මෙරට ඇතැම් දේශපාලන පක්ෂ සංවිධාන මෙන්ම සිවිල් සංවිධානද කාලයක් පුරාවට හඬනගමින් සිටි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම තහවුරු කරන තොරතුරු දැනගැනීමේ පනත කෙටුම්පතක් ලෙස මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී හමාරය. රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වීමේ මුල් පියවරක් ලෙස සැලකෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ශක්තිමත් කිරීමට කාලයක් ගතවීමෙන් පසුව හෝ කටයුතු කිරීම පැසසීමට කරුණකි.
කෙසේවුවද තොරතුරු දැනගැනීම පිළිබඳ මෙරට වැසියන් එතරම් උනන්දුවක් නොදක්වන නිසා සහ මේ පිළිබඳ දැනුවත් වීමට උනන්දුවක් නොදක්වන බැවින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ දැනුවත් කිරීමට අදහස් කළෙමු.
තොරතුරු දැනගැනීමේ පනත ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමත් වුවද ලෝකයේ මුල්වරට මෙවැනි පනතක් ඉදිරිපත් වූයේ 1766 ස්වීඩනයේදීය.
එමෙන්ම 1946 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තොරතුරු දැනගැනීම මිනිස් අයිතිවාසිකමක් ලෙසද පිළිගනු ලැබුණි.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයට සහ සිවිල් හා ජාත්‍යන්තර සම්මුතීන් අතරටද මේ වන විට මෙය එක්කර තිබේ.
දකුණු ආසියාවේ සියලුම රටවල් තුළ මේ වන විට තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වන අතර, මෙතෙක් එය ක්‍රියාත්මක නොවූයේ ලංකාව තුළ පමණි.
අනිකුත් රටවල තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලමින් ජනතා නැගීටීම් පවා ඇතිවූ අතර, ඒ හරහා තොරතුරු දැනගැනීමේ අයිතිය ඔවුනට හිමිවුණි. එසේවුවද ලංකාව තුළ ආණ්ඩුවක් මගින් එය ක්‍රියාත්මක කිරීමට තීරණය කරනතුරු තොරතුරු දැනගැනීමේ අයිතිය ඉල්ලා ජනතා හඬ ක්‍රියාත්මක නොවීම වෙනස් තත්ත්වයකි.
තොරතුරු දැනගැනීමේ අයිතිය
ප්‍රජාත්‍රන්තවාදය ක්‍රියාත්මක වන රටවල් තුළ මහජන බදු මුදලින් රජය ක්‍රියාත්මක වන අවස්ථාවේ සිය බදු මුදල් සඳහා කුමක් සිදුවීද යන්න ජනතාවට දැනගැනීමට අයිතිය තිබිය යුතුය. තොරතුරු සෙවීමට සහ තොරතුරු දැනගැනීමට, ලබාගැනීමට ඇති අයිතිය ලෙස එය සඳහන් වේ. තොරතුරු ලබාගැනීමේ අයිතිය, තොරතුරු ප්රකාශනය සම්බන්ධව රාජ්‍ය ආයතන සතු වගකීම, තොරතුරු ලබාදීම පිණිස ඇති වගකීම පිළිබඳ මේ යටතේ සඳහන් කර තිබේ. එමෙන්ම ජනතාව ඉල්ලා සිටින තොරතුරු ලබාදීමටද පාලකයන් මේ හරහා බැඳී සිටියි.
මෙම අයිතිය යටතේ රාජ්‍ය ආයතනයකින් තොරතුරු ලබාගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් කරන ඕනෑම පුද්ගලයෙකුට, එම ඉල්ලීම ඉටුකිරීමට නීතිමය වශයෙන් බලපෑමක් නොවේ නම් එම තොරතුරු ලබාදීමේ වගකීමක් රාජ්‍ය ආයතනවලට ඇත.
තොරතුරු දැනගැනීමේ අයිතියේ වැදගත්කම
තොරතුරු දැනගැනීමේ නිදහස ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය වගකීම්සහිත බව සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමට, දූෂණ, වංචා හෙළිදරව් කිරීමට මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ගුණාත්මක කිරීමට සහ වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පර්යේෂණ සහ වාර්තා ඉදිරිපත් කිරීමටද එය වැදගත් වේ.
ප්රජාතන්ත්රවාදී යාන්ත්‍රණය තුළ ජනතා සහභාගීත්වය තහවුරු කිරීමට මෙන්ම විනිවිදභාවයටද මෙය ඉතාම වැදගත්ය.
අදහස් ප්‍රකාශ කිරීම, තීරණ ගැනීම වැනි මූලික අයිතිවාසිකම් බලාත්මක කිරීමටද එය වැදගත්ය.
