ඩෙංගු නසන ඔසුව නුදුරේදීම
ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ රටවල් රැසකට නිරන්තරයෙන් බැටදෙන ව්‍යවසනයකි. කලින් කලට හිස ඔසවමින් ඩෙංගු මාරයා අපට අහිමිකළ ජීවිත ප්‍රමාණයද සුළුපටු නැත. ඩෙංගු එතරම්ම බරපතළ රෝගයක් වුවද ඊට නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට මෙතෙක් නොහැකිව තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය මීට වසර එකහමාරකට පමණ පෙර සිදුකළ පරීක්ෂණයකට අනුව ඩෙංගු රෝගයේ උග්‍ර අවස්ථාව වන 'ඩෙංගු රක්තපාත' තත්ත්වයට පත්වන රෝගීන්ගේ රුධිර නාළ හා කේශ නාළිකා තුළින් තරලය කාන්දුවීමේ තත්ත්වයට හේතුව ලෙස 'PAF' (Platelet Activating Factor) නම් සංඝටකය මූලික වන බව සොයා ගැනිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්රතිශක්තීකරණය පිළිබඳ මහාචාර්ය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා නිලීකා මලෙවිගේ මහත්මිය මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙසේය..jpg)
“අපේ මූලික පරීක්ෂණයේදී සොයාගත්තා ඩෙංගු රක්තපාත තත්ත්වයේදී සිදුවන තරල කාන්දුවට හේතු වන්නේ 'PAF' නම් සංඝටකය බව. අපේ ඊළඟ අරමුණ වුණේ එම තත්ත්වය වැළැක්විය හැකි ඖෂධයක් සොයාගැනීම. එය වැළැක්වීමට හැකිවුණොත් ඩෙංගු රෝගය නිසා ඇතිවන සංකූලතා පමණක් නොවෙයි ඩෙංගු මරණ පවා වැළැක්වීමට හැකියාව ඇති බව අපි අවබෝධ කරගත්තා. ඒ අනුවයි අපි තීරණය කළේ මේ සඳහා 'Rupatadine' නම් ඖෂධය අත්හදා බලන්න''
මහාචාර්ය නිලිකා මහත්මිය ඇතුළු පරීක්ෂණ කණ්ඩායම ගැටලුවකට මුහුණ දෙන්නේ එම අවස්ථාවේදීය. ඒ මන්දයත් 'Rupatadine' නමැති ඖෂධය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකළ මෙරට භාවිත නොවන ඖෂධයක් වීම නිසා එය විදෙස් රටකින් ගෙන්වීමට සිදුවීමය. ඒ අනුව සායනික පරීක්ෂණයක් සඳහා ලියාපදිංචි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලද අවසරය මත මෙම ඖෂධය මෙරටට ගෙන්වීමට ඔවුහුකටයුතු කළහ.'Rupatadine' ඖෂධය මෙරට භාවිත නොකරන නමුත් විදෙස් රටවල එය ලියාපදිංචිය ලද අසාත්මිකතා හා සංකූලතා සඳහා ලබාදෙන අතුරු ආබාධ රහිත ආරක්ෂාකාරී ඖෂධයකි.
“ඒ අනුව අපි සායනික පරීක්ෂාවට ගෙන්වූ මේ ඖෂධය වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ සහාය ඇතිව අංගොඩ උණ රෝහලේ ඩෙංගු කළමනාකරණ ඒකකයේ රෝගීන්ට විශේෂ ක්‍රමවේදයකට ලබාදුන්නා. පරීක්ෂණවලදී හෙළිවුණේ සාමාන්‍ය රෝගියෙකුට සාපේක්ෂව මෙම ඩෙංගු ආශ්රිත සංකූලතා බොහෝ සෙයින් අඩුවී ඇති බවත්,රෝගීන්ගේ රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රමාණය අවම වී ඇති බවත්, ඔවුන් සුවවීමට ගතවන කාලය සතුටු දායක බවත්. ඒ අනුව අපි දුටුවා මෙම ඖෂධය සාර්ථක ලෙස ක්‍රියාකර ඇති බව.
