Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසත්, එසේ නැතහොත් එම ආයතනය රජයට පවරාගන්නා ලෙසටත් බල කරමින් ආරම්භ කොට ඇති විරෝධතා උච්චස්ථානයකට පැමිණ තිබේ.
රජයේ පාර්ශ්වයෙන් විවිධ විසඳුම් යෝජනා ඉදිරිපත් කළද විරෝධතාවල නියැළෙන වෛද්‍යවරුන්, ශිෂ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සියලු දෙනා එම යෝජනා පිළිගැනීමට සූදානම් නැති බව පැහැදිලිය.
මේ අතර සයිටම් ආයතනයේ අධිපති නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරාගත් බවට පසුගියදා (17දා) රජය ප්‍රකාශයට පත් කළේය.
ඒ සඳහා පැවැති උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව සිටියේය. සයිටම් සටන තව තවත් ඇවිළී යන්නට මෙම තීරණය බලපා තිබෙන අතර, සයිටම් විරෝධීන් පවසන්නේ එම තීරණය සයිටම් ගැටලුවට විසඳුමක් නොවන බවයි. මෙම පසුබිම තුළ වැඩිදුර තොරතුරු දැනගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සම්බන්ධ කරගතිමු.
Q නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාදීමේ උත්සවයේදී ජනාධිපතිවරයා සහ නෙවිල් ප්‍රනාන්දු මහතා සුහදශීලීව කතාබහ කරමින් සිටින ආකාරය අපි දුටුවා. මෙම දසුන දකින විට ඔබට මොකද හිතෙන්නේ?
අපට එම දසුනේ අලුතෙන් හිතෙන්න දෙයක් නැහැ. ඡායාරූපවල ඔවුන් දෙදෙනා එකට කතා කරනවා දුටුවේ එදින වුණාට මතවාදීමය වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් ඒ අය අතරේ බරපතළ එකඟතාවක් තිබෙනවා කියන එක අපට රහසක් නෙමෙයි. අපි ඒක දන්නවා. දෙදෙනා එකට වාඩිවෙලා ඉන්නවා දකිද්දි අපට පුදුම හිතෙන්නවත්, අමුතු හැඟීමක් ඇති වෙන්නෙවත් නැහැ.
අපි හිතන්නේ රටේ ජනතාවට අපි මෙතෙක් කල් ප්‍රතිපත්තිමය වශයෙන් කියපු දෙය ඇස්වලින් භෞතිකමය වශයෙන් දකින්න ලැබුණා. ඇත්තටම පාලකයො වාඩි වෙලා ඉන්නෙ ජනතාවගේ පැත්තෙද, නැත්නම් වෙනත් කෙනෙකුගේ පැත්තෙද කියන එක රටේ ජනතාව තේරුම් ගන්නවා ඇතැයි අපි සිතනවා.
Q සයිටම් ප්රශ්නය සම්බන්ධයෙන් රජය ලබා දී තිබෙන මෙම විසඳුම පිළිගන්න සූදානම්ද?
මේක විසඳුමක් විදියට අපි දකින්නෑ. ප්රශ්නය පෞද්ගලික රෝහල් පැවතීම නෙමෙයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කර තිබුණා. ඒ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව බරපතළ විරෝධයක් ගොඩනැගී තිබුණා. ඒ විරෝධය සමහර අයගෙන් ගොඩනැගුණේ සයිටම් ආයතනය නීත්‍යනුකූල නැහැ, ඒකේ ප්‍රමිතිය දුර්වලයි කියන තැනින්.
නමුත් අපි ඇතුළු තවත් පාර්ශ්ව මේකට සම්බන්ධ වුණේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය වෙළෙඳ භාණ්ඩයක් කිරීමට විරුද්ධ තැනින්. ප්රශ්නය පැන නැගී තිබුණේ සයිටම් ආයතනයට අදාළව. ඒකට උත්තරය විදියට රෝහලක් රජය සතු කරනවා කියලා ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්රශ්නය ඇතුළෙ රෝහලකට අදාළව කිසිම කෙනෙකුගේ සටන් පාඨයක් තිබුණෙ නැහැ.
Q ඒ කියන්නෙ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධව ඔබලාට ගැටලුවක් නැහැ කියන එකද?