තොරතුරු දැනගැනීමේ අයිතිය නෛතිකව ආරක්ෂා කිරීමේ වැදගත්කම
දශකයකට අධික කාලයක් පුරා නීති විශාරදයන් ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිමය වශයෙන් පිළිගත යුතු බවත්, එම අයිතිය පනතක ආශ්රයෙන් ක්‍රියාවට නැංවීම සඳහා නීතිමය ක්‍රියාදාමයක් හඳුන්වා දිය යුතු බවත් පුන පුනා ප්‍රකාශ කර ඇත. මෙයට හේතූන් වන්නේ:
ලෝකයේ බොහෝ රටවල් මේ වන විට තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථානුකූලව හෝ පනත් ආශ්රයෙන් හෝ අධිකරණය තුළින් හෝ මේ තුන් ආකාරයෙන්ම හෝ පිළිගෙන තිබීමත්, එම අයිතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේද හඳුන්වා තිබීමත්ය. එමෙන්ම නීතීමය පිළිගැනීම සහ නීතිමය ක්‍රමවේදය හඳුන්වා දෙනවා සේම ඒ සඳහා රාජ්‍ය ආයතන තුළ රෙගුලාසි සහ ආයතන පටිපාටි හඳුන්වාදීමට නීතිමය රාමුවක් අත්‍යාවශ්‍යය.
තොරතුරු දැනගැනීම නිසා සුරැකෙන වෙනත් අයිතිවාසිකම්
මේ නිසා පුද්ගලයන්ගේ වෙනත් අයිතිවාසිකම් රැසක් සුරැකෙන අතර, මුලින් සඳහන් කළ පරිද්දෙන්ම මෙය අයිතිවාසිකම් සුරැකීමේ මූලික පදනමද වේ.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, පාරිසරික අයිතීන්, සෞඛ්‍ය සඳහා ඇති අයිතිය, සමානාත්මතාවයේ අයිතිය.
පරිපාලන නීතිය යටතේ එන අයිතිවාසිකම් (උදා: තමා කෙරෙහි බලපවත්වන තීරණවලට අදාළ හේතු දැනගැනීමේ අයිතිය) සහ අනෙකුත් සෑම මූලික අයිතිවාසිකමක්ම බලාත්මක කිරීමෙහිලා තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික වේ.
මේ සඳහා ඇති ව්‍යවස්ථානුකූල බාධා
වත්මන් ව්‍යවස්ථාවේ අවස්ථා කිහිපයක සඳහන් වගන්ති යටතේ තොරතුරු දැනගැනීමට යම් පමණක බාධා පමුණුවන වගන්ති සඳහන් වුවද, පනත යටතේ මෙම සියලුම වගන්ති අබිබවා තොරතුරු දැනගැනීම ක්‍රියාත්මක වන බව සඳහන්ය.
වගන්ති 15(2) -අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීතිමය වශයෙන්, වාර්ගික සහ ආගමික සහජීවනය ආරක්ෂා කිරීම උදෙසා, පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව, අපහාස කිරීමේ සිවිල් වරද සහ අපරාධයකට පෙළඹවීම යන කාරණා යටතේ සීමා වී ඇති බව
වගන්ති 15(7) - වගන්ති 14 සීමා කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව, පොදු සෞඛ්‍ය සේවය රැකගැනීමට, සාමය රැකගැනීමට public order, සදාචාරය රැකගැනීමට, අන් අයගේ අයිතිවාසිකම් සහ නිදහස රැකගැනීමට, ප්‍රජාතාන්ත්‍රික සමාජයක පොදු යහපත පිණිස නීති පැනවීමට හැකි බව
වගන්ති 15(8) - වගන්ති 12(1), 13, 14 ත්‍රිවිධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන් සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී එම සේවයන්ට අදාළ නීතිවලට යටත්ව ක්‍රියාත්මක වන බව
ව්‍යවස්ථාව තුළ
ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා පසුගිය වර්ෂයේදී ඉදිරිපත් කරන ලද 19 වන සංශෝධනය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ඇතුළත් කර තිබේ.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ (1) වගන්තිය යටතේ මෙරට සෑම පුරවැසියෙකුටම තොරතුරු වෙත ප්රවිශ්ට වීමේ හැකියාව තහවුරු කර තිබේ.
