එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සකස් කළ විශ්වාසභංග යෝජනාවට හෙට(17දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයෙදී කුමක් සිදුවේදැයි විමසිලිමත්ව සිටිති.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට විරුද්ධව සකස් කළ එම විශ්වාසභංග යෝජනාව සහ තවත් කරුණු කිහිපයක් ගැන දැනගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීවිජේපාල හෙට්ටිආරච්චි මහතා සම්බන්ධ කර ගතිමු.
Q නීතිපති දෙපාර්තමේන්තුවේ පමාවක් තිබෙන බවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු කියනවා. මෙසේ පැවසීමට හේතු වූ කරුණු මොනවාද?
නීතිපති දෙපාර්තමේන්තුවේ ඇත්තටම පමාවක් තියෙනවා.උදාහරණයක් විදියට පසුගිය පළාත් සභා මැතිවරණය වෙලාවේ පෙළපාළි ගියා කියලා මට විරුද්ධව නඩුවක් දාලා තිබුණා. මල්මාලයක් දාලා මාව පිළිගෙන ගියා කියලා මැතිවරණ කොමසාරිස් පැමිණිලි කරලා තිබුණේ. අද වෙනකම් මේ නඩුවට නීතිපති උපදෙස් ලැබුණෙ නැහැ.හැමදාම කල්දානවා. අවුරුදු 03ක් තිස්සේ නීතිපති උපදෙස් නැතිව මට නඩුවත් පවරලා නැහැ. පෙළපාළි යන්න තහනම් ක්‍රමයක් තියෙනවා.
මල්මාලා දාලා පයින් යනවා, වාහනයට නගිනවා වැනි කටයුතු සිදුවෙනවා.ඒකට තාම නීතිපති උපදෙස් නැහැ. මේ විදියට නීතිපති උපදෙස් නැතිව නඩු විශාල ප්‍රමාණයක් පමාවෙමින් තිබෙනවා. සමහර තැන්වල නීතිපති උපදෙස් ඉක්මනින් ලැබෙනවා. රවි කරුණානායක මහතාට නීතිපති උපදෙස් ඉතා ඉක්මනින් ලැබුණා. නීතිපති දෙපාර්තමේන්තුව හරස් ප්‍රශ්න අහලා ජනාධිපති කොමිසමේදී නොයෙක් නොයෙක් දේවල් කළා.
නමුත් 2015,2016 අවුරුදුවල දාපු ඇතැම් නඩුවලට මේ දක්වා නීතිපති උදෙස් නොලැබුණුනිසා එම නඩු ඇදි ඇදී යනවා. ඒ නිසා මේක බරපතළ ප්‍රශ්නයක්. අපරාධකරුවන්, විවිධ වංචා සිදුකළ දූෂිතයන් මේ හේතුව නිසා අද ගැලවිලා ඉන්නවා. ඇයි එහෙම ප්‍රමාද වෙන්නෙ. නිලධාරීන්ගේ හිඟයක් තියෙනවද, වැඩකරන්න බැරි වෙනත් ප්‍රශ්න තියෙනවද,කාගෙන්වත් බලපෑම් එනවද කියන කාරණා පිළිබඳ අපි සොයා බැලිය යුතුයි. අපි දන්න හැටියටනම් ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නැහැ. එහෙම තියෙද්දි මෙහෙම කරන්නේ ඇයිද කියන එක ප්‍රශ්නයක්.
Q වසර ගණනාවක් තිස්සේ අධික ලෙස නඩු ගොඩගැසී තිබීම, නිලධාරීන්ගේ හිඟය වැනි කාරණා නිසා මෙලෙස නඩු පමා වී තිබෙන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුවේදී පැවසුවා.මෙවැනි කාරණා නඩු පමාවීමට බලපා ඇත්නම් ප්රශ්නය පැහැදිලියි නේද?
පරිපාලනය නිසි පරිදි සිදුවන්නේ නැත්නම් ඇමතිවරයා වගකියන්න ඕන. පරිපාලන ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳන්න හෝ නිලධාරි හිඟයක් තිබුණා නම් ඒ සඳහා බඳවා ගැනීම් සිදුකරන්න අවුරුදු දෙකක් තිස්සේ ඕන තරම් කාලය තිබුණා.
ඇමතිවරයෙක් අමාත්‍ය ධුරයක් බාරගෙන මුලින්ම කරන්න ඕන ඒකෙ අඩුපාඩු නිවැරදි කරගෙන ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීම.ඒක ඇමතිවරයාගේ වගකීමක්.නමුත් එවැනි උනන්දුවක් සිදුව නැත්නම් ගැටලුවක් තිබෙන බව පේනවා.
Q නීතියේ ස්වාධීනත්වය රකිනවා කියා බලයට පැමිණි රජයක් තිබියදී නඩු ඉක්මන් කරන්න හෝ පමා කරන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න දේශපාලනඥයන්ට පුළුවන්ද?එහෙම වටපිටාවක් රටේ ඇති වී තිබෙනවාද?
