උදෑසන වැඩට යද්දී, හවස වැඩ අවසන් කොට නිවසට පැමිණෙන අවස්ථාවේ සියලු දෙනාට පාහේ නැගෙන මූලික ප්‍රශ්නයක් වන්නේ එදින කොතරම් වේලා මහපාරේ රස්තියාදු වන්නට සිදු වේ දැයි යන්නයි. අද වනවිට කොළඹ අවට රථවාහන ගමනාගමන තත්ත්වය එතරම් දරුණු අතට හැරී හමාරය. ආණ්ඩුවක් පත්වන සෑම වාරයක් පාසාම කොළඹ අවට රථවාහන තදබදය පිළිබඳ කොතෙක් විසදුම් යෝජනා ඉදිරිපත් කෙරුණද, ඒවා ක්‍රියාත්මක වූ බවක් අපට මතක නැත. ඇතැම් අවස්ථාවල ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළද, මේ වනතෙක් කිසිදු ආණ්ඩුවක් ඊට සමත් වී නොමැති බව නම් නොරහසකි. දිනයේ වැඩි කාලයක් මහාමාර්ගවල ගතවීම හේතුවෙන් නාස්ති වන %මිනිස් කාලය^ නැවත කිනම් අයුරකින්වත් ලාංකේය පුරවැසියාට ලබාගත නොහැකිය.
පසුගිය ආණ්ඩුවද මේ පිළිබඳ නොයෙක් යෝජනා ගෙන ආවත් ඒ කිසිවක් ක්‍රියාත්මක නොවූ බවක් පෙනුණි. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් පුළුල් මාධ්‍ය ප්‍රචාරණයකින් පසු වැඩිම මාර්ග තදබදයක් සහිත මාර්ගයක් වන රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා ප්‍රමුඛතා මංතීරු ක්‍රමයක් හඳුන්වාදෙනු ලැබිණි. එහිදී පොදු ප්‍රවාහන රථ සඳහා වෙනම මංතීරු ක්‍රමයක් ක්‍රියාත්මක කළ නමුත් එය රථවාහන තදබදය නැති කිරීමට පිළියමක් නොවීය. අවසානයේ එය ආණ්ඩුව ක්‍රියාත්මක කළ එක් යෝජනාවක් පමණක් විය. නමුත් එම ක්‍රමය ලොව බොහෝ රටවල මාර්ග තදබදය අවම කිරීම සඳහා යොදාගත් පර්යේෂණාත්මක ක්‍රමවේදයන්හි සාර්ථක ප්රතිඵලයකි. ඒ අනුව යුරෝපීය රටවල සහ සිංගප්පූරුව,මැලේසියාව වැනි රටවල මාර්ග තදබදය සඳහා දිගුකාලීන විසඳුම් ලෙස මෙය භාවිතයට ගනියි.
මෙරට පවතින මාර්ග තදබදය, ලංකාව විදේශිකයන්ගේ අප්‍රසාදයට පත්ව ඇති එක් ක්‍රමයක් බව යුරෝපීය රටවල් ආශ්‍රිතව සිදුකරන ලද පර්යේෂණයක් මගින් හෙළි වී තිබේ. එමෙන්ම මෙය සංචාරක ක්ෂේත්රයට පමණක් නොව රටේ සියලු ක්ෂේත්රවලට ඉතා ප්රබලව බලපෑම් කරන්නක් ලෙස හඳුනාගත හැකිය.
කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවේ මෙම ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය පිළිබඳ සලකා බැලීමේදී, එමගින් මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රම ත්‍රිත්වයක් මගින් මාර්ග තදබදයට විසඳුම් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරෙන බව දැකිය හැකිය.
ඒ අනුව කොළඹ අවට මාර්ග තදබදය ඉතා බහුල ප්‍රදේශයක් වන රාජගිරිය සහ බත්තරමුල්ල ප්‍රදේශයේ එහි මූලික පියවර ආරම්භ කර ඇත.
දැනට බොරුල්ල මංසන්ධියේ මංතීරු 06 ක් ඔස්සේ රථවාහන ගමන් ගන්නා නමුත්, රාජගිරියේ ඉදිවන ගුවන් පාලම හේතුවෙන් එයින් මංතීරු 04 ක් තාවකාලිකව වසා දැමීමට සිදු වී තිබේ. ප්‍රමුඛතා මංතීරු හඳුන්වා දී නොබෝ දිනකින් ගුවන් පාලමේ වැඩ කටයුතුද ආරම්භ වුවත්, එහි ඉදිකිරීම් සිදුවෙමින් පවතිද්දීම පවා මෙම මංතීරු සියල්ල නිසි පරිදි ක්‍රියාත්මක විය. නමුත් ගුවන් පාලමේ ඉදිරි වැඩ කටයුතු සඳහා මෙම මංතීරු ක්‍රමය දැනට අත්හිටුවා ඇති අතර, එය ඉදිරි දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඉන්පසුව පෙර පරිදිම මෙම ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු ඇත. එමෙන්ම ගුවන් පාලම සකස් කළ පසු එය භාවිතයෙන්ද දැනට එම ප්‍රදේශයේ සිදුවන මාර්ග අපහසුතා මඟහරවාගත හැකි වනු ඇත.