අපට විශාල ගැටලුවක් තිබෙනවා. ආණ්ඩුව විශාල ප්‍රචාරයක් ගෙනගියා රෝහල අණ්ඩුව සතු කළා කියලා. නමුත් ඒකට අදාළව තියෙන කැබිනට් පත්‍රිකාවේ තුන්වැනි පිටුවේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා මේ රෝහල වසර දහයක කාලයක් සඳහා නාමික බදු කුලියකට රජය විසින් බදුගන්නවා කියලා.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ලංකා බැංකුව සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන පාර්ශ්ව තුන ඒකාබද්ධව ගිවිසුමක් අත්සන් කරලා වසර 10 ක කාලයක් සඳහා මේ රෝහල රජයට බද්දට දෙන බව එහි සඳහන් වෙනවා. බදු ගනු ලැබූ වසර 10ක කාලය ඇතුළෙ මේ රෝහලේ ගොඩනැගිලි, උපකරණ ඇතුළු සියලු ප්‍රාග්ධන සම්පත්වල අයිතිය තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දු යටතේ බව එහි සඳහන් වෙනවා.
එහි පරිපාලනමය හා පුනරාවර්තන වියදම් පාර්ශ්වය රජයට පැවරෙනවා. මේ රෝහල තිබුණෙ පාඩු ලබමින්. එය පාඩු ලැබුවේ විශාල ප්‍රාග්ධන වියදම් වැය කිරීමට සිදුවුනු නිසා නෙමෙයි. පඩි නඩි ගෙවීම, වෙනත් බිල් ගෙවීම, උපකරණ නඩත්තුව වැනි පුනරාවර්තන වියදම් නිසා තමයි පාඩු ලබලා තිබුණෙ. එම පාඩු ලබන කොටස පමණක් රජය අරගෙන තිබෙනවා.
ප්රශ්නය තිබෙන්නේ එම කොටස අරගත්තට පස්සෙ කැබිනට් පත්‍රිකාවේ හයවැනි පිටුවේ සඳහන් වන විදියට ඒ සඳහා පාලක මණ්ඩලයක් පත් කරනවා. එහි පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් පත්කරන්නේ නෙවිල් ප්‍රනාන්දු. ඇත්තටම වෙලා තියෙන්නේ රජය විසින් මුදල් දෙනවා, නමුත් මුදල් භාවිත කිරීමේ, තීන්දු ගැනීමේ ප්‍රධානියා වෙන්නෙ නෙවිල් ප්‍රනාන්දුමයි.
ඒ නිසා මේ රෝහල කිසිසේත්ම රජය සතු වීමක් වෙලා නැහැ. ගිවිසුමේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ නෙවිල් ප්‍රනාන්දු රුපියල් මිලියන 2000 ක ණය මුදල ගෙවන්න තියෙන අවසාන දිනය කවදද කියලා. ඒ සඳහා වසර සංඛ්‍යාවක් තීරණය කරලා නැහැ.
නමුත් ගිවිසුමේ වගන්තියක් තිබෙනවා ඔහු ණය මුදල ගෙවලා අවසන් වුණාට පසුව තමයි රජයට මෙහි පූර්ණ අයිතිය ලැබෙන්නේ කියලා. ඒ නිසා රෝහල රජය සතු කළා කියලා ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව රටවැසියා තේරුම්ගත යුතුයි. කැබිනට් පත්‍රිකාව දිහා බැලුවාම ඒක පැහැදිලි වෙනවා.
Q නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම නිසා සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ගැටලුවලට විසඳුමක් ලබා දී තිබෙන බව රජයේ පාර්ශ්වයෙන් පැවසෙනවා. ඒ සම්බන්ධව ඔබගේ අදහස?
සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රධානම ප්රශ්නය තියෙන්නේ කොළඹට තියෙන රෝහල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නෙමෙයි. කොළඹට තවත් රෝහල් එකතු වුණාට පස්සෙ සෞඛ්‍ය සේවය දියුණු වෙනවා කියන්න පුළුවන් විකාරකාරයන්ට විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක කියමින් ඉන්නවා. පහසුකම් නැතිකම නිසා ලංකාවේ රෝහල්වල විශාල ප්‍රශ්නයක් තිබෙනවා.
