Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
පසුගිය සතියේ ජවිපෙ නායක අනුර මැතිවරණය වෙනුවෙන් රැස්වීම් ගණනාවකට සහභාගි වූයේ උතුරුමැද, උතුර සහ නැගෙනහිර පළාත්වලය. මොනරාගල, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල එකදිගට ජනරැලි, ජනහමු සහ අපේක්ෂකයන්ගේ සුහද හමු සඳහා අනුර සහභාගි විය. මෙම ගමනේදී මඩකලපුව විශේෂත්වයක් ගත්තේය. මෙවර ජනතා විමුක්ති පෙරමුණ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතනවලට තරග කරන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. එම දිස්ත්‍රික්කයේ ජවිපෙ අපේක්ෂකයන්ට සහාය පළකරමින් වාලච්චේන, එරාවුර්, කාත්තන්කුඩි යන ප්‍රදේශවලදී පළමු වතාවට ජවිපෙ නායකයෙකුගේ සහභාගීත්වයෙන් මැතිවරණ රැස්වීම් 03ක්ද පැවැත්විණි. මෙහිදී ජවිපෙ සංවිධායකයන් මැතිවරණ වේදිකාව කඩිනමින් ඉදිකර ගත හැකි පරිදි සකස් කොට රැස්වීම් සඳහා යොදා ගත්හ. එරාවුර් ජනහමුව සංවිධානය කළ වෙලාව ආසන්න වන විට ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් රැස්විය. නමුත් වේදිකාව තිබුණේ නැත. ජවිපෙ සාමාජිකයෝ විනාඩි 12ක් පමණ කාලයක් තුළදී වේදිකාව සකස් කොට ජවිපෙ නායකයාට රැස්වීම ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව සලසා දුන්හ. මෙම අත්දැකීම මීට පෙරදී අත්විඳ නොසිටි එරාවුර් ජනතාව ඒ පිළිබඳව පුදුමයෙන් කතා කළහ.
එරාවුර් ජනහමුවට ප්‍රදේශයේ ජනතාව දෙදහසකට අධික පිරිසක් පැමිණ සිටියහ. රැස්වීම සංවිධානය කිරීමට ගිය ජවිපෙ සාමාජිකයන්ට විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදුවිය. ජවිපෙ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ භූමිය ආසන්නයේම ඇමති හිස්බුල්ලාගේ රැස්වීමක් සංවිධානය කර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා තිබුණේ ජවිපෙ රැස්වීමට බාධා වන ආකාරයෙනි. කෙසේ වෙතත් රැස්වීම් දෙකම එක වෙලාවන්වලදී පැවැති අතර, හිස්බුල්ලා විසින් කියන ලද ප්‍රකාශවලට ජවිපෙ එරාවුර් කණ්ඩායම් නායකයා උත්තර දීමට පටන් ගැනීමත් සමග ජනතාව ජවිපෙ රැස්වීමට ඇදී එන්නට විය.
මෙහිදී ජවිපෙ නායක අනුර දිසානායක පැය එකහමාරකට ආසන්න කාලයක් රැස්වීම ආමන්ත්‍රණය කළේය. ඇතැම් පුද්ගලයන් ජවිපෙ නායකයාගේ සජීවී රැස්වීමක් දැක තිබුණේ එදිනය. රටේ දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළ ජවිපෙ නායකයා ජාතිවාදය පිළිබඳවද පැහැදිලි කිරීමක් කළේය.
‘දේශපාලන පක්ෂවල නායකයන් තමන්ට බලය ලබාගැනීම වෙනුවෙන් ජනතාව බෙදුවා. ජාතිවාදය ඇවිළුවා. සිංහල, දෙමළ, මුස්ලිම් විදියට ජනතාව බෙදලා, දේශපාලන පක්ෂ හදලා ඡන්ද ටික අරගෙන උඩින් ආණ්ඩුව හදලා දෙගොල්ල ජනතාවගේ මුදල් කොල්ල කෑවා. ඒ අය උඩින් එකට ඉන්නවා. පහළින් අපේ ජනතාව බෙදිලා. ඒ නිසා අපි පහළින් එකතු වෙන්න ඕනෑ. අපි එකතු වුණොත් තමයි ජාතික සමගිය ඇතිවෙන්නේ. පාලකයන්ට පාඩමක් ඉගැන්විය හැක්කේ” ජවිපෙ නායකයා කියා සිටියේය.
ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් පසුගියදා මාධ්‍ය හමුවක පැවසූ කතාවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් මෙන්ම ආණ්ඩුවේ පිරිස්ද හිත් වේදනාවට පත්ව තිබේ. ‘බැඳුම්කර වාර්තාව මෙන්ම මහා පරිමාණ මූල්‍ය අපරාධ ජනාධිපති විමර්ශන වාර්තාව පිළිබඳව විවාදයක් මෙන්ම නීතිමය පියවර ඕනෑ. මුලින් කියපු විදියට හොරුන්ට මංකොල්ලකාරයන්ට මඩු වලිගෙන් තැලුවෙත් නැහැ. අද කඩුවෙන් කොටන්නෙත් නැහැ. එක පැත්තකින් මේ තියෙන ආණ්ඩුවත් දුවන්නේ හොරුන් එක්ක. අලුතින් හදන ආණ්ඩුව දුවන්න වෙන්නෙත් හොරු ටික එකතු කරගෙන” විජිත හේරත් කීවේය.
මෙම කතාවත් සමග විජිත හේරත් වාර්තා දෙක අතැතිව සිටින ඡයාරූපයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූයේ මැතිවරණයේදී තෝරන්නේ දෙපැත්තේ හොරුද? ජවිපෙද? යන්නයි. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම්ද මැතිවරණ වේදිකාවේ මෙම ප්‍රකාශය විවේචනය කළේය.
‘මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාවට මහින්දගේ කට්ටියට හොඳටම තරහ ගිහින්. ඔබතුමාලා එක්ක එකතු වුණු සුනිල් පෙරේරාටත් ගහනවා.” විශ්විවිද්‍යාල ආචාර්යවරයෙක් විජිතගෙන් විමසා සිටියේ දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවකදීය.
‘ඔව්, ඔව්, මමත් දැක්කා. මහින්දගේ වලව්වේ වැඩ කරගෙන හිටපු අයට තමයි හොඳටම අමාරු. ජවිපෙ ඉන්නකොට ලෙනින්ගෙ පොත් කියවලා තියෙන කතාවකුත් කියලා තිබුණා. මහින්ද රාජපක්ෂගේ වලව්වේ වාල් වැඩ කරන්න ලෙනින්ගේ පොත් කියවන්න ඕන නැහැ. මේ මැතිවරණයේදී ඇත්තටම ජනතාවගේ පැත්තෙන් හිතලා කලාකරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිඥයෝ සහ වෙනත් වෘත්තිකයෝ විශාල ප්‍රමාණයක් අපිට සහාය පළකරලා තියෙනවා. ඒ ජවිපෙ දිනවන්න නෙවෙයි, ජනතාව දිනවන්න. ඡන්දෙ දුන්නොත් දිනන්නේ අපි නෙවෙයි ජනතාව. හදන්නේ ජනතාවගේ සභාව. ජවිපෙට තියෙන සහාය නිසාම මහින්දගේ කණ්ඩායම කලබල වෙලා” විජිත හේරත් පිළිතුරු දුන්නේය.
බැඳුම්කර සහ මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා දෙක පිළිබඳව මහත් ආන්දෝලනයක් රට තුළ මතුව තිබේ. එක්සත් ජාතික පක්ෂය මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ගැන විවේචනය කරද්දී ශ්‍රිලනිපය හා මහින්ද පාර්ශ්වය බැඳුම්කර වාර්තාව ගැන වේදිකාවේ විවේචනය කරමින් සිටියි. ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම පෙනී සිටින්නේ, මෙම වාර්තා දෙකෙන්ම හෙළිදරව් කර ඇති හොරුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය. කෙසේ වෙතත් පාර්ලිමේන්තු විවාදයට 10ට පෙර දිනයක් ලබාදෙන ලෙස පක්ෂ නායක රැස්වීම්වල පෙනී සිටියේ ජවිපෙය. එසේ තිබියදී ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුව නියෝජනය කරමින් එම විවාදය පෙබ. 20 හා 21 දෙදිනට යොදා ගත්තේ ශ්‍රීලනිප නියෝජිතයන්ද පක්ෂ නායක රැස්වීමේ සිටියදීය. නමුත් මේ පිළිබඳව ආ දැඩි විවේචනයත් සමග ආණ්ඩුව විවාදය 7 සහ 8දිනයන් වලදී යොදා ගැනීමට උත්සාහ කළේය. එයටද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විරෝධය පළකිරීම නිසා ආණ්ඩුවට එම විවාදය 06වැනිදාට යොදා ගැනීමට සිදුවිය.
