තමන්ට කියා වාහනයක් මිලදී ගන්න එන අය කොයිකාටත් තිබෙන්නා වූ සිහිනයකි. මේ නිසා අද බොහෝ දෙනෙක් ලීසිං කර හෝ වාහනයක් පාරට දැමීමට බලාපොරොත්තුවෙන් සිටී. මේ නිසා අද පාරට බැස්ස විට රථ වාහන විශාල ප්‍රමාණයක් ගමන් කිරීම නිසාම මාර්ග තදබදය එන්න එන්නම ඉහළ ගොස් තිබේ. බොහෝ විට ප්‍රධාන නගර කරා තම අවශ්‍යතා, රැකී රක්ෂා සඳහා දිනකට පැමිණෙන ජනතාව ලක්ෂ ගණනක් වෙයි. මාර්ග තදබදය වැඩි වීම නිසා දිනකට විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වනවා සේම වටිනා කාලය අපතේ යාමක්ද සිදුවේ.
එමෙන්ම අද වනවිට මාර්ග තදබදය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස පෞද්ගලික වාහන භාවිතය ඉහළ යාමත්, පොදු ප්‍රවාහන භාවිතය පහළ යාමත් දැක්විය හැකිය. මෙවැනි හේතු සාධක නිසා වසර ගණනක් මෙයට විවිධාකාර වූ පිළියම් යෙදූ නමුත් මාර්ග තදබදය එන්න එන්නම වැඩි වූවා මිස අඩු වූයේ නැත.
මේ නිසා එයට නව උපාය මාර්ගයක් අත්හදා බැලීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා ජාතික ප්‍රවාහන අධිකාරිය කටයුතු කර ඇත. එහිදී මාර්ග තදබදය අවම කිරීමට බස් රථ සඳහා 'ප්‍රමුඛතා මංතීරු' හඳුන්වාදීමේ ව්‍යාපෘතියක් සංවිධානය කර තිබේ. ඊයේ දින සිට (12 වැනිදා) සතියක කාලයක් මෙම 'ප්‍රමුඛතා මංතීරු' හඳුන්වාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, එය වඩා ඵලදායී වුවහොත් දීර්ඝකාලීනව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පසුගියදා මෙම ප්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ රණවක මහතා මෙසේද පැවසීය.
මාර්ග තදබදයට විසඳුමක් ලෙස පසුගිය දශකය පුරා විවිධාකාර අත්හදා බැලීම් සිදුකළා. එහිදී මහා මාර්ග පද්ධති විධිමත් කරන්න, අධිවේගී මාර්ග ඉදිකිරීමට, මහා මාර්ග පුළුල් කිරීමට, කාපට් කිරීම් ආදී ක්‍රියාකාරකම් වල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවන්න කටයුතු කළා. එහිදී පසුගිය දශකය තුළ සිදුකළ රාජ්‍ය ආයෝජන වලින් 45%ක ප්‍රමාණයක් මහා මාර්ග පද්ධතිය වෙනුවෙන් වැය කළා. 2004 සිට 2014 අතර කාලයේ මාර්ග පද්ධතිය වෙනුවෙන් ත්රිලියනයක පමණ මුදල් ප්‍රමාණයක් වැය කළා.
අද වන විට අධිවේගී මාර්ග පද්ධතිය සඳහා එනම් දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය හා රුවන්පුර අධිවේගී මාර්ග ගත් විට ආසන්න වශයෙන් රුපියල් ත්‍රිලියනයක් එනම් බිලියන 1000කට වැඩි ආයෝජනයක් සිදුකිරීමට රජය ඉදිරි වසර කිහිපයේදී යෝජනා කර තිබෙනවා. නමුත් අපට පෙනෙන දේ වනුයේ අධිවේගී මාර්ග පද්ධතිය විධිමත් වුවත් මාර්ග තදබදය එන්න එන්නම වැඩිවන සුළු ස්වරූපයක් ගැනීමයි.
1948 නිදහස ලබාගත් අවස්ථාවේ අප රටේ මෝටර් රථ තිබුණේ 5000ක් පමණයි. එවක රටේ ජනගහනය සිටියේ ආසන්න වශයෙන් ලක්ෂ 80 ක් පමණයි. නමුත් අද වන විට රටේ මෝටර් වාහන ප්‍රමාණය හැටතුන් ලක්ෂයක් පමණ වෙනවා. 2015 වර්ෂයේ පමණක් මෝටර් වාහන හත් ලක්ෂයක් රටට ඇතුල් වෙනවා. එය අද වනවිට විශාල ගැටලුවක් බවට පත් වී තිබෙනවා.
ඒ වගේම බස්නාහිර පළාත ගතහොත් මේ පළාත තුළ හැට ලක්ෂයක පමණ ජනතාවක් ජීවත් වෙනවා. එවිට මේ ලක්ෂ 60ක පමණ ජනතාව දිනකට එහාට මෙහාට යන ගමන් ප්‍රමාණය ගත් විට එය කෝටියකට ආසන්නයි. එය මිලියන 10කට ආසන්න ප්‍රමාණයක්.