රෝහල් අතර බරපතළ විෂමතාවක් පවතිනවා. විසඳිය යුතුව තිබෙන්නේ එම ප්‍රශ්න. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට හදවත් සැත්කම් සඳහා හෘද රෝග ඒකකයක් නැහැ. එවැනි ඒකකයක් පිහිටුවීමට රුපියල් මිලියන 200 ක මුදලක් අව්‍යශ වෙලා තිබෙනවා. වසර ගණනාවක් ගිහිල්ලා එම මුදල වෙන් නොකරන නිසා දැන් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයො මහජනතාවගෙන් ආධාර එකතු කරනවා මිලියන 200 එකතු කරගන්න.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය සතු කළා කියලා බොරු කියලා දැන්වීම් දාන්න. ඊට ආසන්න මුදලක් වැය කළා කියලා තමයි අපට වාර්තා වෙලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හරියට කියන්න ඕන පුවත්පත් දැන්වීම් සහ රූපවාහිනී දැන්වීම්, පෝස්ටර්, කටවුට් සඳහා කොච්චර වියදමක් කළාද කියලා. හෘද රෝග ඒකකය හදන්න යන වියදමට ආසන්න වියදමක් ගිහින් තිබෙනවා.
මහරගම පිළිකා රෝහල සඳහා පෙට් ස්කෑන් යන්ත්‍රයක් ආණ්ඩුව ලබානොදීම නිසා ඒක අරගන්න මිනිස්සු සල්ලි එකතු කරලා දුන්නා. නමුත් මෑතක් වනතුරු ඒක මිලදී ගත්තේ නැහැ. මිලදී ගැනීමට අවශ්‍ය පරිපාලන කටයුතු ටික රජය කළේ නැහැ. රෝහල්වල පහසුකම් සම්බන්ධව රජය එවැනි ප්‍රතිපත්තියකුයි අනුගමනය කරන්නේ.
සාමාන්‍යයෙන් ජනගහනයෙන් ලක්ෂයකට වෛද්‍යවරුන් 300 ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්නවා. නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්නෙ ලක්ෂයකට වෛද්‍යවරුන් තිහක් පමණයි. පළාත් අතර, දිස්ත්‍රික්ක අතර විශාල විෂමතාවක් තිබෙනවා. රටේ සෞඛ්‍ය ප්රශ්නය විසඳනවා කියන්නේ ඇඳන් 200 ක් තිබෙන රෝහල් කොළඹ පටන්ගන්න එක නෙමෙයි.
දැනට තියෙන රෝහල්වල පහසුකම් වැඩි කරන්නේ කොහොමද? ඈත පළාත්වල සෞඛ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නේ කොහාමද කියන එක තමයි ප්රශ්නය විය යුත්තේ. නමුත් එවැනි ඇත්ත ප්‍රශ්නවලට කිසිම පිළිතුරක් නොදී පාලකයෝ කරලා තියෙන්නේ ප්‍රශ්න වවාගෙන කාපු එක විතරයි. මේ විදියට සෞඛ්‍ය සේවයේ ප්‍රශ්නයට කිසිදු පිළිතුරක් ලැබේවි කියලා අපේ බලාපොරොත්තුවක් නැහැ.
Q සයිටම් ආයතයනයට ශික්ෂණ රෝහලක අඩුව තමයි තිබුණේ, එම ප්රශ්නය විසඳුවා කියලා සෞඛ්‍ය ඇමතිවරයා නෙවිල් ප්‍රනාන්දු රෝහල බාරගැනීමේ උත්සවයෙදි ප්‍රකාශ කළා. එම ප්‍රකාශය සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?
බළලා මල්ලෙන් එළියට පැන්නා කියන්නේ ඒක තමයි. මේ අයට උවමනා වුණේ සෞඛ්‍ය ක්ෂේත්රය දියුණු කිරීම සඳහා රෝහලක් පවරාගන්න නෙමෙයි. එහෙම නම් සෞඛ්‍ය සේවය දියුණු කරන්න තව ඕන තරම් විකල්ප ක්‍රම තිබුණා. ඒ අයට ඕන වුණේ සයිටම් ආයතනයට, එහි උපාධියට නීත්‍යනුකූලභාවය ලබාගැනීම සඳහා පියවරක් ගන්න.
මේ ආයතනයට අධීක්ෂණ සභාවක් පිහිටුවනවා කියලා එම කැබිනට් පත්‍රිකාවෙත් සඳහන් වෙනවා. එහි සාමාජිකයන් අතරට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයෙක් සහ උසස් අධ්‍යපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයෙක් පත් කරනවා කියලා සඳහන් කරල තිබෙනවා.
අරමුණ තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්රය දියුණු කිරීම සඳහා රෝහලක් පවත්වාගෙන යෑම නම් එහි අධීක්ෂණ කටයුතුවලට විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාවයි, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි සම්බන්ධ කරගන්නේ මොකටද කියන ප්රශ්නය තිබෙනවා. ඇත්තටම ඕන වෙලා තියෙන්නේ උපාධියට පිළිගැනීමක් ලබාදීම සඳහා මේ රෝහල රජයට ගත්තා කියලා පාවිච්චි කරන්න.