ඒ මෙසේය
සෑම පුරවැසියෙකුටම
(අ) රජය , අමාත්‍යාංශයක් හෝ යම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හෝ යම් නීතියක් මගින් හෝ යටතේ පිහිටුවනු ලැබු හෝ ඇතිකරනු ලැබු යම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් සතුව පවත්නා වු;
(ආ) යම් පළාත් අමාත්‍ය මණ්ඩලයක අමාත්‍යවරයකුගේ යම් අමාත්‍යාංශක් හෝ යම් දෙපාර්තමේන්තුවක් හෝ පළාත්සභා ප්රඥප්තියක් මගින් පිහිටුවනු ලැබූ හෝ ඇතිකරනු ලැබූ යම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ සතුව පවත්නා වූ ;
(ඇ) යම් පළාත් පාලන ආයතනයක් සතුව පවත්නාවූ; සහ
පුරවැසියකුගේ අයිතියක් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වූ යම් තොරතුරක් වෙත නීතියෙන් සලසා ඇති පරිදි ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත්තේය
යනුවෙන් එහි සඳහන්ය.
තොරතුරු දැනගැනීමේ පනත
මෙරට තුළ තොරතුරු දැනගැනීම තහවුරු කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත තුළ තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම සෑම පුරවැසියෙකුටම තිබිය යුතු බව දක්වා තිබේ.
තොරතුරුවලට ප්රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද, තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි හේතුව නිශ්චිතව දැක්වීම සඳහාද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහාද තොරතුරු නිලධාරීන් පත්කිරීම සඳහාද තොරතුරු ලබාගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පතක් ලෙසද පනත නම්කර තිබේ.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) වගන්තිය මගින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිවාසිකම තහවුරු කර ඇති බවත් තොරතුරු වෙත ප්‍රවේශ වීම තුළින් පොදු අධිකාරිවල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අව්යශ්යතාවයක් පැන නැගී ඇති බවද පනතේ පූර්විකාවෙන් දක්වා තිබේ.
එමගින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගී විය හැකි බවත්, රටේ පොදු ජන ජිවිතයේදී සක්‍රීය ලෙස සහභාගී විය හැකි සමාජයක් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බවත් පූර්විකාවේ ඉතා පැහැදිලිව දක්වා තිබේ.
මේ යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනාකර ඇති අතර, එහි සාමාජිකයන් ගණන පහකි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ප්රකාශකවරුන්ගේ, කර්තෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන සහ වෙනත් සිවිල් සමාජ සංවිධානයන්හි සාමාජිකයන් මෙහි සාමාජිකයන් ලෙස පත්කිරීමට සුදුස්සෝ වන බව දක්වා තිබේ.
කොමිෂන් සභාවේ සමාජිකයෝ වසර පහකට වරක් පත්කරනු ලබන අතර, ඒ හරහා තොරතුරු නිලධාරියෙකු සෑම දෙපාර්තමේන්තුවකටම පත්කිරීමටද යෝජනාකර තිබේ.
මෙම පනත යටතේ තොරතුරු ලබාගැනීමට හැකිවන්නේ මෙරට පුරවැසියන්ට පමණක් වීම තරමක් ගැටලු සහගතය.
එමෙන්ම පුද්ගලික තොරතුරු, රාජ්‍ය ආරක්ෂාවට අදාළ තොරතුරු, යම් රාජ්‍යයක් සමග ඇතිකරගන්නා ගිවිසුම් පිළිබඳ තොරතුරු, බුද්ධිමය තොරතුරු මෙන්ම විදේශ හුවමාරු බැංකු ණය පිළිබඳවද තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි බව දක්වා තිබේ.
කෙසේවුවද මේවායේ සීමා දක්වා නොමැතිකමින් ඇතැම් අවස්ථාවන්හි ජනතාව අසීරුතාවයට පත්විය හැකි බැවින් ඒ පිළිබඳ තවදුරටත් විස්තර වනවා නම් යහපත් බව අපගේ අදහසයි.
එමෙන්ම පුරවැසියෙකු විසින් යම් තොරතුරක් ඉල්ලා දින දාහතරක් ඇතුළත එම තොරතුර ලබාදීමට තොරතුරු නිලධාරියා බැඳී සිටින බවද සඳහන් වේ. මාස හයකට වරක් අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ආදියේ තොරතුරු ලබාදීම අනිවාර්යය කර ඇති අතර, ඇමතිවරුන් ඒ සඳහා උනන්දු කර තිබීමද සතුටුදායකය.
තොරතුරු දැනගැනීම ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ මූලික පියවරකි. එබැවින් මෙරට ජනතාව තොරතුරු දැනගැනීම මෙන්ම අනිකුත් කාරණා වලදීද මීට වඩා වැඩි වශයෙන් සිය සහභාගීත්වය දක්වයි නම් මෙරට පාලකයන්ගේ අධූරදර්ශීභාවය අවමකර ගැනීමට හැකිවනු ඇත.