අනෙක් ගැටලුව වන්නේ එන්න එන්නම පොදු ප්‍රවාහන සේවය භාවිත කරන මගීන් ප්‍රමාණය අඩු වී තිබීමයි. 1980 ගණන්වල පොදු ප්‍රවාහන සේවය එනම් බස් රථ හා දුම්රිය භාවිත කළ මුළු මගී ප්‍රමාණය 85%ක් පමණ වුණා. නමුත් එය අද වන විට 50%ක් තරමට පහළ යාමක් සිදු වී තිබෙනවා.
ඉතිරි පිරිස පෞද්ගලික වාහන භාවිත කරන්න යොමුවෙලා තිබෙනවා. මේ නිසා ප්‍රවාහන ක්ෂේත්රයේ විශාල ගැටලුවක් ඇති වී තිබෙනවා. උදාහරණයක් ලෙස මාලඹේ පාරේ බස් රථ වල යන මගීන් හෙට දින සිට තීරණය කළහොත් මෝටර් රථ, යතුරු පැදි මගින් රාජකාරි කටයුතු සඳහා යනවා කියා එවිට අඩුම තරමේ බස් රථ 6 ක 7ක ඉඩ ප්‍රමාණයක් මේ සඳහා ලබාගන්න වෙනවා. ඒ වගේම එක බස් එකක යන 40 දෙනා තීරණය කළහොත් කාර් එකෙන්, මෝටර් සයිකලයෙන් යනවා කියා එවිට බස් 7 -10 ත් අතර ප්‍රමාණයක ඉඩකඩ ඔවුනට යනවා.
මෙහිදී තනි බස් එකේ ගිය ඉඩ 7 ගුණයේ සිට 10 ගුණය දක්වා වැඩි වෙනවා. මෙය තමා අද මහා මාර්ගයේ තදබදයට ප්‍රධාන හේතුව. ඒ වගේම 2017 වසරේ සිදුකරන ලද සංගණනයකින් පෙනී ගොස් තිබෙනවා තදබදය වැඩිපුර පවතින්නේ උදෑසන 6 සිට 9 දක්වා අතර කාලයේදී බව. එම කාලය තුළ පුද්ගලයන් 8000ක් බස් රථ 180 ක ගමන් කර තිබෙන අතර, පුද්ගලයින් 9000 ක ප්‍රමාණයක් පෞද්ගලික වාහන 4500ක ගමන් කර තිබෙනවා. ඒ කියන්නේ පෞද්ගලික වාහන තමා වැඩිපුර ගිහින් තිබෙන්නේ.
මෙයින් වාහන තදබදයේ ප්රශ්නය පැහැදිලියි. ඒ නිසා කොපමණ පාරවල් හැදුවත්, පාරවල් පළල් කළත් වැඩක් නැහැ, පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් නොකර. ඒ නිසා මෙයට උපාය මාර්ගයක් ලෙස බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ප්‍රවාහන ආයතනය එක්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
මෙහි ප්‍රථම අත්හදා බැලීම ඊයේ සිට සතියක කාලයක් රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනවා. බස් රථ සඳහා මෙම ප්‍රමුඛතා මංතීරු හඳුන්වා දීමෙන් බලාපොරොත්තු වන්නේ මෙරට පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාවය දී රට තුළ වෙනම සංස්කෘතියක් ගොඩනැගීමයි.
අද වන විට සෑම දිනකම බිලියනයක මුදලක් මේ මාර්ග තදබදය නිසා නාස්ති වෙනවා. ආසන්න වශයෙන් බලන විට වර්ෂයකට බිලියන 350ක් පමණ මේ මාර්ග තදබදය නිසා නාස්ති වෙනවා. එය රටේ මාර්ග ක්ෂේත්රයට ආයෝජනය කරන මුදලට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ වගේම අප රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ඒ මුදල යොදවන්න පුළුවන්. ඒ නිසා මේ නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දීර්ඝකාලීනව මෙය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී ශීඝ්‍ර‘ගාමී බස් සේවයක් ලංකාවට හඳුන්වා දෙන්නත් බලාපොරොත්තු වෙනවා.
දැනට ප්‍රවාහන අමාත්‍යාංශයත්, මහා මාර්ග අමාත්‍යාංශයත් එකතුවෙලා පියවර කීපයක් සංවිධානයකර තිබෙනවා. ඉන් එකක් ලෙස මාර්ග තදබදය අධික ප්‍රදේශ සඳහා සුවපහසු බස් රථ සේවාවක් ලංගම මගින් හඳුන්වා දෙන්න කටයුතු කරනවා. දෙවැනි පියවර ලෙස කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සැහැල්ලු දුම්රිය මාර්ගයක් තැනීම සඳහා ප්‍රවාහන අමත්‍යාංශයත්, මාර්ග සංවර්ධන අධිකාරියත් කටයුතු යොදා තිබෙනවා. ඊළඟ පියවර ලෙස ශීඝ්‍රගාමී බස් සේවයක් හඳුන්වාදීම දක්වන්න පුළුවන්. මෙවැනි පියවරයන් ඔස්සේ ඉදිරියේදී මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්රය දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ මහාචාර්ය අමල් කුමාරගේ මහතා
අද වනවිට ලෝකයේ බොහෝ රටවල් හඳුනාගෙන තිබෙනවා මහා මාර්ගයේ පවතින සීමිත ඉඩකඩ කාර්යක්ෂම ලෙස භාවිත කරන්න. එහිදී සීමිත ඉඩකඩකින් වැඩි පිරිසකට ගමන් කිරීමට ක්‍රමවේදයන් යොදා තිබෙනවා. රජයක් ලෙස මේ සම්බන්ධව අපේ රටද අවධානය යොමු කළ යුතුයි. මෙහිදී බස් රථයෙහි ගමන් කරන මගීන්ට ප්‍රමුඛතාවය ලබාදෙන්න අවශ්‍යයයි.
අද රටේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ බස් එක හෙමින් ගියදෙන්, කාර් එක ඊට ඉස්සර කර යා යුතුයි යන සංස්කෘතියයි. නමුත් අප මේ ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වන්නේ බස් රථයෙහි ගමන් ගන්නා මගියාගේ කාලය ඉතිරිකර දී පොදු ප්‍රවාහන සේවයට ප්‍රමුඛතාවය ලබාදීමයි.
මේ ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය මුලින්ම ආරම්භ කර තිබෙන්නේ සිංගප්පූරුවේ. ඒ 1980 වර්ෂයේදීයි. අද වනවිට සිංගප්පූරුවේ මගීන් 80%ක් පමණ ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවයේ. ඉන් 60%ක් පමණ ප්‍රමාණයක් ගමන් කරන්නේ බස් රථ වලයි. ඒ වගේම ලන්ඩන් නුවර මෙය 1985 වර්ෂයේදී ක්‍රියාත්මක කළා. දකුණු ඇමරිකාවේ 1990 වර්ෂයේදී ක්‍රියාත්මක කළ අතර, මෑතකදී කොරියාවේ සෝල් නුවර මෙය ක්‍රියාත්මක කළා.
එමගින් ඒ රටවල ප්‍රධාන නගරවල තිබූ මාර්ග තදබදය මුළුමනින්ම පාහේ නැතිකර ගැනීමට හැකි වුණා. අද වන විට ඒ රටවල පොදු ප්‍රවාහන සේවය භාවිත කරන ප්‍රජාව ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා අපි මේ ක්‍රමවේදය ඉදිරියේදී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී බොහෝ අඩුපාඩුකම් ඇති වෙයි. බස් රථ සඳහා ප්‍රමුඛතාවය ලබාදීමෙන් බස් රථයට යම්කිසි ගරුත්වයක් ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම රියදුරු මහතුනුත් ඒ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම අවශ්‍යයයි. ඒ නිසා මේ මංතීරුවේදී බස් රථ විනීතව හැසිරීම අවශ්‍යයයි. ඉස්සර කිරිම තහනම්.
ඒ නිසා ඒ දේට පුරුදු වෙන්න අවශ්‍යයයි. කාලයක් මුළුල්ලේ අපේ රටේ බස් සංස්කෘතිය ගත් විට කොට කොටා යන සංස්කෘතියක් තමයි පැවතුණේ. මේ ව්‍යාපෘතිය හරහා එම සංස්කෘතිය බැහැර කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එවැනි දේවල් එක දවසකින් කරන්න අමාරුයි. මේ නිසා තමයි මෙම නියමු ව්‍යාපෘතිය අප සතියකට ක්‍රියාත්මක කර බලන්නේ.
මෙම ව්‍යාපෘතිය සඳහා බස් මාර්ග 13ක් පමණ සම්බන්ධ කර රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා මේ ප්‍රමුඛතා මංතීරුව හඳුන්වා දෙනවා. ඒ තුළින් මිනිස්සු තුළ 'බස් ලේන්' යන සංකල්පය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරනවා.
මේ සතිය තුළ අපි බලාපොරොත්තු වන්නේ පොලීසියට මේ හැසිරවිය හැකිවන්නේ කෙසේද සහ අනෙක් වාහන ගමන් කළ යුත්තේ කෙසේද කියා සොයා බලා ඉදිරියේදී ක්‍රමානුකූලව මෙය ක්‍රියාවලියට නැංවීමයි.
සටහන / ඡායාරූප - සරසි නෙත්මිණි