මැදපෙරදිග අරාබි වසන්තයේදී මෙන් ලේ ගංගා හා මිනී කඳු මතින් තොරව ජනවාරි 08 දා මේ මහපොළොව තුළ ඇති වූ යහපාලන වෙසනට සමගාමීව පැවැත්වෙන මහ මැතිවරණය අත ළඟය. එහි යනපාලන පිළට නායකත්වය ලබාදෙන අගමැති රනිල්ගේ මතවාදයි මේ.
Q ඔබ 1994 දී පැරදිලා වසර 20 ක් එක දිගට තට්ටු දමමින් එජාප විකට්ටුව රැකගත්තේ පක්ෂය ඇතුළෙන් මෙන්ම පිටතත් පැමිණි අභියෝග මැදයි. තට්ටු දැමූ ඔබ දැන් හයේ ඒවා ගහන තැනට ඇවිත් තිබුණත් ඒ කටුක අතීතය ගැන අද මොකද කියන්නේ?
විජයබාහු රජු අමාරුවෙන් තම දේශය ආරක්ෂා කරලා එකට එකතු කළා වගේ තමයි අපිත් කළේ. දීර්ඝ කාලයක් ගියා. මුලින් පක්ෂය රැකගෙන පසුව රටයි ජනතාවයි රැකගන්නයි අපි සැලසුම් කළේ.
Q 78 ව්‍යවස්ථාව තුළින් බිහි වු අගමැති පියන් කෙනෙක් බවට විග්රහ වුණා. ඒත් පසුගියදා සම්මත වූ 19 වැනි සංශෝධනයෙන් පසු මෙම මහ මැතිවරණයෙන් පසු බිහිවන අගමැති බලතල සහිත ප්‍රබලයෙක් නේද?
මම 93 දී 2001 හා 2015 දී අගමැති වුණා. ඒ කිසිම අවස්ථාවක මම නම් පියන් කෙනෙක් වුණේ නෑ. 19 එන්නත් කළින් මම බලතල අරන් ක්‍රියා කළා. 19 න් පස්සෙත් ජනාධිපතිතුමා හා සහයෝගයෙන් බලතල අරන් ක්‍රියා කරලා රටට වැඩ කිරීම මගේ අරමුණයි.
Q මෙවර එජාපෙ තරග බිමට එන්නේ ජාතිකවාදී මතවාදත් හවුල් කරගෙන වුවත් මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ බටහිර ජාතික අයිවන් කොසිබ් නේද?
දේශපාලන අනාථයෝ ජනතාව නොමග යවලා හරි ගොඩ එන්න මේ වගේ බොරු කියලා ජනතාව නොමග යවන්න හදනවා. එජාපය මහින්දගේ දූෂිත පාලනය තුළ ජනතාවත් රටක් දුක් විඳපු හැටි දැක්කා. ඒ ජනතාවට හා රටට යළි උපදින්නට අවශ්‍ය මූලික පසුබිම පංචිවිධ සැලැස්මට එජාපය ඇතුළු කළා. ඉන් පසුව අප හා එක්වූ පක්ෂ හා සිවිල් සංවිධාන වල අදහස් වලින් එය තවත් පෝෂණය කළා. දේශීයත්වය දේශීය ආර්ථිකය හා සමාජ පසුබිමට අදාළවයි අපේ සැලසුම හැදුවේ. ඒත් මහින්දගේ රටට පණ දෙමු දන්සැල් සීට්ටුව ලියන්නටත් මුද්‍රණය කරන්නත් කුඩු එතනෝල්, කැසිනෝ මුදලාලිලා කැපවූ හැටි අපි දන්නවා.
Q පංචිවිධ සැලැස්ම තවත් පොරොන්දු හා පච මල්ලක් නොවන බවට දිය හැකි සහතිකය කුමක්ද?
මේක දියුණු රටවල වගේ සැලැස්මක් විනා පොරොන්දු මල්ලක් නොවෙයි. ආර්ථිකය, යටිතල, අධ්‍යාපනය දියුණු කරමින් දූෂණය නැති නිදහස් රටක් බිහිකිරීම අපේ ඉලක්කයයි. රැකියා ලක්ෂ 10 ක් නිවාස ලක්ෂ 05 ක් ඇති කරනවා. මන්නාරම් තෙල් හා ගෑස් නිධිගොඩ අරන් රටට බලශක්තිය ලබාදෙනවා. රාජපක්ෂලා ලොකු කොමිස් ඉල්ලූ නිසා හැරිලා ගිය සමාගම් දැන් යළිත් එන්න පටන් අරන්. වොක්ස් වැගන් කාර් සමාගම කුලියාපිටියේදී කම්හල් අරඹනවා.
හම්බන්තොටට චීන සමාගමක් ඇවිත් නැව් හදන්නත්, ත්‍රිකුණාමලේ තාප බලාගාරයක් හදන්නත් දැනටත් එකඟවී හමාරයි. කෘෂිකර්ම හා කර්මාන්ත අධිකලාප රට පුරා ඇති කරනවා. ඒ හරහා තරුණයන්ට රැකියා හා ජනතා අතමිට සරු කරනවා. එජාප ආණ්ඩුවකට ඉතිහාසය පුරා ලෝක සහාය ලැබෙනවා. අපි ලෝකය එක්ක රාජ්‍යතාන්ත්‍රිකව හා සුහදව ක්‍රියා කරනවා විනා ගැටෙන්න නොයෑම ඊට හේතුවයි. ඒ තුළ ඉදිරි වසර 05 දී රට තුළ ආර්ථිකය ඇතුළු හැම අතින්ම ජනතාවට වාසිදායක විප්ලවයක් අපි කරනවා.
Q දින 100 දී ජනතාවට සහන රටට ප්රජාතන්ත්රවාදය ලබාදුන් බව කිව්වත් රාජපක්ෂවරු හා පිරිස් කියන්නේ පළිගැනීම මිස අනෙකක් සිදු නොවූ බව නේද?
පළිගත්තේ නැහැ. දූෂණ නොකළ අහිංසකයන්ගෙන් ප්‍රශ්න කළා නම් වැරදියි. නීතියට නිදහසේ ක්‍රියාත්මක වෙන්න දීමයි අපි කළේ. ඔවුන්ට දැන් අපට බනින්නත් පුළුවන්. ඒ කාලේ බැන්න නම් සුදු වෑන් වලින් උස්සනවා.
දින 100 ට අපි දුන් සහන ජනතාව දන්නවා. පඩි, විශ්‍රාම, සමෘද්ධි වැඩි කරලා, ඉන්ධන ගෑස් අඩු කළා. ගැබිනි මව්වරුන්ට පෝෂණය, තේ රබර් වී වලට ඉහළ මිලක් දුන්නා. සමාජයට නිදහසත් දුන්නා. අද සුදු වෑන් වලින් පැහැර ගන්නේ නැහැ. මාධ්‍ය ආයතන ගිනි තැබීම් අතපය කැඩීම් නෑ. අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය ස්වාධීනයි. ඡන්දය බටහිර රටවල වගේ නිහඬයි. මැකෝ දීපු නියෝග ගිය රජය පිළිගත්තේ නෑ. ඒත් දැන් පිළිගන්නවා. දින 100 ට මේවා මදිද?
Q ඒ දින 100 තුළට මහා බැඳුම්කර වංචාවකුත් සිදුවූ බවට විපක්ෂය කරන චෝදනාව බරපතළයි නේද?
රාජපක්ෂ හා වටේ හිටපු හොර නඩය දැන් අලුතින් ඉපදිලා. වසර 10 ක් රටේ ජනතා මුදල් විනාශ කරපු කොල්ල කාපු අය එක සිද්ධියක් අල්ලන් දඟලනවා. බැඳුම්කර වංචාව මොකක්ද? ඉන් රටට සිදුවූ පාඩුව මොකක්ද? විපක්ෂයේ අය පාඩුව ගැන එක එක බොරු කීමෙන්ම ඔවුන්ගේ ප්‍රෝඩාව වැටහෙනවා. අමාත්‍යාංශය බැංකු අධිපති ගැන විමර්ශනය කළා. ඉන් කියවුණේ අධිපති මැදිහත් වෙලා නැති ‘නිසා වරදකරුවෙකු නොවන බවයි.
අධිපති වැරදි බව කියමින් තිදෙනෙක් උසාවි ගියා. සිදුවූ වංචාව හා ඉන් රටට සිදුවූ අලාභය ඔප්පු කරන්නැයි කීවාම ඔප්පු කරගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් යුතු තේරීම් කාරක සභාවකින් බැඳුම්කර සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් අපි කරනවා. මීට පෙර හිටපු අධිපතිගේ සහෝදරියෙකුත් මේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධයි. ඒ ගැනත් මීට පෙර ආණ්ඩුවේ බැඳුම්කර වලින් සිදුවූ දේවලුත් ඒ තේරීම් කාරක සභාව සොයාවී. එදාට කාගේ රෙදි ගැවේවිද බලමු.
Q මෙවර එජාප මැතිරණය සටන ඉදිරියට යන්නේ බැඳුම්කර මුදල් උඩ බවටත් චෝදනා කරන අය ඉන්නවා.ඔබේ ප්‍රතිචාරය?
එජාපය 94 ඉඳලා විපක්ෂයේ ඉඳගෙන මැතිවරණ කීයක් කළාද? ඒවා කළෙත් බැඳුම්කර මුදල් වලින්ද? මෙවර බැඳුම්කරවලින් එජාප ආණ්ඩුව ලබාගත් සියලු මුදල් අපි යට කළේ මුදල් නොගෙවා කොමිස් ගසාකමින් රාජපක්ෂලා ඉදිකළ මහා මාර්ගවලට ගෙවන්නයි.
ඒ වගේම කේ.පී. බාරයේ තිබූ බව කියපු කොටින්ගේ රත්තරන් බැංකු ගිණුම්වල ඩොලර් කෝටි ගණන් පෙඩරල් ෂෙඩ්, නැව් කෝ. ඒවා රටේ භාණ්ඩාගාරයට ගත්තද? ඒ මුදල් සන්ධානයේ ඡන්ද වැඩට ගන්නවද නැත්නම් කවුරු හරි හංගන් ඉන්නවද? හංගාගෙන ඉන්නවානම් එයා රටට ද්‍රෝහියෙක්,කොටියෙක්.
මහින්ද යළි නොදිනුවහොත් කොටි එනවා රට කැඩෙනවා යැයි රට තුළ වරපුරන මතවාද වලට ඔබේ ප්‍රතිචාර?
ජනවාරි ජනපතිවරණයේදීත් මේ අය කිව්වේ මෛත්‍රී ජනපති වුණොත් මාසයක් ඇතුළත කොටි එනවා මාසයක් තුළ රට කැඩෙනවා කියලයි. එහෙම වුණාද? මේ මහ පොළොව තුළ ආපහු ත්රස්තවාදයට බෙදුම්වාදයට ඉඩක් නෑ. ඒකීය රටක බලය බෙදීම 13 වන සංශෝධනය අනුව සිදුකරනවා. ඉන්දියාව ඉන්නෙත් ඒ ස්ථාවරයේයි. දෙමළ සන්ධානය නව ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ෆෙඩරල් ඉල්ලුවට අපට ඒ ගැන වගකීමක් නෑ. 52 ඉඳලා ඔවුන් ඒක ඉල්ලනවා.දෙමළ ඡන්ද ආකර්ෂණය කරන්න මෙවරත් ඉල්ලනවා ඇති.
Q ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා මහින්ද යටපත් කරන සැලැස්මක එජාපයත් ඒජන්තවරයෙක් බවට චෝදනාවක් තිබෙනවා.
ජතාවාදය ආගම්වාදය වෛරය වපුරන අය රට බිය වද්දා සමාජය නොමග යවනවා. මේ හිංසනය නවත්වන්න නීති ගෙන ආ යුතුව තිබෙනවා. මහින්දගේ පරාජය ඇරඹුණේ ඌවෙන්. ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? ජනපතිවරණය වසර 02 කට කලින් ගෙනැත් රාජ්‍ය සාස්තරකරුගේ බොරු උපදෙස්වලට රුවටිලා ක්‍රියා කරල පැරදුනේ මහින්ද හා වටේ සිටි අයගේ උපදෙස් මතයි. මේවාත් ජාත්‍යන්තර කුමන්ත්‍රණද? මහින්ද පැරදුවේ මහින්දගේම කුමන්ත්‍රණ විසිනුයි.
ආපහු කොටි එන්නේ කොහොමද කොටි ඔක්කෝම මැරුවේ කියලයි මහින්ද කිව්වේ. කොටි එනවා කියලා ආපහු එයාම කියනවා. රටේ ආරක්ෂක වගකීම් තියෙන්නේ ජනාධිපතිට. කොටි එනවා රට කැඩෙනවා කියල රාජපක්ෂ හා නඩය චෝදනා කරන්නේ මට වෙන්න බෑ. ජනපතිටයි මේ චෝදනා කරන්නේ.
Q මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විරුද්ධවාදීන් කොටු කිරීමට ස්ථාපිත කළ එකක්ද?
නැහැ. රටතුළ සිදුවූ දූෂණ සොයන්න පොලිස් ආඥා පනත යටතේයි මේක ඇති කළේ. හොරකම් හා වැරදි නොකරපු අය මේකට බිය විය යුතු නැහැ. ඒත් සන්ධානයේ හොරු රැළ බය වෙලා මේ අයට ගල් ගහලා මරන්න කතා කරනවා. මේ ඒකකයෙන් කාටහරි නඩු දානවා නම් නීතිපති හා පොලිස්පතිගේ එකඟතාව අවශ්‍යයි. දේශලපාලකයෝ සූක්ෂමවයි හොරකම් කරන්නේ.
ඒවා අල්ලන්න ව්‍යාපාරික දැනුම, නීතිය පොලිස් විමර්ශන ගැන පළල් අවබෝධයක් ඕනෑ. අපි ඒ විදියට අපේ නිලධාරීන් පිටරට යවල පුහුණු කරනවා. අල්ලස් කොමිසම වෙනුවට වෙනමම යාන්ත්‍රණයක් ඇති කරනවා.
Q තාජුඩීන්ගේ මරණය දේශපාලන වාසි සඳහා යොදාගන්නවාද?
ජනතාව අපි එක්ක ඉන්න නිසා එවැනි බංකොලොත් වැඩ අවශ්‍ය නෑ. රාජපක්ෂ සමයේ අධිකරණය, පොලීසිය හිරකරගෙන හිටියා. අපි ඒවාට නිදහස දුන්නා එච්චරයි. තාජුඩීන් වගේ රටට වටිනා ක්‍රීඩකයෙකුගේ මරණය සන්ධානයට පාරාවළල්ලක්ව ඇති බවයි රාජපක්ෂ හා නඩයේ හැසිරීම් හා ප්‍රකාශ කියාපාන්නේ.
Q ඔබේ කේන්දරේ කොහොමද?
රටේ කේන්දරේ නම් 17 ට පසු හොඳ වේව්.
සංවාදය අශෝක ජයතුංග