මේ අනුව මංතීරු 03 ක් ක්‍රියාත්මක වන අවස්ථාවක ඉන් එක් මංතීරුවක් බස් රථ ගමනාගමන කටයුතු සඳහා වෙන් කිරීම හරහා අනෙක් වාහන සියල්ල මංතීරු දෙකකට සීමා වෙයි. එවිට ඒ හරහා නිසැකයෙන්ම වාහන තදබදයක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් මෙම ගැටලුව මඟහරවාගැනීමට නම් පෞද්ගලික වාහනවලින් රාජකාරි හෝ වෙනත් අවශ්‍යතා සඳහා ගමන්ගන්නා ජනතාව පොදු ප්රවාමන සේවා තුළට මිනිසුන් ගෙන්වාගත යුතුය. එහෙත් එය ඉතා අපහසු කාර්යයකි. එනිසා ජනතාව තුළ පොදු ප්‍රවාහන පද්ධතිය පිළිබඳ කැමැත්තක් හෝ රැචියක් ඇති කිරීමට නම් මෙම පොදු ප්‍රවාහන ක්‍රමය ගුණාත්මක බවින් ඉහළ සේවාවක් බවට පරිවර්තනය කළ යුතු ය. නමුත් ගතානුගතික ක්‍රමයට අනුගත වී සිටින ජනතාව ඉන් මුදවාලමින්, මෙම පොදු ප්‍රවාහන සේවාවන් කෙරේ නැඹුරු කිරීම ඉතා අපහසු ක්‍රියාවකි. එය එක විට, එක වර කළ හැකි ක්‍රියාවක්ද නොවේ. එහෙයින් එහි පළමු අදියර ලෙස ක්‍රියාත්මක මංතීරු ක්‍රමය පිළිබඳ සාධනීය ඇසින් බැලිය යුතුය.
ක්‍රම ක්‍රමයෙන් ජනතාව මංතීරු ක්‍රමයයට අනුගත වනවිට එයටම අනන්‍ය වූ සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමටද ඉහත සැලසුම හරහා අදහස් කෙරේ. වෙනත් රටවල මෙන් නොව අපේ රටේ මෙම මාර්ග තදබදය පවතින්නේ උදෑසන 6.00 – 9.00 ත් අතර සහ සවස් කාලයේදීය. ඇතැම් අවස්ථාවල සමහර මාර්ග තුළ මුළු දවස පුරා මෙම ක්‍රමය භාවිත කිරීමට සිදුවන අවස්ථාද එළඹේ.
කෙසේ නමුත් මෙම ක්‍රමය කොළඹින් බැහැරට ගෙනයෑමේදී මතු වූ නොයෙක් ගැටලු හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා සඳහා මාර්ගයේ මැද ඇති තීරුව ලබන වසරේ මුල සිට භාවිත කිරීමට අපේක්ෂා කෙරේ. අන්තර්ජාතිකව සම්මත ක්රමවේදයද මෙයයි. නමුත් මේ සඳහා ප්‍රධාන ගැටලුව වන්නේ ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වීමයි. මාර්ගයේ මැද කොටසේ ඇති විදුලි පහන් කණු ඉවත් කිරීම, මැද තීරුව වෙනස් කොට එය මංතීරුවක් සේ සැකසීම ආදී බොහෝ දේ සිදු කිරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස අපහසුතාවලට ලක්වීමට සිදු වේ. නමුත් ලබන වසරේ සිට ගාලු පාර ඇතුළු මෙම ක්‍රමය යොදාගැනෙන මාර්ග සියල්ල ක්‍රමයෙන් ඒ සඳහා සූදානම් මෙම වැඩසටහනෙහි අපේක්ෂාව වේ. ඒ අනුව මාර්ගය මධ්‍යයේ පොදු ප්‍රවාහන බස් රථ ගමන් කළ යුතු අතර, මෙහි ප්‍රධානම කාරණාව වන්නේ බස් රථයට සිතූ සිතූ පරිදි ඒවා නතර කළ නොහැකි වීමයි. අද දවසේ රියදුරන් තමන්ට රුචි පරිදි හැම තැනකම පාහේ බස් රථ නවත්වමින්, බස් නැවතුම් පොළවලින් බැහැරව සිටින මගීන් පවා තම බස් රථයට නංවාගන්නා අතර, නව ක්‍රමය මගින් ඊට වැට බැඳීමට නියමිතය. එමෙන්ම මගීන්ට බස් රථයෙන් බැස යාමේදී මාර්ගය මධ්‍යයට පිවිසීමට සිදුවන හෙයින් ඔවුන්ට ආරක්ෂිතව පාර මාරු වීම සඳහා සංඥා එළි සහ එයට අවශ්‍ය අනෙකුත් දෑ ලබන වසරේ සිට සකස් කිරීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම මෙම ක්‍රමය හරහා සුඛෝපභෝගී බස් රථ ලංකාව තුළ ප්‍රචලිත කරන්නේ නම් දැනට තිබෙන බස් රථවලට කුමක් කළ යුතුද යන්න බරපතළ ප්රශ්නයකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණදෙන දැවැන්තම ගැටලුවද මෙයයි. නමුත් ආණ්ඩුව විසින් පෞද්ගලික බස් රථ හිමිකරුවන් සමග සාකච්ඡා කොට නවීන බස් රථ මිලදීගැනීම සඳහා සහන සැලසීමට අපේක්ෂිතය. එහිදී ඔවුන්ට තමන් මිලදී ගන්නා බස් රථය සඳහා යම් සහනයක් ලබාගැනීමට නම් දැනට තමන් සතු බස් රථ ඉවත් කිරීමට සිදු වෙයි.