‘මන්ත්‍රීතුමා ආණ්ඩුවට විවාදය දෙන්නම වුණා නේද?” පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ මේ පිළිබඳව අදහස් විමසීමට දුරකථන ඇමතුමක් ලබාදුන් අවස්ථාවකදීය.
‘මේ දෙපැත්තෙම කට්ටිය කරන්නේ බොරුවක් බව පැහැදිලියි. ඡන්දෙ ඉවර වෙනකල් මොකක් හරි වේදිකාවේ කියන්නත් එපැයි. කිරිඇල්ල කිව්වා ඡන්දෙදි මොකක් කිව්වත් ඡන්දෙන් පස්සේ ජනාධිපතියි, අගමැතියි පෙම් යුවලක් වගේ ආදරෙන් ඉඳියි කියලා. රවි කිව්වා, ඡන්දෙ දවස්වල ජනාධිපතියි, අගමැතියි කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා කියලා. ජනතාවට ඇත්තටම ඕන වුණත් හොරුන්ට දඬුවම් කරන්න මේ පාලකයන්ට ඒකට උවමනාවක් නැහැ” යනුවෙන් හඳුන්නෙත්ති කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගාල්ල, කොළඹ, අනුරාධපුර, ගම්පහ සහ ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්ක ගණනාවක ජාතික නිදහස් පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය සඳහා ජනහමු හා ක්‍රියාකාරී හමු ගණනාවක් සංවිධානය කර තිබුණි. ශ්‍රීලනිපයට එක්වූ පසුව වීරකුමාර දිසානායක ජානිපෙ සම්පූර්ණයෙන් බිමට සමතලා කරනවා යැයි පවසා තිබුණු බැවින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනහමු සංවිධානයේදී ජානිපෙ දැඩි සැලකිල්ලක් දැක්වීය. එහෙත් හොරොව්පතාන, ගලෙන්බිඳුණුවැව, හබරණ, පදවිය වැනි ප්‍රදේශවල ජානිපෙ පැවැත්වූ ජනහමු සාර්ථක වී තිබිණි. වීරකුමාර සමග ශ්‍රීලනිපයට එක්වූ පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාරගේ නිවසේ පැවැති රැස්වීමට එක්ව සිටි පිරිසක්ද විමල්ගේ රැස්වීමකට පැමිණීම විශේෂත්වයක් විය. පී.බි. කුමාරගේ ගම පිහිටි කොට්ඨාසයට විමල් යෙදූ අපේක්ෂකයා වැඩි ජනතා ආකර්ෂණයක් ලබා ඇතැයි පැහැදිලි විය. කන්තලේ ජානිපෙ අපේක්ෂකයන් පරාජය කිරීමට ජයන්ත විජේසේකර යොදා තිබූ උපක්‍රම නිවැරදි කිරීමටද විමල් මැදිහත් විය. මේ ආකාරයට ආසන සංවිධායකයන්, දිස්ත්‍රික් සංවිධායකයන් හා අපේක්ෂකයන් ඉල්ලා සිටින අවස්ථාවලදී හැකි අයුරින් රැස්වීම්වලට එක් වූ විමල් සෑම අවස්ථාවකදීම සිය කතාව විනාඩි තිහකට පමණක් සීමා කිරීමට වග බලාගත්තේය. දිනකට එවැනි රැලි 25-30 අතර ප්‍රමාණයක් ඇමතීමට විමල්ට සිදු වෙයි.