මූලික අදියර ඒ අයුරින් සාර්ථක වුණාම අපේ ඊළඟ පියවර වන්නේ ලංකාවෙන් නොනැවතී මෙය ඩෙංගු රෝගයෙන් පීඩාවිඳින අනෙක් රටවලටත් අත්හදා බැලීමයි. එම පරීක්ෂණ කටයතු සඳහා අධික මුදලක් වැයවනවා. මේ වනවිට අපි ඒ සඳහා ජාත්‍යන්තර පර්යේෂණ සඳහා වන අරමුදලකින් ඉල්ලීමක් කර ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වෙනකොට අපි වැඩිදුරටත් පර්යේෂණ සිදුකරගෙන යනවා මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිඵලය තවතවත් වැඩි කිරීමට කළ යුතු දේ ගැන.

ඒ වගේම අපි දුටුවා 'Rupatadine' භාවිත කළ රෝගීන්ගේ ඩෙංගු නිසා අක්මාවට සිදුවන හානිය හා රුධිරවහනය වැනි තත්ත්ව ඉතා අවම වී ඇති බව අපේ විශ්වවිද්‍යාලය නුගේගොඩ, මහරගම, බොරලැස්ගමුව ආදී ප්‍රදේශ කිහිපයක් ඇසුරු කරගෙන විශාල සමීක්ෂණයක් සිදුකළා. ඒ ප්‍රදේශවල පදිංචිකරුවන් 168 දෙනෙක් සම්බන්ධ කරගෙන. ඒ සමීක්ෂණයේදී හෙළිවුණා ඔවුන්ගෙන් 60%ක ප්‍රමාණයකට වයස අවුරුදු 20 පමණ වනවිට ඩෙංගු වැලඳී තිබුණා. අවුරුදු 40 වනවිට 80%කට ඩෙංගු වැලඳී තිබෙනවා, නොදැනුවත්ව. ඇත්තටම ඩෙංගු රෝගීන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයකට තමයි ඩෙංගු රක්තපාත තත්ත්වය හා සංකූලතා මතුවන්නෙ.
90%ක ප්‍රමාණයකට ඩෙංගු වැලඳුණත් කිසිදු ගැටලුවක් ඇතිවන්නෙ නැහැ.ඒ අනුව අපි ඕනෑම කෙනෙකුට ඩෙංගු වැලඳී තිබෙන්න පුළුවන්. ඇඟපත වේදනාවක් හෝ සාමාන්‍ය මද උණ ගතියක් පැවතිලා නිරායාසයෙන්ම එය සුව වෙනවා. සුළු පිරිසකට තමයි මෙය අසාධ්‍ය රෝගී තත්ත්වයක් වෙන්නෙ. ඉතින් ඊට හේතු සෙවීම බොහෝ වැදගත් වෙනවා. ඒ නිසා මේ ගැනත් අපි පරීක්ෂණ සිදුකරමින් යනවා. තවද ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වන වෛරස් ආසාදන පිළිබඳවත් මේ වනවිට පරීක්ෂණ සිදුකරනවා. මේ ආකාරයෙන් ඩෙංගු ආශ්රිත පරීක්ෂණ රැසක් අප විශ්වවිද්‍යාලය විසින් මේ වනවිට සිදුකරගෙන යනවා.
“මේක සාමූහික ප්රයත්නයක ප්‍රතිඵලයක්. අප විශ්වවිද්‍යාලයෙන් විශාල සහයෝගයක් මෙයට ලැබුණා. විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපතිතුමාටත්, හිටපු උපකුලපතිතුමාටත්, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීමට මූලිකත්වය ගෙන ක්‍රියාකළ මහාචාර්ය දෙහෙරගොඩ මහත්මාටත්, අංගොඩ උණ රෝහල් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට සහ අපේ පර්යේෂණ කණ්ඩායමේ සියලු දෙනාටම.''

මෙම ඩෙංගු රෝගය සඳහා වන ඖෂධයේ පරීක්ෂණ කටයුතු මේ වනවිට පවතින්නෙ අවසන් අදියරේ වන නිසා නුදුරේදීම ඩෙංගු උවදුරට පිළියම ලබාදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
රජයේ වගකිව යුතු අංශයන්ටද අපි මෙහිදී යමක් සිහිපත් කිරීමට කැමැත්තෙමු. එනම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයන් පිහිටුවීමට දක්වන උනන්දුව හා අවධානය රජයේ විශ්වවිද්‍යාලයන්ට යොමුකරමේ ඇසුරින් සමස්ත මානව සමාජයේම යහපත උදෙසා සිදුකෙරෙන මෙවන් පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම කළ යුතුම කාර්යයක් සහ එය රජයේ වගකීමක් බව සිහිපත් කරන්නෙමු.
නදුන් ශ්‍යාමාල්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