උදාහරණයක් වශයෙන් බස්රථ දෙකක් ඇති බස් හිමියෙකුට එම බස්රථ දෙකම විකුණා සුඛෝපභෝගී බස් රථයක් ලබාගැනීමේ සහනය උදා කරදීමට රජය බැඳී සිටියි. එමෙන්ම ඉවත් කළ බස් රථ කොළඹ නගරයෙන් පිටත ප්‍රවාහනය සඳහා යෙදවීමටද නියමිතය.
ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටකි. ඒ නිසා පොදු ප්‍රවාහන ක්‍රමයක් සඳහා පොදුවේ මිනිසුන් යොමු කරලීම ඉතාම අපහසු කාර්යයකි. මන්ද සමාජයේ නෙයෙක් තලවල, නොයෙක් බුද්ධි මට්ටම්වල මිනිසුන් සිටින හෙයිනි. ඇතැම් විට බස්රථවලදී සිදුවන නෙයෙක් අපහසුතා නිසා ජනතාව පෞද්ගලික වාහන භාවිතයට යොමුවනු දැකගත හැකිය. ඒ නිසා මෙම තත්ත්වය තුළ මගීන් මෙන්ම රියදුරු සහ කොන්දොස්තර මහතාත්වරුන්ද මනා හික්මීමකින් සහ මනා හැදියාවකින් යුක්ත විය යුතුය. ඒ අනුව පොදු ප්‍රවාහනය පමණක් නොව ඒ සඳහා යොදවන සේවකයන්ද ගෞරවාන්විත අයවලුන් විය යුතුය. විශේෂයෙන්ම කොළඹ අවට ක්‍රියාත්මක වන මෙම ක්‍රමය නිසා කාන්තාවන්ටද ඊට සහභාගි වීමේ හැකියාව උදා වේ. ඒ සඳහා ඔවුන්ට ඇඳුමේ සිට හැසිරිම ආදී සියල්ල දක්වා සකස් කළ යුතුය. එක් අතකින් ප්‍රවාහන ක්ෂේත්රයේ කාන්තා පාර්ශ්වයේ මැදිහත් වීම සිදුවන්නේ ඉතාම අල්ප වශයෙනි. මෙම ක්‍රමයෙන් ඔවුන්ටද මෙම ක්‍රියාවලියට සහභාගි වීමේ හැකියාවක් පවතී. මෙම යෝජනාවලිය ක්‍රියාත්මක වීමේදී සුඛෝපභෝගී බස් රථ යොදාගැනුණද අධිවේගී මාර්ගවල මෙන් අධික ගාස්තුවක් අය නොවේ. මේ සඳහා පාලන මිලක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. මෙය දිර්ඝකාලීන ව්‍යාපෘතියක් වන හෙයින් ආණ්ඩුවටද එමගින් පාඩුවක් සිදු නොවේ. නමුත් මේ සියල්ල තවම සාකච්ඡාමය මට්ටමේ ඇති දේවල් බවද අවධාරණය කළ යුතුය.
මාර්ග තදබදයට තවත් විසඳුමක් ලෙස කාර්යාල වේලාවල වෙනසක්ද සිදු කෙරිණි. ඒ අනුව ඉදිරියේදී කාර්යාල සියල්ල බත්තරමුල්ලට රැගෙන යාම මෙන්ම කාර්යාල වේලාවන් වෙනස් කිරීමද සිදුකිරීමට නියමිතය. චක්‍රලේඛයේ වෙනසක් සිදු වීම හේතුවෙන් එහි වේලාව වෙනස් කිරීමේ යම් ප්‍රමාදයක් සිදු වුවද, එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. මේ නිසා පෞද්ගලික වාහන එකම වේලාවක මාර්ගයට පැමිණීම වළකාගැනීමට හැකියාව උදා වේ. කෙසේ වෙතත් මෙවැනි විකල්ප සඳහා යොමු නොවුවහොත් ඉදිරි වසර කිහිපයේදී කොළඹ අවට ප්‍රදේශ සියල්ල කිසිසේත් නිරාකරණය කරගත නොහැකි රථවාහන තදබදයකට ලක්වීම නියතය.
එමනිසා වසර 2020 වනවිට මෙම මංතීරු කිහිපයක් ස්ථාපිත කිරීමේ වගකීම ආණ්ඩුව සතු වේ. මේ සඳහා වසර කිහිපයක් ගත වුවද, එමගින් ලැබෙන සාධනීය ප්‍රතිඵල තවත් වසර 50 - 60කට මෙවැනි මාර්ග තදබද මෙරට තුළ ඇති නොකරනු ඇත.
මහාමාර්ගවල ගමන් කළ හැකි වාහනවල සීමාවක් තිබේ. එහි උපරිමය ළඟා වූ පසු කිසිසේත් එම සීමාව ඉක්මවා යාමට නොහැකිය. එමනිසා අධික පිරිවැයක් දරා හෝ සැහැල්ලු දුම්රිය (මොනෝ රේල්) ක්‍රමය හඳුන්වාදීම කාලෝචිතය. දැනට පවතින තත්ත්වයන් අනුව ඉදිරියේදී එක් පැයකට එක් මංතීරුවක එක් දිශාවකට යා හැකි වාහන ප්‍රමාණය 13,000 ක් වූ පසු මෙම තදබදයෙන් කිසිසේත්ම මිදිය නොහැකි වනු ඇත. දැන් අප සිටින්නේ එහි 10000 සීමාවේය. ඒ නිසා වඩාත් සුදුසු විකල්පයක් ලෙස යා හැකි එකම විසඳුම වන්නේ සැහැල්ලු දුම්රිය ක්‍රමයයි. දැනට සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා පොදු මහාමාර්ග මංතීරු 07 ක් වෙන් කර ඇති අතර, එයින් එක් මංතීරුවක් වන්නේ කොළඹ සිට මාලඹේ මාර්ගයයි. එහි වැඩ කටයුතු ජපන් රජයේ සහාය ඇතිව සිදු කිරීමට අපේක්ෂා කරන අතර, අනෙක් මාර්ග 06 පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව මේ සඳහා ආණ්ඩුවෙන් කිසිදු මුදලක් වැය කිරීමට අවශ්‍ය නොවනු ඇත. මේ සඳහා දැනට ආයතන කිහිපයක් තෝරාගෙන තිබෙන අතර, සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදි කිරීමේදී එහි වියදම් උපරිමයෙන් අවම කරමින් පහසු මාර්ග ඔස්සේ ගොඩනැගීමට අපේක්ෂා කරයි. විශේෂයෙන්ම මාර්ගය පටු අවස්ථාවලදී මාර්ගයෙන් පරිබාහිරවද, මාර්ගය පුළුල් අවස්ථාවලදී මහාමාර්ගය ඔස්සේද මෙම ක්‍රමය ස්ථාපිත කිරීමට කටයුතු කෙරේ. මේ සියල්ල පූර්ව පරීක්ෂණයකින් පසුව සිදු කරන අතර, මෙම ව්‍යාපෘතියේ සියලුම අදියර සඳහා විදේශීය ශිල්පීය ඥානය මෙන්ම දේශීය ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ දැනුමද ලබාගැනීමට නියමිතය.
කෙසේ වුවද මේ ආකාරයෙන් අදාළ ගැටලුව සඳහා බොහෝ විසඳුම් ඉදිරිපත් වුවද, පිරිවැය හෝ කුමන බාධකයක් නිසා හෝ එය යෝජනාවලට පමණක්ම සීමා වී තිබේ. එහෙත් මේ ආකාරයෙන් තවත් කලක් බලා සිටියහොත් අප රටේ උද්ගත වන රථවාහන තදබද ගැටලුව කිසිසේත් විසඳාලිලිය නොහැකි බරපතළ ගැටලුවක් වනු නොඅනුමානය. එහෙයින් මඳක් දුෂ්කර වුවද, මේ යෝජනා ක්‍රියාවට නැංවිය යුතු කාලය එළඹ තිබේ. රටේ සියලු පුරවැසියන්ගේ යුතුකම තම ආකල්ප පරිවර්තනයන් සිදු කොට මේ සඳහා තමන්ට හැකි උපරිම සහයෝගය ලබා දීම නොවේද?