ජානිපෙ පවත්වන රැලිවලට සහභාගි වීම නිසා මහින්ද රාජපක්ෂ සහභාගි වන ප්‍රධාන ජාතික රැලි කිහිපයක් විමල්ට මග හැරුණි. මේ ගැන මහින්දගෙන් පාක්ෂිකයෝ විමසන්නට වූහ. “ඇයි සර් විමල් රැස්වීම්වලට එන්නැත්තේ’ ජනතාව අසන විට, විමල්ගෙන් මේ ගැන ඇසිය යුතු යැයි මහින්ද කල්පනා කළේය.
“මිනිස්සු අහනවා විමල් නැත්තේ මොකද කියලා. ඔයාගේ කතාව බලාපොරොත්තුවෙන් ගොඩක් දෙනෙක් එනවා. ඇයි රැස්වීම් කිහිපයකට ආවේ නැත්තේ’ මහින්ද දුරකථන ඇමතුමක් ගෙන විමල්ගෙන් ඇසුවේය. “නෑ නෑ ජනාධිපතිතුමනි, ගැටලුවක් නිසා නෙමෙයි. මම අපේ පක්ෂයේ රැස්වීම් ටිකකට සම්බන්ධ වුණා. ඒ අය ගැනත් බලන්න ඕනනේ. මම අනිවාර්යයෙන්ම ඉදිරියේ තියෙන ජාතික රැලිවලට එනවා’ විමල් කීවේය. ඉන්පසුව හොරණ පැවැති පොහොට්ටුවේ රැලියේ සිට විමල් එක්විය.
පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ හා සමානව උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. පිවිතුරු හෙළ උරුමයේ අපේක්ෂකයන් දිනවීමේ කාර්යය ඉටුකරන අතරේ උදය සෑම විටම මහින්ද සහභාගි වන ප්‍රධාන රැලි ඇමතීමටද ඉදිරිපත් වෙයි. උපහැරණ සහිතව උදය සිදුකරන කතා ඇසීමට ජනතාව කැමැත්තක් දක්වයි. මේ ආකාරයට මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටින අතරේ ගම්මන්පිලගෙන් විමල්ට ඇමතුමක් ලැබුණි. “දැක්කද මන්ත්‍රීතුමා බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව’ යි උදය ඇසූ විට “මේ දවස්වල තියෙන කාර්යබහුලත්වය නිසා මට තවම හරියට ඒක බලන්න බැරි වුණා’ විමල් කීවේය.
“මේක හරි විහිලුවක් විමල්. ජනාධිපති කොමිසම තිබියදී යම් යම් සාක්ෂි කැඳවීම් කළා. බරපතළ විදියට සාක්ෂි කැඳවීම් කරන බව කිව්වා. නමුත් වාර්තාව අරන් බැලුවාම පේන්නේ බරපතළ වැරදි ගැන පැමිණිලි 1200ක් විතර ලැබුණට 400ක් විතර විමර්ශනය කරලා, ඒකෙනුත් වැරදි 34 යි කියලා හොයාගෙන තියෙන්නේ. මේවා දැක්කාම අපට හිනා යනවා. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී වුණයි කියන අක්‍රමිකතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මැතිවරණ සමයේදී මාධ්‍ය උපමාන අනුගමනය නොකිරීම, අමාත්‍යාංශ නිලධාරීන්ට නිසි ක්‍රමවේදයකින් තොරව පොලිස් ආරක්ෂාව ලබාදීම, ගෙවල් කුලියට ලබාදීමේදී සිදු වූ අක්‍රමිකතා වගේ ටිකත් තියෙන්නේ. බරපතළ චෝදනා කිව්වට මේ වගේ සිල්ලර කාරණා ගැන වාර්තාව හදලා මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යන්නේ’ ගම්මන්පිල දීර්ඝ විස්තරයක් කරමින් කීවේය.
“උදය මට නම් හිතෙන්නේ මේක හරියට මැතිවරණ කාලයට ගහපු සුරංගනා කතා පොතක් වගේ’ විමල් කී විට, ඒක නම් ඇත්ත තමයි, මේ අය සුරංගනා කතා හදන්න හරි දක්ෂයිනේ’ උදයගේ පිළිතුර විය.
“රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය දිනා දුන්නු නායකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යන මේ අයට බටලන්ද කොමිෂන් සභාවෙ නිර්දේශ අමතකයි. බටලන්දට ගෙනල්ලා තරුණයන්ගේ ජීවිත නැති කරපු නායකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න එම කොමිසම නිර්දේශ කරලා තිබුණා. බරපතළ වංචා සෙවීමේ කොමිෂන් සභා වාර්තාවේ කිසිම තැනක ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් ගැන සඳහන් වෙලා නැහැ’ විමල් පැවසූ විට “ඇත්තටම ඒ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළා නම් රට මේ තත්ත්වයට පත්වෙන්නේ නැහැ’යි ගම්මන්පිල කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැලියක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29 වැනිදා ගම්පහදී පැවැත්විණි. රැස්වීම පැවැත්වෙනදා උදෑසන ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණේ මෛත්‍රීගේ පාර්ශ්වය නියෝජනය කරන ප්රබලයකුගෙනි. ගම්පහ රැලියට සෙනඟ නොඑන බව ප්‍රසන්න ඔහුට කීවේය.
‘අද ගම්පහ රැස්වීමට සෙනඟ එන්නෙ නැහැ. බොරු නම් බලන්නකෝ. මම පොඩි ගේමක් ගහලයි තියෙන්නේ’ ප්‍රසන්න ඔහුට කීවේය.
අනතුරුව සවස හතරට පමණ ප්‍රසන්න ගම්පහ බස් නැවතුම අබියස පැවති එම රැස්වීම අසලට ගියේය. රැස්වීමේ සංවිධාන කටයුතුවල නියැළෙමින් සිටි රෙහෙන්සිරි වරාගොඩ දුටු ප්‍රසන්න ඔහුගෙන් ඇසුවේ ‘කෝ බං සෙනඟ?’ කියාය. රෙහෙන්සිරි ඊට පිළිතුරක් දුන්නේ නැත.
‘මම නම් දැනගෙන හිටියා රැස්වීමට සෙනඟ එන්නේ නැහැ කියලා. මහින්ද මහත්තයට බණින මෛත්‍රීගේ මූණ බලන්න ශ්‍රී ලංකා කාරයෝ එන්නෙ නැහැ. ඒක එයාට කියලා තියන්න’ කී ප්‍රසන්න එතැනින් නික්ම ගියේය. ගම්පහ රැස්වීමට බලාපොරොත්තු වූ තරම් ජනකායක් නොපැමිණීම නිසා ප්‍රසන්නගේ අනාවැකිය හරියන ලකුණු පහළ වී තිබුණි.
රැස්වීමට සෙනඟ නොමැති වීම නිසා සංවිධායකයන් පත්වූයේ බලවත් අසීරුතාවකටය. මීට පෙරාතුරව දිස්ත්‍රික්ක කිහිපයක පැවති රැස්වීම්වලට සෙනඟ අඩු වීම නිසා ඒවායේ සංවිධායකයන් ජනාධිපතිවරයාගෙන් බැණුම් ඇසූ බවට ලැබුණු ආරංචි නිසා ගම්පහ සංවිධායකයන්ද සිටියේ තරමක බියෙනි.
පසුදින ප්‍රසන්නට මෛත්‍රී පාර්ශ්වයේ තවත් ප්රබලෙයකු වන ගාමිණී තිලකසිරිගෙන් ඇමතුමක් ලැබුණි. හෝමාගම සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන ගාමිණී තිලකසිරි ද මෛත්‍රීගෙන් බැණුම් ඇසුවේ හෝමාගම රැස්වීමට සෙනඟ නොමැති වීම නිසා බව ප්‍රසන්න කලින් දැන සිටියේය.
‘මොකද ලොක්කගෙන් බැණුම් ඇහුවා කියන්නෙ?’ ප්‍රසන්න ඇසුවේ ඔලොක්කුවටය.
‘දන්නෙ නැද්ද ඉතින්’ ගාමිණී ඕනෑවට එපාවට කීවේය.
‘ඒකනේ බං අපි කියන්නේ. අද ශ්‍රී ලංකාකාරයෝ ඉන්නෙ මහින්ද මහත්තයා එක්ක. ඉතින් ජනාධිපති වේදිකාවට නැගලා මහින්ද මහත්තයට ගිරිය පුප්පන් බණින ඒවා අහන්න මොන ශ්‍රී ලංකාකාරයද එන්නේ?’ ප්‍රසන්න ඇසුවේය.