එම නඩුවලට යම් කෙනෙක් බලපෑම් කරනවා කියලා අපි හිතන්නෙ නෑ.නමුත් සාමාන්‍ය පටිපාටියට ගියත් මේවා ඉවර වෙන්න යන්න ඕන. අවුරුදු දෙකක් ගිහිල්ලත් එක නඩුවකටවත් නීතිපති උපදෙස් ලැබී නැතැයි කියනවා නම් ඒ සඳහා බලපෑම් කරන්න ඕන නෑ, තමන්ගේ රාජකාරිය ඉටුකළාම ඇති.
Q ඒ කියන්නේ අධිකරණ ඇමතිවරයා මැදිහත්වීමක් සිදුකර මේ නඩු කටයුතු ඉක්මන් කරන්න ඕන කියන එකද?
අනිවාර්යයෙන්ම එයා කතා කරන්න ඕන.ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න ඕන.ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් තමන්ට අවශ්‍ය පහසුකම් ගන්න ඕන.ඒ විදියට කරන්න මොනතරම් දේවල් තියෙනවද?නමුත් ඒවා සිදුකරන්නෙ නෑ.
Q මේ නඩු ඉක්මන් කරන්න කියලා බලපෑම් කරන්නේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඉවත් කිරීමට අවශ්‍ය නිසා නේද?
රවි කරුණානායක මහතා ජනාධිපති කොමිසමට පැමිණි ආකාරයට අනෙකුත් නඩු ඉක්මන් කරන්න කියලා අපි දිගින් දිගටම කියලා තියෙනවා.ඇමතිවරයෙක් විදියට මෙම අවස්ථාවේදී ඉවත්වෙලා එම කටයුතු විනිවිදභාවයෙන් කරන්න ඉඩ දෙන්න කියලා අපි ඉල්ලා තිබෙනවා.
උදාහරණයක් විදියට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව අධිකරණය ඉදිරියේ කාරණා ඉදිරිපත් වෙලා තිබියදී එතුමා යම් යම් කටයුතුවලට යෑම නිසා එම නඩුවලට ඉදිරියට යන්න බැරි වුණා. මේවා ඉක්මන් කිරීමේ වැඩපිළිවෙළක් හදන්න ඕන.ඒවා වළක්වනවාද කියන ප්‍රශ්නයක් අපට තියෙනවා.ඒ නිසා තමයි අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් දැඩි ලෙස කියන්නේ මේවා කඩිනම් කරන්න කියලා.
Q එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් අධිකරණ ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ගත් උත්සාහය සම්බන්ධව පසුගිය දින කිහිපයේ දැඩිව කතාබහට ලක්වුණා.එහි දැන් තත්ත්වය කොහොමද?
අපේ කෘත්යාධිකාරීමණ්ඩලයේ අපේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු ඉන්න නිසා එතනදි මේක බේරුමක් කෙරේවි.විශ්වාසභංගය ගේන්න ගත් තීරණය තවමත් වෙනස් වී නැහැ.පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට මන්ත්‍රීවරු හතළිහක් විතර මෙම කාරණයේදී එක්ව ඉන්නවා.ඒ අතරින් විශාල පිරිසක් විශ්වාසභංග යෝජනාවට අත්සන් කළා.මේක තීන්දු කරන්නේ 17 වැනිදායින් පස්සේ.ඡන්දයකට යනවද,නැද්ද කියලා අපි නිහඬව බලාගෙන ඉන්නවා.
Q මෙම තීරණය සම්බන්ධව ඔබ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වුණේ මොකක්ද?
නායකතුමා එක්ක මේ ගැන තවම සාකච්ඡා කළේ නෑ.නායකතුමාට තීන්දුවක් ගන්න වේවි.පසුපෙළ මන්ත්‍රීවරු තමයි මේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන සිටින ප්‍රධාන කණ්ඩායම.ආණ්ඩුව ආරක්ෂා කරන්න ජීවිත පරිත්‍යාගයෙන් ඕනම කැපකිරීමක් කරන්න මෙම මන්ත්රීපිරිස සූදානම්. ඒ නිසා අගමැතිතුමාට මේ කණ්ඩායමේ හෘදසාක්ෂිය අනුව කටයුතු කරන්න පුළුවන්නම් ඒක ආණ්ඩුවේ සාර්ථකත්වයක් විදියට මම දකිනවා.
Q ආණ්ඩුවේ ඇමති කෙනෙකුට විරුද්ධව විවිධ චෝදනා ඇතුළත් කර විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට ආණ්ඩුවේම මන්ත්‍රී පිරිසක් කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානියක් වෙනවා නේද?
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමෙන් තමයි හම්බන්තොට වරාය චීනයට බදුදුන්නේ.මේවා කැබිනට් එකේදී කතාකරන්නැතිව පස්සෙ කතාකරන්නේ මොකද?මේක කැබිනට් එකට දැමූ විට විජේදාස ඇමතිවරයාට අදහස් ප්‍රකාශ කරන්න තිබුණා.