නෙවිල් ප්‍රනාන්දුට කරගන්න බැරි වුණු දේ මහජන අරමුදල්වලින් කරලා, නෙවිල් ප්‍රනාන්දුට ලාභ අරන් දෙන්න. නෙවිල් ප්‍රනාන්දු සතු ආයතන දෙකෙන් එකක් වන සයිටම් ආයතනය අධික ලාභ ලබනවා. 2014 සංඛ්‍යාලේඛන අනුව රුපියල් මිලියන 1265 ක වාර්ෂික ශුද්ධ ලාභයක් ලැබිලා තිබෙනවා. 2015 දී රුපියල් මිලියන 1300 ක ශුද්ධ ලාභයක් ලැබිලා තිබෙනවා.
නමුත් නෙවිල් ප්‍රනාන්දු රෝහල දිගටම පාඩු ලබනවා. පාඩු ලබන රෝහල අරගෙන, පාඩුව මිලියන 20 ක් වන රටේ ජනතාව අතරේ බෙදලා දීලා නෙවිල් ප්‍රනාන්දුට සයිටම් නීත්‍යනුකූල කිරීම සඳහා මහජන අරමුදලින් එය හදන එක තමයි රජය කරලා තියෙන්නේ. ලාභ ලබන ආයතනයේ ලාභය නෙවිල් ප්‍රනාන්දුට. පාඩු ලබන රෝහලේ පාඩුව රටේ මුළු ජනතාවටම.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ඕක තමයි. එම කාරණයට තමයි රෝහල රජයට පවරාගත්තා කියන නාට්‍යය රඟදක්වන්නේ. මේකේ අවසන් ප්‍රතිඵලය වන්නේ මේක ශික්ෂණ රෝහලක් කියලා රජය නම් කරන එක. තවමත් මේක ශික්ෂණ රෝහලක් කියලා පිළිගන්නෙ නෑ.
වර්තමාන ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී 2012 ජුනි 20 වැනිදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළා නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නෙ නෑ, කිසිදු පෞද්ගලික රෝහලකට ශික්ෂණ රෝහලක තත්ත්වය ලබාදීලා නැහැ කියලා. ඒකට පිළිතුරක් විදියට තමයි වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා පිළිතුරක් ලබා දීලා තියෙන්නේ.
Q ජනාධිපතිවරයා සිටියදීම එම උත්සවයේදී සෞඛ්‍ය ඇමතිවරයා කියනවා සයිටම් සිසුන් ප්‍රමාණය 100 සිට 500 දක්වා වැඩි කිරීමට රජයෙන් අවශ්‍ය සහාය ලබාදෙනවා කියලා. මේ තත්ත්වය තුළ සයිටම් විරෝධී සටනට මොකද වෙන්නේ?
සටන නිශ්චිතව පටන්ගත්තට පස්සේ මේ ප්‍රතිපත්තියට එරෙහිව දැවන්ත ජනතා බලයක් ගොඩනගලා තිබෙනවා. එම ජනතා බලය ඉදිරිපිට හිස නොනවා සිටිය නොහැකි තත්ත්වයට ආණ්ඩුවේ නායකයන් සහ ඇමතිවරුන් පත්වෙලා තිබෙනවා. රෝහල රජයට පවරාගන්නවා කියන ප්‍රකාශය පවා කරන්න සිද්ධ වුණේ අපි සටන් කරපු නිසයි.
සිසුන් සිරගත වෙලා, වෛද්‍යවරු වැඩ වර්ජනය කරලා, කරපු සටන නිසා තමයි මෙම පියවරට හරි ආවේ. ඉදිරි පියවරයන් සඳහා සටන වඩා වර්ධනය කිරීම අපි ඉදිරියේ තිබෙනවා. ඒ සඳහා අපි මැදිහත් වෙනවා. ආණ්ඩුවේ ඇමතිවරු මාධ්‍යවලට මොන කතා කිව්වත්, ජනතා හඬ නොසලකා දිගටම ඒ අයට යන්න නොහැකියි කියලා අපට විශ්වාසයක් තිබෙනවා.
Q ඒ කියන්නේ සටන ජයග්‍රහණයකින් කෙළවර වෙයි කියන විශ්වාසය තිබෙනවා?
ස්ථිරවම සටන ජයග්‍රහණයකින් කෙළවර කළ යුතුයි. මේක අඩපණ වෙනවා කියන්නේ ඉදිරියේදී ජනතාවට එන ප්‍රහාර වඩා වේගවත් වෙනවා කියන එකයි. කම්කරුවන්ගේ, ගොවියන්ගේ, ධීවරයන්ගේ ඇතුළු සියලුම ජනතාවගේ අයිතීන්වලට මොකද වෙන්නේ කියලා තීරණය වෙන්නේ මෙම සටනේ ජයග්‍රහණය මතයි.
ඒ නිසා දේෙපාලන පක්ෂයක් විදියට අපේ උපරිම බර තබනවා සටන ජයග්‍රහණය කිරීම සඳහා. ඒ පිළිබඳ අපට විශ්වාසයක් තිබෙනවා. අපි ජනතාවට කියනවා මේක ජයග්‍රහණය කරවීම සඳහා උපරිම සහාය ලබාදෙන්න කියලා.
Q රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක යන ඇමතිවරුන් ඇතුළුව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සයිටම් ආයතනය සම්බන්ධව සිය ස්ථාවරය වෙනස් නොකරන තත්ත්වයක් තුළ ආණ්ඩුවෙන් මීට වඩා වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
ජනතාවගේ මතයට හිස නොනමා ඒ අයට යන්න පුළුවන්ද කියන එක දැන් පැහැදිලි වෙලා තිබෙනවා. අපට ඒක හොඳින්ම බලාගන්න පුළුවන්. දැන් මේ ආණ්ඩුව ගමන් කරමින් ඉන්නේ මැතිවරණ කල්දාලා බලහත්කාරී පාලනයකට. නමුත් දිගටම එහෙම යන්න ලැබෙන එකක් නැහැ.
ඒ අයට නැවත ජනතාව මත තීරණ ගන්න තත්ත්වයකට ඉතාම නුදුරේදීම පත්වීමට සිදුවෙනවා. එවැනි තත්ත්වයක් ඇතුළෙ අපි හිතනවා ඔවුන්ට ජනතාවගේ හඬට කන් දෙන්න වෙනවා කියලා. ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කරන පැත්තෙන් තීරණ ගන්න බව ඔවුන් කියා තිබුණා.
ජනතාවගේ සෞඛ්‍ය විනාශ කරන පැත්තෙන් තීරණ ගන්නා මේ ආණ්ඩුවේ සෞඛ්‍යය ආරක්ෂා කර ගන්න නම් ආණ්ඩුව ජනතා මතයට හිස නැමිය යුතුයි. එහෙම නොවුණොත් ආණ්ඩුවේ සෞඛ්‍ය තත්ත්වය වඩා බරපතළ වේවි. ඒක දැඩි සත්කාර ඒකකවල දාලා නැවත ආණ්ඩුවේ පණ නළ ගැටගහගන්න බැරි තත්ත්වයට පත් වේවි.
ඒ නිසා ජනතා මතයට හිස නමලා ආණ්ඩුව යම් විදියකට නම්‍යශීලී වෙලා මේ ප්රශ්නය විසඳනවාද, නැත්නම් නෙවිල් ප්‍රනාන්දුට ලාභ උපයා දීම වෙනුවෙන් හා තමන්ගේ නව ලිබරල් ප්‍රතිපත්තිය වෙනුවෙන් විනාශය කරා, පරාජය කරා යනවාද කියන තීරණය තියෙන්නේ ආණ්ඩුව අතේ.
Q රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සයිටම් ගැටලුව සම්බන්ධව ඊයේ (18දා) පැවැති සාකච්ඡාවේදී ගත් තීන්දු තීරණ මොනවාද?
ලබන 25 වැනිදා පැවැත්වෙන සයිටම් විරෝධී සමුළුවේ සංවිධාන කටයුතු සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අනෙකුත් වෘත්තීය සමිති සමග මූලික සාකච්ඡාවක් අපි පැවැත්වූවා. ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා විරෝධතා ප්‍රමාණයක් සමුළු යෝජනා විදියට සම්මත කරගන්න නියමිතව තිබෙනවා. මෙම සමුළුව කැඳවන්නේ සියලුම දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන ව්‍යාපාර, ශිෂ්‍ය සංවිධාන සම්බන්ධ වුණු 'සයිටම් විරෝධී ජන පවුර' සංවිධානයෙන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd