මීතොටමුල්ල කුණු කන්ද නායයෑමත් සමග, ඒ වනතෙක් කුණු කන්දේ අයිතියට පොරකෑ බලධාරීන් මෙන්ම දේශපාලනඥයන් එහි වගකීම එකිනෙකා මත පටවමින් තමන්ගේ නිර්වද්‍යතාව පැහැදිලි කරමින් සිටී. නිසි පරිපාලනයක්, කළමනාකරණයක් නොමැති රාජ්‍ය පාලකයන් මෙරට සිටි බවට සහ සිටින බවට කුණු කන්දේ ඛේදවාචකය හොඳම සාක්ෂියකි. මේ තුළින් අප රට ජාත්‍යන්තරවද හෑල්ලූවට පත්වීම වැළැක්විය නොහැකිය. තරුණ දේශපාලනඥයෙකු වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා සමග මේ පිළිබඳ 'අද' කතාබහක නිරත විය.
Q මීතොටමුල්ලේ ආපදාවට පත්වූවන්ට දෙන සහන ගැන සෑහීමකට පත්වන්න පුළුවන්ද?
කොහෙත්ම බැහැ. විපතට පත් වූවන් සඳහා කොළොන්නාවේ නෙළුම්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දෙන්න රජය කටයුතු කර තිබෙනවා. අර්ධ හානි වූවන්ටත් ඔවුන් කැමතිනම් නිවාස ලබාදෙන බව රජය පවසනවා. ඇත්තෙන්ම ඔවුන් සිටින්නෙත් සලකුණු කරල තියෙන අවදානම් කලාපයෙයි. සින්නක්කර ඔප්පු තියෙන පිරිසකුත් මෙතන ඉන්නවා.ඔවුන් එම නිවාසවලින් යන්න කැමති නැහැ.
ඔවුන් සිය නිවාස සඳහා සාධාරණ වන්දියක් බලාපොරොත්තු වෙනවා. මේ කුණු ගොඩ මෙතෙන්ට ගෙනල්ල දාන්න කලින් ඉඳලා මෙහි පදිංචිකරුවන් වන මේ අය කියන්නේ එයාලගෙ නිවාසවල දැන් පවතින කෝටි ගණනක වටිනාකම වෙනුවට ලැබෙන මේ කුඩා මහල් නිවාසවලට එයාල යන්න කැමති නැහැයි කියලයි.
නමුත් එම පිරිස සුදුසු වෙනත් ස්ථානයකට යන්න කැමතියි. ඒ සඳහා ඔවුන් සාධාරණ මුදලක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ අද පවතින වටිනාකම අනුව, ඒ වගේම ඔවුන්ගේ අහිමි වුණ දේපළවලටත් එක්ක නියමිත විදිහට තක්සේරුවක් කරලා මුදලක් ලබාදෙනවා නම් ඔවුන් යන්න කැමතියි.
Q මේ දිනවල ඒ තක්සේරුව කරගෙන යනවා නේද?
ඔව්, රජය එම තක්සේරු කටයුතු කඩිනම් කරන්න කියල අදාළ අංශවලට උපදෙස් ලබාදීලා තියෙනවා. අපි දැන් ඒ පිළිබඳ අවධානයෙන් ඉන්නේ. මොකද ඉතිහාසයේ මේ වගේ පොරොන්දු රජයන් මගින් අපමණ දීල තියෙනවා. ඒවා ඒ වෙලාවට මිනිස්සු සනසන්නදෙන පොරොන්දු විතරයි.
මේ පහුගිය අවුරුද්දේ මේ කොළොන්නාවම යටකරලා ගලපු ගංවතුරෙදිත් හානි වුණ නිවාසවලට තාමත් කියපු ආකාරයට වන්දි මුදල් ලැබිල නැහැ. මේ පාර මිනිස්සු බොරු පොරොන්දුවලට රැවටෙන්නේ නැහැ. අපි ඒ තත්ත්වයට ඉඩ තියන්නෙත් නැහැ.
Q ජීවිත අහිමි වූවන්ට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බව පසුගිය දිනවල ප්‍රචාරය වුණා. නමුත් ආණ්ඩුව මෙය ප්‍රතික්ෂේප කරනවා. මෙහි ඇත්ත තත්ත්වය මොකක්ද?
අලියෙක් ගහගල මිනිහෙක් මරුණම ලක්ෂ පහක වන්දි මුදලක් දෙන මේ රටේ, මේ වගේ විපතකින් මරණයට පත්වෙන අයෙකුට ලක්ෂයක් දෙනවා කියනවා නම් මිනිහෙකුගෙ වටිනාකම ලක්ෂයද කියල අපට අහන්න සිද්ධ වෙනවා. මිනිස්සු මේ කුණු ගෙනල්ල දාගත්තෙ නැහැ. හිටපු පාලකයෝ බලහත්කාරෙන් කුණු මිනිස්සුන්ගේ ඔළුවලට අතඇරියා.
මම හිතනවා ලක්ෂ පහකින්වත් මේ මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම මනින්ඩ පුළුවන් වෙයි කියල. ඇතැම් පවුල්වල දෙමවුපියො මැරිල ජීවත්වෙන්නේ ළමයි විතරයි. එතකොට ඔය දෙන සොච්චම් වන්දියෙන් ඒ අසරණයන්ගේ අනාගතය ගොඩනගාගන්න පුළුවන් වෙයිද? ඒ නිසා මේ පිළිබඳ වගකීම දැන් ආණ්ඩුව දැරිය යුතුයි.
ඒ ගැන පත්කරල ඉන්න නිලධාරීන් පොතට නොවේ හදවතට එකඟව මේ පිළිබඳ සිතා බැලිය යුතු වෙනවා. ඒ නිසා සාධාරණ වන්දි මුදලක් කිසිදු ප්‍රමාදයකින් තොරව ඔවුන්ට ලබාදිය යුතුයි. අද දවසේ මගේ කාර්යය වන්නේ ඒ සඳහා බලධාරීන්ට, නිලධාරීන්ට පීඩනය එල්ල කරන එකයි.
Q මේ කුණු දැවැන්ත නිධානයක් කරගන්න පුළුවන්කම තියාගෙන දැන් කියනවා මේක වෙනත් ප්‍රදේශයකට ගෙනයනවා කියලා. ඒක හරියට හිසරදේට කොට්ට මාරුකරනවා වගේ වැඩක් කියලයි අපි දකින්නේ. ඇයි මේකට සාර්ථක විසඳුමක් ලබාදෙන්න ආණ්ඩුව උත්සාහ නොගන්නේ?
එතන තමයි ප්‍රශ්නෙ තියෙන්නේ.මේක අවුරුදු තිහක් තිස්සේ තියෙනප්රශ්නයක්. පහුගිය කාලෙ පැවති එක ආණ්ඩුවකටවත් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබුණෙ නැහැ. අපිත් එක්ක එකට නැගිට්ට මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් වගේම අපේ කලාපයේම තියන මාලදිවයිනටත්, මේ පිළිබඳක්රමවත් සැලසුම්සහගත වැඩපිළිවෙළක් තියෙනවා.
ඔවුන්ට මේ අපට වගේ පාරසරික ගැටලු, වසංගත ලෙඩ රෝග නැහැ.අපේ රටේ කුණු ප්රශ්නය ඇති වෙන්න හේතුව වුණේ ව්‍යාපාරික මාෆියාවක් මේ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඒ සමග බද්ධ වුණු නිලධාරී මාෆියාවක් හා දැවැන්ත කොමිස් මාෆියාවක්ද පවතිනවා.
පහුගිය ආණ්ඩු වගකීම් පැහැර හැරියයි කියල මේ ආණ්ඩුවට ඒකෙන් ගැලවෙන්න බැහැ. දැන් පවතින යහපාලනයට අවුරුදු දෙකහමාරක් ගතවෙලා තියනවා. ජනාධිපතිවරයාත්, මේ ආණ්ඩුවත් බලයට පත් වුණේ මේ කුණු ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් දෙනව කියලයි. ඒ සදහා ගෙවුණු මේ කාලසීමාව හොඳටම ප්‍රමාණවත්. ඒ වුණාට වැඩේ කෙරුණෙ නැහැ. එයට හේතුව මේ අයත් මම පෙන්වා දුන්න මාෆියාවලට යට වෙලා හිටිය නිසයි කියල අපට හිතන්න සිද්ධ වෙනවා.
Q බස්නාහිර පළාත් මහඇමතිවරයා සෘජුවම චෝදනාවක් එල්ල කළා මේ ප්රශ්නය විසඳන්න එතුමට ඉඩ දුන්නේ නැහැ කියලා. ඒ පළාත් සභාවෙම මන්ත්‍රීවරයෙක් හැටියට මේ පිළිබඳ ඔබේ ස්ථාවරය කුමක්ද?
