කළු දවස් 13ක් අද සිට සක්‍රීය වෙයි
සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 10 දක්වා ජලය සහ සුළඟ වියරු වැටෙයි
නිරන්තරයෙන් ජ්‍යෝතිෂය අනාවැකි හරහා සනාථ වන පුරෝකථන ඉදිරිපත් කරන ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා, ඉදිරි දින කිහිපයේදී, එනම් අද සිට ඇරඹෙන ඉදිරි කාලවකවානුව තුළ ජලය හා සුළඟ මගින් ලොවට හානි සිදුවන බව පසුගිය මස 'අද' පුවත්පතට පැවසීය. මේ පිළිබඳ තවදුරටත් කරුණු විමසීමට ඔහු නැවත වරක් සම්බන්ධ කර ගතිමු.
Q මීට මාස දෙකකට පමණ පෙර සහ ඉන් පසුවත් ඔබ වරින්වර ප්‍රකාශ කළා, සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා ආසියාවට සහ යුරෝපයට කළු දවස් 13ක් උදාවෙනවා කියලා. ඒ අනුව අද සිට නේද ඒ කළු දවස් ආරම්භ වෙන්නෙ?
ඔව්. පසුගිය ජූලි මාසයේදී තමයි මම ඔය කළු දවස් 13ක් ගැන මුලින්ම කිව්වේ. ඔබට මතක ඇති අගෝස්තු 07 වැනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවුණා. මේ ග්‍රහණ භූමියට ආසියාව සහ යුරෝපයත් ඉන්දීය සහ අත්ලාන්තික් සාගරයත් ඍජුවම ගොදුරු වුණා. ඊට අමතරව කැරිබියන් දූපත් සහ උතුරු අප්‍රිකානු රටවල් ගණනාවකටත් බලපෑමක් සිදුවුණා. ඒ පුරෝකථන ලිපියෙන් කිව්වා වගේම අමෙරිකාවේ කැරිබියන් දූපත් වගේම ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනය මහා වර්ෂාපතනයකට සහ ජල ගැලීම් හා නාය යෑම් වැනි ජලය ආශ්රිත විපත්වලට මුහුණ දුන්නා. ලෝකායතන ජ්‍යෝතිෂය අනුව ඒ තමයි අගෝස්තු 07 චන්ද්‍රග්‍රහණයේ ආසන්න සහ වක්‍ර බලපෑම. නමුත් එම ග්‍රහණය සිදුවූ රාශිය නක්ෂත්ර ශක්ති කලාපය සහ ග්‍රහණයට ගත වූ කාලය අවස්ථා පහකට මා එදා බෙදා වෙන්කොට විග්රහ කළා. ඒ අවස්ථා පහ අනුව වරින්වර ජල විපත් මතුකළා. නමුත් ඒ ගණනය කිරීමේදී ග්‍රහණ බලපෑමේ උච්ච අවස්ථාව යෙදී තිබුණේ සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා එන කාලයටයි. ඒ අනුව කළු දවස් 13ක් අද සිට සක්‍රීය විය යුතුයි.
Q ඔය ඉදිරියට එන කාලය කළු දවස් 13ක් හැටියට නම් කළේ ඇයි?
ඒකට හේතු දෙකක් තියෙනවා. ඔය දවස් දහතුනේදී අහස අන්ධකාර කළු වලාකුළුවලින් වැසී යනවා. දෙවැනි හේතුව වෙන්නේ ආසියාව, යුරෝපය, ඉන්දීය සාගරය සහ අත්ලාන්තික් සාගරය වගේම ලෝකයේ තවත් භූමි ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව අහස, මහපොළොව සහ ගංගා, ජලාශ, සමුදුරු කියන තුන් තැනම දැඩි අවදානමකට ගොදුරු වෙනවා. උඩින් ගියත්, බිමින් ගියත්, ජලය මතින් ගියත් බිහිසුණු විපත් බහුල කාලයක්. අන්න ඒ නිසා තමයි සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා කාලය කළු දවස් දහතුනක් කියලා නම් කෙළේ.
Q ඔය දවස් දහතුනේදී මොනවගේ විපත්ද සිදුවෙන්නේ?
ධාරානිපාත මහා වර්ෂාව, චණ්ඩ මාරුත, සාගරය පතුලේ සහ සාගර දියමත හටගන්නා දරුණු කැළඹීම්, ගොඩබිම ජලාශ සහ මහ පරිමාණ ඉදිකිරීම් ආශ්රිත විපත් තමයි බහුලව පෙන්නුම් කරන්නෙ. තව විදියකට කිව්වොත් ටොලමියානු සූත්‍රවලින් එක එල්ලේ නිවේදනය කරන්නේ ජලය ආශ්රිත විපත්. ඒ අනුව අපට පෙනෙනවා මේ බොහෝ විපත්වලට මුල් වෙන්නේ ජලය බව. දෙවැනුව වායුව, තෙවැනුව පොළොව. ඔය දවස් දහතුනේදී ඇදහැළෙන අධික වර්ෂාව මහපොළොවට දරා ගන්න බැහැ. ඊළඟට පෙන්වන දේ තමයි ටොලමියානු විශ්ව කේන්දරයේ වායු රාශී ත්‍රිත්වයම ඔය කාලයේදී අසාමාන්‍ය විදිහට උත්තේජනය වෙනවා. එහි ප්‍රතිඵලය තමයි චණ්ඩ මාරුත. තෙවැනුව පඨවි රාශී තුනෙන් දෙකක්ම දුර්වල තත්ත්වයකට පත්වෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ මහපොළොව අස්ථායී තත්ත්වයකට පත්වීම. මේක හරියට %ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ^ ඛේදවාචකයක්. ජලශක්ති කලාප කොයිතරම් වේගයෙන් උත්තේජනය වුණත් ඊට සාපේක්ෂව පඨවි ශක්ති කලාප ස්ථාවරව තිබෙනවා නම්, මහපොළොවට හානියක් නැහැ. නමුත් මේ දවස් දහතුනේදී පඨවි ශක්ති කලාප ඉතා දුබල තත්ත්වයකයි තියෙන්නේ. ඒක එහෙම වෙද්දී අසාමාන්‍ය වර්ෂාවක් ඇදහැළෙන්න ගත්තාම මොකද වෙන්නේ. අනිත් පැත්තෙන් පඨවි ශක්තියට පරම සතුරු වායු ශක්ති කලාප තුනම අධි චලනයට පත්වෙනවා. මේ නිසා මහපොළොව අන්තඅසරණ වෙනවා. මහපොළොවේ ගිලාබැසීම්, පිපිරීම් කඳුකඩාවැටීම් විතරක් නොවෙයි, මහා පරිමාණ ජලාශ සහ උස් මහල් ඉදිකිරීම් පවා අවදානම් තත්ත්වයකට පත්වෙනවා. ඔබ හොඳට නිරීක්ෂණය කරන්න ලෝකයේ බොහෝ ප්‍රදේශවල වැසි නොවැටෙන තැන්වල පවා භූගත ජල පරිමාව අසාමාන්‍ය විදිහට ඉහළ නගිනවා. ඒ කියන්නේ උල්පත් ජලය පිටාර ගලන්න ගන්නවා. වර්ෂාව සහ ජලය සම්පතක්. නමුත් මේ වර්ෂාව සහ ජලය විසින් ඇති කරන්නේ විපත් විතරයි.
Q ශ්‍රී ලංකාවට මෙයින් ඇති කරන්නේ මොන වගේ බලපෑමක්ද?
අපේ රටටත් මේ දවස් දහතුනේදී බලපෑමක් සිදුවෙනවා. මොකද ග්‍රහණය සිදුවුණේ කටක සහ මකර රාශී දෙක අතරයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා කේන්දරයෙන් 06 සහ 12 වැන්න තමයි පීඩාවට ලක්වුණේ. අපේ රටේ භූමියට සහ වෙරළබඩ සීමාවෙන් ඔබ්බටත් දරුණු වර්ෂාපතනය, සැඩ සුළං සහ රට අභ්‍යන්තර කඳුකරයේ නාය යෑම් වගේම ජලාශ සහ උස් මහල් ගොඩනැගිලිවලට අවදානමක් මතුවෙන්න ඉඩ තියෙනවා. මේ නිසා දැන් සිටම ඊට සූදානම්ව සිටීම වැදගත්. සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 10 දක්වා දින 13 ගැන අඩුවෙන් තක්සේරු කිරීම නොකළ යුතුයි. විශේෂයෙන්ම මහපොළොවේ ගිලාබැසීම් සහ පිපිරීම් අපේක්ෂා කළ යුතුව තියෙනවා. අර මුලින් කිව්වා වගේම ජලය, සුළඟ සහ මහපොළොව කියන තුන් තැනින්ම අපේ රටටත් විපත් මතුවෙන කාලයක්.
Q ඔය දවස් 13 එක දිගටම අනතුරුදායකද? නැතිනම්, ඒ කාලය තුළ අවදානම උග්‍රවෙන විශේෂ දින තිබෙනවාද?
සමස්තයක් හැටියට ගත්තාම සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 10 දක්වා වූ කාලයම අවදානම් සහගතයි. ඒ අතරින් දැඩි අවදානම් දින කිහිපයක් නම් කරන්න පුළුවන්. ඒ එක්කම ටොලමියානු ලෝකායතන ජ්‍යෝතිෂයේ අප්‍රකට සිද්ධාන්තයක් අවබෝධ කර ගන්නත් ජ්‍යෝතිෂ විද්‍යාර්ථීන්ට අවස්ථාව ලැබෙනවා. ඔබ දන්නවා අගෝස්තු 07 චන්ද්‍රග්‍රහණය සිදුවුණේ මකර රාශියේ අංශක 23.20දීයි. දැන් බලන්න ඔක්තෝබර් 01 වැනිදා සවස් භාගයේදී සඳු අන්න ඒ අංශකයටම එනවා. මෙන්න මේ අවස්ථාව ඉතාම තීරණාත්මකයි. ග්‍රහණයේ බලපෑම් සීමාවේ උච්චතම අවස්ථාව සහ ග්‍රහණයට ලක්වූ සඳු එකී අංශකයටම එන අවස්ථාව කියන දෙකම එකට යෙදෙන්නේ ඉතා කලාතුරකින් පමණයි. ඒත් ඒකෙන් නිවේදනය වෙන පණිවුඩය නම් සුබදායක නැහැ. මොකද මේක ලෝකයටම අමතක නොවන දරුණු ස්වාභාවික විපත් සමයක් බව ටොලමියානු සූත්‍ර මගින් පෙන්නුම් කරනවා.
සුරේෂ් චාමින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