‘ඕවා ඉතින් කිව්වට වැඩක් නැහැනේ’ ගාමිණී කීවේය.
‘එදා ඉඳලම නිදහස් පක්ෂයට ඡන්දය දුන්න ශ්‍රී ලංකාකාරයෝ මෙදා පාර ඡන්දෙ දෙන්නේ පොහොට්ටුවට. බොරුවට කෑ ගහලා ඒ මිනිස්සු වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. ජනාධිපතිට ඕක නොතේරුණාට එයාගෙ වටේ ඉන්න ඇමතිවරු ටික ඕක දන්නවා. ඒ හින්දා මේවා ජනාධිපතිට කියා දියල්ලා’ කියමින් ප්‍රසන්න දුරකථනය විසන්ධි කළේය.
පෝයදා සවස ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් වන ප්‍රසන්න, පවිත්‍රා, ජොන්ස්ටන් ඇතුළු පිරිසක් මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසට පැමිණ සිටියහ. පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු පිරිස මෙහිදී ම????හින්ද සමග සාකච්ඡා කළහ. එසේම මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සෑදීම ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
‘එදා අගෝස්තු මහ මැතිවරණයේදි කරපු සෙල්ලම අලුත් වටයකින් අද එළියට ඇවිත් තියෙනවා. එදා කිව්වා සන්ධානය දිනුවත් මහින්ද මහත්තයට අගමැතිකම දෙන්නෙ නැහැ කියලා. දැන් කියනවා සන්ධානයෙන් පත්වෙච්ච සේරම එනවා නම් ආණ්ඩුවක් හදන්න ලැහැස්තියි කියලා. එයා හදන්නේ ආණ්ඩු හදන්න නෙමෙයි අපේ ඡන්ද කඩන්නයි’ ප්‍රසන්න පැවසීය.
‘ඡන්ද රැස්වීම්වල කියන ඒවා මිනිස්සු එච්චර ගණන් ගන්නේ නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා එක එක රැස්වීම්වල එක එක කතා කියන හින්දා දැන් මිනිස්සුන්ට එයා ගැන විශ්වාසය නැතිවෙලා ගිහින් ඉවරයි’ ජොන්ස්ටන් පැවසීය.
‘එතුමාගේ මන්තරේ තමයි අරයා හොරා, මෙයා හොරා. දැන් බලන් යනකොට ඔක්කොම හොරු. එයා විතරයි හොඳ. මිනිස්සු දැන් ඒවා විශ්වාස කරන්නේ නැහැ’ පවිත්‍රා කීවාය.
‘සිරිසේන මහත්තයා බලන්නේ කොහොම හරි පක්ෂයට ඡන්ද ටික ඇදගන්න. දැන් බොරුවට එක්සත් ජාතික පක්ෂයට බැණ බැණ ගියාට ඡන්දෙන් පස්සෙ ආයෙමත් දෙගොල්ලෝ එකට එකතු වෙනවා කියල මිනිස්සු දන්නවා’ ප්‍රසන්න කීවේය.
‘ඒකනේ අර කිරිඇල්ලත් කියන්නේ, ඡන්දෙන් පස්සෙ අගමැතියි, ජනාධිපතියි පරණ ආදරවන්තයෝ වගේ ඉඳී කියලා. ඒ කතාවෙන්ම කියවෙන්නේ මේ බොරු රඟපෑම් සේරම මිනිස්සුන්ගේ ඡන්ද ටික ගරා ගන්නකම් විතරයි කියලනේ. ඕවට අහුවෙන මිනිස්සු දැන් නැහැ’ ජොන්ස්ටන් පෙන්වා දුන්නේය.
‘මෙයාලා බලයට ආවෙත් බොරු කියලා. එදා ජනාධිපතිවරණයේදී කිව්ව බොරු බලන්න. ලැම්බෝගිනි, රත්තරන් අස්සයෝ, ඩුබායි ගිණුම්වල සල්ලි. අන්තිමට මොනවද දැන් එළිවෙලා තියෙන්නේ? මිනිස්සු එකපාරක් ඕවට අහුවුණා. ආයෙත් වතාවක් රැවටෙන්න තරම් මෝඩයෝ ලංකාවෙ නැහැ’ මහින්ද පැවසීය.