අපේ රටේ පළාත් පාලන පනතේ හැටියට අදාළ පළාතේ කුණු එම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට අයත් දේපොළක්. ඒක එම ආයතනය විසින් කළමනාකරණය කරගත යුතුයි. නමුත් දැන් මේ කුණු කන්දට ටික කාලයක් යනකොට තාත්තල වැඩි වුණා. නගර සභාව කියනවා මේක එයාලට අයිතියි කියලා.
පළාත් සභාව කියනවා නැහැ මේක අපටයි අයිති කියලා.ඊළඟට මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ පාඨලී චම්පික ඇමතිවරයා කියනවා මේ කුණු කාගෙවත් නෙමේ මගේ කියලා.එතකොට ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය කියනවා නැහැ මේක ඒගොල්ලන්ගේ කියල. මෙතන බැලුවාම මේ කුණු ගොඩට අයිතිකාරයෝ, ඒ කියන්නෙ තාත්තල ගොඩයි. මේ තරම් තාත්තලා ගොඩක් එකතුවීමත් ප්‍රශ්නයක්නේ.
Q ඔබ චෝදනා කරන්නේ ඔවුන් කුණුවලින් කොමිස් ලබාගන්නවා කියලද?
මේකෙ හොඳ වටිනාකමක් තියෙන නිසානේ තාත්තල වැඩිවෙලා තියෙන්නේ. මේක අරයගෙ, මෙයාගේ කියන කතන්දරේ නෙමෙයි ආණ්ඩුවට තිබුණෙ. මේ අප්පච්චිල ටිකත් එකතු කරගෙන හරියාකාර වැඩපිළිවෙළකට යන්නයි. මේක හරි සරලයිනේ. නමුත් මේක එහාට මෙහාට ඇදිල ප්‍රමාද වුණේ.
ඔවුන් අතර තිබුණු කුණු ගොඩේළැදියාවේ ගැටුම නිසයි. ආණ්ඩුව මේකෙ මූලික වගකීම ගන්නෙ නැතුව මේ ළැදියාවන් තියෙන පිරිස අතර මේ ප්රශ්නය දෝලනය වෙන්න ඉඩදීලා බලාගෙන හිටියා. ඒකෙන් අන්තිමට සිද්ධ වුණේ ජීවිත තිස් හතරක් නැති වුණ එකයි.
මීට මාස හයකට උඩදි මම කිව්වා මේ කුණු කන්ද නායයනවයි කියලා.අන්තිමට මම නාගරික කොමසාරිස් එක්ක රණ්ඩු වෙලා පවුල් අටක ජීවිත තිස් පහක් බේරගත්තා. නැත්නම් ඒ මිනිස්සුත් ඉවරයි. දැන් මේකට කවුරුත් නිදහසට කාරණා කියල හරියන්නේ නැහැ.
Q හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට කියා තිබුණා ඔවුන් මේ ප්රශ්නය විසඳන්න සූදානම් වනවිටම තමයි ආණ්ඩුව කඩාවැටුණේ කියලා?
ඕව සීනි බෝල කතානේ. මේ ප්‍රශ්නෙට මුල්ම නඩු තීන්දුව දෙන්නේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා නාගරික සංවර්ධන ඇමතිවරයා හැටියට කටයුතු කරනකොටයි. 2009 දි එතුමා උසාවියට ඉදිරිපත් කරපු පෙත්සමකට නඩු තීන්දුවක් දෙනවා, මේ කුණු දාන එකට කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බැහැ, විරෝධතා දක්වන්න බැහැ, එහෙම කළොත් අත්අඩංගුවට අරගෙන අඩුම වශයෙන් දින දාහතරක් බන්ධනාගාරගත කරනවයි කියලා.
එදා මේ තීන්දුව දෙන්නේ කවුද ? හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා. ඒ තීන්දුව ගත්තේ කුණු දාන්ඩ මිසක් නතර කරන්න නෙමෙයිනේ? එහෙම නම් 2009 ඉඳල බලයේ හිටපු මෙයාලට හොඳටමකාලය තිබුණනේ මේ ප්රශ්නය විසඳන්න. ඒ ගොල්ලො කළේ එහාට මෙහාට කඹ ඇද්ද එකයි.
කොටින්ම කිව්වොත් මේ කුණුවලින් දේශපාලනඥයොයි, බලධාරීනුයි යැපුණා. ප්‍රශ්නෙට මුල තියෙන්නේ එතනයි. දැන් මේ දේශපාලන වාසි ගන්න බොරු කතන්දර කිව්වට වැඩක් නැහැ. ගෝඨාභය රාජපක්ෂයි මේක අවුලෙන් අවුලට පත් කළේ. ඒ නිසා එයාලට ඒ වගකීමෙන් ගැලවෙන්න බැහැ.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