දැන් ගිවිසුම අත්සන් කරලා ඉවර වුණාට පස්සෙ එතුමා කියනවා මේක පරාජයට පත්කරන්න ඕන කියලා. ඇයි එතුමාට එම අවස්ථාවේදී කියන්න බැරි වුණේ? එතුමාකැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙකු හැටියට තමන්ට පහළ ඉන්න නියෝජ්‍ය ඇමතිවරුන් එක්ක ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.
මේ නිසා එතුමා නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයකට ලක්වෙලා ඉන්නවා. එවැනි දේවල් සිද්ධවෙනකොට එතුමා පිළිබඳ විශ්වාසයක් නැති වෙනවා.අපට තියෙන්නේ රවි කරුණානායකද, විජේදාස රාජපක්ෂද කියන කාරණය නෙමෙයි.
අඩුපාඩුවක් වැරැද්දක් තියෙනවා නම් පරීක්ෂා කරලා කටයුතු කරන්න කියන එක පමණයි අපි කියන්නේ.එම ඉල්ලීම සාධාරණයැයි අපි සිතනවා. එය ආණ්ඩුව ජනතාවට ලබාදී ඇති පොරොන්දු ඉටුකරන ලෙසට සිදුකරන බලපෑමක්.මැතිවරණයට පෙර ජනතාවට අපි ලබාදුන් පොරොන්දු අමතක කිරීමට කිසිවෙකුට ඉඩ ලබාදෙන්න බැහැ.
Q මේ විශ්වාසභංගය පැරදුණොත් ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය කියනවා?
විශ්වාසභංගය දැම්මොත් දාන්නේ පරදින්න බලාගෙන නෙමෙයි දිනන්න බලාගෙනයි.ඒකට අපි කලබලවෙන්න ඕන නෑ. අපි හොඳ දේට හොඳයි කියනවා, නරක දේට නරකයි කියනවා.ඒ ගැන ඒකාබද්ධ විපක්ෂය කලබල වෙන්න ඕන නෑ.
Q විජේදස රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය පෙනිසිටින බව ප්‍රකාශ කර තිබෙනවා.ආණ්ඩුවේ ඇමති කෙනෙකු වෙනුවෙන් ඒ විදියට පෙනීසිටීම නිසා ආණ්ඩුවට යම් බලපෑමක් එල්ල වී තිබෙනවා නේද? පසුපෙළ මන්ත්‍රීවරුන් ගෙනඑන විශ්වාසභංග යෝජනාවත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් හටගෙන තිබෙනවාද?
ඒකෙන්ම පේනවා මේ අයගේ යටි අරමුණක් තියෙන බව. යටි යම් සම්බන්ධතා තියෙන බව අපට පේනවා.රවි කරුණානායක සිද්ධිය වෙලාවෙත් අපේ පක්ෂයේ ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. නමුත් කිසිම දෙයක් වුණේ නැහැ. රවි කරුණානායකට කියලවත් කරගන්න බැරි වැඩක් වුණේ.දැන් එතුමා පෙරට වඩා ජනප්‍රියයි.
තව අවුරුදු තුනකින් ඡන්දයක් තිබ්බොත් එතුමා ඉහළින් ජයග්‍රහණය කරාවි. මේ අවස්ථාවේදී පක්ෂය තුළගැටලුවක් ඇතිවී නැහැ. විජේදාස ඇමතිවරයා පක්ෂය වෙනුවෙන් ගොඩක් දරදිය ඇදපු කෙනෙක් විත්තිය අපි අමතක කරන්නෙ නෑ.අපට තියෙන්නේ නඩු පමාවීමේ ප්රශ්නය සහ කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා නොවීමේ ගැටලුව පමණයි.
Q පුරාවස්තු ආරක්ෂා කිරිම, බෞද්ධ සිද්ධස්ථාන සමබන්ධව විජේදාස ඇමතිවරයා පෙනී සිටින ආකාරය අපි දුටුවා.ඔහු කැබිනට් මණ්ඩලය තුළඒ වෙනුවෙන් හුදෙකලා සටනක් කරනවා නේද?
ඒ ගැන අපි සතුටුවෙනවා. ජාතික උරුමයන් රැකගන්න පැවරුණු බලතල එක්ක එතුමා බුදුදහම පිළිබඳ කටයුතු කරන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂය හැටියට අගය කරන්න ඕන.එතුමා ලෝක වෙසක් උත්සවය පැවත්වීමට කටයුතු කළා. නමුත් පක්ෂය තුළ අපි තීරණයක් ගනිද්දි යම් බැඳීමක් තිබිය යුතුයි. එම බැඳීම ආරක්ෂා වන පරිදි සියලු දෙනා කටයුතු කළ යුතුයි.