‘ඒක නම් ඇත්ත. එදා ජනාධිපතිවරණයේදී දාපු පරණ තැටි ටිකම තමයි තාම දාන්නේ. බලයට ඇවිත් අවුරුදු තුනක්ම ගෙවිල ගියාට පස්සෙ තමයි වැඩ කරන්න මතක්වෙලා තියෙන්නේ’ ප්‍රසන්න කීවේය.
‘ජනාධිපති අගමැතිට බණිනවා. අගමැතිගේ ගෝලයෝ ජනාධිපතිට බණිනවා. අන්තිමට ඡන්දෙන් පස්සෙ කරට අත දාගෙන ආයෙත් රට විකිණීමයි, හොරකමයි කරගෙන යනවා. ඒක තමයි යහපාලන ආණ්ඩුවේ එකම දැක්ම’ පවිත්‍රා පැවසුවාය.
‘බැඳුම්කර වාර්තාව යටගහන්න දැඟලුවා වගේම මැතිවරණයේ නිහඬ කාලයේදී බැඳුම්කර කොමිසමේ වාර්තාව විවාදයට අරන් වාසි ගන්නයි ආණ්ඩුව හැදුවේ’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘බැඳුම්කර වංචාවෙන් ගොඩ ගියේ කවුද කියලා මුළු රටම දැන් දන්නවා. හැබැයි සැබෑ වැරදිකාරයෝ ඉන්නකොට ඒවාට පියවර නොගෙන මැතිවරණ රැස්වීම් දෙවනත් කර කර යනවා. දැන් හදන්නේ 2008- 2015 කාලේ වංචා වුණා කියලා මේ මහා මංකොල්ලයේ තොරතුරු යට ගහන්නයි’ ජොන්ස්ටන් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පවත්වන ජනරැලි මාලාවේ තවත් එක් රැලියක් මේ මස 06 වැනිදා කටුනායකදී පැවැත්වීම නියමිතය. එම රැලිය පැවැත්වෙන්නේද පසුගිය සතියේ මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැලිය පැවැත්වුණු ස්ථානයේදීමය.
කටුනායකදී පැවැත්වෙන රැලිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පැවැත්වුණේ පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකරගේ නිවසේදීය. මෛත්‍රී පාර්ශ්වය විසින් අඩු ජනකායක් සහිතව කටුනායක කළ රැස්වීම අභිභවා යන දැවැන්ත රැලියක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී සකච්ඡා කෙරිණි.
‘ජනාධිපතිවරයා ආපු රැස්වීමට බලාපොරොත්තු වෙච්ච තරම් සෙනඟක් ඇවිත් නැහැ. ගෙනාපු වතුර බෝතල් පවා ඉතුරු වුණා කියල ප්‍රාදේශීය සභා අපේක්ෂකයෝ කියනවා. ඒ හින්දා අපිට වගකීමක් තියෙනවා ලොකු රැලියක් කරන්න’ ප්‍රසන්න පැවසීය.
‘ඒක ඇත්ත.. අපි මේ රැලිය කරන්න ඕන එයාලට උණ ගැනෙන්නත් එක්ක’ ලන්සා කීවේය.
‘දැන් නිදහස් පක්ෂයේ රැලිත් හරියට ජනතා විමුක්ති පෙරමුණේ පොකට් මීටින් වගෙයි. බස්වලින් ගෙනත් සෙනඟ පිරෙව්වේ නැත්නම් කැමැත්තෙන් එන පිරිස අතේ ඇඟිල් ගාණටත් වඩා අඩුයි’ ඉන්දික අනුරුද්ධ කීවේය.
‘ඔය එන මිනිස්සුත් මේ පාර කතිරෙ ගහන්නේ පොහොට්ටුවට. ජනාධිපතිගේ රැස්වීම්වලට යන ගොඩක් අය මා එක්කත් කිව්වා නොගිහින් බැරි හින්දා යනවා, හැබැයි ඡන්දෙ දෙන්නේ මහින්දට කියලා’ ඩුලිප් පැවසීය.
