මාර්ග තදබදය, සේම මාර්ගවල සිදුවන අනතුරු දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. මෙම තත්ත්වය මගහරවා ගැනීමට පසුගිය කාලය පුරාම විවිධ විසඳුම් ඉදිරිපත් වුවත් ඒ හරහා කිසිදු සහනයක් ලැබී නොමැති බවට රට තුළින් නැගෙන චෝදනාවකි. මේ නිසා මාර්ග අනතුරු අවමකර ගැනීමට හා මාර්ග තදබදය අවම කිරීමට මාර්ග වැරදි සම්බන්ධයෙන් පවතින දඩ මුදල් ඉහළ දැමීමට වර්තමාන ආණ්ඩුව කටයුතුකර තිබේ. මෙය අසාධාරණ ක්‍රියාවක් බව පවසමින් ඇතැම් බස් සංගම් ආණ්ඩුවට එරෙහිව විවිධ චෝදනා සිදුකරමින් සිටී. එමෙන්ම මාර්ග තදබදය ඇති වීමට පොලීසිය වගකිවයුතු බවටත් ඇතැම් පිරිස් සඳහන් කරන කාරණයකි. මෙම චෝදනාවලට අමතරව මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී නීතිය ක්‍රියාත්මක නොකර ඇතැම් පොලිස් නිලධාරීන් යම් යම් වරප්‍රසාද ලබාගෙන නිහඬ පිළිවෙතක් ක්‍රියාත්මක කරන බවටත් චෝදනා එල්ලවෙමින් තිබේ. මේ නිසා 'අද' මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා සමග කතාබහක නිරත විය.
වාහන වමෙන් ඉස්සර කිරීම
වාහන එක් පැත්තකට ධාවනය වන මාර්ගයක නම් (වන් වේ) ඒක ප්‍රශ්නයක් නැහැ. එත් එකම මාර්ගයේ දෙපැත්තට වාහන ගමන් කරන වෙලාවකදී වමෙන් ඉස්සර කිරීමට යාමේදී අනතුරු සිදුවෙන්න පුළුවන්. එය රථවාහන නීතියට ගැළපෙන්නෙ නැහැ. මෙය දඬුවම් ලැෙබන වරදක්.
දකුණු තීරුවේදී මන්දගාමීව ගමන් කිරීම
රථවාහන ගමන් කිරීමේදී මහාමාර්ග අවහිර වෙන ආකාරයට රථවාහන පැදවීම වරදක්. එවැනි අවස්ථාවකදී මෝටර් වාහන පනත යටතේ කටයුතු කරන්න පුළුවන්. මෙතනදී මාර්ගය අවහිර කිරීමේ චෝදනාවට පොලිස් නිලධාරීන්ට දඩ කොළයක් ලබාදෙන්න පුළුවන්. නමුත් ඒ වරද අපරික්ෂාකාරී,නොසැලකිලිමත් ආකාරයට සිදුවුවහොත් ඔවුන්ට දඩ කොළ නිකුත් කිරීමක් කරන්න බැහැ. ඒක නිසා ඔවුන්ට ඍජුවම අධිකරණයේ නඩු පවරනවා.
වේග සීමා නැති ප්‍ර‘දේශයකදී අධික වේගයට නීතිය ක්‍රියාත්මක කළ හැකිද?
වේග සීමා ලකුණු කර නැති ප්‍ර‘දේශයකදී අධික වේගයෙන් ධාවනය කිරීමට දඩ කොළ නිකුත් කරන්න බැහැ. මේක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත සිදුවන දෙයක්. ඒත් අදාළ ස්ථානවල ඉන්න පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වනවා නම් මේක නොසැලකිලිමත් අපරික්ෂාකාරී රිය ධාවනයක් කියලා, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි එතැනදී වේග සීමාව සම්බන්ධයෙන් නඩු ලබාගන්න බැහැ.
වේග සීමා කොතරම්දුරට බලපැවැත්වෙනවාද?
සාමාන්‍යයෙන් නාගරික සීමාවට එක්තරා වේග සීමාවක් තියෙනවා. නගරයෙන් පිටතට තවත් වේග සීමාවක් තියෙනවා. මෙම සීමා දෙක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතනදී වේග සීමා පුවරු මගින් අදාළ වේග සීමා ලකුණු කරලා තියෙන්නේ. ඒ සීමාවට තමයි අදාළ වේග සීමා බල පැවැත්වෙන්නේ.
වේග මාපකවල ගැටලු තිබෙන බවට නැගෙන චෝදනාව
අපි භාවිත කරන්නේ ලෝකයේ භාවිත කරන නිර්ණායකවලට අනුව සකස් කළ උපකරණ. ඒවා ලෝකයේම අධිකරණවල පිළිගන්නවා. ඒක අපේ රටෙත් පිළිගන්නවා. ඕන කෙනෙකුට ඒ යන්ත්‍රය පිළිබඳව අභියෝගයට ලක්කරන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී ඒ යන්ත්‍ර සූත්‍ර පිළිබඳව නිර්ණායක පෙන්වන්න පුළුවන්.
වේග සීමාව කිලෝමීටරයක් ඉක්මවීමේදීත්, කිලෝමීටර් 30 ක් ඉක්මවීමේදීත් එකම දඬුවම ලැබීම
ලෝකයේ සම්මත ක්‍රමය තමයි ඒක. මොකද නියමිත වේග සීමාව ඉක්මවලා එකක් වැඩියෙන් ගියත්, 30 ක් වැඩියෙන් ගියත්, ඊට වැඩියෙන් ගියත් ලැබෙන දඬුවම එකයි.මොකද වේග සීමාව කොහොමටත් ඉක්මවලා යන්න බැහැ. එහෙම උනොත් දඬුවමකට යටත් වෙන්න ඕන.
රිය බලපත්‍රයක් නොමැතිව කෙනෙකුට වාහනයක් ලබාදීම
රියදුරු බලපත්‍රය නොමැතිව රථ වාහන ධාවනය කරන කෙනාට අනිවාර්යෙන්ම දඬුවමක් හිමි වෙනවා. වර්තමානයේදී ඒ අය අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වගේම කියන්න ඕන රිය බලපත්‍රයක් නොමැති කෙනෙකුට වාහනයක් ලබාදුන්නාට වාහනයේ ලියාපදිංචි අයිතිකරුට විරුද්ධවත් නඩු පැවරීමක් සිදුකරනවා.
මාර්ග නීතිය ක්‍රියාත්මක නොකර අතයට ගනුදෙනු කර මුදාහැරීම
සමස්ත පොලිස් සේවයේ 5% ක් 6% ක් ඔය වගේ නිලධාරීන් ඉන්න පුළුවන්. මොකද මේක සංකීර්ණ සමාජයේ සිදුවන දෙයක්. එවැනි වැරදි කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා. නඩු පවරනවා. මෙතනදී කියන්න ඕන 83000ක් විතර ඉන්න පොලිස් සේවයේ ඔය වගේ නිලධාරීන් 100ක් 200 ක් ඉන්න පුළුවන්. හැබැයි වැරදි කරන නිලධාරීන්ට දඬුවම් ලබාදීම සිදුකරනවා.
පදික මාරු වැඩි වීම මාර්ග තදබදයක් ඇති කිරීම
පදික මාරු එහෙම නැතිනම් කහ ඉරි වැඩිපුර තිබීම මාර්ග තදබදයට හේතුවක් වෙන්න පුළුවන්. නමුත් කහ ඉරි තියෙන්නේ අපේ රටේ විතරක් නොවෙයි. අපට වඩා දියුණු රටවල් වල නගර ලෙස ලන්ඩන්, ජිනීවා, පැරිස් නගරවල ගත්තත් මේ තත්ත්වයම තියෙනවා. මේකට හොඳම පිළියම තමයි තායිලන්තය වගේ රටවල් වල අනුගමනය කරලා තියෙන මගී පාලම් ඇති කිරීම. හැබැයි එතැනදී පදිකයාට හානියක් සිදුවෙන්න බැහැ.
ඒ කියන්නේ පදිකයාට පඩිපෙළ නැගගෙන යන්න බැහැ. ඒ සඳහා විදුලි සෝපානයක්, කැරකෙන පඩිපෙළක් වැනි දෙයක් තියෙන්න ඕන. නමුත් සමහර තැන්වල ඒකත් කරන්න බැහැ. මෙතනදී කියන්න ඕන වාහනයකට වගේ නෙවෙයි පදිකයෙකුට පාර මාරු වෙන්න කිලෝමීටරයක් යන්න උනොත් එය පදිකයා අපහසුතාවයට පත්කරන කාරණයක්. ඒක නිසා ඔය කියන කාරණය නොවැළැක්විය හැකි කරුණක්.
නව දඩ මුදල් නිසා රියදුරන් අපහසුතාවයට පත්වීම
දඩ මුදල් ඉහළ යාම ගැන කිසිම කෙනෙක් කලබල විය යුතු නැහැ. ඒකට හේතුව තමයි වැරදි නොකරන කිසිදු රියදුරෙකුට දඩ කොළ ලැබෙන්නේ නැහැ. දඩ කොළ හා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ මාර්ග නීති කඩන අයට. මාර්ග නීති කඩකරන්නේ නැත්නම් දඩ මුදල් ඉහළ යාම ගැන බයක් සැකයක් ඇති කරගත යුතු නැහැ. රටක සිදුවන මාර්ග අනතුරු, මාරක රියඅනතුරු, මාර්ග තදබදය නවත්වන්න නම් අනිවාර්යෙන්ම රට තුළ දැඩි නීති ක්‍රියාත්මක විය යුතුයි.
රථවාහන රාජකාරීවල නිරත වන පොලිස් නිලධාරීන්ගේ දැනුවත්භාවය
අපේ පොලිස් සේවයේ තියෙන විවිධ අංශ සමග සාපේක්ෂව බලනකොට රථවාහන රාජකාරිවලට අනුයුක්ත කරලා ඉන්න නිලධාරීන්ගෙන් 60%කටත් වඩා රථවාහන සම්බන්ධයෙන් පාඨමාලා හදාරපු අය. එහෙම පුහුණු පාඨමාලා හැදෑරූ අයගේ නිල ඇඳුමේ රෝදයක සලකුණ තුළ ත්‍රිකෝණාකාර සලකුණක් සහිත පලඳනාවක් පැලඳගෙනයි ඉන්නේ. ඒ නිසා දැනුම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ.
තනි පොලිස් නිලධාරියෙකු නඩු ලබාගැනීම
නීතියේ සාක්ෂි ආඥාපනතේ නඩුවක් ඔප්පු කිරීම සඳහා සාක්ෂි මෙතෙක් අවශ්‍යයි කියලා නැහැ. ඒ කියන්නේ නඩුවක් ඔප්පු කිරීමට අවශ්‍ය වන්නේ සාක්ෂි එකක්ද, දෙකක්ද, සීයක්ද කියලා නැහැ. ඒ කියන්නේ නඩුවක් එක සාක්ෂියකින් ඔප්පු කරන්න පුළුවන්. එක් පොලිස් නිලධාරියෙක් නඩුවක් දැම්මා කියල මේ අනුව ප්‍රශ්නයක් නැහැ.
දඩ මුදල්වලින්ම යහපත් රියදුරන් බිහිකිරීමට යාම
මාර්ග අනතුරු අවම කරන්න තව නීති සැකසෙන්න ඕන. රියදුරන් ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕන. යහපත් රියදුරන් බිහිකිරීම කෙසේවෙතත් හරියට පාරෙ යන්න රියදුරන් පුරුදු පුහුණුවෙලා කටයුතු කරන්න ඕන. මොකද ඔහු දැනගන්න ඕන වරදක් කළොත් තමන්ගේ දෛනික වැටුපට වැඩි මුදලක් දඩ වශයෙන් ගෙවන්න වෙනවා කියලා. ඒ වගේම බරපතළ වරදකදී රිය බලපත්‍රය අහෝසි වෙනවා කියල රියදුරු දැනගත යුතු වෙනවා. මාර්ග නීති අවම කරගැනීම සඳහා ලෝකයේ ක්‍රියාත්මක වන ක්‍රමයක් තමයි මාර්ග නීති උල්ලංඝනය කිරීමකදී දඩකොළ නිකුත් කිරීම හා රිය බලපත්‍රය අහෝසි කිරීම. ඒ වගේම ආරක්ෂිත කැමරා සවිකරලා අදාළ කටයුතු කරනවා. අපේ ප්‍රධාන නගරවල ඒ තාක්ෂණය තිබුණත්, රටපුරා ව්‍යාප්තවෙලා නැහැ.
රියදුරෙකුට ලබාදෙන පුහුණුව ප්‍රමාණවත්ද?
රිය පුහුණුව පිළිබඳව තියෙන පාඨමාලා පිළිබඳව හා ඒ සඳහා තියෙන විභාග ගැන ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හරියට තියෙනවා. මෙතනදී වෙන්නේ රිය බලපත්‍රය අරගෙන ආවට පස්සෙ සමාජයේ තියෙන උප සංස්කෘතීන්වලට ඒ අය වැටෙන එක. උදාහරණයක් ලෙස ත්රිරෝදරථ රියදුරෙක් ගත්තොත් මේ රටේ අවනීතිම රියදුරන් ලෙස තමයි සැලකෙන්නේ. ඒකට එක් හේතුවක් තමයි මුදල් පසුපස හඹා යාමට සිදුකරන තරගකාරීත්වය. පෞද්ගලික බස් රථ ගත්තත් ඒක සිදුකරනවා. එවායේ ප්‍රතිඵල තමයි දැන් සිදුවෙන්නේ.
පදිකයන් මාර්ග නීති උල්ලංඝනය කිරීම
පදිකයන්ගේ වැරදි නිසා රියදුරන් අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. හැබැයි ඒක රියදුරුගේ නිදහසට කාරණයක් නෙවෙයි. මෝටර් රථ ආඥාපනතේ 149,1 වගන්තියෙ සඳහන් වෙන්නේ අනතුරක් වළක්වා ගැනීම රියදුරුගේ පරම යුතුකමක් කියලා. ඒ කියන්නේ කොහොම හරි අනතුර වළක්වා ගන්න ඕන. මොකද මාර්ගය දෙපස නගරවල් තියෙනවා, පාසල් තියෙනවා, ඒ වගේම මාර්ග සලකුණු තියෙනවා. එතනදී ඉස්සරහින් පාසලක් තියෙනවා, වංගුවක් තියෙනවා පාර ලිස්සන සුළුයි වැනි කරුණු සඳහන් කරන සලකුණු පිළිබඳව අවධානය යොමු නොකර තමයි ගොඩක් රියදුරන් රථ ධාවනය කරන්නේ. හැම වෙලාවෙම මාර්ග සංඥා, සලකුණු පිළිබඳව අවධානය යොමු කරලා රිය පදවනවානම් මේ වගේ අනතුරු සිදුවෙන්නේ නැහැ.
පොලීසියේ වගකීම
පොලීසියේ වගකීමක් තමයි නීතිය ක්‍රියාත්මක කිරීම වගේම රියදුරන්ට වැඩමුළු, දේශන, දැනුවත් කිරීම් සිදුකිරීම. මේක හැම සති අන්තයකම පොලිස් ස්ථාන තුළ සිදුවන කාරණයක්. එහෙම කරලා, වැරදි කරන අයට නිතීය ක්‍රියාත්මක කළොත් පමණයි මාර්ග අනතුරු අවම කරගන්න පුළුවන් වෙන්නේ.
පොලිස් නිලධාරීන් නිසා මාර්ග තදබද ඇතිවීම පිළිබඳ චෝදනාව
ඔය චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පොලිස් නිලධාරීන් රථ වාහන රාජකාරීවල නිරත වීම නිසා තමයි මේ ආකාරයට හරි මාර්ග අනතුරු අවම කරගන්න, මාර්ග තදබදය අවම කරගන්න හැකිවෙලා තියෙන්නේ. උදේ වරුවේ හරි හවස් වරුවේ හරි එක විනාඩි 10කට කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලින් පොලිස් නිලධාරීන් අයින් කළොත් වෙන දේ බලාගන්න පුළුවන්. මිනිස්සු හිතනවා පොලිස් නිලධාරීන් නිසා මාර්ග තදබද ඇතිවෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. පොලිස් නිලධාරීන් කරන කැප කිරීම නිසා තමයි මේ තත්ත්වයට හරි තියෙන්නේ.
පොලිස් නිලධාරීන් කොච්චර කැප වුණත් වැඩක් නැහැ අනිත් දේවල් සංවර්ධනය වෙන්නෙ නැත්තම්. 1956 වසර ගත්තොත් ලංකාවට තිබුණේ වාහන 6000ක් වගේ. ඊට වසර 60කට පසු අද වන විට ලංකාව තුළ වාහන ලක්ෂ 60ක් වෙලා තියෙනවා. නමුත් එදා තිබුණු ගාලු පාරේ මංතීරුම තමයි අද තියෙන්නේ. එදා තිබුණ බෞද්ධාලෝක මාවතම තමයි අද තියෙන්නේ. එදා තිබුණ නුවර පාරේ මංතීරු තමයි අදත් තියෙන්නේ. ඒ කියන්නේ යටිතල පහසුකම් දියුණු වෙන්නේ නැහැ. මේ නිසා පොලිස් නිලධාරීන්ට පමණක් මේක කරන්න බැහැ. රියදුරන්ද වීනිත විය යුතුයි.