිනිත්තු කිහිපයක් ගතවෙත්ම උන්නාන්සේ පැවසූ අනාවැකියක් නිසා ගිය පයින්ම මුදලිතුමා නැවත නිවෙස බලා ඒමට පිටත් විය.
පෙරළා නිවස බලා පැමිණි එතුමාගෙන් කැතරිනා මැතිනිය විමසුවේ හාමුදුරුවෝ ස්ටීවන් ගැන කුමක් කීවේද යන්නයි. නමුත් ඉතා කෝප ගැන්වුණු ස්පෙටර් මුදලිතුමාගේ පිළිතුර වූයේ “උන්නාන්සෙටත් ඔයාට වගේම හොඳටම පිස්සු. උන්නාන්සේ කියනවා මේ අපේ ස්ටීවන් දවසක මේ රටේ නිල නොලත් රජු වෙනවලු. මගේ දවස් ගාණක් අපරාදේ” යනුවෙනි. සත්‍ය වශයෙන්ම එම ස්වාමීන් වහන්සේ පැවසූ දෙය මතුදාක සැබෑවක්ම වන බැව් ස්පෙටර් මුදලිතුමා සිහිනෙන්වත් නොසිතන්නට ඇත. නමුත් එම අනාවැකිය සැබෑ වූ දා එය සියැසින් දැකීමට තරම් භාග්‍යයක් ස්පෙටර් මුදලිතුමාට සහ එම මැතිනියට නොවීය.
තරුණ සමයේදී පවා ඉතා දඩබ්බර බවේ හිනිපෙත්තට ළඟා වූ ස්ටීවන්, දක්ෂ මල්ලවපොර ශූරයෙකු විය. පාසැල් සමයේදී පිට පිට මල්ලවපොර ශුරතාවන් දිනා ගනිමින් ඔහු එම ක්‍රීඩාව අතින් පාසලේ කැපී පෙනෙනා චරිතයක් විය. මෝදර ශාන්ත තෝමස් විදුහලේ, තම පන්ති වලට වඩා ඉහළ පන්ති වල සිටි සෑම ගණන්කාර සිසුවෙක්ම තම නහරකාරකම් මෙල්ල කරගන්නා ලද්දේ ස්ටීවන්ගෙන් හොඳ හැටි ගුටිවලින් සප්පායම් වීමෙන් පසුය. මේ නිසා පාසල තුළද ඔහුව කවුරුත් ඉතා හොඳින් දන්නා චරිතයක් විය. නමුත් ඔහු අධ්‍යාපනය වෙනුවෙන් දස්කම් නොදැක්වූ නිසා මේ කිසිවකින් තම පියාගේ ස්ථාවරය වෙනස් කිරීමට ඔහුට නොහැකි විය. තරුණ වියේ කොළඹ සිට ගෙදර පැමිණෙන විට දුම්කෝච්චිය බෝතලේ නතර නොකරනා අවස්ථාවලදී ඔහු වේගයෙන් ගමන් ගන්නා දුම්රියෙන්ම අසල කුඹුරු මත ඇති පිදුරු ගොඩවල් වෙත පැනීමට තරම් එඩිතර සිත් ඇත්තෙකු විය. වරෙක වසූරිය රෝගියෙකු තම කර තබාගෙන සැතපුම් පහක් පමණ එක හැල්මේ රෝහල දක්වා ඔහු රැගෙන යන ලද්දේ දකිනා සියල්ලන්ම මවිත කරමිනි. මන්දයත් එකල වසූරිය රෝගියෙකු කර තබා ගැනීම විනා එවැනි රෝගියෙකු සිටිනා ගෙදරක් අහලකට පවා කිසිවෙක් නොයන බැවිනි. තරුණ වියේදී පවා ඔහු තම පළමු රැකියාව නිම කරන ලද්දේ, අහිංසක දේශීය කම්කරුවෙකු හට සිදුකළ අසාධාරණයට එරෙහිව සුදු ජාතික නිලධාරියෙකු හට පියගැටපෙළින් පෙරළී පහළට වැටීමට තරමේ පහරක් දිමකිනි. ඉන්පසු තම පියාගේ තීරණයට අනුව පවුලේ මිනිරන් ව්‍යාපාර කටයුතුවල නිරත වෙමින් සිටිද්දී පවා ඔහු තම ව්‍යාපාරයේ කටයුතු කළ සේවකයන් හට හාම්පුතෙකුට වඩා මිතුරෙකු විය. නිදහස් සටන සඳහා පළමු උත්තේජනය ඇතිවන්නේ %1915 සිංහල - මුස්ලිම් කෝලහාලය^ අතරතුරේදීය. සුදු අධිරාජ්‍යවාදීන් විසින් සම්මත කරගත් 'සුරාබදු පනතට' එරෙහිව වර්ෂ 1912 දී ආරම්භ කරන ලද ලංකා අමද්‍යප සභාවේ ඩී.එස්. සේනානායක මහතා ප්රමුඛ චරිතයක් විය. ඊට ප්‍රබල ලෙස පුරෝගාමී වූ රටේ පිළිගත් තවත් බොහෝ විද්වත් සහ කෘතහස්ත චරිත සිටි බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඊට ආරම්භයක් ලබාදීමේදී මුල්‍ය දායකත්වය අතින් ප්රමුඛ ලෙස ස්පෙටර් මුදලිතුමාද, එෆ්. ආර්. සේනානායක මහතාද කැපී පෙනේ. එහි සංවිධාන ශක්තිය සඳහා උරදුන් ප්‍රබලම චරිතයක් වූයේ ඩි.එස්. සේනානායක තරුණයාය. මන්දයත් යටත්විජිත රාජකීය ආණ්ඩුවේ කනෙන් දුම් පිටවීමට සමත්කර වූ, හාපිටිගම් කෝරළේ මහා අමද්‍යප රැස්වීම සංවිධානය කිරීමෙහිලා යෝධ ශක්තිය වූයේ ඩී.එස්. සේනානායක මහතාය. එකල විසිපන්දසක් ඉක්මවූ ජන සංඛාවක් සහභාගි වූ මෙම රැස්වීම තුළින්ම ඩී.එස් සේනානායක මැතිඳුන්ගේ තරුණ වියේ සිටම තිබූ නායකත්වය දීමේ ගුණය මොනවට පැහැදිලි වේ.
රංග ශ්‍රී පීරිස්
මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්
සේනානායක පදනම
[email protected]
077 201 47 17