‘දැන් ජනාධිපතිවරයා වියරු වැටිලා වගෙයි කතා කරන්නේ. මම එතුමා ළඟ ඉන්න අයටත් කිව්වා ජනාධිපතිගේ වියරු කතා අහන්න
ශ්‍රී ලංකාකාරයෝ එන්නෙ නැහැ කියලා’ ප්‍රසන්න කීවේය.
‘එතුමාට මේ රැස්වීමෙදි කියන දේ අනෙක් රැස්වීමෙදි මතක නැහැ. මේ රැස්වීමෙදි කියනවා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා. අනෙක් රැස්වීමෙදි කියනවා මේ ආණ්ඩුව දිගටම යනවා කියලා. ආයෙත් අනෙක් රැස්වීමට ගිහින් තව කතාවක් කියනවා. එතුමාගේ කතා දැන් ජනතාවට විහිළුවක් වෙලා ඉවරයි’ ලන්සා පැවසීය.
‘බැඳුම්කර වංචාව සිද්ධ වුණේ එතුමා රට පාලනය කරන කාලයෙයි. එතුමා තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ඉතින් අනෙක් අයගේ බැඳුම්කර වංචාව අනෙක් අයගේ කරේ ගහලා බේරෙන්න එතුමාට බැහැ. එයත් මේකට වගකියන්න ඕනේ’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘ඒක ඇත්ත. අද වෙලා තියෙන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි’ ඉන්දික පැවසීය.
සාකච්ඡාවෙන් පසුව මන්ත්‍රීවරුන්ට දිවා ආහාරය සූදානම් කර තිබුණේද ලලන්තගේ නිවසේය. මන්ත්‍රීවරුන් දිවා ආහාරය ගන්නා විට ලලන්තගේ බිරිය අලුකෙහෙල් මාලුවක්ද රැගෙන ආවේ ‘මේවා මේ ගෙදරම හදපු ඒවා’ කියමිනි. අලුකෙහෙල් මාලුව දෙස බැලූ මන්ත්‍රීවරු මුහුණට මුහුණු බලමින් සිනාසෙන්නට වූහ.
‘හිනා වෙවී හිටියට කමක් නැහැ.. මේ දවස්වල ඡන්ද වැඩ හින්දා ගෙදරත් නැති එකේ කවුරු කවුරුත් ඔය මාලුව බෙදාගෙන කෑව නම් තමයි හොඳ’ ආනන්ද හරිශ්චන්ද්‍ර උතුරා යන සිනාවකට අඩිතාලම දමමින් කීවේය.
මේ අතර ප්‍රසන්න පසුගිය සතියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත රහස් ලිපියක් යැව්වේය. ලිපියට මාතෘකාව වී ත ිබුණේ පසුගිය දිනක ජනාධිපතිවරයා කළ ආරාධනය සම්බන්ධයෙනි. ජනාධිපතිවරයා කියා තිබුණේ සන්ධානයෙන් පත් වූ මන්ත්‍රීවරුන් 96 දෙනා තමන් සමග සිටින්නේ නම් හෙට වුවද නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට සූදානම් බවය.
ඊට පිළිතුරු ලෙසින් ප්‍රසන්න සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ මැතිවරණය ආසන්න වත්මන් ජනාධිපතිවරයා සිහිනෙන් අවදි වූවකු මෙන් ක්‍රියාකරන බවය. ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ප්‍රසන්න උපමා කර ඇත්තේ හොරෙන් සීනි කන්නට ගොස් මවට අසු වූ පුතුන් දෙදෙෙනකුටය.
හොරෙන් සීනි කන්නට ගොස් අම්මාට අසු වූ පුතුන් දෙදෙනකු %අයියා තමයි කෑවේ, මං නෙමේ, මල්ලි තමා කෑවේ මම නෙමේ^ කියමින් එකිනෙකා පාවා දෙමින් කටයුතු කරන ආකාරයට අද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද කටයුතු කරමින් සිටින බව ප්‍රසන්න පවසයි.
එසේ වුවත් පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵවලින් සිරිසේන ජනාධිපතිවරයාට යථාර්ථය පෙනී යනු ඇති බව ප්‍රසන්න සිය ලිපිය මගින් කියා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd